හොර පුසා… – මගේ යශෝධරා වත 3

 
ආයේමත් සතියක් විතර පෙරුම් පුරල පුරල රම්‍ය මාලිගයට ගියා මම යශෝධරාව බැහැදකින්න. එදා නම් වැස්ස නෑ, හොඳටම අවුව. ගියේ හවස් වරුවක නිසා යශෝධරාවගේ පියතුමාත් උන්දැගේ සැඳෑ සක්මන සඳහා පිටවෙලා ගිහින් තමා තිබුනේ. ආයේ ඉතිං ඒ වගේ වෙලාවටනම් යශෝධරා වගෙයි මං කුමාරයාගෙයි දාංගලේ නවත්නන සක්කරයටවත් බෑ. මිනිහාත් දවස් දෙක තුනක් ඇවිත් හැරිලා ගිහින් තිබුනේ මේ මනුලොව කෝළම් අපිට නවත්තන්න බෑ කියලා.
 
ඉතිං ඔන්න මමත් ගෙදරට ගිහින් ‍බෙල් එකත් ගහලා, කුම්භ ඝෝෂක ආත්මයත් මතක් කරගෙන කට ඇරලා ගෙදර කව්ද කියලා අහපු ගමන්, මෙන්න එනවා යශෝධරා වස්තුව නැලවෙවී. හැබැයි අදත් නඩුවක් වගේ. මං කුමාර‍යා ඇයි යෝදියේ මුන එල්ලගෙන කියල අහන්නවත් වෙලාවක් නෑ, මෙන්න නඩුවේ ප්‍රධාන සැකකාරයා උසාවියට ඇවිල්ලයි කියලා එයාගේ මව්තුමියට කියනවා.
 
අම්මේ මෙන්න හොර පූසා ඇවිල්ලා. ‍මේ යශෝධරා මැණිකට මාව පේන්නෙම එක එක ලස්සන සත්තු විදියට. කවදාවත් හරකා, බල්ලා කියලා නම් කියලා නෑ. හැබැයි ගොන් පැටියා, බලු කුක්කා කියලා නම් කියලා තියෙනවා. කොහොමත් ගෑනු ආසා පුංචි හුරතල් සත්තුන්ටනේ කියලා ඉතිං මාත් හිත හදාගන්නවා. පස්සේ ඔන්න මව්තුමිය එනවා ගේ ඇතුලේ ඉඳන්. අදනම් උදාන වාක්‍ය මුකුත් නෑ. නඩුකාරයා වගේ තමා. නඩුකාරයා කො‍හොමත් වැඩිය කතාවක් නැහැනේ.
 
මූනම් හොර පූසෙක් නෙවෙයි. හොරු කණ්ඩායමක නායකයෙක්ද කොහෙද. ඒ යශෝධරාවගේ මව්තුමිය. පස්සේ ඉතිං මගේ කහන කටත් උල් කර කර ටිකක් නලවලා එහෙම ඇයි මැඩම් ආපු ගමන් බනින්නේ කියලා ඇහුවා. බනින්න නෙමේ තියෙන්නේ උල තියන්න. ඒ යශෝධරා. කොයි පැත්තෙන්ද දන්නේ නෑ නේද කියලා මං අහද්දිම ආයෙමත් යශෝධරාව කියනවා ඔළුවෙන්… කියලා. මං කුමාරයා මේ කිසිම දෙයක් තේරෙන්නේ නැති තැන දෙන්නගෙන්ම එක පාර ඇහුවා, ඇයි දැන් මොකෝ වෙලා තියෙන්නේ කියලා. ඒ පාර නම් මවිතුමිය ටිකක් කේන්තියෙන් වගේ මගෙන් ඇහුවා. කොල්ලෝ… උඹ නංගිගේ මොනා හරි හොරකම් කරාද? පිස්සුද දෙයියෝ මොනා හොරකම් කරන්නද එකම එක පාරක් අමාරුවෙන් නළල ඉම්බා විතරනේ කියන්න ගිහින් ආයේ හිතුනා ඕනෙ නෑ කියලා. ඊට පස්සේ මෙහෙම කිව්වා. මම නම් මුකුත් හොරකම් කරේ නෑ එයා නම් මගේ ගාව තිබ්බ වටිනාම දේ උස්සලා ඔය දැන් කිසිදෙයක් දන්නේ නෑ වගේ මට ඔරව ඔරව ඉන්නේ කියලා. මෙන්න යශෝධරා ගියා මව්තුමිය ගාවට එක එතකින් අම්මගේ අතේ එල්ලිලා මගෙන් අහනවා මං මොනාද ඔයාගේ හොරකම් කරේ කියලා. මටත් ඉතිං එතෙන වප්මගුල් සිරි පේනවා. යශෝධරාව මැඩවිලා ඉන්නේ අම්බානෙට. තව ටිකක් අවුස්සන්න හිතාගෙන මං කිව්වා අනේ බබා, ඔක්කොම කරලා මෙතෙන දන්නේ නෑ වගේ ඉන්න හැටි කියලා. ඇත්තටම ඉතිං මට කරානං කරේ හොඳක් තමා. ඒත් ඉතිං නඩුවක්නේ මේක. කටින් කියවලා එපැයි දිනන්න. ඒක නිසා තමා එහෙම කිව්වේ. ඊට පස්සේ මගෙන් උත්තරයක් ගන්න බැරි තැන යශෝධරාව එයාගේ අම්මගෙන් අහනවා අම්මේ… මං මොනද අම්මේ මෙයාගේ හොරකම් කරලා තියෙන්නේ කියලා. පස්සේ මව්තුමිය කියනවා මං කොහොමද වස්තුවේ දන්නේ එයාගෙන්ම අහන්න කියලා. ම්හ්… වස්තුව… වස්තුව මේක සෙක්කුව කියද්දී ඔන්න එක අතකින් අම්‍මගේ අතේ එල්ලිලා අනිත් අත අංගුලිමාල වගේ උඩට උස්සගෙන මංකුමාරයට දෙකක් දෙන්න හදනවා.
 
මොනා කලත් මව්තුමියගේ අත නම් අතහරින්නේ නෑ. මොකද අත අතහැරිය ගමන් අපි දෙන්නගේ විගඩම් බල බල ඉන්නේ නැතුව එයා යනවා තමන්ගේ මොකක් හරි වැඩක් කරගන්න. එතකොට ඉතිං මං කුමාරයා රජ වෙනවා. ‍යශෝධරාවට ගුටි දෙන්නෙත් මං ගුටි කන්නෙත් ඒ වෙලාවට තමා. ඒක නිසා යශෝධරාව නඩුවක් විභාග වෙන කිසිම අවස්ථාවක මව්තුමියගේ අත අතහරින්නෙම නෑ. අදටත් එහෙමයි. මොකද එහෙම කලොත් පැමිණිලි පාර්ශවයටම අවාසි වෙන බව දන්න නිසා.
 
පස්සේ ඔන්න අන්තිමේ නඩුවේ පැමිනිල්ල ඉදිරිපත් කරා. මේ ඔයා මගේ කතා පොතක් ගෙදර ගෙනිච්චද? යශෝධරා ඇහුවා. ගෙනිච්චා නේන්නං මං අද ගේන්න හිටියට ගේන්න බැරි වුනානේ. දැන් මොනද කරන්නේ කියලා හිතද්දී ආයෙත් මගෙන් අහනවා, ගෙනිච්චා නේද? කියලා. ආ… වැරැද්ද මගේ පිටේ තියලා මාව අමාරුවේ දාන්න හදන්නේ. මං කුමාරයා අහුවෙයි ඕවට. පිස්සුද ඔයානේ දුන්නේ, මේක ලස්සන පොතක් හිමීට කියවලා ගෙනත් දෙන්න කියලා. මං කිව්වා. අනේ අම්මේ මං එයාට ඒ පොත දුන්නේ නෑ, මං කියවලා ඉවරත් නෑ, අනේ ඒක ගේන්න කියන්නකෝ මට තාත්තගෙන් බැනුම් අහන්නයි වෙන්නේ නැත්තං කියලා මගේ යශෝධරාව මව්තුමියගේ අතේ එල්ලිලා නහයෙන් අඩන්න ගත්තා. අනේ මෙයා බොරු කියන්නේ මෙයා තමා මට පොත දුන්නේ. දැන් මෙතෙන පොත දාන්න එනවා කිව්ව ගමන් මව්තුමිය‍ගේ අත අතහැරලා පරාජය භාර අරං කාමරේට ගිහින් කොට්ටෙත් බදාගෙන දොයිය බබා කරන්න හදන්නේ. පස්සේ ආයෙමත් මං, නංගී …. කියලා කතාකරාම මූන එල්ලගෙන එනවා මොකෝ කියලා අහගෙනම. ඇත්තටම වෙලා තිබුනේ නොහිතපු දෙයක්. යශෝධරාව හිතලා තියෙන්නේ එයා මට පොත දීලා කියලා. දුන්නා තමා ඒ ඊට කලිං ගෙනාපු පොත. මෙයාට ඒක මතක නෑ. දැන් මං කුමාරයා ගොඩ. පව්… යශෝධරාව හොඳටම කලකිරිලා ඉන්නේ එයාගේ මතකය ගැන. පස්සේ මටම දුක හිතිලා නෑ පැටියෝ මං පොත හොරෙන් තමා ගෙනිච්චේ කිව්වම. ආ… ඒකනේ, ‍කෝ දැං පොත? කියලා ඇහුවා. ඒක ගෙදර තියෙනවා හෙට ක්ලාස් ගිහින් එද්දී මං බස් එකේදී දෙන්නම් කිව්වම අම්මෝ මූනේ තියෙන එළිය. අමාවකට පුරහඳ පෑව්වා වගේ. මට දැනුත් මැවිලා පේනවා. ඊට පස්සේ නඩුවේ පසු විමසුම ආයෙමත් පටන් ගත්තා. අම්මේ මෙයා තමා පොත උස්සලා තියෙන්නේ. කිව්වා. පස්සේ කර කර හිටිය වැඩකුත් දාලා මව්තුමිය සැපත් වෙලා කියනවා කොලුවෝ පොත ඉක්මනට ලැබෙන්න සලස්වන්න ඕනේ නැත්තං ආයේ රම්‍ය මාලිගයේ පස් පාගන්න නෙමේ කියලා. අපෝ පොතක් නිසා යශෝධරාව නැති කරගන්න බැහැනේ… ඒක නිසා මං පොත ඊළඟ දවසෙම දෙන්නං කියලා පොරොන්දු වුනා. මෙන්න ආයෙමත් යශෝධරාව අම්මාගේ අතේ එල්ලිලා මගේ දිහාට බැල්මට් එක දාගෙන ආයෙමත්, හොරපූසා… කියලා සුපුරුදු සුරතල් විදියට හිනාවෙනවා. එතකොට නං ඉතිං හොරකම් කරපු පොතයි තව කතා පොතකුයි අතිනුත් අරගෙන මේ දැන්ම ගෙනත් දෙන්න හිතයි. පස්සේ කොහොම හරි මාත් රම්‍ය මාලිගයෙන් එළියට බැහැලා එද්දී ආයෙමත් මට කියනවා, ඒයි පූස් හෙට පොත ගේන්න කියලා. මාත් ඉතිං හරි කියන්න වගේ ඔළුව වනලා පැදලා එනවා මගේ මාලිගයට. ඔන්න ඔහොම පොත් උස්සලා හිටං ඒවා කියවලා තමා මාත් කතන්දර ලියන්න පුරුදු වුනේ. නරක නෑ නේද?

%d bloggers like this: