මතක ඇති හීනයක්…


මේක ගෝල්ඩ් fish වයස අවුරුදු 15දී 16දී විතර දැකපු හීනයක්. ඒ දවස් වල ඉතිං සාමන්‍ය පෙළට ලෑස්ති වෙන දවස් නිසා ගෙදරින් සෑහෙන කචල්. රෑ වෙනකම් පාඩම් කරන්නයි, උදේ පාන්දර නැගිටින්නයි ගියාම එපා වෙනවා. සමහර දාට අම්මා කිරි එක හදා ගෙන ඇවිත් මහ පාන්දර හෙන හීතලේ නැගිට්ටවනව පාඩම් කරන්න. පොත අතේ තියන් එහෙමම නිදා ගන්න එක් වැඩිහරියක්ම කරන්නේ. සමහර දාට කිරි එකත් හැලෙනවා. කොහොමහරි ඉතිං ඔහොම කරගෙන යද්දී මට නිදා ගන්න දුන්නේ රෑ 10න් පස්සේ තමා. එතකන් පාඩම් කරන්න ඕනෙ.
 
ඉතිං ඇඳට පැන්නා විතරයි දොයි. ආයේ පාන්දර කතා කරන්කම්ම ‍එක එක මඥ්ඥං හීන බල බල නිදි. ඉතිං මේ කතාව එහෙම දැකපු හීනයක් ගැන. මොකක් හරි හේතුවක් නිසා මේ හීනය මට අමතක වෙන්නේම නෑ. හොදට මතක හිටලා තියෙනවා. අනිත් එක තමා මම හීනයක් දකිද්දී, ඒ හීනෙදි කවුරු හරි අතින් ඇල්ලුවොත් එහෙම ඒ ස්පර්ෂය මට සංවේදන එක්කම හොඳට මතක හිටිනවා. ඒ වගේම තමා මම නිදාගෙන ඉන්න අතරෙදී සෑබෑ ලෝකෙ මොකක් හරි වෙනසක් වෙනවනම්… ඒ කියන්නේ හයියෙන් සිංදුවක් ඇහෙනවා නම්, වහිනවා නම් නැත්තං ෆෝන් එක රිංග් වෙනවා නම් වගේ, මට ඒක මම දකින හීනෙම කොටසක් විදියට දැනෙන සීන් එකකුත් තියෙනවා. ඒ කියන්නේ වර්චුවල් හීන තමා මට පේන්නේ. ගෝල්ඩ් fish ඒ ගැන වෙනන පෝස්ට් එකකුත් දැම්මා. ඒකත් යාළු මාළුවෝ බලන්නකෝ. මේකයි දැන් කියන්න යන හීනය….
 
මට මතක විදියට මට දැනුනේ ඒක නිකං මගේ පෙර ආත්මයක් හරි අනාගත ආත්මයක් වගේ හරි තමා. මොකද මං එතෙන්දී දැනට වැඩිය ටිකක් විතර සුදුයි. ඉතිං ඒ හීනෙදී මම ජීවත් වුනේ නුවර එළිය වගේ සීතල පැත්තක. රතුයි සුදුයි ඉරි අත් දෙකේ තියෙන ලා කහ පාට වගේ ජර්සි එකක් ඇඳන් තමා හිටියේ. ඉතින් මම ගමන් බිමන් ගියේ මවුන්ටන් බයිස්කල් එකකින්. මම ආදරේ කරන ගෑනු ළමයෙකුත් හිටියා ඒ හීනේ. එයා සුදුයි, කොන්ඩේ බෙල්ල හරියෙන් කපලා, ඒ වගේම එයත් රතු පාට ජර්සි එකක් ඇඳලා තමා හිටියේ. ඉතිං එයාලගේ ගෙවල් තිබු‍නේ තාර අතුරපු පාරෙ ඉඳන් අඩි හතරක් පහක් විතර උඩින්. ඒ තාර පාර පුංචි පුංචි හිම කැටි වගේ පිනි බිංදු වලින් තෙත් වෙලා තිවුනේ. ඉතිං ඒ තාර පාරට පහලින් වගා නොකරපු වෙලක් තිබුනා. ඒකේ සීබ්‍රාවෙක් හිටියා.
 
මම අර ගෑනු ළමයාගේ ගේ ඉස්සරහ නැවතිලා එයා එනකං තමා හිටියේ. ඉතිං පස්සේ අර මං ආදරේ කරපු ගෑනු ළමයා ත් ආවා එයාගේ බයිසිකලෙන් පාරට. ඇවිල්ලා අපි දෙන්නයි තවත් මං හිතන්නේ එයාගේ යාළුවෝ දෙතුන් දෙනෙකුයි බයිසිකල් වලින් තාර පාර දිගේ යනවා. යද්දී ඒ පාර දෙපැත්ත ලස්සන රතු පාට, තැඹිලි පාට කොල තියෙන ගස් වලින් වැහිලා. පාර පුරාත් ඒ එක එක වර්ගයේ පාට පාට කොල වැටිලා. මාරම ගති. ඉතිං මමත් , මං ආදරය කරන ගෑනු ළමයත් , එයාගේ යාළුවෝ ටිකත් ඉස්සරහට යද්දී ආදරිය ඉස්සර වෙලා ටිකක් හයියෙන් බයිසිකලය පැදගෙන ගියා. ඒත් එක්කම ඉස්සරහින් වංගුවක් තිබුනා. ඒ වංගුව පාස් කරද්දීම ටිකක් වේගයෙන් දැන් තියෙන මයික්‍රෝ කයිරන්, හරි රෙව් 4 වගේ හරි කළු පාට වාහනයක් අපිව පාස් කරන් අපි යන පැත්තට විරුද්ධ පැත්තට ගියා. ඊට පස්සේ අපි බයිසිකලේ ටිකක් දුර යද්දී ම‍ගේ ආදරිය පාර අයිනේ බයිසිකලේත් එක්ක වැටිලා හිටියා. එයාට තුවාලයක් නැහැ. ඒත් සිහිය නැහැ. එතනින් එහාට මම හිටියේ වෙනම පරිසරයක. ඒ කියන්නේ නිකං අර අඹේවෙල පැත්තේ තියෙන කඳු වලින් වට වෙච්ච ජනාවාසයක් වගේ තැනක. එතෙන මම සාස්තර කියන පිරිමි මනුස්සයෙක්ගෙන් සාස්තරයක් අහනවා. එතෙනත් මට ආදරියක් හිටියා. එයාගේ කොන්ඩේ දිගයි, සාරියක් ඇඳලා තමා හිටියේ. ආ … තව අර දෙමළ කාන්තාවෝ වගේ කොන්ඩේ පිච්ච මල් වැලකුත් දවට ගෙන තමා හිටියේ. පස්සේ මම අර සාස්තර අර අහපු මනුස්සයා මාව අතීතෙට යවලා. මම අර මුලින් දැකලා තියෙන්නේ ගිය ආත්මෙත් මමයි, මගේ ආදරියයි හිටිය හැටි. එයා අර කිව්ව ඇක්සින්ඩන්ට් එකෙන් තමා නැතිවෙලා තියෙන්නේ. ඊට පස්සේ මගේ හිත ආදරෙන් පිරිලා වට පිට බලද්දී අර සාස්තර අහපු ආත්මෙදී එයා, සතුටින් හිනා වෙවී, නැති බැරි අයට එහෙට මෙහෙට දුව දුව ආහාර බෙදනවා දැක්කා. පස්සේ මගේ ළඟටත් දුවගෙන ඇවිත් මටත් කිරිබත් වගේ දෙයක් කවලා ආයෙත් ගියා තව කාට හරි උදව් කරන්න.
 
ඉතිං මම දන්නේ නෑ ඇයි මට මේක මේතරම් මතක කියලා. මම ගොඩක් උත්සාහ කලා මේ කොහෙද කියලා හොයාගන්න. නුවර එළියේ ගිය වෙලාවකත් මම ටිකක් විපරම් කරලා බැළුවා. ඒත් මේ පෝස්ට් එක දානකම් කාටවත් කිව්වේ නම් නෑ. මට එකම එක පාරක් , පාරට වැඩිය අඩි 4ක් 5ක් උසින් ගෙදරක ගෑනු ළමයෙක් ඉන්න… ඒ මම දැක්ක විදියෙම සීන් එකක් දකින්න හම්බුනා. ඒකත් හැබැයි 1942 ලව් ස්ටෝරි කියන හින්දි ෆිල්ම් එකේ මුල හරියේ තැනක. ඇත්තටම අර කොන්ඩේ කපලා ජර්සියක් දාගෙන හිටිය ගෑනු ළමයාගේ මූන මට තවමත් මතකයි. ඒත් අද වෙනකම් කවදාවත් ඒ වගේ මූනක් නම් දැක ගන්න හම්බුවෙලා නෑ. අනේ මන්ද මට ඒ දවස් වලත් පිස්සු තිබිලද කොහෙද? නැත්තං මේ වගේ හීන පෙනෙයිද? තව දෙක තුනක් තියෙනවා ඒවත් හරියටම මතක් කරගෙන පස්සේ ලියනවා.

%d bloggers like this: