කණ්ඩායම් නායක (ගිනි)වතුර ඇද්ද… අපේ ක්‍රිකට් මැච් එක…



ඉතිං…. සභාවෙන් අවසරයි අදත් මා මෙතෙනට පැමිණියේ කතාවක් කීමටයි. ඔන්න ඉතිං කතාව.

දැන් ටික දවසකට කලින් ගෝල්ඩ් fish කිව්වා මතකද අර ඉබ්බෙකුට ගේට් පාස් දාන්න ගිය අයියලා සෙට් එකක් ගැන කතාවක්. අර යකරහොටා ගැන කිව්වේ… අන් උන් ගැනම තමා අදත් කතාව. මේක වුනේ 2010 අවුරුදු උත්සවේ පැවැත්වෙද්දී. අවුරුදු උත්සවේ තිබුනේ මොරටු විද්‍යාල ක්‍රීඩා පිටියෙදී. අපේ ආයතනයේ හැම අවුරුද්දකටම මේ වගේ එකක් තියෙනවා.

ඒකට ඉතිං ක්‍රිකට් තරඟයක්, ඊට පස්සේ සතය සෙවීම, ගෝනියේ බැස දිවීම, සැඟවුන අහවල් එකා සෙවීම වගේ ළදරු ක්‍රිඩා ඉසව්වනුත් තියෙනවා. ‍ඔය කොයිතරම් ඉසව් තිබුනත් හැමෝම කැමති සය සාමාජික ක්‍රිකට් තරඟයට.

ඉතිං මේ සතය සෙවීම වගේ ඒවාත් බලන් ඉන්න එවුන්ට මාර ෆන්. අවුරුදු තිස්පහේ හතලිහේ බබාලා දුවගෙන ඇවිත් බිම පෙරලිලා පිටි නාලා සතය වෙනුවට රුපියල දත් වලින් විකාගෙන අත්දෙක පිටිපස්සට කරලා බැඳගෙන, අර පැස්බරුන් දුවනවා වගේ පස්ස පැත්ත දෙපැත්තට වන වනා දුවන කොට… හිනා ගිහින්ම මැරෙනවා. ඊට පස්සේ බිත්තර ඇල්ලීම. ඒක ඊට එහා… ඔන්න දැන් කව්රු හරි දෙන්නෙක් අන්තිම බිත්තර මාරුව වෙනුවෙන් ඉන්නවා කියමුකෝ… ඌට දෙයියන්ගෙම පිහිටයි.. මොකද ඊට කලින් බිත්තර වට්ට ගත්ත එවුන් කරන්නේ… අන්තිම බිත්තරේ එක පැත්තකින් ගුවන් ගත වෙනකන් ඉදලා අනිත් පැත්තේ බිත්තරය අල්ලන එකා උඩට ටෝච් එක ගහගෙන බිත්තරේ ගන්න යද්දී ලා වට පොඩි ටච් එකක් දෙනවා පිටට… අනේ අහිංසකයා, ඌට ගහපු එකා දිහා බලද්දී බිත්තරේ උගේ මුනේ… ඒ හැමදේම වෙන්නේ ජොලියට. කවදාවත් ඔය වගේ දේවල් වලට වලි නම් යන්නේ නෑ.

ඊට පස්සේ ඔන්න ආරම්භ වෙනවා මහා ක්‍රිකට් ගැටුම. මේක පැවැත්වෙන්නේ ආයතනයේ දෙපාර්තමේන්තු අතර. ඉතිං අර අයියලා හත්දෙනා ඉන්නවනේ… උංගේ වැඩ පේන්නේ මෙතෙන්දී තමා. අර කලිං කියපු තරඟ පැවැත්වෙද්දී ක්‍රිකට් කරඟයට සහභාගී වෙන අය තම නම් ලබා දෙන්න ඕනෙ සංවිධායක මන්ඩලයට. ඉතිං ඒ වැඩ ඔක්කොම කරලා එහෙම තමා මැච් එක පටන් ගන්නේ. ආහ්… එකක් කියන්න අමතක වුනා… මේ අවුරුදු උත්සවේට, ආයතනයේ වැඩ කරන අයගේ ගෙවල් වල අයත් සහභාගී වෙනවා. ඒ වගේම පවුලේ අය වගේ ලඟින් ඇසුරු කරන බෝතලේත් අනිවා ඩෙෆා උදේම එනවා. ඉතිං ඔහොම යද්දී කට්ටිය බොනවා. හැබැයි‍‍‍… ආයෙමත් කියන්නේ වලි නම් වානා. ඇත්තටම වලියක් යන්නේ නෑ. හැම දේම ජොලියෙන්ම තමා.

දැන් ඉතිං අර හත් දෙනෙක් ඉන්න දෙපාර්තමේන්තුවේ අය කොහොමද සය සාමාජික ක්‍රිකට් තරඟයට සහභාගී වුනේ? හත්දෙනාම හොඳ යාළුවෝ නිසා එකෙක්ව අයින් කරන්නත් බැහැ… ඒත් එහෙමයි කියලා හත් දෙනෙකුට සෙල්ලං කරන්නත් බැහැ. ඉතිං ඔය කොයි මැච් එක පටන් ගද්දිත් වගේ අපේ මැච් එක පට්ටාං ගන්න කලිනුත් ටොස් එකක් දානවා. මේකට සහභාගී වෙන්නේ තරඟ කරන පිල් දෙකේ නායකයොනේ. ඉතිං අර හත් දෙනාගෙ පිලේ නායකයා තමා තරංග අයියා‍. මිනිහා හොඳ බැට්ස්මන් කෙනෙක්‍. ආයතනයේ ටීම් එකෙත් ඉන්නවා. ඉතිං ඔන්න ඔහොම කාසියේ වාසිය උරගා බලන්න තරංග අයියා ක්‍රිඩාගාරෙට ගිය ටිකට, අනිත් හය දෙනා රෙඩි වෙලා. බෝල් කරන්න නම් එහෙම, නැත්තං බැට් කරන්න, ඕනෙ දේකට … පස්සේ ඉතිං අනිත් නායකයෝ වගේම තරංග අයියත් තමන්ගේ සෙට් එකට කිව්වා අපිට තමා බෝල් කරන්න තියෙන්නේ කියලා. අනිත් හය දෙනාත් … ආ හරි … බං‍… කියලා පිටියට බැස්සා. පස්සේ තරංග අයියා ගියා උගේ කිට දාගෙන එන්න.

මෙන්න මිනිහා එනකොට මැච් එක පටන් අරං. මාර සීන් එක හත් දෙනාම, කොහොම හරි කරලා සෙල්ලං කරන්න හිටිය මැච් එක… කන්ඩායම් නායකයා නැතුව අනිත් එවුන් සෙල්ලං කරනවා. තරංග අයියා බනිනවා අරුංට පලුයන්න. සංවිධායක වරුත් කියනවා දැන් ඉතිං හය දෙනා හරිවේ උඹ මෙහෙට වෙලා හිටපං කියලා. ගෙවල් වල කට්ටිටයත් ඉන්න නිසා තරංග අයියා කට වහගෙන හිටියා.

පස්සේ ඔන්න ඒ කට්ටිය නියමිත ඕවර් ගාන සෙල්ලං කරලා අනිත් පිලට දුන්නා බෝල් කරන්න. කරුමේ කියන්නේ ඒ කන්ඩායමේ සිහිය තිබුනේ සෙල්ලං කරන හය දෙනා ගැන විතරනේ. අතරතුරෙදී අවශ්‍ය වෙන වතුර ගැන එහෙම කල්පනාවත් තිබුනේ නැහැනේ. ඉතිං දැං අර හෙන අව්වේ සෙල්ලං කරන එවුන්ට වතුර ටිකක් දෙන්න කෙනෙක් නෑ. ඒත් තමන්ගේ කන්ඩායමේ සගයෝ තමන්ට කරපු වැඩේ ගැන හිතන්නේ නැතුව තරංග අයියා වුන්ට වතුර ගිහින් දුන්නා. බලන්න කොයිතරම් හොඳ වැඩක්ද කියලා. ඉතිං බැට් කරන එකෙක් වතුර බොන්න ඇවිල්ලා වතුර ටික කටට හලාගද්දීම වමනේ යන්න එනවා. තරංග අයියා උගේ පිට අතගාලා එහෙම හෙන සාත්තුවක් දීලා ආපහු පිට්ටනියට යැවුවා.

ඊට පස්සේ තමා ලස්සනම කෑල්ල. අර බැට් කරන එකා (කව්ද කියලා දැන් මතක් වෙන්නේ නෑ) බෝ‍ලේ එන්න කලින් බැට් එක වනලා. ආයෙමත් බෝලේ ඌව පාස් කරාට පස්සේ ආයෙත් බැට් එක වනනවා. ඊට පස්සේ එක ලකුණකට පැති මාරුවෙද්දී එකෙක් අනිත් පැත්තේ කඩුල්ලට දුවද්දී, බෝලෙට ගහපු එකා උගේ කඩුල්ල වටේට දුවනවා. පස්සේ ඉතිං එක විකට් එකක් ගියා එහෙම. පස්සේ වන් ඩවුන් ආවා. මෙන්න ඌත් අරෑවගේමයි. බෝලෙට ගහලා අනිත් පැත්තේ කඩුල්ලට දුවන්නේ නෑ…. දෙන්න එක්ක තමන්ගේ කඩුල්ල වටේට දුවනවා. දැං බලන් එවුන් හිනා වෙනවා… ඒ අස්සේ කව්ද එකෙක් මයික් එක ඔන් කරලා අර සැනග මැද්දට දාලා. හපෝ… එතෙන හිනා වෙලා හිනා වෙලා බඩත්  කොරවුනා.

ඊට පස්සේ සිසිල් පැන් පානට සඳහා තරඟය නැවැත්තුවා. ඔන්න තරංග අයියා යනවා වතුර අරං කට්ටියට. හැබැයි…. වතුර කිව්වට වතුරම නෙමේ…. ගිනි වතුර. බැට්ස්මන්ලාට තරංග පොවලා තියෙන්නේ අරක්කු වලට බ්‍රැන්ඩි මික්ස් කරලා. කලවම් වුනාම තියෙන ආතල් එක දන්න අය දන්නවනේ ර‍ඟේ. ඉතිං ඒක තමා ලකුණුක් ලබාගන්න තමන්ගේ කඩුල්ල වටේට දුවලා තියෙන්නේ. අනිත් එක තමා, වුන්ට අරක්කු දුන්නම ඉතිං පෙරේත කමට නොබීත්  බැහැනේ… ඒක නිසා එවෙලේ බීලා. පස්සේ කොහොම හරි තර‍ඟේ ආයෙත් පටන් ගත්තා.

ඊට පස්සේ ආපු පළවෙනි බෝලෙට ලකුණු 6ක්. ඇත්තටම ලකුණු 6ක් නෑ. ඒක ගියේ බිම දිගේ. ඒත් ඉතිං අර බීපු ක්‍රිඩකයාට පෙනිලා තියෙන්නේ බෝලේ ගොඩක් උඩ ගිහින් පේන්නේ නැති වෙලා ගියා කියලායි. ඒ කියන්නේ ඉතිං ඉහලින්ම ලකුණූ 6ක් නේ. පස්සේ බෝලේ ගෙනැල්ලා කිව්වම බෝලේ ඒ තරම් උඩ ගියේ නෑ… මේ තියෙන්නේ බෝලේ කියලා… මූ ඒක විශ්වාස කරන්නේම නෑ… ඌ කියන්නේ… නෑ… නෑ ඕක නෙමේ මං ගහපු බෝලේ.. ඒක අර කොස් ගහට උඩින් ගිහින් පාරට වැටුනා …. කියලයි. දැන් ඉතිං මොනා කරන්නද, අපේ කට්ටිය හොඳ නිසා හා හරි හරි… සෙල්ලං කරපන්කෝ කියාලා තරගේ පැවැත්වුනා. පස්සේ කො‍හොම හරි ලකුණු දෙකකින් විතර තරගේ පැරදුනා. ඒත් ඉතිං ඒ වගේද ගත්ත ආතල් එක… තරංග අයියා මුළු තරගේ පුරාවටම අරුංට වතුර ඇද්දා, හරිම ආසාවෙන්. පස්සේ පැරදිලා ආවම, කට්ටියම අල්ලගෙන තරංග අයියට නෙළුවා කියලා ආරංචියකුත් ආවා. ඇත්ත වෙන්න ඇති… ඒත් ඉතිං ෆන් එකටම තමා.

කොහොම හරි අපේ අර්ධ අවසාන ව‍ටයේ තරඟයක් මුල්ම වතාවට කන්ඩායම් නායක නැතුව පැවැත්වුනා. විනය විරෝධි වැඩකුත් වුනාට, ඒවා මහ දේවල් නෙමේ. ඒ හැම දෙයක්ම ජොලියටනේ… දැං මං මේ බලන් ඉන්නේ අපේ ඊළඟ අවුරුදු උත්සවේ එනකන් … ඒකෙත් මොන මොන වගේ දේවල් වෙයිද දන්නේ නෑනේ….

 

මාමේ නිකවැරටිය තියෙනවද?



මේක නම් ගෝල්ඩ් fish ගේ යාළුවෙක්ට ඇත්තටම වෙච්ච දෙයක්. උගේ පූරුවේ කරුමෙකට තමා අනිවාර්යෙන් මේක වෙන්න ඇත්තේ… මේකයි කතාව.

යාළුවගේ නම අමිත්. අපි ඌට කියන්නේ මයිනා කියලා. හේතුව තමා උගේ කොන්ඩේ පිටිපස්සෙන් තියලා තියෙන මුඩේ. ඇත්තටම ඌට මයිනා කිව්වට වැඩිය ගැලපෙන්නේ අවිච්චයා, දෙමලිච්චා වගේ නමක් තමා. කොහොම හරි ඉතිං මූත් ගෝල්ඩ් fish ගේ වයසේ‍. අමිත් ස්කෝලේ ගියේ ගමේ පාසලට. ඉතිං ඒ ස්කෝලේට පිට නගර වලින් ළමයි එන්නේ නැහැනේ… ඉන්නේ ඔක්කොම ගමේම ඉන්න කෙල්ලෝ කොල්ලෝ බට්ටෝ බට්ටියෝ තමා.

ඔන්න ඔහෝම කාලයක් යස අගේම මූ අධ්‍යාපනේ කොරගෙන යනකොට මූට හැදුනා අනිත් උන්ට වගේම ලෙඩක්. ගෝල්ඩ් fishට නම් ඕක හැදුනේ ස්කෝලේ එක වසරට ගිය ගමන්ම වගේනේ… ඒ වුනාට අමිත්ට හැදු‍නේ හත වසරේදී විතර. දන්න‍වනේ ඉතිං ලෙඩේ මොකද්ද කියලා… කාටත් දරුනුවටම හැදෙන සික් එක…ලව් සික් එක තමා…

ඉතිං මූ කලුකුමාරයා වගේ හැමදාමත් බැල්ම දාන්න ගත්තේ ගමේ ඉන්න අහිංසක කැඩුම් බිඳුම් වෙද කම් කරන සිංහල වෙදෙකුගේ දූ පොඩ්ඩකට‍. ඒ ළමයා අපිට වැඩිය අවුරුද්දක් විතර බාල ඇති‍. කියන්න තරම් ලස්සනකුත් නෑ. අනේ මන්දා අපේ අමියාට, ඒ කෙල්ලගේ අහවල් එකට හිත ගියාද කියලා… ඉතිං ඔහොම ටික දවසක් යද්දී ස්කෝලේ ස්පෝට් මීට් එහෙම තියෙන කාලේ ආ‍වා… අමියාට දැන් රජ මගුල්. ඌ හිතං ඉන්නේ ස්පෝට් මීට් කියන්නේ ඌටම වෙන් කරලා දුන්න කාලයක් කියලා, උගේ අර හි‍තේ දැවෙන ප්‍රශ්නෙට සිසිලසක් ලබාගන්න. පස්සේ ඉතිං මූට කෙල්ලගෙන් ගිහින් කෙලින්ම අහන්න බෑ කිව්වම…

එහෙනම් හු** ඇදේට ගිහින් අහපං කියපු එවුනුත් හිටියලු.

දන්නවනේ ඉතිං ඒ ඇයි කියලා. වැල ගහේ ගෙඩියක් ඉදුනම කපුටෝ කී දෙනෙක් නම් එතෙන්ට වහනවද නේද? ඉතිං ඒ කෙලියම අමිත්ටත් වුනා. කොහොම හරි රංඩු කරලා ගහමරාගෙන අමිත්ට ඒ කෙල්ලව භාර දීලා වෙන අතක් බලාගන්න අනිත් කපුටෝ ටික… නෑ … නෑ … වැරදුනා අනිත් කොල්ලෝ ටික එකඟ වුනා.

පස්සේ ඉතිං අමිත් ඒ ළමයාගෙන් ඇදේට අහන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී, ස්කෝලේ නිවාඩු දුන්නනේ. ඉතිං අපේ අමියා වැලපෙනවා අපිව දැක්ක තැන උගේ දුක කියලා. හරියට වැලහින්න මැරිච්චා වලහා වගේ. ඊට  පස්සේ ඉතිං මක්ක ‍කොරන්නැයි. අපි කිව්වා…

ඒ .. අමිත් උඹ ඒකිගේ ගෙවල් පැත්තේ ගිහින් වරෙං බං….

මම කොහොමද බං එහේ යන්නේ… ඒකි මට කැමතිත් නෑ වගේනේ බං…

පවු අප්පා කොල්ලා… සික් එක හොදටම වැඩිවෙලා… වෙනදට වචනයක් ඇර වචනයක් කුණුහරුප කියන කට අද නිකං සිල් අරං වගේ. ඔහොම යාළුවෙක් නාහෙං අඩද්දී බලං ඉන්න සිරිතක් අපිට නෑනේ. ඉතිං අදහස් ගැට ගහලා අපි කට්ටිය කිව්වා.. මේ.. ගිහින් උඹේ වෙද මාමාගෙන් බෙහෙතක් අහමු කියලා.

ඒක ටිකක් ඇත්තටම වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන සීන් එකක්නේ. ඉතිං ඒක නිසා අමියත් ඒ යෝජනාවට කැමති වුනා. දැන් ආයෙමත් ප්‍රශ්නයක්. දැන් ඉතිං වෙදාගෙන් ඉල්ලන බෙහෙතක් ගැන හිතනවා. එකෙක් කියනවා කස්තුරි ඉල්ලමු කියලා. අනේ උගේ මොලේ… වෙදාට ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් මිසක්… මුව නෑම්බියෝ දෙන්නෙක් නෙමේනේ… ඊට පස්සේ තව එකකේ මොකද්දෝ මන්දා මහා ගාමභීර නමක් කිව්වා. ඊට කලින් අහල තිබුනෙත් නෑ… ඒක නිසා දැන් මතකත් නෑ.

ඔන්න ඊට පස්සේ ආවා ජයග්‍රාහී පිළිතුර. ඉරිවේරිය… ගෝල්ඩ් fish වත් ඉරිවේරිය අද වෙනකම් ඇහැකට දැකලා නෑ. ඉතිං මොනවගේද කියන්න දන්නේ නම් නෑ… ඊට පස්සේ ඉතිං අමිතුත්…

හරි හරි මචං… මං අද හවස යන එක එක යනවා… අදින් පස්සේ උඹලට කරදරයක් නෑ.. කියලා හෙනට සාන්ත දාන්ත තීන්ත (කලු) කූඩුව වගේ ගමනට සෙට් වුනා. නාලා කරලා, ජෙල් ගාපු කොන්ඩෙට පොල්තෙල් ගාලා… නිකං ෂාරුක් සොයිසා වගේ. පස්සේ ඔන්න ආයෙමත් ඌට තනියම යන්න නිකං මොකද්ද මොකද්ද වගේ කියලා, අපේ තව යාළුවෙකුටත් කතා කලා ගමනට. අපිට ඉතිං මෝටර් සයිකල් එහෙම නෑනේ… දුකට සැපට දෙකටම පුටාර් තමා. ඉතිං අපේ තව යාලූවෙකුයි අමිතුයි ගිහිල්ලා ගෑනු ළමයාගේ ගෙදරට.

මෙන්න ගිය ගමන් ගෑනු ළමයාගේ තාත්තා එනවලු…

ආ … පුතාලා මොකද මේ පැත්තේ… කියාගෙන

නිකං වෙදාට ඉවෙන් වගේ තේරෙන්න ඇති මේ පුතාලා එන්න ඇත්තේ මක්කටෙයි කියලා. නැත්තං අර වගේ කෝචෝක් එකට කතාකරයිද?

ඉතිං අමියාට මේකට අප්සට් ගිහිං… කොහොම හරි අනිත් යාළුවට මග ඉන්න කියලා මූ ගිහිල්ලා වෙද මාමා ගාවට. දැන් අමිත් වෙද මාමා ඉස්සරහ ඉඳන් අර සයිකලේ ඉන්න යාළුවා දිහා බල බල බයෙන් වගේ වෙද මාමාගේ මූන බලනවලු. මොකක් හරි කේස් කියලා හිතුන වෙද මාමා, ඇහැව්වලු… මොකද පුතා බය වෙලා වගේ… මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා…

න්… නෑ… නෑ…. වෙදමාමේ… මේ බෙහෙතක් හොයන්න කියලා ආවේ….

ආ එහෙමද? මොකද්ද ළමයෝ බෙහෙත?

මාමේ නිකවැරටිය තියෙනවද?

ඈ… මොකද්ද?

නිකවැරටිය….

අනේ පුතේ… හොඳ පුතා වගේ බෙහෙත හරියට අහගෙන එන්නකෝ…

ඊට පස්සේ අමිත් බලනවලු ගෙදර උලුවස්ස දිහා… කෙල්ල ඉන්නවද කියලා. පස්සේ ආයේ වෙදා කියනවලු,  පුතේ දැන් ඉතිං ගෙදර ගිහින් වැඩිහිටියෙක්ගෙන් බෙහෙත මොකද්ද කියලා අහගෙන එන්නකෝ . කියලා…. ඉතිං තවත් අමියා එතෙන ඉඳලා නෑ… හිටියා නම් අහගන්න වෙන්නේ‍…

ඈ.. බොල නොසන්ඩාලයෝ, තෝ අපේ නිකවැරටිය හොයන්න නං ගේ දිහා බලන්නේ අහවල් එකටැයි බොල? කියලා තමා.

පස්සේ ඉතිං අමියට හරි අප්සට් වෙච්චි සීන් එකට. මූ ඇවිල්ලා අපි ඔක්කොම ඉන්න තැන ලැජ්ජාව පැත්තක තියලා උගේ මයිනා කාඩ් එක රිප්ලේස් කරගෙන ගහගත්තා නිකවැරටිය කියන කාඩ් එක. අනේ ඉතිං මොනා කරන්නද වෙද මාමත් කරන්නේ ඕනේ නැති වැඩනේ. ගෙදරට ආපු එකෙකුට අර වගේ කතාකලාම ඌ අප්සට් යන්නේ නැද්ද? ඊටත් හත වසරේ පොඩි එකෙකුට. වෙදෙක්ගේ ගෙදරකට කෙනෙක් යන්නේ බෙහෙතක් හොයාගන්න මිසක් වෙන මොනා හොයන්නද? ඒ වුනාට ඒ වෙද මාමාට ඒක තේරුම් ගන්න බැරි වුන එකෙන්නේ අපේ අහිංසකයා අමාරුවේ වැටුනේ… පව් අප්පා ඊට පස්සේ අමියා ඒ ළමයා ගැන තිබුන අදහස අතඇරගත්තා. ළමයා නම් දැම් ජොබ් එකක් කරනවා. මේ ලඟදී දවසක ඒ ගෑනු ළමයාව දැක්ක නිසා තමා මේක කතාව මතක් වුනේ. අමියත් ඔය ඉන්නේ ලාවට ජොබ් එකක් කරගෙන. තාම දෙන්නම සිංගල්.

වසුන්දරා…



මේක නම් ලැජ්ජා කතාවක්. අපි ස්කෝලේ යද්දී, අපේ  ගෑනු ළමයි ගැන ගෙවල් වලට ආරංචි උනාම එක එක කතා හැදෙනවනේ. ඉතිං මේ තමා මට හැදුන පළවෙනි කතාව. විශ්වාස කරපල්ලා යාළුවනේ ‍ගෝල්ඩ් fish ගේ අම්මා තමා මේ කතාව හැදුවේ. එතකොට මං එක වසරේ. අපි ඉතිං අවුරුද්දක් විතර මොන්ටිසෝරි ගාටලා ගාටලා යන්තං ස්කෝලේ යන්න ගත්තා විතරයි. ඔන්න ස්කෝලේදී ටීච කියවන අසා ලිවීම එහෙම අහගෙන ලියලා… දෙයියනේ කියලා ආතල් එකේ හිටිය කාලේ.

එක පාරටම අපිට නිවාඩු දුන්නා. ඇයි දන්නවද? අපිට ඔන්චිලි චිලි චිල්ල මලේ කරන්න. ඒ කියන්නේ… අළුත් අවුරුද්දට. ඒ දවස් වල ඉතිං අපේ නෑයෝ ඔක්කොම අපිට හරී ආදරෙයි. ඇයි ඉතිං අපි ස්කෝලේ යන ලොකු ළමයිනේ. ඉතිං දැක්ක තැන… අනේ දැන් පුතා ස්කෝලේ යනවා ‍නේද? කියලා බටර් නාවන ඇන්ටිලා වැහි වැහැලා. ආදරේට තමා ඉතිං. ඒත් ඉතිං ඔය කොයිකත් බටර්නේ. ඊට පස්සේ ඔන්න නිවාඩුව ඉවර වෙලා ස්කෝලේ ගියා. අම්මට උඩු, මෙන්න සූකිරි කෑල්ලක් බැහැලා පන්තියට. ගෝල්ඩ් fish ට වැඩිය මිලිමීටර් 3ක් විතර උස ඇති. හැබැයි ගෝල්ඩ් fish සපත්තු දෙක ගැලව්වොත් කෑල්ලට වැඩිය සෙන්ටිමීටර් 3ක් විතර මිටියි. අවුලක් නෑ ඉතිං අපි කවද්ද සපත්තු ගැලෙව්වේ ස්කෝලේදී.

ඔන්න ඉතිං ඔහොම දවසක් දෙකක් යද්දී ගෝල්ඩ් fish ට හිතුනා මේ එලකිරිස් සූකිරි බෝලේ එක්ක යාළුවෙන්න. යාළු ෆිට් එකනේ මෙයා. ආහ්… මේකිට සූකිරි බෝලේ කිව්වට හරියට නිකං සූකිරි වටේට ගාපු ඉරට්ට වගේ තමා. ආදරේට තමා සූකිරි බෝ‍ලේ කිව්වේ. ඉතිං කොහොම හරි සෙල්ලං දාලා දාලා යන්තං එක දවසක් කතාවට අල්ලා ගත්තා.

ඔයාගේ නම මොකද්ද?….
වසුන්දරා

මොකක් ?
වසුන්දරා……

ඇයි ස්කෝලේ එන්න පරක්කු වුනේ?
අපි මෙහෙට ආවේ ලඟදී….

හා….

ඔන්න ඉතිං සාක්ච්චාව ඉවරයි. බුද්ධි තොරතුරු රැස් කරගත්තා. දැන් තියෙන්නේ මිෂන් එක. මිෂන් එක කිව්වට ඉතිං ඇති රෙද්දක් නෑ, වල් පල් කතා කරලා ෆිට් වෙන එක තමා මිෂන් එක. අනික බුද්ධි තොරතුරු කිව්වට දන්නේ නම, වසුන්දරා කියලා විතරයි. අපෝ ඒ ඇති හොඳටම කෙල්ලෙක්ව දැලේ පටල ගන්න. ඊට පස්සේ ඉතිං ටික දවසකින් ගෝල්ඩ් fish වසුන්දරාත් එක්ක ෆිට් වුනාලු. පස්සේ මේවා ඉතිං ගෙවල් වලටත් කියන්න එපැයි, නැත්තං හොඳනෑනේ. ඒක නිසා ගෝල්ඩ් fish දවසක් අම්මට ගිහින් කිව්වා… අම්මේ අපේ පන්තියට අළුතෙන් ගෑනු ළමයෙක් ආවා… එයා ලස්සනයි… සුදුයි… නම වසුන්දරා… එයා ආවේ ස‍්කෝලේ පටන් අරං ගොඩක් පහුවෙලානේ… කියලා.

ඉතිං අම්මත් එවෙලේට මොකක් හරි උත්තරයක් දෙන්න ඇති. මතක නෑ දැං ඒවා. ආයේ මේකෙ ලියන්න කියලා අම්මගෙන් ඔය පහුගිය ලව් කේස් ගැන අහන්නයෑ. ඊටත් මගේ ලව් කේස් මට මතක නැතුව අම්මට මතක තියෙයිද?

ඔන්න ඉතිං ඔහොම යද්දී… ජුනි මාසේදී විතර වසුන්දරා පන්තියට එන්නේ නැතුව ගියා. හැබැයි හැමදාම ඉක්කෝලේ නම් එනවා. දැං අර වසුන්දරා ගැන සිහින මවං හිටිය කොල්ලට හරි අප්සට් මේක. ආයේ ඉතිං ටීචර්ගෙන් අහන්න කියලයෑ… ඉතිං කොලුවා උදේ අටේ ඉදන් එකොලහ මාර වෙනකල්ම වසුන්දරා ගැනම හිත හිත ඉන්න කොට… දවසක් ගෝල්ඩ් fish දැක්කා, වසුන්දරා දෙක වසරේ පන්තියේ ඉන්නවා. ඊට පස්සේ එදාම හවස ගෝල්ඩ් fish ගේ අම්මට, මේ වෙච්චි විනම්බෑසිය කිව්ව.

අම්මේ… අර වසුන්දරා, එයා දැන් දෙක වසරේ. අපේ පන්තියට ආවෙත් පරක්කු වෙලා. ඒ වුනාට එයා දැන් දෙක වසරට ගිහින්නේ….

ඉතිං පුතාට දුකයිද?

හ්ම්…. කියලා කටත් ඥාව් කරගෙන අම්මට තුරුළු වුනයි කියලා තමා අම්මා කියන්නේ. ඊට පස්සේ ඉතිං ගෝල්ඩ් fish කියන්න කලින් අම්මම අහනවලු වසුන්දරා ගැන. ඉතිං ගෝල්ඩ් fishත් කරන්නේ වසුන්දරාව දැක්කද නැද්ද කතා කලාද නැද්ද කියලා සේරොම විස්තර ටික කියලා දාන එකලු.අනේ ඉතිං ගෝල්ඩ් fishගේ අම්මට තේරුනාලු කොල්ලා අනිත් හැමෝම ගැන හිතනවට වැඩිය මේ වසුන්දරා ගැන හිතනවා කියලා. පස්සේ ඉතිං අම්මාත් අහෙං මෙහෙං හින්ට් පාස් කරන්න ගත්තලු.

දවසක් අම්මගේ යාළුවෙක් ඇහුවම… ආ පුතාට දැන් යාළුවෝ ගොඩක් ඇති නේද? කියලා… පුතාට කලින් අම්ම කියනවලු… ගොඩක් නම් නෑ නෙළුම්… වසුන්දරා කියලා දෙක වසරේ ගෑනු ළමයෙක් නම් ඉන්නවා කියලා…. අනේ පොඩි කොල්ලට වස ලැජ්ජාවලු. වෙලාවට අම්මා සාරිය ඇඳන් හිටියේ…. වහාම අම්මාගේ සාරී පොටෙන් කොල්ලා මූන වහගත්තලු. පස්සේ නෙළුම් ආන්ටි ගෝල්ඩ් fishව වඩාගෙන… ඈ කොල්ලෝ, වසුන්දරා ලස්සනයිද ඇහුවම… ඔන්න ආයේමත් කොල්ලගේ මුනේ නෙක නෙක පාටින් මල් පිපිලා… නිකං වයින් කරලා තිබ්බා වගේ…. වසුන්දරා ගැන කියවන්න ගත්තලු. ඉතිං නෙළුම් ආන්ටිත් තේරුම් ගත්තලු කොලුවා කොයි තරම් මේ වසුන්දරාට ලැදිද කියලා. පස්සේ ගෝල්ඩ් fish බිමින් තියලා… ආ… එහෙනම් හෙට වසුන්දරාව හම්බුනාම කියන්නකෝ නෙළුම් ආන්ටිත් වසුන්දරාව මතක් කලා කියන්න…. කියලා. ඒකටත් කොල්ලා බොහෝම සන්තෝසෙන් ඔළුව දෙපැත්තට වැනුවලු.

ඊට පස්සේ ගෝල්ඩ් fish දෙක වසරට පාස් වුනාම වසුන්දරා තුන වසරේ… ඔහොම ඉතිං ගෝල්ඩ් fish නවය දහය පන්ති වලට යනකම්ම ගෝල්ඩ් fish ට වැඩිය පන්තියක් ඉහලින් තමා වසුන්දරා හිටියේ. එක ව‍සරේ අග හරියෙදී කොල්ලොත් එක්ක ගැංසියට වැටුන නිසා වසුන්දරාව අමතක වෙලා ගියා. පස්සේ නවය වසරේදී දවසක් අම්මා කිව්ව එයාගේ පන්තියේ ළමයින්ට අපේ පුතාට ඉස්සර හිටියනේ වසුන්දරා කියලා ගෑනු ළමයෙක් කියලා. අම්මා ඒ දවස් වල මැහුම් උගන්නන චීච කෙනෙක්. ඊට පස්සේ ඒ ළමයි කිව්වා … ආ මිස්… වසුන්දරා දැන් අපේ පන්තියේ ඉන්නේ කියලා. පස්සේ අපේ අම්මා වසුන්දරාව අඳුරගෙන තිබුනා.

ඒ වෙනකොට ගෝල්ඩ් fish වසුන්දරාට කියන්නේ වසුන්දරා අක්කා කියලා. හරි ලස්සනයි, අහිංසකයි, කෙට්ටුයි, හරිම හොඳයි. ඉතිං අපේ අම්මත් වසුන්දරා අක්කා එක්ක ගොඩක් ෆිට් වුනා. පස්සේ දවසක් වසුන්දරා අක්කට අපේ අම්මා කියනවා… ඉස්සර ගෝල්ඩ් fish ඔයා ගැනමයි කතාව… කියලා. මම මොකක් හරි වැඩක් කර කර හිටියේ… එක පාරට ඩිම් වුනා මාව. මාත් ඉතිං වසුන්දරා දිහා බැළුවම… අපෝ මිස් ඉස්සර මෙයා හරී හොඳයි… හැම වෙලේම මාත් එක්ක කතාව. ඒකට දැන්… මුනවත් බලන්නේ නෑ… අර කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා… කියලා කියපි. අනේ සංසාරේ මටත් වෙන දේවල්. ඉතිං ඔන්න ආයෙමත් අපේ අම්මයි, වසුන්දරා අක්කයි කතාව. පස්සේ කොහොම හරි කතාව ඉවර වුනේ වසුන්දර අක්කාගේ පරන පොත් ටිකත් මට ගෙනත් දෙන්නම් කියලා තමා.

ඊට පස්සේ පොත් ටික ලැබුනා. අම්මෝ බලන්න එපැයි අකුරු ටික. මුතු කැට වගේ…. ඕනේ පොට්ටෙයෙකුට කියවන්න පුළුවන්. ඇස් පේන එකෙකුට නම් බත් දාගෙන කන්න පුළුවන්. පස්සේ වසුන්දරා අක්කා ආයෙමත් මාත් එක්ක කතාවට වැටුනා. පස්සේ එයා සාමාන්‍ය පෙල කරලා වෙන ස්කෝලේකට ගියාද කොහෙද… ඊට පස්සේ නම් මට අදවෙනකම් තාම  එයාව හොයාගන්න බැරිවුනා. බලන්න ඉතිං ගෝල්ඩ් fish ගේ පළමු යාළු ෆිට් එකට වෙච්ච දේ. මට තාමත් මූන මතකයි. ෆේස් බුක් එකෙත් බැළුවා. ඒත් නෑ… සමහර විට වෙන නමකින් ඉන්නවද දන්නේ නෑ… මොකද එයාගේ පොත් ටික මට හම්බුනාට, මේ ගොන් තඩියට මීටර් වුනේ නැහැනේ ඒකෙ තියෙන නම කියවලා මතක තියාගන්න. අනේ කව්රු හරි දන්නව නම් එයාව පොඩ්ඩක් කියන්ට ඈ…. එයාටත් කියන්න එයාගේ පළවෙනි යාළුවා එයාව හොයනවා කියලා… ඉස්සර වගේම යාළු ෆිට් එකට… කෝකටත් කියලා දවස් එකාමාරක් විතර නිවාඩු දාලා ආයෙමත් හොයලා බලන්න ඕනේ මගේ යාළු ෆිට් එක ඉන්නවද කියලා.

ඔන්න දැන් කොල්ලා හීන මවනවලු වසුන්දරාව ආයෙත් හම්බුවෙලා කතාකරන දේවල් ගැන…..

ඊයා අම්මේ, අර කෙල්ලට ලැජ්ජා නැද්ද මන්දා… මගේ යශෝධරා වත 11



මේ අතීත කතාන්දරයට මං කුමාරයා මුහුණ පෑවේ මගේ යශෝධරාව සුරම්‍ය මාලිගයේ වැඩ වාසය කරද්දී තමා. ඒ කාලේ යශෝධරාවයි මං කුමාරයයි දැන ඇඳුන ගෙන මාස කීපයයි. ඒත් ඉතිං යාළු මිතුරු කම උපරිමයි. මං කුමාරයත් හරි ආදරෙයි. යශෝධරාවත් එහෙමමයි.

ඉතිං ඔය යාළුකම උපරිමේට එද්දී අනිත් අයට වගේම මටත් සිද්ධ වුනා යශෝධරාව මගෙන් ඉඳලා හිටලා ඉල්ලන ලස්සන මූවි එකක්, සිංදුවක් වගේ දෙයක් ‍මේ ලෝකේ නැත්තං සක්‍රයාට කියලා මවලා හරි අරගෙන යන්න. නැත්තං ඉතිං යශෝධරාවගේ පුංචි හිතට හොඳ නෑ. ඊළඟට මම එයාලගේ මාලිගයට එන දවස වෙනකම් යශෝධරාව ඇඟිලි ගැන ගැන ඉන්නේ. එයා දන්නවා එයා ඉල්ලන ‍හැම දෙයක්ම වගේ මම හොයලා ගෙනත් දෙනවා කියලා. සිංදුවක් ඉල්ලුවොත් ඒ සිංදුව තියෙන ඇල්බම් එකම ගිහින් දෙනවා. ඉතිං මේ කියන දවසෙත් මගෙන් එහෙම ඉල්ලපු දෙයක් ගේනකම් තමා එයා බලාගෙන හිටියේ…

එදා මං කුමාරයට ගෙනියන්න නියමිත වෙලා තිබුනේ කබි අල් විදා නා කෙහෙනා මූවි එක. ඒත් මං කුමාරයගේ පෙර අකුසල කර්මයක් නිසා, අවට රාජධානි හය හතකම තිබුන සීඩී සෙන්ටර් වල ඒ මූවි එක නෑ. ඒ දවස් වල ඉතිං අන්තර් ජාලේ භාවිතය මේ තරම්ම නැහැනේ. ඒක නිසා මං කුමාරයාට, යශෝධරාව බැහැදකින්න යන්න වුනේ… යශෝධරාව මට පවරපු කාර්යය ඉෂ්ට සිද්ධ කොරගන්න බැරුව හිස් අතින්ම තමා. ඒත් ඉතිං යශෝධරාවට අර ඕකේ කියන කේක් එකක් ගෙනිච්චා නම් සියළු හිත් අමනාප කම් දුරුවෙනවා. ඒක මං කුමරයා අත්දැකීමෙන් දන්න නිසා එකට දෙකක්ම අරගෙන ගියා.

ඊට පස්සේ ඉතිං යශෝධරාවගේ මව්තුමියගේ දෙවන බස පංතිය ඉවර වෙනකම්ම පුංචි යශෝධරා පැටික්ක, දොර උලුවස්සේ එල්ලී ගෙන බලාගෙන ඉන්නවා මං කුමාරයා දිහා. මං කුමාරයා රජ වෙලා හිටියනම් එහෙම,… ඇත්තමයි පන්තිය කැන්සල් කරලා දාලා යශෝධරා වස්තුව ගාවට යන එක එක යනවා. කොහෙද ඉතිං තාම ඔටුනු පලඳලා නැහැනේ. ඒක නිසා යශෝධරාවගේ මවුතුමියගේ සුවච කීකරු ගෝලයා විදියට ඉන්න වුනා. පස්සේ කොහොම හරි පන්තිය ඉවර වුන ගමන්ම දුවගෙන ඇවිත්… මේ මොට්ටස්, අරක ගෙනාවද? කියලා මං කුමාරයගෙන් අහගෙන මවුතුමියගේ අතේ එල්ලුනා. අනිවා එදත් නඩුවක් සෙට් වුනා. ඇයි ඉතිං ඉල්ලපු දේ නැහැනේ…. ඔන්න දැං ඉතිං යශෝධරාව නහයෙන් අඩනවා. අනේ අම්මේ… බලන්නකෝ මෙයා ෆිල්ම් එක අරං ඇවිත් නැහැනේ…. හරි සාක්ෂි කැඳවීමේ වාරය තමා දැන්. ඇයි පුතේ ගෙනාවේ නැත්තේ අමතක වුනාද? ඔය පටන් ගත්තේ නඩු කාරයාගේ කොටස. නෑ… මිස්… වීසීඩී සෙන්ටර් වල ඒ ෆිල්ම් එක තිබුනේ නෑ ඒකයි. මං හැම තැනම බැළුවා.

අනේ… බෑ… මට කොහෙන් හරි හොයලා ඕනේ…. ආයෙමත් යශෝධරාව හුරතල් වෙනවා. දැං ඉතිං මං කුමාරයටත් මාර අප්සට්. ඒත් ඉතිං මං කුමාරයා අහවල් එකක් කරන්න‍යෑ? පස්සේ… අනේ මැණික, මං හැමතැනම බැළුවා පැටියෝ, තිබුනේ නෑනේ… කියලා කිව්වම මේ කෙල්ල මගේ දිහා බොහෝම ආදරෙන්, ඇස් දෙකේ පැණි පුරෝගෙන බලාගෙන ඉන්නවා. මං කුමාරයා යශෝධරාවගෙන් ඒ තරම් කාලයකට ඒ වගේ ආදර බැල්මක් ලබලා නෑ. ඉතිං මේකට හේතුව කල්පනා කොරද්දී මං කුමාරයගේ ප්‍රඥාවට මීටර් වුනා,… ‍මං මීට කලින් කවදාවත් යශෝධරාවට මැණික කියලා කතාකරලා නැහැ නේද කියලා. ඇත්තටම මං ඒක කිවුවා නෙමේ කියවුනා.

පස්සේ ඉතිං මං අරගෙන ගිය කේක් දෙක දුන්නා. ඊට පස්සේ … හ්ම් … කමක් නෑ. අනේ ඒක කොහෙන් හරි හොයලා දෙන්න හොඳද… කියලා කේක් දෙක උදුරගෙන සැටියට වෙලා තනියම වළඳවනවා. මං කුමාරයා වැඩියෙන්ම ආසා යශෝධරාව කෑම කන දිහා බලාගෙන ඉන්න. පුංචි ඇස් දෙක ටීවී එකේ තියාගෙන, රත්තරන් පාට කන් දෙක වටේට කළු කොන්ඩ කෑල්ලකුත් පටලවගෙන, රෝස පාට තොල් තද කරගෙන කෑම හපන කොට හරි ලස්සනයි. ඔහොම බලන් ඉද්දී… මොකෝ පෙරේතයා වගේ බලන් ඉන්නේ..? ආහ්…නෑ… නෑ… මිනිස්සුන්ට පෙ‍රේතයා කියන්න හොඳ නෑ… කියලා මොනාදෝ මන්දා පඩි ටෝක් වගේකුත් දාලා ටීවී එක බලනවා.

පස්සේ මං කුමාරයාගෙන් අහනවා … තාත්ත ගෙනාපු ටයිටැනික් තියෙනවා බලමුද කියලා. මාත් ඒ වෙද්දී ටයිටැනික් ඒ තරම්ම හොඳට බලලා තිබුනේ නෑ… ඉතිං මාත් හා කිව්වා… ඔන්න  ඉතිං අර රිමෝට් කන්‍‍ට්‍රෝල් එක කැඩුන හද්ද පරන ටීවී එකට වීසීඩී ප්ලේයර් එක සෙට් කරලා, යශෝධරාවම ගිහින් සීඩී එකත් දාලා ඇවිත්, මව්තුමියගේ උකුලට පැන්නා. දන්න‍වනේ ඉතිං ටයිටැනික් ගැන… හරී හොඳ ෆිල්ම් එකක්නේ… ඉතිං අනවශ්‍ය තැන් ස්කිප් කර කර බලනවා.

මෙන්න එනවා රෝස්ගේ නග්න රූපේ ජැක් චිත්‍රයට නගන සීන් එක. මල හත්තිලව්වයි… ඒ කෑල්ල ස්කිප් කරන්න රි‍මෝට් එක වැඩකරන්නේ නෑ. දැන් ඉතිං කෙලපංකෝ… යශෝධරාවත් දන්න සිල්ප ඔක්කොම දානවා, රිමෝට් එක හදාගන්න… ම්හු.. හරියන්නේ නෑ… දැන් ඉතිං මං කුමාරයා කට ඇරගෙන ටීවී එක දිහා බලාගෙන ඉන්නවා දැකපු මව්තුමිය අහක බලාගත්තා… යශෝධරාව, ඊළඟට වෙනදේ ගැන කුතුහලෙන් ඉන්නවා. ඔන්න එක පාරට රෝස් ඇවිත් අර ඇඳගෙන ඉන්න කළුපාට ඇදුම හලනවා… බඩුම තමා… යශෝධරාවට ලැජ්ජාවේ… ඊයා අම්මේ, අර කෙල්ලට ලැජ්ජා නැද්ද මන්දා… කියලා කියද්දීම කරන්ට් එක ගියා. යන්තං තුන් දෙනාගෙහ ඇඟට ලේ ටිකක් ඉනුවා. නැත්තං ඉතිං කොහොමද එකිනෙකා මූන බලන්නේ… ඔය වගේ ෆිල්ම් එකක් බලලා.

පස්සේ යශෝධරාව නැගිටලා ගිහින්, පිය තුමාට බැන බැන සීඩී එක අරං තිබුන තැනින් තියලා මගේ ගාවට ඇවිත් බලාගෙන ඉන්නවා. මං කුමාරය එවෙලේ තිගැස්සමකට බඳුන් වෙලා හිටයේ. ඇයි ඉතිං හොරෙන් හොරෙන් බැළුවට මේ විදියට බලන්න හිතුවේ කවද්ද? මොකෝ බය වෙලා වගේ… අම්මේ මේ… මෙයාට දාඩියත් දාලා.

එතකොට තමා මටත් තේරුනේ මට දාඩිය දාලා කියලා. පස්සේ මවු තුමිය නැගිටලා ගියා, ඉන්න මං තේ ටිකක් හදාගෙන එන්නම් කියලා. යශෝධරාවත් සිරියහන් ගැබට දිව්වා. පස්සේ මම තනිවුනාම තමා මතක් වුනේ… ටීවී විසි ගානකට වැඩ කරන රිමෝට් එකක් තියෙන ඔරලෝසුවත් මගේ අතේ නේද බොල කියලා. මං කුමාරයාගේ කරුමෙට ඒක අර වෙලාවේ මීටර් වුනේ නෑනේ. ඊට පස්සේ යශෝධරාවට මං කියන්න ගියෙත් නැහැ ඒක. මොකද නැත්තං යශෝධරාව හිතයි මං කුමාරයා මහ වලත්තයෙක් කියලා. ඒක නිසා කටපියාගෙනම හිටියා.

පස්සේ මං යශෝධරාවගේ මාලිගයෙන් පිටවෙලා එද්දී… අනේ … අඟහරුවාදාට අරක ගේන්න…කියලා කෑගහලා කියනවා ගෙයි උළුවස්ස ගාවට වෙලා. ඊට පස්සේ දවසේ නම් මං කුමාරයා ඉල්ලීම ඉෂ්ට කරා.

ඉතිං ඔන්න යශෝධරාව තමා මං කුමාරයාව නරක් කලේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි පෙන්නලා.

ආච්චි මට කජු පුහුලම් ඕනේ…



හැමදාමත් වගේ මේ වතාවෙත්, තැඹිලි පාට බොරළු පාර ඊයේ වැහැපු වැස්සට හොඳටම මඩ වෙලා. තැන් තැන් වල පුංචි පුංචි මඩ කඩති පිරිලා. හරියට නිකං චොකලට් වගේ. මාස ගානක් තිස්සේ දූවිල්ලෙන් දුඹුරු පාට වෙලා තිබ්බ ගස් වැල් ඔක්කොම කොල පාට වෙලා… තාත්තේ… තාත්තේ… අර කජු පුහුලමක්…. අනේ මට ඒක කඩලා දෙන්නකෝ…. ඉන්නකෝ ආච්චිලාගේ ගෙදරට යනකං, ආච්චි දැන් කජු පුහුලං කඩලා ලුණුයි මිරිසුයි දාලා හදලා ඇති. හා… ලා කොල පාට, තද කොල පාට … පාර දෙපැත්තෙම ලස්සන ලස්සන ගස් වැවිලා තියෙන තැඹිලි පාට ගුරු පාර දිගේ කන්දක් හෙම නැගලා ගිහින් ඊළඟට හම්බුවෙන පල්ලමේ තියෙන තුන්මං හන්දිය ගාව ආයෙත් මඩ වලක්. තාත්තේ මේකේ මාලු ඉන්නවද? නැහැනේ පුතේ‍‍‍… ඕකේ කොහෙන්ද මාලු? අයියෝ මං තාත්තගෙන් ප්‍රශ්නයක් ඇහුවම, තාත්ත ආයෙම මගෙන් ප්‍රශ්නයක් අහනව‍… මම කෝමද ඔවට උත්තර දෙන්නේ… මං චූටියිනේ…. ඊට පස්සේ ඒ මඩ වලත් පාස් කරලා යද්දී ඈත තියාම පේනවා ලස්සන කහපාට රුක්අත්තන මල් පඳුරක්. ඒ මල් පඳුරේ හැමදාමත් අපි ආච්චිව බලන්න එන කාලෙට කහ පාට මල් හැදෙනවා. අනිත් දවස් වලටත් එහෙමද දන්නේ නෑ? හා … හා… බලාගෙන දුවන්නේ… වැටෙයි කොල්ලෝ…. අනේ අම්මා ඉන්න…. මට දැන් වැටෙන්නේ නැතුව දුවන්න පුළුවන්… මං හැමදාමත් ආච්චිලාගේ ගේ අඳුන ගන්නේ කහ පාට රුක්අත්තන මල් පඳුරෙන්. ඒ මල් පඳුරෙන් එන සුවඳ මල් පඳුර පේන්න ගන්න කොටම නහයට දැනෙනවා. ඊට පස්සේ මීටර් 50ක් විතර දුරක් අඩියට දෙකට දුවලා යනවා. ඊට පස්සේ දුවන ගමන් පාර දෙපැත්තේ තියෙන ගස් ටික ඔක්කොම අතගා‍ගෙන, හරියට ප්ලේන් එකක් අහසේ යද්දී ඒක වටේ තියෙන වලාකුල් තටු වල වැදෙනවා වගේ….කෙලින්ම ගිහින් නවතින්නේ… ආච්චියි, පුංචියි ඉන්න මං ආසාම… ආසම….මැටි ගෙදර. ආච්චී….. ආ… පුංචි සූටි පැටියා ඇවිල්ලා…. එන්න මැණික… අම්මලා මගද තාම? ඔව්… ආච්චි මට කජු පුහුලම් ඕනේ… හ්ම්… පුංචි හදලා තියෙන්නේ… වෙන ඇදුමක් දාගෙන කමු. නැත්තං පුතාගේ ෂෝයි ඇඳුම් වල කහට පැල්ලම් ගෑවෙනවනේ…. හා…. ආච්චියි, පුංචියි මං එනවා කියලා දැනගත්තම කජු පුහුලම් හදලා තියෙනවා හැමදාමත්. අපේ අම්මටයි තාත්තටයි වැඩිය හොඳට ඒ දෙන්නා ‍දන්නවා මං කජු පුහුලම් වලට කොයි තරම් පෙරේතද කියලා… ආච්චිලාගේ වත්තේ‍‍‍‍‍…ගේ ඉස්සරහ තියෙනවා ලොකූ මදටිය ගහක්. ඒකෙන් වැටුන පුංචි පුංචි තැඹිලි පාට මදටිය ඇට අහුලලා, ඒවායින් සාක්කු පුරෝගන්න එක තමා ම‍ගේ ඊළඟ රාජකාරිය. ඔන්න ඊට පස්සේ අම්මයි තාත්තයි ආච්චි එක්ක කතා කරලා එහෙම ඉවර වුනාම, මට කතාකරනවා පුහුලම් කන්න. මං ඉතිං ඒ වෙලාවට මොන වැඩේ කර කර හිටියත් කරන වැඩේ පැත්තක දාලා ‍බෲම්… ගාගෙන ගිහින් නවතින්නේ ආච්චිගේ ඔඩොක්කුවේ. ආ… මෙන්න, ගොඩක් කන්නේ එහෙම නෑ, කැස්ස හැදෙනවා. හරි… හරි… ආච්චි ඉන්නකෝ…. කියලා මාත් ඇරලා දානවා. ආයේ ඉතිං ගොඩක් කන්න එපා නම් මෙච්චර ගොඩක් හැදුවේ මොකටද කියලා අහන්න හිතුනට අහන්න බෑ නොවැ. කටේ පුහුලම්නේ… ඉතිං ඒක ගිලලා ඉවර වෙලා අහනවා කියලා හිතුවට, ඒක කාලා ඉවර වෙද්දී තව කෑල්ලක් කටේ… කොහොම හරි පුංචි බන්ඩිය පිරිලා ඉස්මුරුත්තාවට එනකම්ම කජු පුහුලම් කාලා තමා ආච්චිගේ ඔඩොක්කුවෙන් නැගිටින්නේ. එතකොට ඉතිං නිදි මතයි. පස්සේ ආච්චි මාව වත්තම් කරගෙන ගිහිං අපිට නිදා ගන්න ලෑස්ති කරලා තියෙන කොහු මෙට්ටෙට මාව නග්ගනවා. අම්බෝ ඒක සුවඳ. හරි අමුතු සුවඳක්. කොහු වලයි, රබර් වලයි එකතුවක් වගේ. ඊට පස්සේ මං හැමදාමත් නැගිටිද්දී වහිනවා. මාර සීතලයි. හරියට නුවර ගිහින් වගේ. පොල් අතු වහලෙන් පුංචි පුංචි වතුර බිංදු ඇඟට වැටෙද්දී ඇඟ සීතලට වෙවුලලා යනවා. ඒ මදිවට, ලෑලි ජනෙල් අස්සෙන් එන හිරිකඩ. හරියට නිකං මාව පිළිගන්න පොරකනවා වගේ. ඉතිං මම ඇහැ ඇරලා වටපිට බලන කොට මගේ එක අතක් වදිනවා කාගෙහරි ඇඟක. ආව් …. ෂප්පා… තාත්තා… ආයෙ ඉතිං තාත්තව තුරුල් කරන් නිදි. තාත්තත් මගේ ඇඟ උඩින් අත දාගෙන මාව උනුසුමට තුරුල් කරගන්නවා. ඊට පස්සේ ආච්චි කතා කරනවා. දැන් නැගිටපං චූටි නිදිමත කොල්ලෝ… දැන් වෙලාව පහමාරත් පහුයි. අන්න පොඩි මාමලත් බලන් ඉන්නවා… මංජු අයියත් ඇහුවා මල්ලී ආවද කියලා… හොඳ පැටියා වගේ පොඩි මාමාවත් බලලා එන්න තාත්ත එක්ක ගිහින්. අන්න අම්මනම් ගියා…. හැමෝම තමන්ගේ ගම ගැන කියද්දී ගෝල්ඩ් fish විතරක් කට පියන් ඉන්නේ කොහොමද? ගෝල්ඩ් fish ‍ගේ ගම තමා ලෝකේ ලස්සනම ගම. එහේ තියෙන ලස්සන වෙන කොහෙවත් නැහැ.ඉතිං මේ කියන්නේ මගේ ගම ගැන. මං අදටත් ආසාම… ආසම ලස්සනම තැන ගැන.

දිය කෙළින්න අපිට තහනම්ද…?


 

මේක නම් ගෝල්ඩ් fish ලියන්නේ ලොකු කණගාටුවකුත් ඔළුවේ හිර කරගෙන. මං ගැන නම් නෙවෙයි, අපේ රටේ පොලිසිය ගැන. මේ සිද්ධිය මටම වුන එකක්‍. කවදාවත් කිසිම අපත වැඩකට පොලිසි නොගිය මට සාමාකාමී විදියට විනෝද වෙන්න ගිහින් තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක පැය 3ක් විතර පොලිසියේ ලගින්න වුනා. ගෝල්ඩ් fish මේ සිද්ධියට මුහුණ දීලා හරියටම මාස හයක් විතර වෙනවා. ඉතිං මේකයි සීන් එක. අපි හැමෝම වගේ කැමතියිනේ, හැමදාම ගෙදර ෂවර් එක ඇරලා ඔලුවා අල්ලලා නානවට වැඩිය… ටිකක් වතුරේ බැහැලා, දඟලලා… පීනලා… එහෙම ජොලියේ නාන්න. ඉතිං මේ වැඩේට කියාපු තැනක් තියෙනවා, වාද්දුව, ගෝනදුවේ පන්සල ගාවින් ඇතුලට ගියාම. ඒ ස්ථානයට ඒ පැත්තේ අය නම් කියන්නේ දික්වැල්ල කියලා. බන්ඩාරගම පාරෙන් හැරිලා කිලෝමීටර් තුන හතරක් යද්දී තමා ප්ලේස් එක හම්බුවෙන්නේ. ගෝල්ඩ් fish මෙතෙන්ට මුලින්ම යද්දී ගියේ… අඩි 10ක් විතර උස තාප්පෙක ලොකුවට, මිනිහෙකුට යන්න පුළුවන් තරම් වෙන්න හදපු ලොකු ඉඩකින් තමා. ඒ පළවෙනි පාර. ඔය විදියට තුන් හතර පාරක් යන්න ඇති. ඇත්තම කියන්න ඒ ඉඩම වෙන කෙනෙකුට අයිති ඉඩමක්. එක ඉඩමක් නෙවේ ඉඩම් යායක්. අර නාන්න සෙට් වෙන්නේ ‍බොල්ගොඩ ග‍ඟේ වතුර රැස්වෙන තැනක්. වතුර ටිකත් හරිම පිරිසිදුයි. කිසිම අවුලක් නැතුව ඔළුවෙන් උඩට වතුර තියෙන හරියට උනත්, පතුල බල බල යන්න පුළුවන්. ඒ තරමට වතුර පිරිසිදුයි. ඒ වගේම, ඔය ගෝල්ඩ් fish ගියා වගේ තවත් අනවස‍රයෙන් කට්ටිය එනවා එතෙන්ට. එන්නේ තම තමන්ගේ ළමයි අරගෙන, නෑදෑයෝ එක්ක එහෙම තමා. එතෙන ඇත්තටම ලස්සන තැනක්. අපි ගෝනදූවෙන් ගිහින් ඒ ජලාශයට බැස්සම එහා පැත්තේ ඉවුරේ පේන්නේ පානදුරේ තොටුපලක්. මට ඒකෙ නම නම් හරියට මතක නෑ. ඉතින් අපි කීපසරයක්ම ඔය වගේ එතෙන්ට ගියා. ඒත් කවදාවත් අරක්කු වගේ දේවල් නම් ගෙනිච්චේ නෑ. ඒත් එතෙන්ට එන අනිත් හැම කෙනෙක්ගෙම අතේ බෝතලයක් නම් වැරදුනේ නැහැ. ඉතිං ගෝල්ඩ් fishත් තවත් යාළුවෙකුත් ඊට පස්සේ දවසක යද්දී, තාප්පේ තිබුන ලොකු සිදුර වහලා දාලා. ඉතිං අපිට යන්න විදියක් නැහැ. ඒ පාර කරේ අර අඩි 10 ක් විතර උස තාප්පෙට බයිසිකල් තියලා නැගලා, එක්කෙනෙක් තාප්පෙ උඩ ඉඳන් සයිකල් අරගෙන එහා පැත්තට දානවා. පස්සේ අනිත් කෙනා පොල්පිත්තක් තියලා නගිනවා. ඉතිං ඒ තරම් කට්ට කාගෙන අපි ගියේ ඇත්තටම එතෙන තිබුන සුන්දරත්වයට අපි වශි වෙලා හිටිය නිසා. ඊට පස්සේ අපි තවත් මාස දෙකකින් විතර යද්දීත්… යන්න වුනේ අර විදියටම තමා. ඒ පාර නම් අපි තුන් දෙනෙක් හිටියා. ඉතින් ඒ පාර බයිසිකල් තාප්පෙට උඩින් ගන්න එක ඒ හැටි දෙයක් වුනේ නැහැ. පස්සේ ඉතිං අපි ගිහිල්ලා… පැයක් විතර ජොලියේ වතුරේ දඟල දඟලා ඉද්දී තවත් සෙට් එකක් ආවා. උන්ටත් මාර ෆන්. ඒ අය නම් ඇවිල්ලා අර කලින් කිව්වත් වගේ පොඩ්ඩක් අනුමත වෙලා එහෙම තමා… ක්‍රීඩාවට වැටුනේ. ඊට පස්සේ අපි ටිකක් ගොඩට වෙලා උන්ගේ විකාර බල බල ඉද්දී… අපි ඉන්න ඉඩමට ඇතුළුවෙන්න තියෙන ගේට්ටුව ඇරගෙන මෙන්න ‍බොල එනවා පොලිස් ජීප් එකක්. ඇවිල්ලා කාලකන්නි ටිකක් බැස්සා. උන් කිව්වා‍‍‍… හා දැන් ඉතිං යමල්ලා පොලිසියට, දාගන්නවා බයිසිකල් ටික ජීප් එකට කියලා. අපි කවුරුවත් කිසි දෙයක් කිව්වේ නෑ. මොකද අපි ඉන්නේ අනුන්ගේ ඉඩමක. කරලා තියෙන්නේ වැරැද්දක්. ඒක නිසා ඉතිං කටවල් පියාගෙන ඉන්න වුනා. ඒත් කවදාවත් පොලිසි ගානේ රස්තියාදු වෙලා නොතිබ්බ අපිට මේක හරිම ප්‍රශ්නයක්. පස්සේ අපේ බයිසිකල් තුනයි, අර අනිත් අයගේ සයිකලුයි ජීප් එකට දාගෙන සැමන් වගේ පැක් වෙලා ගියා පොලිසියට. පස්සේ එතෙන්ට ගියාම අපිට ඉඳගන්නවත් තැනක් නෑ. ඔක්කොමලා හිටගෙන. කිසිම ප්‍රශ්නයක් නෑ… අපිට, නඩුවේ තීන්දුව දීලා කරන දෙයක් කරානම්. ඒත් OIC කාරයා පොලිස් ලැගුම් හලේ දවල් කෑම ගන්නවලු. ඉතිං ඌ කෑම කනකන් අපි ඉවසන් හිටියා… පස්සේ පැය දෙකකට විතර පස්සේ ආයේ තව ගම්බට්ටෙක් ඇවිත් කියනවා… මහත්තයා නිදි, තව ටික්ක ඔහොම ඉන්නවලා… කියලා… ඇත්තමයි එවෙලේ ආපු කේන්තියට, ඒක පොලිසිය නෙවේනම්, ගම් බට්ටයි, අනිත් එවුනුයි ඔක්කොමලා ටිකට මොනා වෙයිද කියලා හිතන්න වත් බෑ. අපිත් එක්ක අල්ලගෙන ආපු අනිත් සෙට් එ‍ක පොලිසිය අවටම වුන්. ඉතිං උන්ගේ ගෙවල් වලින් ඇවිල්ලා එහෙම හිටියා. ඒත් ඉතිං අපිට එන්න එකෙක් නෑ. අපි ගෙවල් වලට කියලා, අවසර අරගෙන තමා ගියේ. ඒත් මේ වෙච්ච දේ අපිට කියන්න පුළුවන් කමක් නෑ. පස්සේ මාත් එක්ක ගිය එක යාළුවෙක්ගේ දන්න කියන කෙනෙක් ඉන්නවා ‍වෙන පොලිසියක. එයා මේ පොලිසියේ ලොක්කට වැඩිය ලොක්කෙක්. ඉතිං මගේ යාලූවා කතා කරලා සීන් එක කිව්වම, වැඩේ ගොඩ දාලා දෙන්නම් කියලා කිව්වා. කිව්වා වගේම වැඩේ ගොඩ. මෙච්චර වෙලා කිව්වේ කතාවේ නිමිත්ත. දැන් තමා හිත රිදුන හරිය එන්නේ. ඇත්තටම ස්වභාව දහමෙන් අපිට අයිති කරලා තියෙන දේවල් තාප්ප ගහලා… කම්බි ගහලා වෙන් කර ගත්තම හරිද? ඒවා සල්ලි කාරයෝ විතරක් භුක්ති වින්දම හරිද? අපිට ඉඩම් යායවල් ගන්න සල්ලී නැහැ. ඒත් අර වගේ කාලකන්නි ඒවා අරගෙන තාප්ප ගහලා කොටු කරගත්තම, අපි වගේ එවුන්ට වෙන්නේ හැම දාමත් ෂවර් එකට ඔළුව අල්ලලා නාගන්න තමා. ඇත්තටම එදා වුනේ ඉඩම අයිති කාරයාගේ සල්ලි වලට අර පොලිසියේ ලොක්කා ඔළුව නවපු එක. ඒ මේ ඇස් දෙක පනාපිටම දැක්කා. දාහේ කොල දහයක් විතර ලොක්කගේ මේසේ උඩට වැටෙන හැටි. ඉතිං ‍මේ වගේ ලස්සන රටක අපි ඉපදුනාට මට නම් හිතෙන්නේ අපි මහ පව්කාරයෝ කියලයි. මොකද අපිට අපේ පාඩුවේ ස්වභාව ධර්මය විඳගන්න නොදෙන්න තරම් මේ රටේ කාලකන්නි සල්ලි කාරයන්ට පොලිසියත් යටවෙලා. ඉතිං දැන් ගෝල්ඩ් fish ඇතුළු වතුරේ නටන්න කැමති වුන්ට වෙලා තියෙන්නේ පැයකට රුපියල් 150 ක් දීලා… පීනුම් තටාකෙක නාන්න තමා. ඒත් කවදාවත් අර ස්ථානයෙන් ලැබුන සැනසුම නම් හම්බුවෙන්නේ නෑ. මම දන්නේ නෑ මේ වගේ දේවල් ගැන කාටද කියන්න ඕනේ කියලා, ඉතිං හැමෝටම දැනගන්න ලියලා දැම්මා. ඊටත් කාට කිව්වත් වැඩකුත් නැතිවෙයි, අර ජරා මිනිස්සු ඇවිත් සල්ලි මිටි විසි කරද්දී… ආයෙමත් අපිට පොලිසිගානේ යන්න වෙයි.

පොඩ්ඩා ලොක්කා වෙන්න යන මගේ මාළු ටැංකිය….



මේක නම් ඇත්තම ඇත්ත මාළු ටැංකියක් ගැන. මේක හතරැස්, අටපට්ටම් ව‍ගේ ටැංකියක් නෙවේ. ෆිෂ් බෝල් කියලා හඳුන්නන රවුම් හැඩති මාළු ටැංකියක්. මේක පිහිටලා තියෙන්නේ ගෝල්ඩ් fish ගේ ගෙදර, උගේ කාමරේ මේසෙ උඩ අනිත් ලට්ට පට්ට එක්කම තමා.

ඉතිං මේකනේ සීන් එක, ඔය ටැංකිය මං අරගෙන දැන් අවුරුද්දක් විතර වෙනවා. මුලින්ම දැම්මේ ලස්සන ගෝල්ඩ් ෆිෂ් ‍ජෝඩුවක්. පස්සේ ප්ලැටිනම් ඒන්ජල් ‍ජෝඩුවක්. ඔය විදියට හැත්තෑ පස් පාරකට විතර මාළු මාරුකරා… මොකද උන්ට ඒකේ ජීවත් වෙන්න පහසුකම් වැඩි නිසා, හැම එකාම සතියෙන් දෙකෙන් වල කජ්ජ ගහනවා. ඒ පාර, ගෝල්ඩ් fish කරේ එකේ ඉතුරු වෙලා හිටිය කහයි කළුයි ඒන්ජල් දෙන්නව ගෙයි පිටිපස්සේ තියෙන බැකප් ටැංකියට දාලා… ගෙනාව එලකිරිස් වගේ මොලී ජෝඩුවක්. දෙන්නම මාර ලස්සනයි. තැඹිලි පාටයි. මාර ගති. ඉතිං උන් දෙන්නට මද කිපිලා නිසා, අඹු සැමියෝ වගේ ජීවත් වෙන්න ඕන කියපු නිසා, ඒ වැඩ ටික අපිට නොපෙනෙන්න කරගන්න කියලා තරමක කොට කෑල්ලකුත් ගෙනත් දැම්මා. තව, හයිඩ්‍රිල්ලා ගහකුත් දැම්මා. දැං ඉතිං ඔය ගස් අස්සේ රිංග රිංග මල් කඩ කඩ (නිකං විහාරමහා දේවී පාක් එකේ වගේ), ආතල් ‍එකේ දෙන්නට අඹු සැමියෝ වගේ ඉන්න බැරියේ.

ඉතිං එහෙම ඉද්දී මොකද්ද මන්දා සීන් එකක් වෙලා තව පුංචි පුංචි පැටවු එහෙමත් ඉපදෙනවනේ. ඉතිං ගෝල්ඩ් fishත් සෑහෙන හෝප්ස් තියාගෙන උදේට හවසට කෑම දදා, ඔක්සිජනුත් ගානට දීගෙන සති දෙකක් විතර බලාගෙන හිටියා… මොලී මාලීගේ බඩ පිම්බිලා එනකම්, පොඩි එකෙක්ගේ මූන බලන්න හිතාගෙන… ම්හු… තාම නෑ…. ඊට පස්සේ තව සතියක් විතර බැළුවා… ඒත් නැහැ. මං හිතන්නේ තාම දෙන්න බැන්දා විතරනේ… ඒක නිසා ෆන් එකේ ඇති. අනිත් ඒවට තව කල් තියෙනවා කියලා හිතාගෙන. පස්සේ ඉතිං මාළු ටැංකියටම මාළු දෙන්නෙක් තියාගෙන මම අහවල් එකක් කොරන්නැයි.

ඊට පස්සෙන්දාම හාෆ් ඩේ දාලා ඔෆිස් එකෙන් ඇවිත්, මාළු ගන්න ගියා තව මල්ලී කෙනෙකුත් එක්ක. මිනිහා මට වැඩිය මාළු ගැන දන්නවා. දන්නවා කිව්වට අහගෙන යද්දී දන්න රෙද්දකුත් නැහැ. පස්සේ මම ඒ කාලේ ඉඳන්ම මාළු ගෙනාපු තැනින්… ගෙනාව තව තැඹිලි පාට මොලී ජෝඩුවකුයි, සුදු පාට මොලී ජෝඩුවකුයි.

පස්සේ මෙන්න අළුතෙන් ගෙනාපු මාළු ටික දැම්මා ටැංකියට. දැම්මා විතරයි පටන් ගත්තේ නැතෑ යුද්දෙ. අළුත් එවුන්ට පරන එවුන් කොටනවා. මාර කේස් එක. කෝකටත් කියලා බැකප් ටැංකියත් රෙඩි කර‍ගෙන හිටියා. ‍යුද්දෙ දිගටම තිබුනොත් එහෙම කට්ටියව වෙන් කරන්න බලාගෙන. ඊට පස්සේ ටික වෙලාවකින් කට්ටිම අතට අත දීලා, ගෑනු මාලියෝ ටික උම්මා දීගෙන එහෙම සාමදාන වුනා. ඊට පස්සේ මාලූ හයදෙනා සැරින් සැරේට එහාට පනිනවා මෙහාට පනිනවා. මොකක් හරි සීන් එකක් තියෙනවා. පස්සේ මං ටිකක් කිට්ටු කරලා බැලූවා. වෙනසක් පේන්න නැහැ. මම අළුත් මාළු හතර දෙනා ගේනකොට තව පාසි පැලයකුත් ගෙනාව. ඒකත් රුපියල් 15ක්ද කොහොද… ඉතිං ටිකක් ඈතට වෙලා ආයෙත් බලං උන්නා. ඇත්තටම හරිම කූල් ගතියෙක් දැනෙනවා හිතට.

ඊට පස්සේ එක පාරටම කූල් වෙච්ච හිත, රත් වෙන්න ගත්තේ ආයෙමත් මාළු ටික දඟලන්න ගත්ත නිසා. ඉතිං කලින් පාරට වැඩිය හොඳට බලන් හිටියා ටිකක් වෙලා. මෙන්න බොල එක පාරටම අර අළුතෙන් ගෙනත් දාපු ගහ අස්සේ ඉඳන් හතුරා එනවා එලියට… ඇවිත් කොට කෑල්ල යටින් රිංගලා ගිහින්… ‍මාලූ ටිකට ෂොට් එක දීලා.. ආයෙත් කොට කෑල්ලයි, ගහ අතරයි හැංගෙනවා. හතුරා තමා තව පුංචි මොලී පැටියෙක්. අර මාත් එක්ක මාළු ගේන්න ගිය පොඩි එකා තමා මට ඕන මාළු ටික අල්ලලා, බෑග් එකට දැම්මේ… ඒ ගමන්ම ඌ පොඩි පැටියෙක්වත් අල්ලලා දාලා.

ඉතිං ඌ තමා ලොකු මාළු හය දෙනාට ඇටෑක් කරන්නේ. ඇටෑක් එක දුන්නා, ගිහින් හැංගුනා. ගරිල්ලා සීන් එකක් තමා යන්නේ. පස්සේ මං තව ටිකක් වෙලා බලන් හිටියා. මුගේ ඇටෑක් එක දෙන්නේ වෙලාවක් කලාවක් නැතුව. වෙලාවකට අනිත් උන් එක්ක සිංදු කිය කිය ආතල් එකේ ඉන්නවා. ඊට පස්සේ බලද්දී එලෝ එලෝ කොටනව. මට පේනනේ මේ පොඩි එකා මොලී බුද්ධි අංශෙ වෙන්න ඕනෙ. ඒත් සන්නිවේදන උපකරන නම් මුකුත් නෑ… ඌට තියෙන එක බේරිල්ල තමා අර කොට කෑල්ල. ඒක අස්සට වෙන මාළු රිංගන්නේ නැති නිසා පොඩි එකාට එතෙන හෙන සිකියුරිටි. ඕනෙ ඇටෑක් එකක් දීලා හැංගුනෑකි‍.

මං හිතුනොත් වෙලාවක කොට කෑල්ල අයින් කරලා බලනවා. ලොකු නැන්දිලා මාමිලා ටික පොඩ් එකාට මොකද කරන්නේ කියලා. ඒත් පවු කියලත් හිතෙනවා. මුළු ටැංකියටම ඉන්න පොඩිම එකානේ… අරුං දෙන්න තාම ෆන් ගන්නවනේ…. ඒක නිසා ඉතිං ඔන්න ඔහේ තියනවා. හැබැයි අනිත් එවුන්ට පැටවු හම්බුනොත් නම් මූට මොකක් හරි කොරන්න වෙනවා. මොකද නැත්තං මේ ත්‍රස්තවාදී මාලූ පැටියා, අනිත් අළුතෙන් ඉපදිච්ච පැටවුන්වත් ළමා ත්‍රස්තවාදීන් විදියට ට්‍රේන් කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා වැරදිලා හරි ලොකු මාළුන්ගේ ෆන් එක ඉවර වෙලා පැටවු ගැහැව්වොත් ඉතිං බැකප් ටැකියේ පිහිට තමා. කොහොම වුනත් පොඩි එකා වැඩි කලක් යන්න කලිං ලොකු එකෙක්ගෙන් කනේ පාරක් කන එක නම් ෂුවර්.

ඌ කොයි තරම් ත්‍රස්තවාදී වැඩ කලත් ඌව බැකප් ටැංකියට මාරු කරන්න හිතෙන්නේ නැත්තේ, ඌ නැත්තං ටැංකියේ කිසිම ඇක්ටිව් ගතියක් නෑ. අනිත් උංව අවුස්සලා ගන්නේ පොඩි එකා තමා. ඒක නිසා ඉතිං තාමත් ඌට ම‍ගේ මාළු ටැංකියේ යහතින් වසන්න වීසා හම්බුවෙලා තියෙනවා.

%d bloggers like this: