මගේ යශෝධරා වත – තවත් කතාවක්

 

මුල් කොටස කියවලා හිටියනම් හොඳයි නේද?
 
අම්මේ අයියා ඇවිල්ලා…
ආ… මෙන්න මෙයා වැස්සකුත් අරගෙනම ඇවිල්ලා.
ඉස්සර ඉතිං මං කුමාරයා මගේ යශෝධරාව බැහැදකින්න, එයාලගේ රම්‍ය මාලිගයට යනවනේ. මට ඉතිං දැන් වගේම ඒ දවස් වලත් අව්ව වැස්ස, මේඝ ගර්ජන… ඒ විතරක් නෙවේ මාරයා මගට එනවා කිව්වත් යශෝධරාවිය බලන්න යන ගමන නම් නවත්තන්නේ නෑ. මගේ රෝද දෙකේ කන්ථක අශ්වයා ඉන්නවනේ ඒක නිසා ඉතිං හිතට බයකුත් නෑ. ඔන්න ඔහොම මේඝ ගර්ජන එහෙම අඩුනැති, වැස්සකුත් අරගෙන මම රම්‍ය මාලිගයට ගියපු වෙලාවක තමා යශෝධරා තුමිය තමන්ගේ මව් තුමියට මිහිරි කෝකිල නාදයෙන් කෑගහලා කිව්වේ මං කුමාරයා වැස්සකුත් අරං පැමිණ සිටින වග.

පස්සේ ඔන්න සිරියහන් ගබඩාවේ ඉඳන් යශෝධරාවගේ මව් තුමියත් ආවා මෙහෙම උදාන වැකියකුත් කියාගෙනම…
හොඳයි පුතේ, හොඳයි… අපේ රෙදි ටික උඹ වේලලා දෙනවද දැන්?

ඇයි හත් දෙයියනේ මේ මොකද මේ? මහාමේරුව වත් උහුලයිද මේ වගේ පොළොව පැළෙන උදාන වැකි. මං කුමාරයා දන්නවැයි අද වහිනව කියලා? ඊටත් හිරු කුමාරත් මගේ පස්ස පැත්ත පිච්චුවම තමා මට ඇහැරුනෙත්. එච්චර හොදට පායලා තියෙද්දී වහියි කියලා හිතෙන්නේ නැහැනේ. මට නං හිතෙන්නේ හිරු කුමාරයි, වැහි කුමාරයි අද එකතු වෙලා මට ගේම දෙන්න හදන්නේ. හ්ම්හ්…. මං සැලෙයි ඕවට. සතියක් පුරාවට දුෂ්කර ක්‍රියා කරල, කරල යශෝධරාව බලන්න ආවම එනව මෙතෙන මට ඔච්චං කරන්න. හිටපංකෝ මං යශෝධරාත් එක්ක එකතු වෙලා දෙන්නටම පාඩමක් උගන්නන්න.

කොහෙද ඉතිං ඔය ටික හිතලා ඉවර කරන්න වුනේ නෑනේ මට. මෙන්න යශෝධරා මං කුමාරයට මොකක් හරි විහිළුවක් කරලා වැස්සෙම එළියට පැනලා ඉවරයි. මම මාලිගය ඇතුලේ ඒකි, එළියේ මං එනකං. තව නාපිය, හොඳට තෙමිය… කම්මැලි කෙල්ල කියලා මට මාලිගය ඇතුලටම වෙලා ඉන්න හිතුනට, ඒ අහිසංක දිලිසෙන ඇස් දෙක ලඟදී මගේ අධිෂ්ඨාන ශක්තිය හැමදාමත් වාෂ්ප වෙලා යනවා. මොනා කරන්නද යශෝදරාව බලන්න කුමාරයෙක් වගේ ආපු මටත් මහ වැස්සෙම එයාගේ පස්සෙන් එලවන්න වුනා. මම පිටිපස්සෙන් එලවන කොට, දුවගෙන දුවගෙන ගිහින් ගෙට රිංගලා කොහෙහරි හැංගෙනවා. ආයෙමත් ඉතිං මං කුමාරයා ඇවිත් මහන්සි අරින කොට මෙන්න ‍ආයෙමත් මහ වැස්සේ තෙමී තෙමී මිදුලේ හිටගෙන, හූ හූ අල්ල ගන්න බැරි වුනානේ මාව කිය කිය ආයෙමත් මාව අවුස්සනවා. කොයි තරම් හිතුවත් ආයේ නම් වැස්සේ තෙමෙන්නේ නෑ කියලා, හරි යන්නේම නෑ, හුරතල් වෙවී, වැස්සේ තෙමෙන්න ඉතිං මං කුමාරයත් ආස නැතුවද? ඔන්න ඔහේ ඕනෙ දෙයක් කියලා ආයෙමත් යශෝධරාව පස්සෙන් ආලවකයා වගේ මාත් පන්නනවා. අනේ අන්තිමට මට හොයාගන්න බෑ මේ කෙල්ලව. මම මිදුලේ තෙමෙනවා. එයා ගේ ඇතුලේ ඉඳන් එනවා තුවායකින් ඔළුවත් පිහිද පිහිද, මටත් තුවායක් අරගෙන.

අනේ… අනේ , මුන් දෙන්නට නම් පිස්සු. දැන් කොහොමද ගෙදර මේ කොල්ලා ගෙදර යන්නේ?
ඔන්න ආයෙමත් යශෝධරාවගේ මව් තුමිය එනවා, උදාන වැකියකුත් කියාගෙනම. මේ පාර නම් මට වාසියක් වෙන පාටයි. මොකද මාව වැස්සේ තෙම්මුව එකට පඩුරු හම්බුවෙන්න යන්නේ යශෝධරාවට තමා ඕං. මමත් ඊට පස්සේ ලෝබ නැතුව දෙනවා මෙහෙම…

ඒකනේ, මට ගෙට වෙලා ඉන්න දුන්නේ නෑ, මාව අවුස්සලා වැස්සේ තෙම්මුවා. හ්ම්… මේ බලන්න තාම වතුර බේරෙනවා ඔළුවෙන්. එයා නම් ඔළුව පිහිදගත්තා, දැන් මගේ ඔළුව පිහිදන්නේ කව්ද දන්නේ නෑ…

අපෝ වැඩේමයි ඔළුව පිහිදන්න. පොඩි බබානේ තාම. අම්මේ, අම්මා මටද මෙයාටද වැඩියෙන් ආදරේ?

ඒ පාරනම් දේවදත්ත ගල් පෙරළුවා වගේ. යශෝධරාවගේ මව්තුමියට පැවසීමට යමක් නොමැති වූවා සේ මට හැඟීගියේය. මේ කෙල්ලත් ඉඳලා ඉඳලා අහන්නේ මොකක් හරි වර්න බේදයක් ඇති කරන ප්‍රශ්නයක්මනේ.

දෙන්නගෙන් එකෙකුටවත් ආදරේ නෑ, දෙන්නම එකයි. කියන දෙයක් අහන්නේ නෑ.

සුදු පැටියෝ දැන් හරිද? මං කුමාර‍යගේ කටටත් ඉවසුම් නැති වෙච්ච පාර යශෝධරාවට පුංචි නෝන්ඩියක් දැම්මා. මෙන්න ඊට පස්සේනේ වැඩේ තියෙන්නේ. අර කතාවක් තියෙනව‍නේ උනහපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියලා. ඉතිං ඒ වගේ යශෝධරාවත් ගිහින් මව්තුමියගේ ඇ‍ඟේ දැවටෙන්න ගත්තම…ඉතිං, ඔක්කොම ඉවරයි. හ්ම්… එතකොට දැන් මං කුමාරයා තමා බලා‍ගෙන යද්දී වැස්සේ තෙමිලා තියෙන්නේ. යශෝධරා හොඳයි එයා තෙමිලා නෑ. කොහෙද ඉතිං අම්මගෙම දූ පැටියනේ. මම කියලා මොනා කරන්නද? ඔළුව පිහිදනවයි, නලල ඉඹිනවයි, ආයේ මොනාද ඉතිං යශෝධරාට මව්තුමියගෙන් උපරිම සැලකිලි. ඔන්න ඉතිං අම්මට කියලා ඔළුව පිහිදගෙන ආයෙමත් මගේ ගාවට ඇවිත්, ඔළුව පිහිදගන්නවා පිස්සෝ උන හැදෙයි නැත්තං කියනවා.

අනේ හැදිච්චාවේ, මට මොකෝ. කියලා මම කිව්වම ඔන්න ඉතිං මව් තුමිය ඇවිල්ලා මගේ ඔළුවත් පිහිදලා යනවා. ඒක බලන් ඉද්දී නම් යශෝධරාවට දුක හිතිලද කොහෙද? නිකං මූන දුක්බර වෙලා මගේ දිහා බලං ඉන්නවා. ඊට පස්සේ උණු තේ එකක් හරි කෝපි එක්ක හම්බුවෙනවා. පස්සේ ඉතිං වැස්ස පායපුවම මං කුමාරයා ආයෙමත් ගෙදර. නිකං නෙවේ හිත
පිරෙන්න සංතෝසෙයි, ඔළුව පිරෙන්න උණයි, කට පිරෙන්න කැස්සයි එක්ක.

ඔන්න ඔහොමයි මමයි යශෝධරාවයි, හිරු කුමාරටයි, වැහි කුමාරටයි පාඩම් ඉගැන්නුවේ. සමහර විට අකාලේ වහින මහ වැස්සකට වුනත් මම තාමත් ආදරේ කරන්නේ මේ වගේ සුන්දර දේවල් මට ඒ වෙලාවට මතක් වෙන නිසා වෙන්න ඇති.

6 Responses to “මගේ යශෝධරා වත – තවත් කතාවක්”

  1. wath සොඳුරු සිත Says:

    වැස්ස කොහොම වැස්සත් සුන්දරයි මල්ලි………

  2. dinesh Says:

    පුදුමයි මට මේකෙ පලවෙනි කතාව මග ඇරුනනෙ.අදනම් දෙකම කියෙව්වා.අඩෝ ලස්සනට ලියල තියනවා…මට නැහැ නොවැ ඔහොම යශෝදරාවක්.හිටියනම් මටත් ඔය වාගෙ සුන්දර අත්දැකීම් විඳින්න තිබුනා.
    (කලින් ලිපියට),
    ඒ..දැන් දර පලන්න එහෙම පුරුදු වෙයන්.

  3. හිස් අහස Says:

    පලවෙනි කතාව නම් මම කියෙවුවා …ඒක නියමයි මේකත් ඒකට දෙවනි නෑ …

    මාර ලස්සන ආදර කතාවක් රන්මාළුවාට තියෙන්නේ …. ඒත් දැං මොකද අයියේ ඔයාගේ ආදරේට වෙලා තියෙන්නේ … එයා කොහේ හරි ඈතකට ගියාද ? ඉගන ගන්න ගියා කියලා කීව නේද ? ඔයා පරන අතීතය කල්පනා කරමින් දුක්වෙනවා නේද ?

    මේ යසෝදරාවත දෙන්නටම එකතුවෙලා ලියන දවසක් එයි නේද ?

    ජයවේවා !!

  4. ගෝල්ඩ් fish Says:

    @තරු අහස – උඹට ඔහොම නම්, මට කොහොම ඇත්ද?

    @wath සොඳුරු සිත – ඒක නම් ඇත්ත අ‍ක්කේ…

    @dinesh – දර පලන්න‍ නේ? බෑ බං, ගෑස් ලිපක් ගන්නවා.

    @හිස් අහස – පරණ අතීතය මතක් කරලා සතුටු වෙනවා බං. වර්තමානයේත් ඒ වගේ තිබ්බනම් එළකිරි. දවසක අපි දෙන්නම මේ කතාව ලියයි.

    @dinesh – උඹ කො‍හොමද දන්නේ?


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: