ගෝල්ඩ් fish ට වැදුන කාඩ්… I



දැන් ඉතිං මේවා කිව්වා කියලා, ඔය මගදී හම්බුනාම එහෙම මේවා කියලා කතාකරන්න එපා. ගෝල්ඩ් fish කිව්වට නම් කමක් නෑ, ඒ නමින්නේ මාව ගොඩක් දෙනා දන්නේ ඒක නිසා.
 
මුල්ම කාඩ් එක මට මතක විදියට වැදුනේ මම ඉපදුන දවස් වලම. ගෝල්ඩ් fish ගේ අම්මාගේ අම්මා, ඒ කියන්නේ ආච්චි තමා මේ කාඩ් එක ගහලා තියෙන්නේ. ඒ දවස් වල ඉතිං මං දැන් වගේ නෙවෙයි සුදු බෝලෙලු. හරි හුරතල්ලු. ඒක නම් ඉතිං දැන් වගේම තමා. ඉතිං අපේ ආච්චි මට දාලා තියෙන කාඩ් එක තමා සූටි පැටියා කියන එක. මමත් ඒ දවස් වල අපේ ආච්චි ඔය නම කියන කොට කරන වැඩේ පැත්තක දාලා ගිහින් ආච්චිට තුරුළු වෙනවයි කියන්නේ. මම නම් දන්නේ නෑ ඕවයේ ඇත්ත නැත්ත, අපේ අම්මා තමා කිව්වේ.
 
ඊළඟ එක, මම මොන්ටිසෝරි යද්දී. ඒ කාඩ් එක ගැහුවේ අපේ මොන්ට්සෝරියේ ටීච. එයා මට හරි ආදරෙයි. ඒ දවස් වල නම් මං චුට්ටක් කළුයි. කළුයි කියන්නේ දැනට වැඩිය සුදුයි. ඒ දවස් වල මොන්ටිසෝරි ටීච මට ගහලා තියෙන කාඩ් එක තමා, සුදු පුතා. මට අදටත් හිතාගන්න බැරි මිස් කන්නඩි දැම්මේ පැෂන් එකටද කියලා. මොකද කවදාවත් ඒ කන්නඩි දෙකෙන් පාට හරියට පෙනුනනම් මට සුදු පුතා කියයිද?
 
අනිත් එක මං ස්කෝලේ යද්දී. ඒ කාඩ් එක ගැහුවේ අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක්. එයාගේ කාඩ් එක බට්ටි. මේ කාඩ් එක පැවතුනා අවුරුද් 4ක් විතර. ඉතිං එයා මට ගහපු කාඩ් එක තමා සනත් ජයසූරිය. බලන්න ඉතිං, ඒ දවස් වල සනත් අයියාවත් මට උපමා කලා කියන්නේ මං කොයිතරම් වැදගත් පුද්ගලයෙක්ද? මට සනත් කියන්න ප්‍රධානම හේතුව තමා… තට්ටෙ..! නෑ නෑ… හපෝ නෑ, පාට. මොකද මමත් සනත් අයියා වගේම සුදුයිනේ ඒකයි. අනික මට කොහොමත් හොඳට ක්‍රිකට් ගහන්නත් පුළුවන්නේ. ඒක නිසාත් වෙන්න ඇති. ආ… අනිත් එක තමා මටයි මල්ලිටයි සමගාමී විකාශයක් විදියට තමා මේ කාඩ් ගැහැල්ල කරේ. ඒ කියන්නේ මට කාඩ් එකක් ගහද්දීම, අපේ මලයාටත් බඩු හරි. අපේ අම්මගෙයි තාත්තගෙයි චූටි පුතා වෙලා, මගේ මල්ලි වෙච්ච පිනට ඌට වැදුනා කාඩ් එක හෂාන් තිලකරත්න කියලා. හැබැයි ඒ දවස් වල ඒ දෙන්න මේවා ගැන දන්නවනම් දෙන්නට ක්‍රිකට් වලින් සමු අරං ගොඩක් කල්.
 
අනිත් එක ස්කෝලේ 7 වසරෙදි විතර. ඒ දවස් වල මොකක් හරි ගොං වැඩක් කරන්න ගිහින් මට වැදුනා කාඩ් එකක් සර්කිට් මල්ලි කියලා. ඒ දවස් වල අපිට වැඩිය ලොකු පංතිවල අයියලා හිටං මාව දන්නේ ඔය කාඩ් එකෙන්. සමහර ගුරුවරුත් නෝන්ඩියට සහ ආදරේට දෙකටම ඔය කාඩ් එක භාවිතා කලා. සමහර මිස්ලා නම්, ළඟට ඇවිත් ඔළුවත් අතගාලා සර්කිට් මල්ලි නම් කවද හරි හොඳ අයිය කෙනෙක් වෙනව කියලත් කියලා තියෙනවා. අනේ ඉතිං ඒ කටවල් වල දැං රුපියල් 5 කාසි දාන්න ඕනේ. මේ පේනවනේ ඉතිං දැනුත් කොරන ගොං වැඩ.
 
ඊට පස්සේ තව එකක් වැදුනා ඒක නං කියන්න බෑ අප්පා. නෝන්ඩියි වගේ. ඒකට පස්සේ තව එකක් වැදුනා. අර ෆාතිමාගේ සීන් එක නිසා. අපේ පන්තියෙයි , අනිත් අහල පහල පන්ති වලයි හිටියා මුස්ලිම් පිරිමි සහ ගැහැණු ළමයි. ඒ අයට මොහොමඩ්, අර්ෆත්, අර්ෂාද්, ෆරීනා, ‍‍ෆාතීමා වගේ නම් කියන ගමන් මුං ටික මටත් හේයි තම්බිලු. අර කෙල්ල පන්තිය ගාවට ආවම ඉවරයක් නෑ මුන්ගේ සද්දේ… ඒ ඒ තම්බි , අන්න තංගච්චි ඇවිල්ලා කියනවා. ඒ වෙලාවට ඉතිං එයත් හිනා වෙවී අපේ වඳුරෝ ටිකගේ කෝලම් බල බල ඉන්නවා. අපේ එවුන්ටත් ඉතිං හරි ‍ෙජාලි. කොලකෑලි වලින් ගහනවා, විසිල් ගහනවා… මාවත් කොනිත්තනවා, හපෝ තව වැඩ ඕනෙතරම්. හරි හරි ඒ කාඩ් එක ඇති. නැත්තං මේක ෆාතිමා දෙවෙනි කොටස වෙනවා.
 
ඕන්න ඊට පස්සේ තව කාඩ් එකක් වැදුනා. මේක නම් අපේ අම්ම නිසා වැදුන එකක්. මේ කාඩ් එකටත් මං තාම කැමතියි. මේක රෙජිස්ටර් ක‍ලේ ඒනජල්ගේ ආච්චි අම්මා. මම 8 වසරෙදි ඒන්ජල්ගේ අම්මාගාව පළවෙනි පාරට ඉංග්‍රිසි වලට පන්ති යද්දි. ඔය පන්තියෙදී මිස් අහන ප්‍රහ්න වලට (ඒ දවස් වල ඒන්ජල්ගේ සීන් නැහැනේ) උත්තර දෙන එකම එකා මං. අනිත් උං ගල් ගිලලා වගේ බලන් ඉන්නවා. මං උත්තර දෙනව මදිවට මිස්ගෙන් ප්‍රශ්නත් අහනවා. දවසක් දා මිස්ගෙන් මං ප්‍රශ්න හය හතක් අහනවා අහගෙන හිටපු මිස්ගේ අම්මා කිව්වා, මේක නම් දුවේ කතා පෙට්ටියක් කියලා. ඊට පස්සේ ආයෙත් මගෙන් ඇහුවා ස්කෝලෙත් ඔහොමද කියලා. ඉතිං මාත් ඒ දවස් වල ඳඟයිනේ. මාත් පොඩි කමට , නෑ මෙහේ විතරයි කියලා කිව්වම, මෙන්න බොල ආච්චි අම්මා මට ගහන්න හදනවා. ඊට පස්සේ මං දුවලා දුවලා ගිහින් මිස් වාඩි වෙලා හිටය පුටුව ගාව ඉඳගෙන අනේ මිස් මාව බේරගන්නෝ ගාලා කෑගැහුවා. පස්සේ ඉතිං කොහොම හරි කට්ටියම හිනා වෙවී ඉඳලා මට කාඩ් එකක් ගැහුවා, චැටර් බොක්ස් කියලා. ඒ කරගත්ත පිංකමට මං අදත් බයිට් වෙනවා, හිටපු ගමන් ඒන්ජල් අතින්, අපෝ අපේ අම්මම්ගෙන් ගුටියකුත් කෑවා නේද කියලා.
 
තව කාඩ් දෙක තුනක් තියෙනවා, ඒ ටිකත් ඉක්මනට දැනගන්න ලැබෙන්න සලස්වන්නම්කෝ….

%d bloggers like this: