ඕළු මල් කුමාරි – මගේ යශෝධරා වත 4


යශෝධරා තුමිය රම්‍ය මාලිගයට කලින් වැඩ සිටි සුරම්‍ය මාලිගයේ වැඩ වාසය කරන කල්හි මං කුමාරයා දිනක් මහත් වුවමනාවෙන් ඒ මාලිගයට ගියේ යශෝධරාව බැලීමට නම් නෙවෙයි. ඒ දවස් වල මං කුමාරයාට සිප්හලේ වාර පරීක්ෂන පැවැත්වෙන දින. ඒ නිසා ඉතිං සුරම්‍ය මාලිගයට ගියේ යශෝධරාගේ මව්තුමියගේ දෙවන බස පන්තියට සහභාගී වීමටම කිව්වත් වැරදියි, ඔය කොයි තරම් වැඩ තිබ්බත් එහේ ගියේ යශෝධරාව බැහැදකින්නම තමා. ඉතිං මං කුමාර‍යා පන්තියට ගිහින් ඔන්න ඉගෙන ගන්නවා කඩු හරඹ. ඒ කියන්නේ කඩුව අල්ලන හැටි, කඩුවෙන් කොටන හැටි… එතකොට කඩුව දිදුලවන හැටි එහෙම තමා. ඒ කියන්නේ ඉංගිරිසිය තමා ඉතිං.
 
බැයි අද නම් වෙන දවස් වලට වඩා ටිකක් අමුතුයි මුළු පරිසරයම. යශෝධරාවගේ හඩක්වත්, අඩුම ගානේ වෙනදට මාලිගාවේ උළුවස්සේ එල්ලිලා දාන බැල්මවත් අද නැහැ. ඉතිං ඒ වගේ වෙලාවට සදෙව් ලොව ඉන්න‍ ඔක්කොම දෙවිවරුන්ට මං කුමාරයා කියනවා යශෝධරාව පොඩ්ඩක් මාලිගයෙන් එළියට වැඩම කරවන්න කියලා. අනේ වෙනදටනම් දෙයියෝ ඒක අහනවා අද නැහැනේ. මං කුමාරයා කොයිතරම් මහා පුරුෂ ලක්ෂන පෙන්න පෙන්න හිටියත් යශෝධරාවගේ මව් තුමියගෙන් , යශෝධරාව කොහෙද කියලා අහන්න තරම් ගටක් නම් තිබුනෙම නෑ. ඉතිං ඔහොම ලත‍වෙවී ඉද්දී, මව්තුමිය අහනවා මොකද නංගී නැතුව පාළුයි වගේද කියලා. ෂිඃ… මව්තුමිය කොහොමද මේක දැනගත්තේ, කියලා මං කුමාරය හිතද්දී ආයෙත් මව්තුමිය කියනවා නංගි තව ටිකකින් එයි දැන් ඉතිං දීපු ඇක්ටිවිටි එක කරන්න කියලා.
 
මොන ඇක්ටිවිටිද මේ වෙලාවේ. දැන් නම් දේවදත්තයා ගිනි දෙවියෝ අරං යනවා, වර යන්න බලන්න කියලා යාළුවෙක් කතා කලත් මං කුමාරයට නැගිට ගන්න පනක් නෑ. ඒ අස්සේ මල ඉලව් ඇක්ටිවිටියක් කොරන්න. පස්සේ මේ සීන් එක මව් තුමියගේ දිව්‍යක් චක්කුවට අහුවුනා. පස්සේ … පුතා ඕක කරන්න මම නංගීව අඩගහන් එන්නම් කියලා ගියා. ඇති යන්නතං අද ටිකක් පරක්කු වෙලා හරි සදෙව් ලොවටම, අහිංසක මං කුමාරයාගේ කන්න ලව්ව ඇහිලා. දැන් ඉතිං මොන ලෝකේ නට නට හිටියත් යශෝධරාව එන්න එපැයි. සුවච කීකරු ගැහැණු ළමයි එහෙමනේ.
 
අප්පේ මෙන්න එනවා ඊට පස්සේ, යශෝධරාවයි, මව්තුමියයි‍… යශෝධරාවගේ අක්කා හෙවත් ඇගේ මව්තුමියගේ නංගිගේ දූ පොඩ්ඩයි. හැබැයි මේ දෙන්න ටිකක් අමුතුයි වගේ, අර ගැල් සීයයේ කතාවේ වගේ මඩ නාලා, ඕළු මල් වගේකුත් අත් දෙකේ පුරෝගෙන යක් පැටව් දෙන්නෙක් වගේ තමා එන්නේ. ඒ කියන්නේ ඕළු මල් 5ක් විතර එක්කෙනෙක්ගේ අත් දෙකේ. එතකොට ඔක්කොම 10යි. පස්සේ දෙන්නා එක්ක මගේ ළඟටවත් එන්නේ නැතුව මාලිගයට සැපත් වුනා. ඊට පස්සේ මව්තුමිය ඇවිත් මට කියනවා, අල්ලපු රාජධානියේ කුමාරිකාව එක්ක එයාලගේ පහල වෙලේ මල් කඩන්න ගිහින් කියලා. ඒක තමා වෙනදට මං කුමාරයා එද්දී ඔක්කොම වැඩ දාලා දුවගෙන එන යශෝධරා අද ආවේ නැත්තේ. මෙන්න ඊට පස්සේ මඩ හොදාගෙන බැබලි බැබලි දෙන්න එක්ක එනවා. පස්සේ යශෝධරාව මගේ ගාවට ඇවිත් මට දුන්නා පුංචි සුවඳ ඕළු මලක්. හැබැයි ඉතිං මගේ පෙර ගති මතුවෙන්න ගත්තේ සුළු මොහොතයි. මට අමතක වුනා මේ කෙල්ල මඩ නාගෙන වෙල් වල බැස්සේ මට මේ මල් කඩල ගේන්න නේද කියලා. ඉතිං මම කිව්වා, මට පුංචි එකක් එපා අර ලොකු මල ඕනේ කියලා. අතේ තියෙන වෙන ලස්සන ලොකු මලක් පෙන්නලා. ඒ වෙලාවෙම මව්තුමියත් ආවා. මෙන්න පුරුදු පරිදි නඩුවක් ෆයිල් කරගත්තා මම. යශෝධරාව දුවගෙන ගිහින් මව්තුමියගේ අතේ එල්ලිලා අනේ අම්මේ මෙයා මේ ලොකු මල ඉල්ලනවා. ඒක මම කඩන්න ගිහින් වැටෙන්නත් ගියා. අනේ එයාට කියන්න ඒක මට ඕනේ කියලා. කිය කිය නැලවෙනවා. මං කුමාරයත් යශෝධරාව අවුස්සන්නේ ඔය වගේ හුරතල් වදන් ටික අහගන්න මිසක් තරහකට නෙමේ කියලා මව්තුමිය දන්න නිසා, යශෝධරාවට කිව්වා එහෙනම් අයියට තව මලක් දෙන්න කියලා. ඔන්න ඊට පස්සේ තව මල් දෙකක්ම මට දිකකරා. මට එපා මට ඕනේ ලොකු මල… කිව්වම, අනේ අම්මේ….කියාගෙන ආයෙමත් නහයෙන් අඩනවා‍.
ඊට පස්සේ පැත්තකට වෙලා මේ විකාරය බලාගෙන හිටිය යශෝධරාවගේ අක්කන්ඩිය මට දුන්නා එයා ගාව තිබුන ලොකු මලක්. ඒ මෙන්න වැඩක්, කව්ද මෙයාගෙන් මල් ඉල්ලුවේ කියලා අහන්න හදද්දිම, යශෝධරා පැන්න ඉස්සරහට අක්කගේ ඕළු මල අක්කට දීලා එයා අතේ තිබ්බ ලස්සන ලොකු ඕළු මල මට දීලා මගෙන් අහනවා දැන් හරිද කියලා. මමත් ඉතිං නෑ තව චුට්ටක් තියෙනවා කිව්වා. ආයෙත් අහනවා ඒ මොකද්ද කියලා. මං කුමාරයා කිව්වා නෑ මුකුත් නෑ කියලා. දැන් නම් යශෝධරාවට අතෙත් මලක් පිපීගෙන එනවා වගෙයි. මූන රතූ පාට වෙලා, ඇස් දෙකෙන් කඳුළු බිංදු පනින්න ඔන්න මෙන්න. පස්සේ ඉතිං හැමදාමත් වගේ මටම දුක හිතිලා පැටියෝ මම මේක ගෙදර ගෙනියන්නද කියලා ඇහුවම, ගෙනියන්න තමා දුන‍්නේ කියලා දිව්වා මාලිගයට.
 
ඔන්න ඉතිං මං කුමාරයා අර මව්තුමිය දුන්න ඇක්ටිවිටිය එහෙම අවසන් කරලා මගේ මාලිගයට යන්න ලෑස්ති වෙද්දී යශෝධරාව එයාගේ මාලිගයේ ඉඳන් ඇවිත් උළුවස්සට හේත්තු වෙලා බලං ඉන්නවා මං මගේ රෝද දෙකේ කන්තකව හරවා ගන්නකම්. පස්සේ මං කුමාරයා එන්න ලෑස්ති වෙද්දී මගේ අතේ තිබුන ඕළු මල දිහා බලල,මට කිව්වා කාටවත් දෙන්න එපා කියලා. කාට දෙන්නද, මුළු හිතම ඔයා ගාවනේ කියන්න හැදුවත් ඒ වචන ටික මගේ කටින් පිටවු‍නේ නෑ. පස්සේ මං කුමාරයා යශෝධරාවට ඔළුව දෙපැත්තට වනලා හා කියලා කිව්වා. ඒ ටික එයාට හොඳටම ඇති බව දැනුනේ ලාවට මා එක්ක හිනා වුන නිසයි.
 
ඊට පස්සේ මං යනවා කියාගෙන කන්තක එක්ක ගෙදර ආවා. ගෙදර ඇවිත් ඕළු මල ජෑම් බෝතලයක් අරං වතුර පුරවලා ඒකට දාලා තිබ්බා. පස්සෙන්දා සිප්හලට ගිහින් එද්දිත් ඒක එහෙමමයි. ඒත් හැමදාම තියාගන්න බැරි නිසා යශෝධරාවම දුන්න දිනපොතක් අස්සට ඕළු ‍මලේ පෙත්තක් කඩලා දැම්මා. සුරක්ෂිතව ඒ මතකය ආරක්ෂා කරගන්න ඕනේ නිසා. අදටත් ඒ මල් පෙත්ත දින පොත ඇතුලේ තියෙනවා. අර ඕළු මල දුන්න දා වගේ නම් නෙවෙයි, පාට ටිකක් දුඹුරු පාට වෙලා. ඒත් එදාට වඩා තවත් සියුමැළි වෙලා. ඉතිං මං කුමාරයා යශෝධරාවට ඕළු මල් කුමාරි කියලා කිව්වට කමක් නැහැනේ නේද?

%d bloggers like this: