2010 ට නඩුවක් | Case 2010



මේ නඩුව ෆයිල් වෙන්නේ 2010 අවුරුද්දට හා ඉන් පෙර අවුරුදු වලට බලපාන විදියට. පැමිණිලිකරුත් මම, විත්තිතරුත් මම, නඩුකාරයත් මම. මොකද මේ මට හිතෙන දේ. මේ කාටවත් පෞද්ගලිකව දාන නඩුවක් නෙමේ. මේක දාන්නේ අපිට අවශ්‍ය ද්‍රව්‍ය කීපයකට. මිනිස්සුන්ට නඩ දාලා වැඩක නැහැනේ. ඒ අය කො‍හොම හරි ඒව‍ායෙන් බේරෙනවා. ඉතිං බේරෙන්න බැරිවෙන්න නඩුවක් දානවනම් ඉතිං පන නැති දේකට තමා.
 
පොල්… පොල් කිව්වම මේ දවස් වල කාටත් මතක් වෙන්නේ, එලොව පොල්. මේ ලඟඳී දවසක ගෝල්ඩ් fish පත්තරේක දැක්කා පොල් පිටරටින් ගෙන්වීම ගැන කිහිපදෙනෙකුගේ අදහස්. එක් ගැහැනු කෙනෙක් කියලා තිබු‍නා, කොහෙන් හරි පොල් තියෙනවා නම් කමක් නෑ කියලා. තව කෙනෙක්… හැමදාම පොල් පිටරටින් ගෙන්නලා හරි කමක් නෑ අපිට පොල් ලැබෙනවා නම්.
 
හි… හි… මේවා දැක්කම ගෝල්ඩ් fish නම් හිනා යනවා. මොකද මේ රටේ ප්‍රශ්න වලට තාවකාලිකව යොදන පැලැස්තර ටික කාලයක් යද්දී සදාකාලික වෙන හින්දා. ඉස්සර ගෝල්ඩ් fish ස්කෝලේ යද්දී ඉගෙන ගත්තේ ප්‍රධාන අපනයන බෝග විදියට, තේ, රබර් හා පොල් කියලයි. මාර කේස් එක දැන් පොඩි එව්වොන්ට අපනයන බෝග විදියට කියලා දෙන්නේ මොනාද දන්නේ නෑ. ඉස්සර මේ රටේ රජවරුන්ගේ කාලෙදී පිටරටවලට සහල් පවා අපේ මේ ලංකාවෙන්… ආ… වැරදුනා අපේ නෙමේ අපේ මුතුන් මිත්තන්ගේ ලංකාවෙන් මුදලට නැතුව, නිකනුත් දීලා තියෙනවා. ඒක නිසා තමා අපි ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුනේ. නැත්තං මේකේ තියෙන මුතු ඇට නිසාම විතරක් නෙවේ. එහෙව් ලංකාද්වීපයට ගිය කලක්. මගේ පුංචි දඩබ්බර හිතට හිතෙන ඒවා මෙහෙම ලියලා දාන්නේ කවදහරි මට හම්බුවෙන දරුපැටියෙක්ටවත් මේ තාවකාලික පැලැස්තර වලින් තොර, බ්ලොග් ලියන අපේ භාෂාවෙන් කියනවා නම් සිරා… සුපිරි… මැක්සා රටක් හැදෙයි කියන බලාපොරොත්තුවෙන්. මංවත් තවත් මේ වගේ සිය දහස් ගානක් වත් මේ ඉලව්ව ලිව්වා කියලා මේ යන ක්‍රමය වෙනස් වෙන්නේ නැතිවෙයි. ඒත් කියන්න බැහැනේ රජයේ පිළිගත යුතු කව්රු හරි කෙනෙක් මේක දැක්කොත් එහෙම? (ගෝල්ඩ් fish දකින ලස්සනම හීනේ) හිටපු ගමන් බඹරේ වැල්ලෙත් කැරකෙනවානේ….
 
වැඩිය ඕනෙ නැහැ දැන් බලන්න, ඉස්සර අපේ රටෙන් සහල් පිට රට යැව්වා. ගෝල්ඩ් fish දන්නේ නැති වුනත් අතීතයේ කවදා හරි දවසක මොකක් හරි අපේ උන්දෙලාගෙම නොසැලකිලිමත් කමක ප්‍රතිඵලයක් විදියට සහල් නිෂ්පාදනය අඩුවෙන්න ඇති. ඒ වෙලාවේ අපේ ශ්‍රී ලංකාද්වීපය කරවපු උත්තමයෝ තාවකාලික පිළියමක් හැටියටත්, සහල් මිල අඩු කිරීමේ පිළියමක් හැටියටත් සහල් පිට රටින් ගෙන්වන්න පටන් ගන්න ඇති‍. දැන් කොහොමද ඒකෙ ප්‍රෝග්‍රස් එක? මැක්සා නේ? හරිනම් අපේ හිටිය පන්ඩිතයින්ට කොරන්න තිබුනේ, පුළුවන් ඉක්මනට අපේ ගොවියන්ව දැනුවත් කරලා, ඒ මිනිස්සුන්ට අතහිත දීලා වී වගාව නංවන්න උදව් කරන එක. දැන් නම් බොරුවට රෙද්ද උස්ස ගෙන කෑගහනවා කුඹුරු ඉඩං ගොඩකරන්න එපා, එහෙම කරොත් නඩු දානවා අරකයි මේකයි කියලා. ඒත් ඒ ඔක්කොම සීන් තියෙන්නේ සාමාන්‍ය පුංචි මිනිස්සුන්ට විතරයි. ඇමති පුතාලට, බෑනලට, මාමලට ඒ නීති අදාල නෑ. හැබැයි දෙයියනේ කියලා අපි වවමු… රට හදමු කියලා එකක් පටන් ගත්තා. දැන් නම් තත්ත්වේ කොහොමද දන්නේ නැහැ. ඒ දවස් වල නම් වැඩේ නැගලා ගියා. ඒකෙන් නම් තමන්ගේ ගෙවත්තේ මල් වවන කොටසේ හරි මිරිස් පැලයක්, බටු පැලයක් හිටවන්න අපේ අම්මලා තාත්තලා උද්යෝගීමත් වුනා. ලොකු දෙයක් ඒකත්, දිගටම වෙනවා නම් විතරක්.
 
තවත් දෙයක් දැන් ලංකාවේ කුකුළු මස් වල ගාන සැරයි කියලා, පිටරටින් මස් ගෙන්නනවා. ගෝල්ඩ් fish නම් දන්නේ නැහැ ඒවා සෞඛ්‍ය ආරක්ෂිතද නැද්ද කියන්න. කොහේ හරි රටක ලෙඩ වෙලා මැරෙන කුකුල්ලු අතයටින් මාටියා ගහලා මෙහෙට පටවනවද නැද්ද කියලා කාටහරි නියතවම කියන්න පුළුවන්ද? කඩේයන කට්ටියයි, ලොකු ලොක්කන්ගේ පස්ස ලෙවකන එවුනුයි නම් කියයි අපෝ එහෙම නෑ කියලා. ඒවට ඉතිං කරන්න දෙයක් නෑ.
 
ඇත්තටම මේ රට ගැන බයයි අප්පා. මිනිස්සු දියුණු වෙනවා කියන්නේ අධ්‍යාත්මික, සාමාජීය, අධ්‍යාපනික, මූල්‍යමය වගේ හැමපැත්තෙන්ම දියුණු වෙන එකට. නැතුව මොන කැත වැඩේ හරි කොරලා මූල්‍යමය වශයෙන් දියුණු වෙන එකට නෙමේ. ඒ වගේම රටක් දියුණු වෙනවා කියන්නේ, මං හිතන විදියට වෙනත් රට වලින් යැපෙන්නේ නැතුව තමන්ගේ රටේ සම්පත් වලින් උපරිම පල ප්‍රයෝජන ගනිමින්, ස්වයංපෝෂිත වෙන එකට. ඒ කියන්නේ අපිට පිට රටවලින් අවශ්‍ය දේවල් නොගැනීම නෙමේ. බලන්න ඇපල් වගේ දේවල් ලංකාවේ හැදුනට තාම සාර්ථක නැහැනේ. ඉතිං ඒවගේ දේවල්, එක‍කොට යාන වාහන වගේ සමහර දේවල්, පිටරටවලින් අපිට ගන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමේ. ඒත් පොල් පිටරට යවපු අපිට දැන් පොල් පිට රටවලින් අරං කන්න වෙනවා කියන්නේ, රෙද්දක් ඇඳං ඉන්න පුළුවන්ද ‍තවත්? දැන් ඉතිං කමෙන්ට් කරයි ඇඳං ඉන්න බැරිනම් රෙදි ගලෝලා හිටපං මාළුවෝ කියලා… මොනා කරන්නද ඉතිං. එල්ලනයෑ, මේක අපේ සිරි ලංකාද්වීපයනේ. වැරැද්ද එන්නේ අපිටම තමා. ඇයි මෙහෙම ඒවා ලිව්වේ කියලා ගෝල්ඩ් fish ව හිරේ දායි. කමක් නෑ, ඇත්ත කියලා අපායට ගියත් සැපයි අප්පා.
 
ඔය කොයිතරම් පොර ටෝක් දුන්නත් මටත් තව ටික දවසකින්, දුක තමා රංජනී කියලා කන්න වෙන්නේ පිට රට පොලුයි, චිකනුයි තමා. ඇයි ඉතිං මාත් මේ රටේ තරුණ පුරවැසියෙක්නේ. මොන මගුල වුනත් කමක් නෑ, මම නම් මේ 2010 වසරේ අවසාන දිනේදී ප්‍රාර්ථනා කරන්නේ, 2011 වසරෙදිවත් අපිට පිට රටවලින් ගේන දේවල් පාවිච්චි කරන අඩු වෙලා අපේ රටේම දේවල් වලින් එදිනෙදා කටයුතු කරගන්න පුළුවන් අනාගතයක් උදාවෙන්න කියලයි. ඒ වගේම මගේ යාළු මාළු හැමදෙනාටමත් පින්බර සිතුවිලි වලින් බරවෙච්ච, තමන්ගේ දේ අගය කරන්න හිතෙන, අපේ රටේ දේවලින් උපරිම පුයෝජන ගන්න හිතෙන සුභම සුභ නව වසරක් වේවා කියලා ගෝල්ඩ් fish ප්‍රාර්ථනා කරනවා.

%d bloggers like this: