වයිලින් ටීචර්… – මගේ යශෝධරා වත 5



දැන් ඉතිං මං කුමාරයා උසස් පෙළ එහෙම ඉවර වෙලා පරිගණක චිත්‍ර කර්මය ඉගෙන ගන්ටය කියලා හැමැදාම උදේට රාජගිරිය පැත්තට ගාටන දවස් තමා මේ. කොහොම හරි කොරලා 3 විතර වෙද්දී ගෙදර එනවා. පස්සේ තමා යශෝධරාව බැහැදකින්න රම්‍ය මාලිගයට යන්නේ. ඉතිං මෙහෙම දවසක් ගිහින් ඉද්දී මං කුමාරයාගේ දෙසවනට වැටෙනවා, මිහිරි හිංදි ගීයක වයලින් සංගීතයක්. ස්වර ටික පිටවෙන්නේ යශෝධරාවගේ සිරියහන් ගබඩාවෙන්. මට ඉතිං තාම එතෙන්ට යන්න අවසර නැහැ නොවැ. ඉතිං මක් කොරන්නද? මං කුමාරයට දිවැස් නැහැනේ එතෙන වෙන්නේ මොනද කියලා දැක බලා ගන්න.
 
පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර මං යශෝධරාවට කතා කලා… නංගී… එන්නකෝ… කියලා. පස්සේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් විදියට වයලීන් එකත් උස්සගෙන ‍එනවා යශෝධරාව. ඇවිත් ඉතිං පුංචි ලස්සන සංගීත ඛන්ඩයක් එහෙම වයලා මාව තුටු කරා. ඒ වෙද්දීත් යශෝධරාව විශාරද කර කර හිටියේ. පස්සේ මං කුමාරයටත් ආසා හිතුනා වයලීන් එක වාදනය කරන හැටි ඉගෙන ගන්න. ඔන්න ඉතිං යශෝධරාවගෙන් දවසක් ඉල්ල ගෙන ගියා වයලින වාදනය ඉගෙන ගන්න. අනේ මං කුමාරයට මොන වයලින්ද , ඔය ඕඩිෂන් එකයි, එෆ්.එල් ස්ටුඩියෝ එකයි තිබ්බනම් දෙනවා කන් අඩි පැලෙන්න සංගීතේ. ඒත් ඉතිං මං කුමාරයාගේ පෙර කරපු බලවත් අකුසල කර්මයක් පඩිසන් දී‍ම නිසා මං කුමාරයට හිතුනා යශෝධරාවගෙන් වයලීන් ඉගෙන ගන්න.
 
පස්සේ ඔන්න අදාල දවසේ ගියා වයලීන් ගහන්න කියලා. කන්තකව පැත්තක තියලා එහෙම ගෙට ඇතුළු වුන ගමන්, මෙන්න බොලේ යශෝධරා ගේනාවේ නැද්ද වයලීන් එක. මං කුමාරයට වඩා වුවමනාව තියෙන්නේ යශෝධරාවට. මොකද එයාටත් ලකුණු ටිකක් දාගන්න ගමන්, මට වැරදෙන ‍අවස්ථා වලදී… වෙනදට මං දෙන නෝන්ඩි වලට රිටර්න් එක දෙන්න පුළුවන්නේ ඒකයි. හැබැයි මේ ටික ඔක්කොම මං කුමාරයාගේ සිහි නුවනට මීටර් වුනේ සියල්ල සිදුවීමෙන් අනතුරුවයි. කොහොම හරි යශෝධරාව මට වයලීන් එක දීලා, ඔතනින් වාඩි වෙන්න කියලා බිම දාලා තියෙන කුෂන් එකක් පෙන්නුවා. මෙතෙන…? මට බෑ, මම පුටුවේ ඉන්නම්… කියද්දී යශෝධරා කියනවා, එහෙම බෑ වයලීන් ඉගෙන ගද්දී ඒකට ගරු කරන්න ඕනේ, ගුරුවරයා පුටුවේ ගෝලයා බිම කියලා. අනේ දෙයියනේ මට වුන දෙයක් කියලා හිත හිත ඉද්දී, දැන් වයලීන් ඉගෙන ගන්න ඕනේ නැද්ද? ඔතෙන බමුනා වගේ හිටන් ඉන්නේ කියලා අහද්දී මව්තුමිය සැපත් වුනා. මොකෝ ඒ පාර දෙන්නගේ රංඩුව. නෑ අම්මේ මෙයා වයලින් එක ප්ලේ කරන්න බිම වාඩිවෙන්න බෑලු. අදත් දෙයියනේ කියලා නඩුවක්. මැඩම්, මේක ගහන්න බිමම ඉන්න ඕනෙද? නැතුව කොල්ලෝ… බිම හිටියම තමා හොඳට ඉගෙන ගන්න පුළුවන්.
 
ඔය අහගත්තේ මං කුමාරයා. යශෝධරාවට හපන් අම්මගේ කෝලම්. දැන් ඉතිං වාඩි වෙයන්කෝ බිම. කවදා කරපුවද අප්පා මේ. මට වයලින් එක ඉගෙන ගන්න කලින්ම වයලින් එක එපා වුනා. කොහොම හරි ඉතිං වයලින් එක උගන්නන්න කියපු මෝඩ කමට බිම වාඩිවුනා. දැන් මං කුමාරයා බිම යශෝධරාව පුටුව උඩ. ලැජ්ජාවේ බෑ අප්පා. යශෝධරාවත් හිනාවෙවී කියනවා මෙහෙම අල්ලන්න, අරෙම අල්ලන්න… බෝ එක එක අල්ලන්නේ ඔහොම නෙමෙයි මෝඩ පැටියෝ… කිය කියා . දැන් නම් මං කුමාරයා ගෙඩි පිටිං බයිට්. මෙච්චර කලක් යශෝධරාවට නෝන්ඩි දාලා, සතර පෙර නිමිති පෙන්නලා සසර කලකිරෙව්ව පවට වන්දි ගෙනවපන්කෝ දැන්.
 
කොහොම හරි කරලා යන්නතං මුල් ස්වර හතර හරියට වාදනය කලා. හැබැයි යශෝධරාවට පුදුමයි ඒ වෙච්ච දේට. මොකද යශෝධරාවට ඒ ස්වර හතර හරියටම වාදනය කරන්න දවස් දෙකක් ගියයි කියනවානේ. ඒ කියන්නේ පැය 4ක්. ඒත් ඉතිං මං කුමාරයා දස්සයා නිසා, අර ගුත්තිලට දීපු ගුලි වගේ එකක් සක්කරයා මටත් දුන්නා. ඉතිං එයින් එකක් උඩ දාන්නේ නැතුව කටේ දා ගත්තම ඕනේ දෙයක් සුටුස් ගාලා අල්ල ගන්න පුළුවං. මේ ගුලි කියන්නේ ඔය එක එක ජරාව නෙමේ. ටික් ටැක් හො‍දේ. පස්සේ ඉතිං කොහොම හරි මාව නෝන්ඩි කරන්න පිඹුරු පත් එලං හිටියට මව්තුමියයි, යශෝධරාවයි ඒ වැඩෙන් ටිකක් විතර නෝන්ඩි වුනා. මොකද යශෝධරාව පැය හතරක් තිස්සේ ට්‍රයි කරලා වාදනය කරපු ස්වර හතර මං කුමාරයා වයලීන් එක අතට අරං විනාඩි පහ‍ලොවෙන් වාදනය කරනවා කියන්නේ…. ලොවෙත් නැහැනේ ඉතිං. ඔන්න ඊට පස්සේ යන්තං තව විනාඩි 15ක් විතර වයලීන් එක වාදනය කරලා මං කුමාරයා සිංහ ලීලාවෙන් නැගී සිටියා. මෙන්න මවු තුමිය එනවා තේ දෙකකුත් හදාගෙන. කොහොම හරි කරලා මං කුමාරයා යන්තං උණු උණුවෙම තේ එකත් බීලා වෙනදට වැඩිය කලිං රම්‍ය මාලිගයෙන් පිටවුනා. තව හිටියානම් එහෙම මට වයලීන් ගහන්න නමේ වෙන්නේ, යශෝධරාවටයි මවිතුමියටයි එකතු වෙලා මගේ කො‍න්දේ තෙල් ගාන්න. ජීවක් වෙදාත් ඒ දවස් වල ලංකාද්දීපයේ හිටිය නැහැනේ. මිනිහාත් වැඩිදුර ඉගෙන ගන්න රට ගිහිල්ලා, නැත්තං හෙම මම තව පැය භාගයක්වත් වයලින් ගහලමයි එන්නේ. මුකුත් හිතන්න එපා… ඇන්ඩ්… නෝන්ඩි කොරන්නත් ඔට්ටු නැහැ ඕං. මං කුමාරයා ඊට පස්සේ වයලින් ගහන්න ගියේ නෑමයි කියන්නේ. වයලින් එක කියලා දෙන්න යශෝධරාව කතා කරද්දීත්, අනේ ඕනේ නැහැ පැටියෝ… කියලා ඒ හිතත් නොරිදා, මං කුමාරයාගේ නම්බුවත් තියාගෙන මේ වෙනකම්ම ශේප් වෙලා ඉන්නවා. හැබැයි ඉතිං ඉවසන්න බැරි හිටි ගමන් ඇමති මඩුල්ල ඉස්සරහා ඔය කතාව කියලා විහිළු කරන එක තමා. ඇමති මඩුල්ල කිව්වේ යශෝධරාවගේ අක්කන්ඩි, එයාගේ මව්තුමිය, චූටි නංගි, එයාගේ පියතුමා එතකොට යශෝධරාවගේ පියතුමා තමා. මේ ඔක්කොමලා ඉස්සරහා කියද්දී, මෙයා එක දවසක් වයලින් ඉගෙන ගන්න ආවා, බිම වාඩි වෙන්න කිව්වා කියලා එදා ඉඳන් නෑ… කියද්දී, අනේ මං කුමාරයටත් හිතයි මුගලන් හාමුදුරුවෝ වගේ සිං ගාලා අහසට වැඩලා වෙන කොහාට හරි අන්තරස්දහං වෙන්න. ඒත් ඉතිං ඒකටත් පදයක් හදයි ඊළඟ දවසේ. ඒක නිසා එහෙමම හිටියා. නැතුව උඩින් යන්න බැරි කමකට හිටියා නෙවේ. මගේ පුංචි වයලීන් ටීචර් හිතං ඉන්නේ එයා තමා පොර කියලා. මම එයා ගැනම සිංදුවක් හදලා ගිහිං පෙන්නුවමනං රත්තරං ගනං අඩුවුනා. නැත්තං මං කුමාරයට වෙන්නේ දෙව්දත් තෙරත් එක්ක සෙට් වෙලා අවිචියේ තාප්පේ බඳින්න තමා.

%d bloggers like this: