පස්සෙන් එලවන බලු නකුටෙක්ව චාටර් කිරීම


මේක නම් ටිකක් විතර ෆන් කතාවක්. කට්ටියට මතක ඇතිනේ අපේ හසියා ටික කාලෙකට කලින් කිව්වා, අපිව කූඹියෙක් කෑවොත් කූඹියාව මරන්නේ නැතුව චාටර් කරන විදිය. ඒ ක්‍රමය මම අත්හදා බැළුවා. වැඩේ නම් එලකිරි. හැබැයි කූඹිටික ඇත්තටම කතාකරපුවා අහගන්න විදියක් තිබ්බේ නෑ. ඉතිං මමත් හිතුවා අපිට වදයක් වෙන තව සත්තු ජාතියක් චාටර් කරලා දාන විදිය කියලා දෙන්න.

දැන් මේ කියන්න යන්නේ අපි ඔය කොහෙ හරි වැදගත් ගමනක් යද්දී, එහෙම නැත්තං පුටාර් එකෙන් වටයක් යද්දී, ඒත් නැත්තං මෝටාර් එකෙන් වටයක් පදිද්දී එහෙම පාරේ ඉන්නේ බලු නකුටෝ පස්සෙන් බුරාගෙන එනවානේ, හරියට නිකං අපි උන්ගේ වාහනේක යනවා වගේ. ඉතිං අපිත් ආයේ යන්න පුළුවන් උපරිම වේගෙන් ඇරලා යන එකනේ කරන්නේ, ඔය වගේ වෙලාවකදී. කට්ටිය දන්නේ නැතිවුනාට එහෙම කරාම බලු නකුටා හිතන්නේ ඌ තමා පොර කියලා. ඇයි ඉතිං අපිත් පස්ස බලන්නේ නැතුව හති දාගෙන පදිනවානේ. බුහ්… බුහ්… සද්දේ නැති වෙලා ගියාට පස්සේ තමා ආයෙමත් පස්ස හැරිලා බලන්නේ. නේද? ඉතිං මං නං කියන්නේ ඔය කොහෙවත් යන බලු නකුටන්ට සෙකන්ඩ් වෙන්න එපා. ඈ… එහෙනම් මොකද්ද කරන්නේ? කොහොමත් ඉතිං කලාතුරකින් ඇරෙන්න අපි පස්සෙන් එලවන බල්ලට සෙකන්ඩ් වෙන්නේ නැහැනේ. ජීවිතේට දුවලා නැති කෙනෙක් වුනත් බල්ලෙක් එලවන කොට දුවනවානේ.

දැන් මේක කියෙව්වට පස්සේ ඒ කරදරෙන් මිදෙන්න පුළුවන්ත හැබැයි ඔය පයින් යද්දී බලු නකුටෝ එලෙව්වොත් නම්, කරන්න ඕනේ දේ මම හරියටම දන්නේ නෑ. මම නම් කරන්නේ තාර පාරේ වුනත් දෙකට නැවිලා ගල් කැටයක් හොයනවා වගේ ඇක්ටින් පාරක් දාන එක බල්ලාට පේන්න. එතකොට බල්ලා වාෂ්ප වෙනවා. ආ… මෙන්න අත්දුටු ප්‍රත්‍යක්ෂ බෙහෙත.

ඔන්න පට්ටාං ගන්නයි යන්නේ… දැන් හිතන්න අපි යනවා පුටාර් එකෙන් හරි මෝටාර් එකෙන් හරි අපේ ගෑනු ළමයව බලන්න කියලා. (අපේ කිව්වේ තමන්ගේ හො‍ඳේ, නැතුව අනුන්ගේ ඒවා බලන්න ගිහින් වෙන වැඩ වලට ගෝල්ඩ් ෆිෂ් වගකියන්නේ නෑ ඕං) දැන් ඉතිං අපි යන්නේ අපේ ඇනුඅල් බාත් එකත් දාගෙන, ඊයේ ගත්ත අළුත් කිට් එකත් දාගෙන, පර්ෆියුම් එකකුත් නාලානේ. ඔන්න ඉතිං ටික දුරක් යද්දී කොහෙ හරි වැටක් අස්සේ ඉඳන් අපේ පර්ෆියුම් සුවඳටයි, අළුත් කිට් එකටයි ඉරිසියා හිතුන බල්ලෙක් එනවා වාහනේ පස්සෙන් බුරාගෙන. නිකං අපි උගේ බලු කෑල්ලව දාගන්න යනවා වගේ කියලා හිතලා වෙන්න ඇති. දැන් ඉතිං අපි සාමාන්‍යයෙන් කොරන්නේ බල්ලට දෙක දීලා අපි එක වෙන්න පදින එකනේ. එතකොට බල්ලා දෙක වුනත් ඌ හිතන්නේ ඌට බයේ අපි ගියා කියලා. ඇත්තටම ඉතිං ඒක තමා වෙන්නේ. එහෙමයි කියලා බල්ලන්ට ඕවා තේරුම් කරන්න යන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඉතිං ඒ බල්ලා බලු රැලක් එක්කම ඇවිල්ලා අපි එතනින් යන යන පාරට, අපිට බුරනවා. අපි කොහේ ගියත් ඒ බල්ලා අපිව දැක්කොත් ඉතිං බඩුම තමා. ඒ කියන්නේ මේක බල්ලන්ටම ගිය රට. ඔව් ඒ ඉස්සර, දැන් මං විද්‍යාඥයා හොයා ගත්තා (බොහෝම ලොකු පරීක්ෂන කරලා එහෙම තමා) සිරා ක්‍රමයක් මේකෙන් බේරෙන්න.

කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි, බල්ලා අපිව එලෝගෙන එනවා කියලා හිතන්න. කෝ… ඉතිං හිතන්නකෝ…. ආ… හරිනේ. දැන් අපි යන ගමන්ම වාහනේ වේගෙ ටිකක් වැඩි කරන්න. ඕක ඉතිං කියන්න දෙයක් නැහැනේ කොහොමත්, ඉබේම වැඩි වෙනවනේ. හරි, දැන් ටික දුරක් බල්ලට පස්සෙන් එන්න දීලා එක පාරට බ්‍රේක් ගහලා වාහනේ නවත්තන්න. දැන් බල්ලා එකතැන නැවතිලා බුරයි. දැන් තමා හොඳම හරිය. යන ගමන ගැන මොහොතකට අමතක කරන්න, වාහනේ හරව ගන්න, බල්ලා පස්සෙන් පන්නන්න. බල්ලා දුවයි ආයේ මොනාද, වංගු කෙලින් කරගෙනම. කොහොම හරි බල්ලා වැටක් අස්සෙන් හරි ගේට්ටුවක් අස්සෙන් හරි වත්තක් ඇතුලට රිංගනකම්ම පස්සෙන් එලවන්න පුළුවන් නම් වැඩේ ගොඩ. ආයේ ඒ බල්ලා නෙමේ වාහනේ දකින කොට හරි, මෝටාර් එකක්නං එකේ සද්දේ ඇහෙන කොට හරි ඒ පැත්ත පලාතේ ඉන්නේ. හැබැයි පුතෝ ඔය අනුන්ගේ වාහන ඉල්ලං මගුලේ යන අයටනම්, එක එක වාහනේ යොදා ගෙන බල්ලට වෙන වෙනම ට්‍රීට් කරන්න වෙනවා. මොකද බල්ලාට මතක හිටින්නේ ඒක පදින මිනිහාව නෙමේ, වාහනේ වර්ණය සහ සද්දය වන නිසා. ඔහොම බල්ලාගේ මීටරේ තියෙන වාහනයක් එනව දැක්කම ඌ බල්ලෝ සීයක් එක්ක හිටියත්, සිං ගාලා මාරු වෙනවා වැටක් අස්සට හරි, තාප්ප කෑල්ලක් අස්සට හරි. එතකොට ඉතිං ඒ බල්ලා ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැනේ. බලු රැලේ චාටර්ම බල්ලා තමා ඌ.

මේක ඔය පයින් යන කට්ටිය අත්හදා බලන්න යන්න එපා. මොකද බල්ලා වුනත්, හිත හොඳ එකෙක් වුනොත් අපි ඌ පස්සෙන් එලවගෙන යද්දී, ඌත් නිකං ඉන්න එකක් නැහැ. තව සේනාවකුත් එක්ක ඇවිත් අපිට ගේමට කතා කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඉතිං මේ සීන් එක පයින් මගුලේ යන ඇත්තන්ට රෙකමන්ඩ් කරන්නේ නෑ ඕං. ආ… එකක් අමතක වුනා, මේක මේ තමන්ගේ ගෑණු දරුවව බලන්න යද්දී විතරක් නෙවේ, කඩේට යද්දී, වැඩට යද්දී … ඊටීසී… වගේ වැඩවලටත් ප්‍රයෝජනවත් වෙනවා. (අන්තිම එක මොකද්ද කියලා අහන්න එපා) ඔයාලගේ වාහනේ අදාල බලු නකුටාගේ මෙමරියේ එකම එක පාරක් රෙජිස්ටර් කරාම උගේ ජීවිත කාලයටම ඒ ඇති. ඌට මේ විදියට වාහන කීයක් මෙමරියේ තියාගන්න පුළුවන්ද කියන්න නං මම දන්නේ නෑ, සමහරවිට 2GB විතර මයික්‍රෝ එස්.ඩී එකක් ගැහුවා නම් මෙ‍මරිය වැඩිවෙයි. හැබැයි ඒක බල්ලට සෙට් කරන විදිය අහන්න ඔට්ටු නෑ හරිද. මොකද ඒකට තාම පරීක්ෂන කරේ නෑ.

කොහොම හරි, තමන්ගේ පස්සෙන් එලවන කකුල් හතරේ බලු නකුටව චාටර්ම කරලා, වැලේ වැල් නැති කරන්නේ ඔන්න ඔහොමයි. කට්ටියට අත්දැකීම් එහෙම ඇතිනේ. ඉතිං ඒවාත් මට කිව්වනං මේ බලු සීන් වලට තව තව බේත් හොයා ගන්න පුළුවං වෙයි. එහෙනම් කට්ටියට තව දුරටත් බලු නකුටන්ගෙන් අතවරයක් සිද්ධ නොවේවා. (ඈ…) 🙂

%d bloggers like this: