මං තරහයි… මගේ යශෝධරා වත 9


 
මගේ යශෝධරාවතේ කතා කීපයක් දැන් ඔය කුමාරයෝ, කුමාරියෝ කියවලා කියෙනවනේ. මං කුමාරයා ඉතිං මේක ලියන්නේ මං කුමාරයට මතක් වෙන විදියට තමා. මොකද අවුරුදු කීපයක, මං කුමාරයාගේ හිතට කාවැදුන දේවල් පිළිවෙලට ලියන්න අමාරුයි. ඒක නිසා ඉතිං පිළිවෙලක් ගැන බල බල ඉන්න බෑ, හිතට ආපු කතාව ලියනවා මිසක්.
 
ඇත්තටම යශෝධරාවතේ මුල්ම කතාව වෙන්න ඕනේ හරිනම් මේක. යශෝධරාවතේ විතරක් නෙමේ මං කුමාරයාගේ හිතට වැදුන මුල්ම සෙනෙහසේ කතාව පටන් ගන්නෙත් මෙතනින් තමා. ඒ කියන්නේ යශෝධරාව මා එක්ක මුලින්ම කතා කල දවස ගැන තමා මේ කතාව.
 
මේ ඉතිං යශෝධරාව සුරම්‍ය මාලිගයේ වැඩ වාසය කරද්දී, වෙච්ච දෙයක්. දෙවන බසට පන්ති හොය හොය අහල පහල රාජධානි වල කුමාරියන්ට බැල්ම දදා ඉද්දී, මගේ මව්තුමිය එකහෙලාම ප්‍රකාශ කර සිටියා, දැන් ඔය ඉංග්‍රිසි පන්ති හෙව්වා ඇති, අර මුලින් ගිහින් නවත්තපු පන්තියට ආපහු යන්න, ඒ මිස් හොඳට උගන්නනවනේ… කියලා. අනේ ඉතිං මං කුමාරයට පෙර කල පිං පලදෙන්න ගත්තේ ඊට පස්සේ තමා. එහෙම කියලා සතියක් ගියේ නෑ, ඊළඟට පන්ති තිබුන දවසේම මං කුමාරයයි, තවත් ඇමතියෙකුයි ගියා පන්තියට. බුදු සන්‍තෝ, මං කුමාරයාගේ පුංචි කාලේ ඉඳන් එක බත් එක නෙළුං කොලයට බෙදං කාපු උං ඔක්කොම යශෝධරාවගේ මව්තුමිය ගාව පන්ති ඇවිත්. මුන් එකෙක් වත් මං කුමාරයට නිකමටවත් මෙහෙම පන්තියක් තියෙනවා යමුද කියලා ඇහුව්වේ නෑ. යාළුවෝ ටික තනියම බුදුවෙන්න හිතාගෙන පන්ති ගිහින්. ඇත්තටම මට එදා නම් මගේ යාළුවෝ ටික ගැන සෑහෙන කළකිරුණා. ඒ කළකිරීම අදටත් එහෙම්මයි.
 
පස්සේ මං කුමාරයා ගිය දවසෙම, යශෝධරාවගේ මව්තුමියට මාව හොඳට මීටර්. මොකද මේ කුමාරයා මීට අවුරුදු දෙක තුනකට කලිනුත්, යශෝධරාව වෙනත් මාලිගයක ඉන්න කාලෙ එතෙන්ට පන්ති ඇවිත්, පෙන්නපු ශිල්ප එහෙම යශෝධරාවගේ මව්තුමියට මතක තිබුනා. (ඒ කතාව කලිං දැම්මා) ඉතිං මව්තුමියට හරි සතුටුයි මං කුමාරයා පන්ති එන එක ගැන. ඒ පන්තියට ආවා මං කුමාරයාගේ තවත් හොඳ යහළු ඇමතියෙක්. එයා ඔය කොම්පියුටර් ශිල්පෙට සම්බන්ධ දේවල් ගැන පන්ඩිත වැඩ කරන්න ගිහින් වැඩේ මකබාස්ට ගියාම, උපදෙස් ගන්නේ මං කුමාරයගෙන් තමා. ඊට පස්සේ ඉතිං ඒ ඇමතිටත් හෙන හැපී. ඇයි ඉතිං මං කුමාරයව නිතරම හම්බුවෙනවනේ. දැන් මිනිහාට හිතේ බයක් නැහැ කොම්පියුටර් ගැන. ඉතිං මේ ඇමති යශෝධරාවගේ මව්තුමියගේ පාසලේ, ඇයගේම සිසුවෙක්. ඉතිං මව්තුමිය අහනවා ඇමති ගෙන් කොහොමද මෙයාව දන්නේ කියලා. ඌත් ඉතිං මං කුමාරයා උගේ කොම්පුතරේට කෙලව ගත්තා අවස්ථා වලදී ගොඩදාලා දුන්න විදිය එහෙම කියනවා මව්තුමියට ඇඩෙන්න. ඒ තමා මට මව්තුමියගෙන් ලකුණු වැටුන පළවෙනි පාර. ඉතිං අර යාළුවට හිතින්ම පින්දීදී, තව කියපිය තව කියපිය කිය කිය මං කුමාරයා තුන් හිතින්ම හිතනවා.
 
කොහොම හරි, ඊට පස්සේ ටික දවසක් එහෙ පන්ති යද්දී, මව්තුමිය මට පුත් කුමාරයෙකුට වගේම ආදරේ වුනා. දූ කුමාරියක් විතරක් ඉන්න නිසා, ඒ කුමාරිට ආරක්සාවටත් එක්ක පුත් කුමාරයෙක් ඉන්න එක කොහොමත් හොඳයිනේ. කොහොම හරි ඉතිං මට නොකියා පන්ති ආපු මගේ යහළු ඇමැතිවරු ටික මොකක් හරි වෙලා පන්තියෙන් නැවතුනා. ඉතිං ඔහොම ඉද්දී නිලවරණ කාලයක් ආවා. ඒ කියන්නේ ඡන්දක් තියෙන කාලයක්. ඉතිං හැම ගෙදරටම ඡන්ද නාම ලේඛනද මොනාද කියලා, අර අඩි හතර පහක් දිග තියෙන තඩි කොලයක් බෙදනවානේ…. ඉතිං මෙයිං කොලයක් යශෝධරාවගේ සුරම්‍ය මාලිගයටත් ලැබිලා. පස්සේ මව්තුමිය පාඩම කර කර ඉන්න ගමන් ඇක්ටිවිටියක් දීලා මාලිගයට ගියා. ගිහින් මෙන්න අරං එනවා, අර සරුංගල් නැට්ට වගේ දිග කොලේ. ගෙනැල්ලා මං කුමාරයටයි, අර මට ලකුණු දාලා උඩට ගත්තා ඇමතිටයි පෙන්නනවා, මේ බලන්න, අර ළමයා කරලා තියෙන දේ, ‍…. කියලා නමක් පෙන්නුවා. වෙලා තියෙන්නේ මේකයි, යශෝධරාවගේ වාසගම තියෙන කෙනෙක් ඡන්දෙ ඉල්ලලා. ඉතිං මේක දැකපු පුංචි යශෝධරාව අර යකාගේ නම කපලා එයාගේ නම දාලා වාසගම කෑල්ල විතරක් ඉතුරු කරලා.
 
මං කුමාරයා එදා තමා යශෝධරාවගේ අත් අකුරු දැක්කේ. මුතු බෝල වගේ, ඒ අකුරු වල උල් තැන් එකක් වත්නෑ. රවුම්ම රවුම්. නිකං දිව්‍ය අක්ෂර වගේ. ඉතිං පස්සේ මං කුමාරයා ඇහුවා මව්තුමියගෙන්, මේ අකුරු නංගිගෙද? කියලා. පස්සේ මව්තුමිය කිව්වා. ඔව් කියලා. ඊට පස්සේ මං කුමාරයා කිව්වා, කෝ ඉතිං අපිත් එක්ක කතාකරන්නේ වත් නැහැනේ, හරි ආඩම්බරයිනේ එයා… කියලා. ඇත්තටම ඒ චවන ටික නම් මං කුමාරයාගේ කටින් පිටවෙන්න ඇත්තේ පෙර කාලෙක ඉඳන් රැක ගෙන ආපු සීලෙක ආනුභාවෙන් තමා. නැත්තං තමන්ගේ ගුරුවරයාගේ දූ කුමාරිගැන ඔහොම භය නැතිව කතා කරන්න පුළුවන් මොන කුමාරයටද? පස්සේ මේක අහන් හිටිය මගේ යාළු ඇමතියත් කියනවා, තෝ මොනාද ඌරෝ කිව්වේ මිස්ට? කියලා. ඌට මාවත් පෙනිලා තියෙන්නේ ඌරෙක් වගේ. පස්සේ මං කුමාරයා ඇහුවා, ඇයි බං ඇහුනේ නැද්ද කියලා. ඇහුන… ඇහුනා, දැන් යකෝ අපිට හෙට ඉඳන් වෙන පන්තියක් හොයා ගන්න වෙයිද දන්නෙත් නෑ… කියලා මූ මං කුමාරයව බය කරනව. ඒ මදිවට මං අර කතාව කිව්ව ගමන් මවුතුමිය ගෙට ගියා. මටත් ඒ වෙලාවේ පොඩි අමුත්තක් දැනුනට ඔයතරම් හිතන්න ගියේ නෑ.
 
දැන් මං කුමාරයත් භය වෙලා. මොකද අර ඇමතියා ඉතිං උන‍්ගේ පාසැලේ ගුරුවරයෙක් ගැන මට වැඩිය දන්න‍වනේ… ඒකයි. පස්සේ මෙන්න ‍එනවා මව්තුමිය, හිනා වෙවී. ඇවිත් කිව්වා, මං අර ආඩම්බර කෙනාට එන්න කිව්වම බැහැ ලැජ්ජයි කියලා අන්න ඉන්නවා ගේ ඇතුලට වෙලා. ඇත්තටම ඒ වෙනකම් මම යශෝදරාව දැකලා තිබුනේ නෑ. හුරතල් කටහඩ නම් අහලා තිබුනා. පස්සේ මං කුමාරයා ඕනෙ දෙයක් වුනාදෙන් කියලා, මව්තුමියගෙන් ඇහුවා නංගිගේ ෆොටෝ එකක් නැද්ද? කියලා. එතකොටම මව්තුමිය මාලිගයට ගියා. මෙන්න එක පාරටම ම‍ගේ වැලමිටට හෙන ගැහුවා වගේ කරන්ට් එකක් වැදුනා. අර මගේ යාළු ඇමතියා මට නෙලනවා හෝ ගාලා. මොනාද යකෝ තෝ කරන්නේ, දැන් හු** මටනේ, හෙට ඉස්කෝලේදී කන්න වෙන්නේ යකෝ… කිය කිය කුණුහර්පත් කිය කිය මූ මට බනිනවා හෝ ගාලා. පස්සේ මව්තුමිට එද්දීම, අනේ ටීච මං නම් මූව දැනගෙන ගොඩක් කල් නෑ, ටික දවසයි… කිය කිය දොඩවනවා. ඇමතියා බය වෙලා අසූහාරදාහටත් චුට්ටක් වැඩියෙන්. ඌට අදහාගන්න බෑ මං කුමාරයා හොඳ සිහියෙන්ද, බීලද කියලා. මොකද මෙච්චර පුරුෂ ශක්තියක්… තමන්ගේ ගුරුවරියගේ දුවගේ ‍ෆොටෝ එකක් ඉල්ලන්න තරම් හයියක්… මං කුමාරයට තියෙනවා කියලා මේ ඇමතියට අදහගන්න බෑ. පස්සේ මව්තුමිය මට දුන්නා යශෝධරාවගේ පුංචි කාලේ ගත්ත, සුංරගනාවියක් වගේ සුදු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න ‍ෆොටෝ එකක්.
 
පස්සේ ඇමතිත් බලනවා. මං කුමාරයා, ඉඳා බලපිය කියලා ඌට ෆොටෝ එක දුන්නා. පස්සේ ඒක බලන ගමන් ඇමති තුමා මව්තුමියත් එක්ක ටෝක. මේක නිකං ඌට දුන්න ෆොටෝ එක වගේ හැම පැත්තම කරකවා කරකවා බලලා, මව්තුමියගෙන් අහ‍නවා, ටීච ස්කෝලේ එක්කන් එද්දී මෙයා පුංචියිනේ කියලා. ඒ කියන්නේ ‍මේ නරියා මට කලිං යශෝධරාව දැකලා තියෙනවා. අවුලක් නෑ. ඊට පස්සේ මං ඇහුවා නංගිගේ සම්පූර්ණ නම් මොකද්ද කියලා. මව්තුමිය ඇහුවා ඇයි කියලා. මං කුමාරය කිව්වා පොඩි ඡන්ද දැන්වීමක් හදන්න කියලා. ඊට පස්සේ නම කිව්වා. පස්සේ මං කුමාරයා ඇහුවා මිස් මේ ෆොටෝ එක දෙනවද ස්කෑන් කරලා සිකුරාදාට දෙන්නම් කියලා. අවුලක් නෑ ඒකත් හම්බුනා. දැන් ඇමතියාගේ ඇස් උඩ ගිහින්. පස්සේ ඉතිං මං කුමාරයා මගේ පාසලෙන්ම ස්කෑන් කරගෙන හැදුවා ලස්සන ඡන්ද කාඩ් එකක්.
 
ඒක ලකුණ මල, කියලා ෆොටෝ ෂොප් වලින් මලක් දාලා, අංකය 5 කියලා දාලා ඒකට උඩින් කතිරයක් දැම්මා. ඊට පස්සේ බැක්ග්‍රවුන්ඩ් එකකුත් දාලා, යශෝදරාවගේ ෆොටෝ එක අයිනට දාලා හැදුවා, ඉතිහාසේ ප්‍රථම මංගල හා ඡන්ද දැන්වීම. දැන් ගෙනියන්න විදියක් නෑ මේක. ඒ දවස් වල ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් නෑ, ඩිස්කට් තමා හැම මංගල්ලෙටම. ඉතිං අමාරුවෙන් එකක් හොයාගෙන අරං ගියා යශෝධරාවගේ මාලිගයට. එතකොට තමා මතක් වුනේ යශෝදරාවගේ මාලිගයේ කොම්පුතරයක් නෑ කියලා. ඒත් වෙලාව කියන්නේ යශෝධරාවගේ මව්තුමිය ස්කෝලේ කොම්පියුටර් එකක් ගෙදර ගෙනැල්ලා හදිසි වැඩ වගයක් කරගන්න. මං කුමාරයට මතක විදියට ප්‍රශ්න පත්තර වගයක් ටයිප් කරන්නද කොහෙද… ඉතිං මාත් වීරයා වගේ ගිහින් යශෝධරාවගේ මව්තුමියට දුන්නා, මිස් මේක බලන්න… කියලා ඩිස්ක් එක. මවුතුමියත් යශෝධරාව ඔඩොක්කුවට අරගෙන එහෙම බලන්න ලෑස්ති වෙලා ආයෙමත් මට කතා කරලා කියනවා පුතාම ඕපන් කරලා පෙන්නන්න කියලා. පස්සේ මං එතෙන්ට ගිහින් පුටුවේ වාඩි වුනාම යශෝධරාව හිමීට මවුතුමියගේ ඉන වටේට අතක් දාගෙන මගේ පිටිපස්සේ ඉඳන් බලං ඉන්නවා එයාගේ ඡන්ද කාඩ් එක පෙන්නනකං. ඒ තමයි මං මුලින්ම යශෝධරාව ලයිව් දැකපු දවස.
 
ඩබල් ක්ලික් කලා. බඩු හරි, ෆුල් ස්ක්‍රීන් තියෙනවා. තත්පර තුනක් හතරක් විතර ගියා… මෙන්න පටන් ගත්තා ආත්ම ගානක ඉඳන් පිරිලා තිබුන ආදර ගඟ දෝර ගලන්න. එක පාරටම මං කුමාරයට ඇහෙනවා, ලස්සන කොවුල් කට හඩකින් පුංචි කුමාරිකාවක්, මං තරහා…යි කියලා ඇදල පැදල කියනව. ඊට පස්සේ මව්තුමිය ඇහුවා මාත් එක්කද අයියත් එක්කද කියලා. ඒකට නම් උත්තරයක් හමුබුනේ නෑ. ඒ තමා යශෝධරාව මාත් එක්ක කතාකරපු මුල්ම දවස.
 
හැබැයි මුලින්ම කියපු වචනේ තමා ටිකක් අසුබ. මොකද මුලින්ම කිව්වේ මං තරහයි කියලා. මොනාවුනත් ඉතිං ඒ ලැජ්ජා හිතුන නිසානේ කියලා මං කුමාරයා වැඩිය ගනන් ගන්නේ නැතිව හිටියා. ඊට පස්සේ ඉතිං අඩු වැඩි වශයෙන් එක එක දේවල් ගැන අපි කතා කලා. අදටත් වැඩිය කතාවක් නැති වුනාට ඒ කතා නොකර ඉන්න ඔක්කොම කාලටෙ හරියන්න ඇරියස් අල්ලලා අපි දෙන්නටම කතා කරන්න පුළුවන් වෙයි කියලා බලාගෙන, මං කුමාරයා තාමත් ඇසිපිය වදින වදින ගානේ මතක් කර කර ආ‍දරේ වැඩි කරගෙන ඉන්නවා යශෝධරාව ගැන.
 


ඒ වගේම අද මං කුමාරයට විශේෂ දවසක්. මොකද මේ තමා මං කුමාරයාගේ 100 වෙනි පෝස්ට් එක. ඉතිං මෙච්චර කාලයක් මාව දිරිගන්වපු, මගේ පිස්සු කතා ටික කියවපු හැම යාළු මාළුවෙක්ටම හද පතුලින්ම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මං කුමාරයට බ්ලොග් එකක් ලියන්න සිතුවිල්ල ඇති කරපු… ඉබ්බාට, පූසෝ සෙට් එකට, පුතාට බොහෝම ස්තූතියි. ඒ අයගේ බ්ලොග් කියවපු නිසා තමා මං කුමාරයටත් මගේ වික්‍රම ටික ටැංකියක් බැඳගෙන ඒකට ගොනු කරන්න හිතුනේ. ඒ වගේම හම්බුන යාළුවෝ ටික… ඔක්කොටම වැඩිය වටින්නේ ඒ අයව තමා. ඇත්තටම හරිම සැහැල්ලුවක් දැනෙනවා මෙච්චර කල් හිතේ පුරෝගෙන හිටිය කතා එලියට දැම්මම. එහෙනම් ඉතිං ගෝල්ඩ් fish ගේ බ්ලොග් ටැංකියත් එක්ක, යාළු මාළුවෝ ටික තවදුරටත් රැඳීසිටියි කියලා බලාපොරොත්තු වෙනවා.

%d bloggers like this: