අම්මේ… මෙයාට බලු පැටියෙක් ගෙනත් දෙන්න… මගේ යශෝධරා වත 10



ඔන්න ඉතිං මං කුමාරයා, යශෝධරා කුමාරිය රම්‍ය මාලිගයේ වැඩ වාසය කරන කල්හී දිනක් එහි ගියා ඇය බැහැ දැකීමට. හරමදාම කොරන්නේ ඕකමනේ…ඉතිං ඒ වෙසක් මාසේ. වෙසක් උත්සවේට තව සතියක් විතර තියෙන්න ඇති. මං කුමාරයා නම් කම්මැලියා නිසා වෙසක් කූඩු හදන්නේ නෑ. පියතුමා හදලා දෙන එකක් එල්ලනවා මිසක්. ඒත් යශෝධරාව නම් එහෙම නෑ. එයා තනියම ලස්සන අටපට්ටම් වෙසක් කූඩුවක් හරි දෙකක් හරි හදලා ලස්සනට එල්ලනවාම තමා හැම වෙසක් එකටම.

 

ඉතිං මං මේ ගිය දවසෙත් එයා වෙසක් කූඩුව හදන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන ඉන්නවා වෙසක් කූඩුවක් හදන්න. මගේ පෙර අකුසලකර්මෙකට මට ඒකට උදව් දෙන්න විදියක් නැහැ. මොකද මං කුමාරයා ඒ වැඩේට සපෝට් කලා කියන්නේ අටපට්ටම් වෙසක් කූඩුව අඩුම ගානේ හැට පට්ටම්වත් වෙලා තමා නතර වෙන්නේ. ඒ මොකද මං කුමාරයා වෙසක් කූඩු හදන්න ඒ තරම්ම දක්ෂ නිසා. ඉතිං දැං යශෝධරාව මගේ ගාව බිමින් ඉඳ‍ගෙන ලස්සනට වෙසක් කූඩුවක් හදාගෙන යනවා. මං කුමාරයා ලොක්කා වගේ පුටුව උඩට වෙලා බලා ගෙන ඉන්නවා. නැතුව බැහැනේ ඉතිං. දෙන්නම වැඩ කරද්දී වැඩේ හරි වැරැදි බලන්න කෙනෙක් නැහැනේ. ඉතිං දෙයියනේ කියලා පැය භාගයක් විතර යනකොට යශෝධරාවගේ මව් තුමිය සැපත් වෙච්චි අපි ඉන්න තැනට.

 

ඇවිත් කියනවා, පුටුව උඩට වෙලා ඉන්නේ… නංගිට චුට්ටක් උදව් කරන්නකෝ කියලා. මාත් අරියි ඔයා වගේ වෙලාවට. අනේ මගේ කට…. මාත් කිව්වා, අපෝ අපෝ මට නම් බෑ, යන්තං මගේ අතක් ගෑවුනත් මහ හයියෙන් කෑගහනවා, තව ඉරටුවක් එහෙම වැදුනොත් මාව මරයි කියලා. එහෙම කියද්දී ඔන්න යශෝධරාව බිම ඉඳගෙන, ඔළුව උස්සන්නේ නැතුව හිමීට ඇස් දෙක විතරක් උස්සලා හොරේන් බලනවා මගේ දිහා. එහෙම බලලා, කටින් එලියට පනින්න එන හිනාව හෙන අමාරුවෙන් නවත්තගෙන ආයෙත් වැඩ. පස්සේ කොහොම හරි ඉරටු ටික යන්තං අටවගෙන අටපට්ටම සෙට් කරගන්නවා. යන්තං කිව්වට එයා ඒ වැඩේ ලස්සනටම කරනවා. බලං ඉන්න ආසයි. ඊට පස්සේ හැමදාමත් වගේ කහ පාටයි, සුදු පාටයි සවුකොල වලින් ඒක ලස්සනට අලවනව. යශෝධරාව ආසාම පාට තමා කහ. ඒක නිසා මං කුමාරයත් දැං දෙවැනියට ආසම පාට තමා කහ. ඇත්තටම මං කුමාරයටත් හිතෙන්නේ වෙසක් කූඩුවකට ගැලපෙනම පාට දෙක තමා කහයි සුදුයි කියලා. ඔය රතු, තැඹිලි, දම්, රෝස තිබුනට ඒවා වැඩක් නැහැ… කහයි සුදුයි තමා ලස්සනම.‍ ඒ අස්සට මං කුමාරයා ආසා නිල් පාටත් ආවනම් තව ඩිංගක් ලස්සනයි.

 

හරි ‍දැන් ඉතිං යශෝධරාව මෙහෙම බිමට වෙලා වෙසක් කූඩුව අලවා අලවා ඉද්දී මං කුමාරයට නැවත මගේ මාලිගයට යන්න වෙලාව ලං වුනා. ඒ පාර ඉතිං මමත් යන්න කියලා අසුනෙන් නැගිටිද්දිම යශෝධරාවගේ ඔළුව මගේ අතේ ගෑවෙන දුරින්, ගෑවෙන මට්ටමේ. මාත් හරි ආසයි ඒ පුංචි ඔළුව අතගාන්න. හැම තිස්සෙම බැහැනේ. යශෝධරාවගේ තියෙන දාංගලේට එක තැනක ඉන්නේම නැහැ. කකුල් වලට රෝද හයි කරලා වගේ තමා. කෑම කන කොටයි, ටීවී එකේ මොකක් හරි එයා ආසා වැඩසටහනක් යද්දීයි විතරයි එයා එක තැනක ඉන්නේ. ඉතිං මේ ලැබිච්ච අවස්ථාව මට ඉහටත් උඩිං. මොකද මං කුමාරයා මේ අවස්ථාවෙදී යශෝධරාව‍ගේ කන රිදෙන්න මිරිකුවත් නැගිටින්නේ නැහැ. එයාට මං කුමාරයට වඩා වෙසක් කූඩුව ‍ලොකුයි. ඒක නිසා මාත් පෙර ආත්ම ගානක ඉදන් පුරාගෙන ආපු ආදර පාරමිතා ඔක්කොම සිහි කරලා ආදරෙන් ඔළුව අතගෑවා. පුංචි පූස් පැටියෙක් වගේ මගේ දිහා බලලා හිනා වෙලා ආයෙත් වැඩ. පස්සේ මං යනවා කියලා මාලිගයෙන් එළියට බැහැලා, කන්තක ගාවට යන්න හදද්දිම ආයේ හිත කියනවා, පල පල ආයෙත් ඉතිං ඔළුව අතගාන්න වෙන්නේ ඊළඟ වෙසක් එකටනේ. ඒක නිසා තව පාරක් ඔලුව අතාගාලා වරෙන් කියලා. ආහ්…. ඒකත් ඇත්තනේ. ඉතිං මං ගිහින් ආයෙමත් විනාඩියක් විතර ළඟට වෙලා ඉඳලා… ඇත්තටම ගොඩක් ආදරෙන් ආයෙමත් ඔළුව අතගෑවා. පුංචි පූසි බැළුවා මගේ දිහා. ඒ බැලිල්ල නම් එචිචර හොඳ නෑ. අම්මේ… මෙයාට බලු පැටියෙක්ව ගෙනත් දෙන්න, ඔලුව අතගගා ඉන්න. කියලා මව් තුමියට කිව්වා. ඔන්න එතකොට ම මං කුමාරයට අහසේ නෙක නෙක පාටින් තරු දිලිසෙන්න ගත්තා. මේ මොකද්ද බොල මේ වුනේ කියලා. ලාවට තරහකුත් ආවා. පස්සේ අනේ ම‍ට වෙන බලු පැටව් ඕනේ නෑ,… මේ ඉන්න එකා හොදටම ඇති කියලා යශෝධරාවට නෝන්ඩියකුත් දාගෙනම එන්න හදද්දී මව්තුමිය අහනවා, ඒ පාර මොකෝ කියලා.

 

පැන්න ගමන් යශෝධරාව කියපි, මෙයා මට බලු පැටියා කියනවා… කියලා අවසන් මොහොතේ නඩුවක් දැම්මා. ඒත් මට ඒක මම කිව්වේ නෑ කියන්න විදියක් වුනේ නෑ. මොකද යශෝධරාව එයා හදපු වෙසක් කූඩුව එක අතක තියන් අනිත් අතින් අම්මගේ අතේ එල්ලිලා මගේ දිහා බලාගෙන ඉන්නව, ආයෙමත් ඇවිත් ඔළුව අතගාලා යන්න කියන්න වගේ. මං කුමාරයා ඒ වෙලාවට හරි අසරන වෙනවා. මට වැරදි කාරයා වෙන්නත් බැහැ පුංචි හිත රිද්දනත් බැහැ. ඒක නිසා ඉතිං ඒ වගේ වෙලාවට, නිශ්ෂබ්දතාවයෙන් හැඟී යන්නේ තමා වැරදි කරු බවයි කියලා, යශෝධරාවගේ මව්තුමියට හිතා ගන්න දීලා මං කුමාරයා හිමීට මාරු වෙනවා.

 

කොහොම වුනත් මාට තාමත් ෂුවර් වෙසක් කූඩුවකට ලස්සන කහ පාටයි, සුදු පාටයි තමා කියලා…

%d bloggers like this: