2010 ට නඩුවක් | Case 2010



මේ නඩුව ෆයිල් වෙන්නේ 2010 අවුරුද්දට හා ඉන් පෙර අවුරුදු වලට බලපාන විදියට. පැමිණිලිකරුත් මම, විත්තිතරුත් මම, නඩුකාරයත් මම. මොකද මේ මට හිතෙන දේ. මේ කාටවත් පෞද්ගලිකව දාන නඩුවක් නෙමේ. මේක දාන්නේ අපිට අවශ්‍ය ද්‍රව්‍ය කීපයකට. මිනිස්සුන්ට නඩ දාලා වැඩක නැහැනේ. ඒ අය කො‍හොම හරි ඒව‍ායෙන් බේරෙනවා. ඉතිං බේරෙන්න බැරිවෙන්න නඩුවක් දානවනම් ඉතිං පන නැති දේකට තමා.
 
පොල්… පොල් කිව්වම මේ දවස් වල කාටත් මතක් වෙන්නේ, එලොව පොල්. මේ ලඟඳී දවසක ගෝල්ඩ් fish පත්තරේක දැක්කා පොල් පිටරටින් ගෙන්වීම ගැන කිහිපදෙනෙකුගේ අදහස්. එක් ගැහැනු කෙනෙක් කියලා තිබු‍නා, කොහෙන් හරි පොල් තියෙනවා නම් කමක් නෑ කියලා. තව කෙනෙක්… හැමදාම පොල් පිටරටින් ගෙන්නලා හරි කමක් නෑ අපිට පොල් ලැබෙනවා නම්.
 
හි… හි… මේවා දැක්කම ගෝල්ඩ් fish නම් හිනා යනවා. මොකද මේ රටේ ප්‍රශ්න වලට තාවකාලිකව යොදන පැලැස්තර ටික කාලයක් යද්දී සදාකාලික වෙන හින්දා. ඉස්සර ගෝල්ඩ් fish ස්කෝලේ යද්දී ඉගෙන ගත්තේ ප්‍රධාන අපනයන බෝග විදියට, තේ, රබර් හා පොල් කියලයි. මාර කේස් එක දැන් පොඩි එව්වොන්ට අපනයන බෝග විදියට කියලා දෙන්නේ මොනාද දන්නේ නෑ. ඉස්සර මේ රටේ රජවරුන්ගේ කාලෙදී පිටරටවලට සහල් පවා අපේ මේ ලංකාවෙන්… ආ… වැරදුනා අපේ නෙමේ අපේ මුතුන් මිත්තන්ගේ ලංකාවෙන් මුදලට නැතුව, නිකනුත් දීලා තියෙනවා. ඒක නිසා තමා අපි ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුනේ. නැත්තං මේකේ තියෙන මුතු ඇට නිසාම විතරක් නෙවේ. එහෙව් ලංකාද්වීපයට ගිය කලක්. මගේ පුංචි දඩබ්බර හිතට හිතෙන ඒවා මෙහෙම ලියලා දාන්නේ කවදහරි මට හම්බුවෙන දරුපැටියෙක්ටවත් මේ තාවකාලික පැලැස්තර වලින් තොර, බ්ලොග් ලියන අපේ භාෂාවෙන් කියනවා නම් සිරා… සුපිරි… මැක්සා රටක් හැදෙයි කියන බලාපොරොත්තුවෙන්. මංවත් තවත් මේ වගේ සිය දහස් ගානක් වත් මේ ඉලව්ව ලිව්වා කියලා මේ යන ක්‍රමය වෙනස් වෙන්නේ නැතිවෙයි. ඒත් කියන්න බැහැනේ රජයේ පිළිගත යුතු කව්රු හරි කෙනෙක් මේක දැක්කොත් එහෙම? (ගෝල්ඩ් fish දකින ලස්සනම හීනේ) හිටපු ගමන් බඹරේ වැල්ලෙත් කැරකෙනවානේ….
 
වැඩිය ඕනෙ නැහැ දැන් බලන්න, ඉස්සර අපේ රටෙන් සහල් පිට රට යැව්වා. ගෝල්ඩ් fish දන්නේ නැති වුනත් අතීතයේ කවදා හරි දවසක මොකක් හරි අපේ උන්දෙලාගෙම නොසැලකිලිමත් කමක ප්‍රතිඵලයක් විදියට සහල් නිෂ්පාදනය අඩුවෙන්න ඇති. ඒ වෙලාවේ අපේ ශ්‍රී ලංකාද්වීපය කරවපු උත්තමයෝ තාවකාලික පිළියමක් හැටියටත්, සහල් මිල අඩු කිරීමේ පිළියමක් හැටියටත් සහල් පිට රටින් ගෙන්වන්න පටන් ගන්න ඇති‍. දැන් කොහොමද ඒකෙ ප්‍රෝග්‍රස් එක? මැක්සා නේ? හරිනම් අපේ හිටිය පන්ඩිතයින්ට කොරන්න තිබුනේ, පුළුවන් ඉක්මනට අපේ ගොවියන්ව දැනුවත් කරලා, ඒ මිනිස්සුන්ට අතහිත දීලා වී වගාව නංවන්න උදව් කරන එක. දැන් නම් බොරුවට රෙද්ද උස්ස ගෙන කෑගහනවා කුඹුරු ඉඩං ගොඩකරන්න එපා, එහෙම කරොත් නඩු දානවා අරකයි මේකයි කියලා. ඒත් ඒ ඔක්කොම සීන් තියෙන්නේ සාමාන්‍ය පුංචි මිනිස්සුන්ට විතරයි. ඇමති පුතාලට, බෑනලට, මාමලට ඒ නීති අදාල නෑ. හැබැයි දෙයියනේ කියලා අපි වවමු… රට හදමු කියලා එකක් පටන් ගත්තා. දැන් නම් තත්ත්වේ කොහොමද දන්නේ නැහැ. ඒ දවස් වල නම් වැඩේ නැගලා ගියා. ඒකෙන් නම් තමන්ගේ ගෙවත්තේ මල් වවන කොටසේ හරි මිරිස් පැලයක්, බටු පැලයක් හිටවන්න අපේ අම්මලා තාත්තලා උද්යෝගීමත් වුනා. ලොකු දෙයක් ඒකත්, දිගටම වෙනවා නම් විතරක්.
 
තවත් දෙයක් දැන් ලංකාවේ කුකුළු මස් වල ගාන සැරයි කියලා, පිටරටින් මස් ගෙන්නනවා. ගෝල්ඩ් fish නම් දන්නේ නැහැ ඒවා සෞඛ්‍ය ආරක්ෂිතද නැද්ද කියන්න. කොහේ හරි රටක ලෙඩ වෙලා මැරෙන කුකුල්ලු අතයටින් මාටියා ගහලා මෙහෙට පටවනවද නැද්ද කියලා කාටහරි නියතවම කියන්න පුළුවන්ද? කඩේයන කට්ටියයි, ලොකු ලොක්කන්ගේ පස්ස ලෙවකන එවුනුයි නම් කියයි අපෝ එහෙම නෑ කියලා. ඒවට ඉතිං කරන්න දෙයක් නෑ.
 
ඇත්තටම මේ රට ගැන බයයි අප්පා. මිනිස්සු දියුණු වෙනවා කියන්නේ අධ්‍යාත්මික, සාමාජීය, අධ්‍යාපනික, මූල්‍යමය වගේ හැමපැත්තෙන්ම දියුණු වෙන එකට. නැතුව මොන කැත වැඩේ හරි කොරලා මූල්‍යමය වශයෙන් දියුණු වෙන එකට නෙමේ. ඒ වගේම රටක් දියුණු වෙනවා කියන්නේ, මං හිතන විදියට වෙනත් රට වලින් යැපෙන්නේ නැතුව තමන්ගේ රටේ සම්පත් වලින් උපරිම පල ප්‍රයෝජන ගනිමින්, ස්වයංපෝෂිත වෙන එකට. ඒ කියන්නේ අපිට පිට රටවලින් අවශ්‍ය දේවල් නොගැනීම නෙමේ. බලන්න ඇපල් වගේ දේවල් ලංකාවේ හැදුනට තාම සාර්ථක නැහැනේ. ඉතිං ඒවගේ දේවල්, එක‍කොට යාන වාහන වගේ සමහර දේවල්, පිටරටවලින් අපිට ගන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමේ. ඒත් පොල් පිටරට යවපු අපිට දැන් පොල් පිට රටවලින් අරං කන්න වෙනවා කියන්නේ, රෙද්දක් ඇඳං ඉන්න පුළුවන්ද ‍තවත්? දැන් ඉතිං කමෙන්ට් කරයි ඇඳං ඉන්න බැරිනම් රෙදි ගලෝලා හිටපං මාළුවෝ කියලා… මොනා කරන්නද ඉතිං. එල්ලනයෑ, මේක අපේ සිරි ලංකාද්වීපයනේ. වැරැද්ද එන්නේ අපිටම තමා. ඇයි මෙහෙම ඒවා ලිව්වේ කියලා ගෝල්ඩ් fish ව හිරේ දායි. කමක් නෑ, ඇත්ත කියලා අපායට ගියත් සැපයි අප්පා.
 
ඔය කොයිතරම් පොර ටෝක් දුන්නත් මටත් තව ටික දවසකින්, දුක තමා රංජනී කියලා කන්න වෙන්නේ පිට රට පොලුයි, චිකනුයි තමා. ඇයි ඉතිං මාත් මේ රටේ තරුණ පුරවැසියෙක්නේ. මොන මගුල වුනත් කමක් නෑ, මම නම් මේ 2010 වසරේ අවසාන දිනේදී ප්‍රාර්ථනා කරන්නේ, 2011 වසරෙදිවත් අපිට පිට රටවලින් ගේන දේවල් පාවිච්චි කරන අඩු වෙලා අපේ රටේම දේවල් වලින් එදිනෙදා කටයුතු කරගන්න පුළුවන් අනාගතයක් උදාවෙන්න කියලයි. ඒ වගේම මගේ යාළු මාළු හැමදෙනාටමත් පින්බර සිතුවිලි වලින් බරවෙච්ච, තමන්ගේ දේ අගය කරන්න හිතෙන, අපේ රටේ දේවලින් උපරිම පුයෝජන ගන්න හිතෙන සුභම සුභ නව වසරක් වේවා කියලා ගෝල්ඩ් fish ප්‍රාර්ථනා කරනවා.

යූ ආර් කැරට්…



 
මේක නම් ලියන්න හිතුනේ අපේ සාතන් උන්නැහේගේ රී…ඇඩ්මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ. ඇත්තම කියන්න ගෝල්ඩ් fish මේ වගේ සිදුවීම ගණනාවකට මුහුණ දීලා තියෙනවා. ගොඩක් ඒවා නොදැනුවත්කම නිසාම යාළුවෝ අතින් කියවෙච්චා. තවත් සමහර ඒවා ඒක එක් කෙනාට විහිළු කරන්න ගිහින් කිය වෙච්චා. බලන්නකෝ කතා ටික.
 
ඔන්න මට මතක තියෙන මුල්ම සිද්ධිය, මේක වුනේ ගෝල්ඩ් fish දහය වසරේ විතරදි. අපි යාළුවෝ කට්ටියත් එකක් ගියා ගෙවල් කිට්ටුව තියෙන ඉංග්‍රිසි පන්තියකට කඩ්ඩ ටිකක් හදාගන්න කියලා. ඔහොම ගිහින් ඉතිං මාස පහ හයක් යද්දී, පන්තියේ ටීචර් අපිට ටෙස්ට් එකක් තිබ්බා. ඒකට තිබුනේ යාළුවෝ දෙන්න දෙන්න සෙට් වෙලා ප්‍රශ්න අහගන්න. ගෝල්ඩ් fish ට සෙට් වුනේ සුපුන්ව. සුපුන් කියන්නේ පිස්සුම ලෝකයක්. ඌව මුළුපන්තියටම එපා වෙලා ති‍බුනේ. වෙන මුකුත් නිසා ඌ පන්තියේ කාට හරි මොකක් හරි වැරදුනොත් එහෙම නෝන්ඩි කරනවා ඇඩෙනකම්ම. ඇයි දෙයියනේ ඉංග්‍රිසි පන්තියෙදී වැරදීම් වෙන්නේ නැද්ද? හැබැයි මූ ඉස්සරහ වැරදීමක් වුනොත් නම් අපිට ආයේ වැරදීම වැරදිලාවත් වෙන්නේ නෑ. මොකද මේකා අපිට දාන නෝන්ඩිය නිසා. මේ ටෙස්ට් එකට කලිං දවසක පන්තියේදී, ප්‍රශ්න අහද්දී ගෝල්ඩ් fish ග් වෙන යාළුවෙකුට කියවුනා you are correct එකට you are carrot කියලා. ඒක හිතා මතා කියපු දෙයක් නෙවේ. ඒත් මේක හැම තිස්සෙම සුපුන් මිනිහාට කිය කියා නෝන්ඩි කර කර තමා හිටියේ. කොහොම හරි ටෙස්ට් එක දවසේ ගෝල්ඩ් fish සුපුන් ගෙන් අහපු ප්‍රශ්නෙකට සුපුන්ට කියවුනා you are carrot කියලා. මිනිහා එච්චර බ්‍රයිට නොවුනට මිනිහාට වැරදීම් වෙනවා අඩුයි මොකද මිනිහා ඉංග්‍රිසි පංතියෙත් ලියන ඒවා ඇරෙන්න කතා බහ ඔක්කොම සිංහලෙන් නිසා. ඉතිං මේ වෙච්ච සිද්ධියට අපේ මාළු ටිකටයි ටීචර්ටයි මල් හතයි. කොටින්ම කියන්න එදා අපි සුපුන්ව බයිට් කරපු බයිට් කිරිල්ලට ඌ එදායින් පස්සේ පන්ති ආවේ නැහැනේ. පස්සේ අපිටම දුක හිතුනට ඉතිං කරන්න දෙයක් නැහැ.
 
මෙන්න දෙවෙනි කතාව. කට්ටියට මතකද කාලෙකට කලිං ආවේ Hutch කියලා මොබයිල් නෙට්වර්ක් එකක්. මේක හරියටම ශබ්ද කරන්න පුළුවන් වුනේ ගෝල්ඩ් fish යාළුවෙක්ගේ නංගි කෙනෙක්ට තමා. Hutch කියන එක ඒ ළමයා කියලා තියෙන්නේ හුච් කියලා. බලාගෙන යද්දී වැරුද්දකුත් නෑ වගේ නේද?
 
අනිත් කතාව මේත් යාළුවෙක්ගේ මල්ලී කෙනෙක් කියපු දෙයක්. Pulsar බයික් තියෙනවානේ, ඒකෙ නම හරි විදයට නම් පුල්සර් කියලා තමා කියනවනේ ශබ්ද කරන්නේ . වැඩිය ඕනේ නෑ, මේ යෝධයාට ටී.වී එකේ යන ඇඩ් එක පෙන්නුවත් මූ විශ්වාස කරන්නේ නැහැනේ. දැන් නම් ඒක හරි වගේ.
 
අනිත් එක තමා හොඳම එක.
 
ඔන්න දවසක් දා ගෝල්ඩ් fish ගේ මැංගෝගේ මල්ලි එක්ක පුටාර් එකේ පොඩි ගමනක් යනවා. යාළුවගේ මල්ලියි මායි දෙන්නම එක පුටාර් එකේ. දැන් ඌ යද්දි පදිනවා, මම එද්දි පදිනවා කියලා කතාකරගෙන තමා ගියේ. දැන් ඉතිං ඔහොම යද්දී මූ එක පාරටම පාර අයිනේ තිබුන ගෙදරක අළුතෙන් හයිකොරපු බෝඩ් ලෑල්ලක් දැකලා, පුටාර් එක ස්ලෝ කරලා පස්සත් බැලුවා. කොහොම හරි මූ පස්ස බලපු ටිකට පුටාර් එක කානුවකටත් යන්න ගිහින් නූලෙන් බේරගත්තා. පස්සේ මූ බයිසිකලේ නවත්තලා අර අරුම පුදුම බෝඩ් ලෑල්ල දිහා බලං ඉන්නවා. මං ඇහුවා මොකෝ බං කියලා. පස්සේ මූ කියනවා, මේ මොකද්ද බං ඇන්ටි කිවුස් කියන්නේ කියලා. මාත් ආයේ ඇහුවා මොකක්? කියලා. පස්සේ මූ මට අත දික්කරලා බෝඩ් එක පෙන්නුවා… පව් අප්පා අහිංසකයා ඌ ඒක හරියටම කියවගෙන ඒකයි අවුල. මෙන්න මෙහෙමයි තිබුනේ Antiques. ඌ ඒක කියෙව්වා හරිද මන්දා. අපි නිකම්ම නිකම් ඇන්ටික්ස් කිව්වට, ඇන්ටි කිවුස් කියද්දිත් අමුතු ගෝ එකක් තියෙනවා වගේ.
 
ඇයි දෙයියනේ කැස්පර් ස්කයි. ඔය සමාගමේ අයිතිකාරයා දැනගත්තොත් එහෙම අපි ඕකට කියන නම, ඌ රුසියාවේ ඉඳන් තකහනියක්ම මෙහෙට ඇවිත් අපිට කනට ගහනවා. ඔය ලෝක ප්‍රසිද්ධ වෛරස් ගාඩ් එකේ නම කැස්පර්ස්කි. කැස්පර් ස්කයි නෙවේ ඕං. කැස්පර්ස්කි කියන්නේ ඒ වෛරස් ගාඩ් එක හදන ආයත‍නයේ ප්‍රධානිය‍ගේ නම. නැතුව කැස්පර් අහස නෙවේ හරිද.
 
අනිත් එක ඇඩෝබ්. ඇඩෝබ් කියන්නේ ඔය පොටෝ ෂොප් එහෙම හදන කොම්පැනියේ නම. ඒකත් හරි විදියට ශබ්ද කරන්නේ ඇඩෝබි කියලා. මේක නම් මං දැනගත්තේ පොටෝ ෂොප් ටියුටෝරියල් එකකින් බලලා.
 
තව තියෙනවා, ඇයි ෆියුල්… ඉන්දන ඉන්දන, දන්නවනේ. ෆුඅල් කියන්නේත් ඒවටමනේ.
 
ආහ්… තව චුට්ටං එකක් තියෙනවා. මේකත් ඉතිං මටම තමා. ඔය ඒන්ජල්ට ගෝල්ඩ් fish මැසේජ් යවන කාලේ දවසක් ගෝල්ඩ් fish අතින් මෙහෙම මැසේජ් එකක් ගිහින්. Good night my angle කියලා. පස්සේ රිප්ලයි එනවා අපේ අම්මා ගණන් නෙවේ උගන්නන්නේ ඉංග්‍රිසි කියලා. පේනවනේ සීන් එක. එල් අකුරයි ඊ අකුරයි මාරු වෙලා. මම යවලා තියෙන්නේ ඒන්ජල් කියලා නෙමේ ඈන්ගල් කියලා. මටත් වෙන වැඩ.

එයා වෙනුවෙන් මට සමාවෙන්න මිස්


 
මෙන්න ඉතාමත් ජොලි කතාවක්. මේක වුනේ කාටද කියන්න හරියටම නම් ගෝල්ඩ් fish දන්නේ නෑ. මෙහෙමයි ආරම්භය, නත්තල් දවසේ අපි සැමට නිවාඩු නිසා ගෝල්ඩ් fish එද‍ හිටියේ ගෙදර. ආ… වැරදුනා ඊට පහුවෙනිදා තමා මේක අහගත්තේ.
 
ගෝල්ඩ් fish ගේ පරන හොඳ යාළුවෙක් ආවා ගෝල්ඩ් fish ව බලන්න. ඒ කියන්නේ තාම ඉන්නවද බලන්න. එයා එකක් කතා කර කර ඉද්දී තමා මේක කිව්වේ.
 
ඔන්න ගෝල්ඩ් fish ගේ යාළුවගේ ස්කෝලේ 10 වසරේදී විතර පන්තියේ හිටියලු චාමරයි, අශානුයි කියලා හොඳම හොඳ ළමයි දෙන්නෙක්. දෙන්නම පිස්සු හොඳම එකලු. ඉතිං මේ පංතියට ගණන් උගන්නලා තියෙන්නේ මිස් කෙනෙක්. ඒ මිස් ටිකක් මහත කෙනෙක්. දැන් මගේ යාළුවගේ පන්තියට මේ මිස් එනකොට, මුන් කරන්නේ මිස් එන පාරේ ඩෙස් දෙකක් ලං කරලා ඒවායේ දාර වල හුනු ගාලා තියෙන එක. එතකොට මිස් එනකොට ඩෙස් දෙක අස්සෙන් වටයක් කැරකිලා එනකොට මිස්ගේ පශ්චත් භාගේ හරියේ ඇඟ වටේටම සුදු පාටට ඉරක් ඇඳිලා. මිස් දන්නේත් නැතිළු සීන් එක. ඉතිං කට්ටියට ගණන් උගන්නද්දී අශාන් කියනවලු, මිස් මිස් සාරියේ හුනු කියලා. ඉතිං එක පැත්තක් පිහිදාගෙන බලද්දී අනිත් පැත්තෙත් හුනුළු. ඊට පස්සේ චාමර කියනවලු මිස් අනිත් පැත්තෙත් තියෙනවා කියලා… පව් වැඩේ කියන්නේ මිස් බයිට් වෙනවලූ පිහිදා ගන්න බැරි පැතිවල හුනු තියෙද්දී. මොකද කොල්ලෝ ටිකට කියන්නද , අනේ පුතේ මේ ටික පිහිදන්න කියලා. හික්ස්.. ඊට පස්සේ ඉතිං විනාඩි දහයක් විතර අරගෙන මිස් ස්ටාෆ් රූම් එකට ගිහින් පිහිදගෙන එනවලු.
 
ඔන්න ඊට පස්සේ දවසක ඒ පන්තියට සිංහල උගන්න මිස් ඇවිල්ලා සිංහල පාඩම උගන්නවලු. ඒ අස්සේ අපේ මේ අශාන් කාරයා ඉන්නවනේ. මිනිහට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් පොරක්. ඉතිං මූ උගේ උපරිම හැකියාව භාවිතා කොරල අඳිනවලු කව්රුත් දකින්න ආසා දෙයක්. මොකද්ද දන්නවද? ලස්සනම ලස්සන කාන්තා නග්න රුවක්. හි.. හී.. මිනිහාටත් හිතෙන දේවල්. පස්සේ ඉතිං සිංහල මිස් ‍දැක්කලු අශාන් ඔළුවත් නවාගෙන මොකක් හරි ලොකු වැඩක් කරනව මෙලෝ සිහියක් නැතුව. පස්සේ මිසුත් පාඩම් පොත අතට අරං ළමයින්ට පාඩම කියාදිදී, ආවළු අශාන් ගාවට. ටිකක් ලං වෙන කොටම කව්රු හරි අතිජාත පොරක් කිව්වලු අශාන් .. ඔන්න බං මිස් කියලා. හැබැයි කියන කොට මෑන්ස් පරක්කුයි. මිස් දැකලා අශාන්ගේ සුපිරි ආර්ට් එක. පස්සේ මිස් තව ටිකක් කිට්ටු වෙද්දීම මූ කරලා තියෙන්නේ පොතේ චිත්‍රය ඇඳපු කොලේ කඩාගෙන කටේ ඔබා ගත්ත එක.
 
දැන් මිස් කියනවලු මූට… දානවා ඕක එලියට කියලා. මොන.. මූ ඒක හපලා හපලා ගිලලා. ඊට පස්සේ තමා ලස්සනම සිදුවීම. දැන් මිස් බනිනවලු අශාන්ට, අවලමා… වලත්තයා… මුන්ටනේ අපි උගන්නන්නේ කියලා. පස්සේ කොහේදෝ මන්දා හිටපු චාමරයා නැගිටලා මිස්ට කියනවලු, මිස් අශාන් වෙනුවෙන් මට සමාවෙන්න කියලා. මිස් බලනවලු මේ මොකෝ කියලා. ඒක ඇහිච්ච අනිත් එවුන් බඩ අල්ලං දෙකට නැවීගෙන ඩෙස් අස්සේ රිංගං හිනාවෙනවාළු. පස්සේ ආයෙමත් අශාන් නැගිටලා, අර ගැහැනු පිරිමි ළමයි ඉන්නේ.. අර පී කියන්නේ, අන්න ඒ වගේ වොයිස් එකක් දාලා කියනවලු, මේ මොන කෝලමක්ද? තෝ මොකටද මං වෙනුවෙන් සමාව ඉල්ලන්නේ? මට සමාවෙන්න මිස් කියලා වාඩිවෙලා. අනේ අර බ‍ාගෙට හිනා වෙවී හිටපු වුන් ටිකට ඇස් රතු වෙලා කඳුළු පනිනකම්ම හිනාළු. කොහොම හරි මුන් දෙන්නගේ වැඩේම මිස්ලව බයිට් කරන එකලූ. හැබැයි කවදාවත් සර්ලව නම් බයිට් එකට අරගෙන නෑ.
 
ඇත්තටම මට මේක මගේ යාළුවා කිව්ව විදියටම කියන්න අමාරුයි. ඒක නිසා ජුංඩක් සංස්කරණය කොලා. ඒ කියපු විදියටම කිව්වනම් එහෙම කියවන සැමටත් හිනා කාලා මැරෙන්න වෙන්නේ. ටිකක් විතර අසභ්‍ය වචන ඉවත් ‍කරලා එහෙම තමා කිව්වේ ඒක නිසා මට හිතෙන්නේ රස අඩුවුනා කියලා තමා. ඒත් මේකට කාටවත් හිනා ගියේ නැත්තං කිචි කවාගෙන හරි හිනාවෙන්ඩලා හොදේ. නැත්තං මං පව්නේ.

වයිලින් ටීචර්… – මගේ යශෝධරා වත 5



දැන් ඉතිං මං කුමාරයා උසස් පෙළ එහෙම ඉවර වෙලා පරිගණක චිත්‍ර කර්මය ඉගෙන ගන්ටය කියලා හැමැදාම උදේට රාජගිරිය පැත්තට ගාටන දවස් තමා මේ. කොහොම හරි කොරලා 3 විතර වෙද්දී ගෙදර එනවා. පස්සේ තමා යශෝධරාව බැහැදකින්න රම්‍ය මාලිගයට යන්නේ. ඉතිං මෙහෙම දවසක් ගිහින් ඉද්දී මං කුමාරයාගේ දෙසවනට වැටෙනවා, මිහිරි හිංදි ගීයක වයලින් සංගීතයක්. ස්වර ටික පිටවෙන්නේ යශෝධරාවගේ සිරියහන් ගබඩාවෙන්. මට ඉතිං තාම එතෙන්ට යන්න අවසර නැහැ නොවැ. ඉතිං මක් කොරන්නද? මං කුමාරයට දිවැස් නැහැනේ එතෙන වෙන්නේ මොනද කියලා දැක බලා ගන්න.
 
පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර මං යශෝධරාවට කතා කලා… නංගී… එන්නකෝ… කියලා. පස්සේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් විදියට වයලීන් එකත් උස්සගෙන ‍එනවා යශෝධරාව. ඇවිත් ඉතිං පුංචි ලස්සන සංගීත ඛන්ඩයක් එහෙම වයලා මාව තුටු කරා. ඒ වෙද්දීත් යශෝධරාව විශාරද කර කර හිටියේ. පස්සේ මං කුමාරයටත් ආසා හිතුනා වයලීන් එක වාදනය කරන හැටි ඉගෙන ගන්න. ඔන්න ඉතිං යශෝධරාවගෙන් දවසක් ඉල්ල ගෙන ගියා වයලින වාදනය ඉගෙන ගන්න. අනේ මං කුමාරයට මොන වයලින්ද , ඔය ඕඩිෂන් එකයි, එෆ්.එල් ස්ටුඩියෝ එකයි තිබ්බනම් දෙනවා කන් අඩි පැලෙන්න සංගීතේ. ඒත් ඉතිං මං කුමාරයාගේ පෙර කරපු බලවත් අකුසල කර්මයක් පඩිසන් දී‍ම නිසා මං කුමාරයට හිතුනා යශෝධරාවගෙන් වයලීන් ඉගෙන ගන්න.
 
පස්සේ ඔන්න අදාල දවසේ ගියා වයලීන් ගහන්න කියලා. කන්තකව පැත්තක තියලා එහෙම ගෙට ඇතුළු වුන ගමන්, මෙන්න බොලේ යශෝධරා ගේනාවේ නැද්ද වයලීන් එක. මං කුමාරයට වඩා වුවමනාව තියෙන්නේ යශෝධරාවට. මොකද එයාටත් ලකුණු ටිකක් දාගන්න ගමන්, මට වැරදෙන ‍අවස්ථා වලදී… වෙනදට මං දෙන නෝන්ඩි වලට රිටර්න් එක දෙන්න පුළුවන්නේ ඒකයි. හැබැයි මේ ටික ඔක්කොම මං කුමාරයාගේ සිහි නුවනට මීටර් වුනේ සියල්ල සිදුවීමෙන් අනතුරුවයි. කොහොම හරි යශෝධරාව මට වයලීන් එක දීලා, ඔතනින් වාඩි වෙන්න කියලා බිම දාලා තියෙන කුෂන් එකක් පෙන්නුවා. මෙතෙන…? මට බෑ, මම පුටුවේ ඉන්නම්… කියද්දී යශෝධරා කියනවා, එහෙම බෑ වයලීන් ඉගෙන ගද්දී ඒකට ගරු කරන්න ඕනේ, ගුරුවරයා පුටුවේ ගෝලයා බිම කියලා. අනේ දෙයියනේ මට වුන දෙයක් කියලා හිත හිත ඉද්දී, දැන් වයලීන් ඉගෙන ගන්න ඕනේ නැද්ද? ඔතෙන බමුනා වගේ හිටන් ඉන්නේ කියලා අහද්දී මව්තුමිය සැපත් වුනා. මොකෝ ඒ පාර දෙන්නගේ රංඩුව. නෑ අම්මේ මෙයා වයලින් එක ප්ලේ කරන්න බිම වාඩිවෙන්න බෑලු. අදත් දෙයියනේ කියලා නඩුවක්. මැඩම්, මේක ගහන්න බිමම ඉන්න ඕනෙද? නැතුව කොල්ලෝ… බිම හිටියම තමා හොඳට ඉගෙන ගන්න පුළුවන්.
 
ඔය අහගත්තේ මං කුමාරයා. යශෝධරාවට හපන් අම්මගේ කෝලම්. දැන් ඉතිං වාඩි වෙයන්කෝ බිම. කවදා කරපුවද අප්පා මේ. මට වයලින් එක ඉගෙන ගන්න කලින්ම වයලින් එක එපා වුනා. කොහොම හරි ඉතිං වයලින් එක උගන්නන්න කියපු මෝඩ කමට බිම වාඩිවුනා. දැන් මං කුමාරයා බිම යශෝධරාව පුටුව උඩ. ලැජ්ජාවේ බෑ අප්පා. යශෝධරාවත් හිනාවෙවී කියනවා මෙහෙම අල්ලන්න, අරෙම අල්ලන්න… බෝ එක එක අල්ලන්නේ ඔහොම නෙමෙයි මෝඩ පැටියෝ… කිය කියා . දැන් නම් මං කුමාරයා ගෙඩි පිටිං බයිට්. මෙච්චර කලක් යශෝධරාවට නෝන්ඩි දාලා, සතර පෙර නිමිති පෙන්නලා සසර කලකිරෙව්ව පවට වන්දි ගෙනවපන්කෝ දැන්.
 
කොහොම හරි කරලා යන්නතං මුල් ස්වර හතර හරියට වාදනය කලා. හැබැයි යශෝධරාවට පුදුමයි ඒ වෙච්ච දේට. මොකද යශෝධරාවට ඒ ස්වර හතර හරියටම වාදනය කරන්න දවස් දෙකක් ගියයි කියනවානේ. ඒ කියන්නේ පැය 4ක්. ඒත් ඉතිං මං කුමාරයා දස්සයා නිසා, අර ගුත්තිලට දීපු ගුලි වගේ එකක් සක්කරයා මටත් දුන්නා. ඉතිං එයින් එකක් උඩ දාන්නේ නැතුව කටේ දා ගත්තම ඕනේ දෙයක් සුටුස් ගාලා අල්ල ගන්න පුළුවං. මේ ගුලි කියන්නේ ඔය එක එක ජරාව නෙමේ. ටික් ටැක් හො‍දේ. පස්සේ ඉතිං කොහොම හරි මාව නෝන්ඩි කරන්න පිඹුරු පත් එලං හිටියට මව්තුමියයි, යශෝධරාවයි ඒ වැඩෙන් ටිකක් විතර නෝන්ඩි වුනා. මොකද යශෝධරාව පැය හතරක් තිස්සේ ට්‍රයි කරලා වාදනය කරපු ස්වර හතර මං කුමාරයා වයලීන් එක අතට අරං විනාඩි පහ‍ලොවෙන් වාදනය කරනවා කියන්නේ…. ලොවෙත් නැහැනේ ඉතිං. ඔන්න ඊට පස්සේ යන්තං තව විනාඩි 15ක් විතර වයලීන් එක වාදනය කරලා මං කුමාරයා සිංහ ලීලාවෙන් නැගී සිටියා. මෙන්න මවු තුමිය එනවා තේ දෙකකුත් හදාගෙන. කොහොම හරි කරලා මං කුමාරයා යන්තං උණු උණුවෙම තේ එකත් බීලා වෙනදට වැඩිය කලිං රම්‍ය මාලිගයෙන් පිටවුනා. තව හිටියානම් එහෙම මට වයලීන් ගහන්න නමේ වෙන්නේ, යශෝධරාවටයි මවිතුමියටයි එකතු වෙලා මගේ කො‍න්දේ තෙල් ගාන්න. ජීවක් වෙදාත් ඒ දවස් වල ලංකාද්දීපයේ හිටිය නැහැනේ. මිනිහාත් වැඩිදුර ඉගෙන ගන්න රට ගිහිල්ලා, නැත්තං හෙම මම තව පැය භාගයක්වත් වයලින් ගහලමයි එන්නේ. මුකුත් හිතන්න එපා… ඇන්ඩ්… නෝන්ඩි කොරන්නත් ඔට්ටු නැහැ ඕං. මං කුමාරයා ඊට පස්සේ වයලින් ගහන්න ගියේ නෑමයි කියන්නේ. වයලින් එක කියලා දෙන්න යශෝධරාව කතා කරද්දීත්, අනේ ඕනේ නැහැ පැටියෝ… කියලා ඒ හිතත් නොරිදා, මං කුමාරයාගේ නම්බුවත් තියාගෙන මේ වෙනකම්ම ශේප් වෙලා ඉන්නවා. හැබැයි ඉතිං ඉවසන්න බැරි හිටි ගමන් ඇමති මඩුල්ල ඉස්සරහා ඔය කතාව කියලා විහිළු කරන එක තමා. ඇමති මඩුල්ල කිව්වේ යශෝධරාවගේ අක්කන්ඩි, එයාගේ මව්තුමිය, චූටි නංගි, එයාගේ පියතුමා එතකොට යශෝධරාවගේ පියතුමා තමා. මේ ඔක්කොමලා ඉස්සරහා කියද්දී, මෙයා එක දවසක් වයලින් ඉගෙන ගන්න ආවා, බිම වාඩි වෙන්න කිව්වා කියලා එදා ඉඳන් නෑ… කියද්දී, අනේ මං කුමාරයටත් හිතයි මුගලන් හාමුදුරුවෝ වගේ සිං ගාලා අහසට වැඩලා වෙන කොහාට හරි අන්තරස්දහං වෙන්න. ඒත් ඉතිං ඒකටත් පදයක් හදයි ඊළඟ දවසේ. ඒක නිසා එහෙමම හිටියා. නැතුව උඩින් යන්න බැරි කමකට හිටියා නෙවේ. මගේ පුංචි වයලීන් ටීචර් හිතං ඉන්නේ එයා තමා පොර කියලා. මම එයා ගැනම සිංදුවක් හදලා ගිහිං පෙන්නුවමනං රත්තරං ගනං අඩුවුනා. නැත්තං මං කුමාරයට වෙන්නේ දෙව්දත් තෙරත් එක්ක සෙට් වෙලා අවිචියේ තාප්පේ බඳින්න තමා.

ඕං යහතින් ආවා…



 
ඕන්න ඉතිං ආයෙමත් ගෝල්ඩ් fish ටැංකියට ආවා. වෙන කොහෙවත් ගිහින් නෙවෙයි ඕං, අපේ එක් අවුරුදු දෙවන විනෝද චාරිකාව ගිහින්. මේ අවුරුද්දදේ විතරයි කියන්නේ… හැම තැනම නෑ, හැම දාම නෑ… 2010 ඔන්ලි. අනේ යාළුවනේ මෙදා පාර නං කියන්න තරම් දෙයක් නෑ. මොකද මෙදා පාර අපේ එවුන් වැඩිය බිව්වේ නෑ. ඔක්කොමල ගානට තමා අනුමත වෙලා හිටියේ. ආ… වැදගත්ම දේ, ගෝල්ඩ් fish මෙදා‍ පොටෙත් තමන්ගේ අධිෂ්ඨානය ඉෂ්ට කොර ගත්තා. එක උගුරක් වත් කටේ තිබ්බේ නෑ. මට නං මං ගැනම සතුටුයි. දැන් ඉතිං ඔය අනිත් එවුන් මට බැන්නනම් බලන්න, අපෝ මූ වගේ මාළුවෙක්, බොන්න හම්බුනාම බොන්නෙත් නෑ කියලා. බනින්නලා, බනින්නලා… ඒක මට ලොකු ආශිර්වාදයක් විදියට තමා මම නම් සලකන්නේ.
 
ඇති නේ පම්පෝරිය… මෙන්න කතාව, කියන්න දෙයක් නෑ කිව්වට ජුංඩක් විතර තියෙනවා. මොකද කොහේ ගියත් ඉතිං ගෝල්ඩ් fish දඟ වැඩ වල අඩුවක් ‍නැහැනේ. ඉතිං මේ පාර දෙයියනේ කියලා පිහිනුම් තටාකෙට ප්‍රථම වරට පඩිපෙලෙන් බහින්නේ නැතුව ගොඩ ඉඳං ලස්සන ජබොස් සද්දෙකුත් දාගෙනම පැන්නා. වැඩේ එච්චර අවුලක් නෑ. මම, කට්ටියගෙන් හූ වක් එයි කියලා හිතුවට, ම්හු… සද්දයක් වත් නෑ. ඒ කියන්නේ මම පැන්න විදිය අවුලක් නෑ. කොයිතරම් පඩි ටෝක් දුන්නත් ගෝල්ඩ් fish ට තාම හරියට පීනගන්න බැහැ නොවැ. මොනා කොරන්ටද ලබා උපන් හැටි කියලා ඉන්න තිබුනා, ඒත් බෑ අප්පා… එහෙම ඉද්දී නිකං ඇඟ කසනවා වගේ. ඒක නිසා ඕනේ පොල් ටොපියක් කියලා මං පැන්න තටාකෙට. ෂා කූල් වතුර ටික. ඇ‍ගේ ගෑවෙද්දීත් සනීපයි. ඊට පස්සේ ඉතිං කික් කොර කොර දෙතුන් ගමනක් එහාට මෙහාට පීනුවා. පස්සේ චුට්ටක් ට්‍රයි කරලා බලද්දී, ඔලුව උඩ තියාගෙන අර අත් දෙක නිකං ගෙම්බා ගහනවා වගේ යන ස්ටැයිල් එකක් තියෙන්නේ… ඒකත් පුළුවන්නේ. ඉතිං කියන්න ඕනේ නැහැනේ ගෝල්ඩ් fish ට හරි සංතෝසයි. ඉතිං ඒ සන්තෝසෙටත් එක්ක දෙකක් දාගත්තා… ඒයි පිස්සුද ‍එහෙම කොරනවද හොඳ ළමයි. සන්තෝසෙට ගෙම්බා ස්ටැයිල් එකෙන් තව හතර පස් ගමනක් එහාට මෙහාට ගියා.
 
වෙලාවට ගෝල්ඩ් fish පූල් එකට බැස්සේ උදේ 10.30ට විතර. ඒ වෙලාව වෙද්දී අපේ ‍ගොඩ දෙනෙක් අනුමත වෙනවා. සමහරු ඩී.ජේ එකකට සෙට් වෙලා වෙරි හි‍දෙන කං ලෝකෙ තියෙන ඔක්කොම වන්නම් නටනවා. සමහරු පිනුම් ගහනවා, තවත් සමහරු අඩි ගහනවා. ගෝල්ඩ් fish වෙලාවට අපේ ඔෆිස් එකේ අර පරන කතාවක කිව්ව හොදම හොඳ අයී.ටී මැනේජර් මහත්තයාව සෙට් වුනා. එයත් අමද්‍යපේ නිසා අවුලක් වුනේ නෑ. අනිත් එක එයත් බලාගෙන යද්දී ගෝල්ඩ් fish ගේ බෝට්ටුවෙම තමා. ඒ කියන්නේ අපි වෙබ් එකේ සර්ෆ් කරාට, පූල් එකේ සර්ෆ් කරන්න බැහැ. ඉතිං ඒක නිසා ගෝල්ඩ් fish ටත් ඔය ගෙම්බා ස්ටැයිල් එකෙන් පිනූවට වැඩිය නෝන්ඩියක් එහෙම වුනේ නෑ. දෙයියනේ කියලා ජාමේ බේරගන්න පුළුවන් වුනා ඒ නිසා.
 
කොහොම හරි ගෝල්ඩ් fish පැය එකාමාරක් විතර එහාට මෙහාට පීනුවා‍. ඔන්න අන්තිමේ පැය එකාමරක් විතර යද්දී ගෝල්ඩ් fish කකුලේ කෙන්ද පෙරලෙන්න ගත්තා. ඉතිං තවත් වතුරේ ලැග්ගේ නෑ, පැය එකාමාරක්ම පිස්සු කෙලිය නිසා සිං සිං ගාලා ගොඩ වුනා. පස්සේ ඉතිං වතුර වේලෙන කං තව පැයක් විතර ගොඩට වෙලා වාඩියක් දාගෙන හිටියා. ඔන්න එහෙම ඉද්දී එනවා අපේ පදමට අනුමත වෙච්ච කස්ටිය. හැබැයි මෙදා පාර නම්, පූල් එක බලාගන්න අය ඒගොල්ලන්ට බහින්න දුන්නේ නෑ. බැස්සොත් ඔක්කොම ගොඩට ගන්නවා කියලා තර්ජනෙත් කොලා නෙව. හමුදාවේ මාමිලා නිසා ඉතිං අපේ උන්දැලාත් කට පියං හිටියා. වෙන තැනක ඕක කිව්වනම් එහෙම කියපු එකාවත් අරං ක්ෂනයෙන් පූල් එකේ.
 
ආ… අපේ දනේ මාමා… මේ පාරත් ෂෝක් සීන් එකක් ඇක්ට් කලා. ඒ තමා පුංචි ළමයින්ට තියෙන ඔන්චිල්ලාවක් පැද්ද එක. මිනිහා පදිනවා පදිනවා ඉවරයක් නෑ. විනාඩි පහකින් විතර ඔන්චිල්ලාවෙන් බහිනවා. ‍හීනියට ෂොට් එකක් දාගන්නවා, ආයේ පදිනවා. මං හිතන්නේ වෙරි බහිනකං පැදලා ආයෙත් බොනවා. කොහොමහරි ඔය විදියට පැයක් විතර ඔන්චිල්ලාව පැද්දා. පස්සේ දවල් කෑම කෑවේ එකට විතර. මේ පාර නම් දීසි මාරු කරලා නෑ. හරියට තිබ්බා, හැබැයි ඒක නම් අවාසියි. මොකද අතුරුපස කන්න සෙට් වුනේ පුංචි දීසියක් නිසා. ආ.. අතුරුපස කිව්වම මතක් වුනේ. හැබැයි මේක කියවලා මට නෝන්ඩි දාන්නේ එහෙම නෑ. මේකනේ ඉතිං වුනේ. ඔය ගෝල්ඩ් fish මී කිරි කන්න වැඩිය පෙරේත නැහැනේ, ඉතිං අනිත් ඔක්කොම දේවල් තියෙද්දී මී කිරියි, පලතුරු සලාදෙයි විතරක් යහමින් දාගත්තා. පස්සේ ඉතිං කිරි කන්න පැනි එපැයි. ඔන්න පැනි දාලා තිබ්බ භාජනේ අරං කිරි එකට පැනි දාද්දි, පැනි වැඩි වුනා කිරි වලට වැඩිය. මාර කේස් එක, ආපහු අයින් කොරන්නත් බැහැනේ. ඉතිං මක්ක කොරන්නද අර කිරි ටික කාලා ඉවර වෙලා තව කිරි ටිකත් දාගත්තා. ෂිඃ… ඒ පාර මී කිරි වැඩිවුනා. 😉 ඉතිං ආයෙමත් ගිහින් පැනි ජුංඩකුයි, කැරමල් පුඩිං කෑල්ලකුයි, තව පෘට් සැලඩ් චුට්ටකුයි දාගත්තා. ඒ පාර නම් ගානට. වැඩිය අවුලක් නැතුව විනාඩි 35කින් විතර අතුරුපස කන එක ඉවර කොර ගත්තා.

කොහොම හරි ඊට පස්සේ වැඩි විශේෂයක් නැතුව තේ වෙලාව වෙනකම් ගෙවිලා ගියා. ඊට පස්සේ තේ වෙලාවෙදිත් අර කලිං වෙච්ච දේම වුනානේ ගෝල්ඩ් fishට. තේ වෙලාවට දුන්නා අපිට කේක් කෑල්ලයි කෙසෙල් ගෙඩියයි. ඒත් කරුමෙට කේක් කෑල්ලකට කෙසෙල් ගෙඩියක් වැඩියි. එක කේක් කෑල්ලට කෙසෙල් ගෙඩි තුනෙන් එකක් විතර දුන්න නම් හොඳටම ඇති. දැන් ඉතිං යාළු මාළු සැමට හිතා ගන්න පුළුවන්නේ ගෝල්ඩ් fish කාපු කේක් කෑලි ගාන එහෙම.  ඊට පස්සේ ඉතිං රිසෝට් එක වටේ සවාරියක් ගිහින් එහෙම කෙලින්ම ගෙදර. ආ වැරදුනා පාරේ වංගු තිබ්බා, ඒක නිසා කෙලින්ම නෙවෙයි ඕං. කොහොම හරි කියලා යහතිං ආවා මං. හැබැයි මම යන්න හිතන් හිටිය ස්වාභාවික තටාකය බලන්න යන්න බැරි වුනා. මොකද හේතුව මේ දවස් වල වැස්ස නිසා වතුර වැඩි කියලා කාටවත් යන්න අවසර දුන්නේ නෑ. අනිත් එක මෙදා පොටේ නම් ගාස්තුව ගෙව්වේ අපේ මානව සම්පත් බලාගන්න අයම තමා. ඒක නිසා වැඩි අවුලක් වුනේ නෑ. ඉතිං එහෙමනම් ඔන්න දෙයියනේ කියලා ගෝල්ඩ් fish ආයෙමත් ටැංකියේ.

ඕළු මල් කුමාරි – මගේ යශෝධරා වත 4


යශෝධරා තුමිය රම්‍ය මාලිගයට කලින් වැඩ සිටි සුරම්‍ය මාලිගයේ වැඩ වාසය කරන කල්හි මං කුමාරයා දිනක් මහත් වුවමනාවෙන් ඒ මාලිගයට ගියේ යශෝධරාව බැලීමට නම් නෙවෙයි. ඒ දවස් වල මං කුමාරයාට සිප්හලේ වාර පරීක්ෂන පැවැත්වෙන දින. ඒ නිසා ඉතිං සුරම්‍ය මාලිගයට ගියේ යශෝධරාගේ මව්තුමියගේ දෙවන බස පන්තියට සහභාගී වීමටම කිව්වත් වැරදියි, ඔය කොයි තරම් වැඩ තිබ්බත් එහේ ගියේ යශෝධරාව බැහැදකින්නම තමා. ඉතිං මං කුමාර‍යා පන්තියට ගිහින් ඔන්න ඉගෙන ගන්නවා කඩු හරඹ. ඒ කියන්නේ කඩුව අල්ලන හැටි, කඩුවෙන් කොටන හැටි… එතකොට කඩුව දිදුලවන හැටි එහෙම තමා. ඒ කියන්නේ ඉංගිරිසිය තමා ඉතිං.
 
බැයි අද නම් වෙන දවස් වලට වඩා ටිකක් අමුතුයි මුළු පරිසරයම. යශෝධරාවගේ හඩක්වත්, අඩුම ගානේ වෙනදට මාලිගාවේ උළුවස්සේ එල්ලිලා දාන බැල්මවත් අද නැහැ. ඉතිං ඒ වගේ වෙලාවට සදෙව් ලොව ඉන්න‍ ඔක්කොම දෙවිවරුන්ට මං කුමාරයා කියනවා යශෝධරාව පොඩ්ඩක් මාලිගයෙන් එළියට වැඩම කරවන්න කියලා. අනේ වෙනදටනම් දෙයියෝ ඒක අහනවා අද නැහැනේ. මං කුමාරයා කොයිතරම් මහා පුරුෂ ලක්ෂන පෙන්න පෙන්න හිටියත් යශෝධරාවගේ මව් තුමියගෙන් , යශෝධරාව කොහෙද කියලා අහන්න තරම් ගටක් නම් තිබුනෙම නෑ. ඉතිං ඔහොම ලත‍වෙවී ඉද්දී, මව්තුමිය අහනවා මොකද නංගී නැතුව පාළුයි වගේද කියලා. ෂිඃ… මව්තුමිය කොහොමද මේක දැනගත්තේ, කියලා මං කුමාරය හිතද්දී ආයෙත් මව්තුමිය කියනවා නංගි තව ටිකකින් එයි දැන් ඉතිං දීපු ඇක්ටිවිටි එක කරන්න කියලා.
 
මොන ඇක්ටිවිටිද මේ වෙලාවේ. දැන් නම් දේවදත්තයා ගිනි දෙවියෝ අරං යනවා, වර යන්න බලන්න කියලා යාළුවෙක් කතා කලත් මං කුමාරයට නැගිට ගන්න පනක් නෑ. ඒ අස්සේ මල ඉලව් ඇක්ටිවිටියක් කොරන්න. පස්සේ මේ සීන් එක මව් තුමියගේ දිව්‍යක් චක්කුවට අහුවුනා. පස්සේ … පුතා ඕක කරන්න මම නංගීව අඩගහන් එන්නම් කියලා ගියා. ඇති යන්නතං අද ටිකක් පරක්කු වෙලා හරි සදෙව් ලොවටම, අහිංසක මං කුමාරයාගේ කන්න ලව්ව ඇහිලා. දැන් ඉතිං මොන ලෝකේ නට නට හිටියත් යශෝධරාව එන්න එපැයි. සුවච කීකරු ගැහැණු ළමයි එහෙමනේ.
 
අප්පේ මෙන්න එනවා ඊට පස්සේ, යශෝධරාවයි, මව්තුමියයි‍… යශෝධරාවගේ අක්කා හෙවත් ඇගේ මව්තුමියගේ නංගිගේ දූ පොඩ්ඩයි. හැබැයි මේ දෙන්න ටිකක් අමුතුයි වගේ, අර ගැල් සීයයේ කතාවේ වගේ මඩ නාලා, ඕළු මල් වගේකුත් අත් දෙකේ පුරෝගෙන යක් පැටව් දෙන්නෙක් වගේ තමා එන්නේ. ඒ කියන්නේ ඕළු මල් 5ක් විතර එක්කෙනෙක්ගේ අත් දෙකේ. එතකොට ඔක්කොම 10යි. පස්සේ දෙන්නා එක්ක මගේ ළඟටවත් එන්නේ නැතුව මාලිගයට සැපත් වුනා. ඊට පස්සේ මව්තුමිය ඇවිත් මට කියනවා, අල්ලපු රාජධානියේ කුමාරිකාව එක්ක එයාලගේ පහල වෙලේ මල් කඩන්න ගිහින් කියලා. ඒක තමා වෙනදට මං කුමාරයා එද්දී ඔක්කොම වැඩ දාලා දුවගෙන එන යශෝධරා අද ආවේ නැත්තේ. මෙන්න ඊට පස්සේ මඩ හොදාගෙන බැබලි බැබලි දෙන්න එක්ක එනවා. පස්සේ යශෝධරාව මගේ ගාවට ඇවිත් මට දුන්නා පුංචි සුවඳ ඕළු මලක්. හැබැයි ඉතිං මගේ පෙර ගති මතුවෙන්න ගත්තේ සුළු මොහොතයි. මට අමතක වුනා මේ කෙල්ල මඩ නාගෙන වෙල් වල බැස්සේ මට මේ මල් කඩල ගේන්න නේද කියලා. ඉතිං මම කිව්වා, මට පුංචි එකක් එපා අර ලොකු මල ඕනේ කියලා. අතේ තියෙන වෙන ලස්සන ලොකු මලක් පෙන්නලා. ඒ වෙලාවෙම මව්තුමියත් ආවා. මෙන්න පුරුදු පරිදි නඩුවක් ෆයිල් කරගත්තා මම. යශෝධරාව දුවගෙන ගිහින් මව්තුමියගේ අතේ එල්ලිලා අනේ අම්මේ මෙයා මේ ලොකු මල ඉල්ලනවා. ඒක මම කඩන්න ගිහින් වැටෙන්නත් ගියා. අනේ එයාට කියන්න ඒක මට ඕනේ කියලා. කිය කිය නැලවෙනවා. මං කුමාරයත් යශෝධරාව අවුස්සන්නේ ඔය වගේ හුරතල් වදන් ටික අහගන්න මිසක් තරහකට නෙමේ කියලා මව්තුමිය දන්න නිසා, යශෝධරාවට කිව්වා එහෙනම් අයියට තව මලක් දෙන්න කියලා. ඔන්න ඊට පස්සේ තව මල් දෙකක්ම මට දිකකරා. මට එපා මට ඕනේ ලොකු මල… කිව්වම, අනේ අම්මේ….කියාගෙන ආයෙමත් නහයෙන් අඩනවා‍.
ඊට පස්සේ පැත්තකට වෙලා මේ විකාරය බලාගෙන හිටිය යශෝධරාවගේ අක්කන්ඩිය මට දුන්නා එයා ගාව තිබුන ලොකු මලක්. ඒ මෙන්න වැඩක්, කව්ද මෙයාගෙන් මල් ඉල්ලුවේ කියලා අහන්න හදද්දිම, යශෝධරා පැන්න ඉස්සරහට අක්කගේ ඕළු මල අක්කට දීලා එයා අතේ තිබ්බ ලස්සන ලොකු ඕළු මල මට දීලා මගෙන් අහනවා දැන් හරිද කියලා. මමත් ඉතිං නෑ තව චුට්ටක් තියෙනවා කිව්වා. ආයෙත් අහනවා ඒ මොකද්ද කියලා. මං කුමාරයා කිව්වා නෑ මුකුත් නෑ කියලා. දැන් නම් යශෝධරාවට අතෙත් මලක් පිපීගෙන එනවා වගෙයි. මූන රතූ පාට වෙලා, ඇස් දෙකෙන් කඳුළු බිංදු පනින්න ඔන්න මෙන්න. පස්සේ ඉතිං හැමදාමත් වගේ මටම දුක හිතිලා පැටියෝ මම මේක ගෙදර ගෙනියන්නද කියලා ඇහුවම, ගෙනියන්න තමා දුන‍්නේ කියලා දිව්වා මාලිගයට.
 
ඔන්න ඉතිං මං කුමාරයා අර මව්තුමිය දුන්න ඇක්ටිවිටිය එහෙම අවසන් කරලා මගේ මාලිගයට යන්න ලෑස්ති වෙද්දී යශෝධරාව එයාගේ මාලිගයේ ඉඳන් ඇවිත් උළුවස්සට හේත්තු වෙලා බලං ඉන්නවා මං මගේ රෝද දෙකේ කන්තකව හරවා ගන්නකම්. පස්සේ මං කුමාරයා එන්න ලෑස්ති වෙද්දී මගේ අතේ තිබුන ඕළු මල දිහා බලල,මට කිව්වා කාටවත් දෙන්න එපා කියලා. කාට දෙන්නද, මුළු හිතම ඔයා ගාවනේ කියන්න හැදුවත් ඒ වචන ටික මගේ කටින් පිටවු‍නේ නෑ. පස්සේ මං කුමාරයා යශෝධරාවට ඔළුව දෙපැත්තට වනලා හා කියලා කිව්වා. ඒ ටික එයාට හොඳටම ඇති බව දැනුනේ ලාවට මා එක්ක හිනා වුන නිසයි.
 
ඊට පස්සේ මං යනවා කියාගෙන කන්තක එක්ක ගෙදර ආවා. ගෙදර ඇවිත් ඕළු මල ජෑම් බෝතලයක් අරං වතුර පුරවලා ඒකට දාලා තිබ්බා. පස්සෙන්දා සිප්හලට ගිහින් එද්දිත් ඒක එහෙමමයි. ඒත් හැමදාම තියාගන්න බැරි නිසා යශෝධරාවම දුන්න දිනපොතක් අස්සට ඕළු ‍මලේ පෙත්තක් කඩලා දැම්මා. සුරක්ෂිතව ඒ මතකය ආරක්ෂා කරගන්න ඕනේ නිසා. අදටත් ඒ මල් පෙත්ත දින පොත ඇතුලේ තියෙනවා. අර ඕළු මල දුන්න දා වගේ නම් නෙවෙයි, පාට ටිකක් දුඹුරු පාට වෙලා. ඒත් එදාට වඩා තවත් සියුමැළි වෙලා. ඉතිං මං කුමාරයා යශෝධරාවට ඕළු මල් කුමාරි කියලා කිව්වට කමක් නැහැනේ නේද?

අපේ විනෝද චාරිකාව…


ඔන්න ආයෙමත් ගෝල්ඩ් fish ට විනෝද චාරිකාවක් සෙට් වෙලා. දැන් මාස කීපයකට කලිං ගෝල්ඩ් fish පොළොන්නරු ගියානේ. ඒක ඉතිං කට්ටිය දන්නවනේ. ඒත් ඉතිං ඒක ටිකක් විතර අංජ බජල් වුනා. මොකද අපේ කට්ටියකට ඉන්න හිටින්න තැන් නැති වුන නිසා. ඒත් ඉතිං දෙයිය‍නේ කියලා ගෝල්ඩ් fishට නම් අවුලක් වුනේ නෑ, අපායට ගියත් කලිං යන්න ඕනෙ කියන නිසා, ගෝල්ඩ් fish කලේ පො‍ළොන්නරුවේ නැවතුම් ස්ථානයට ගිය ගමන් සිරා ඒ.සී කාමරයක් අල්ල ගත්ත එක. ඒක නිසා ඉතිං මට නම් නෝ ප්‍රොබ්ලම්.
 
හප්පා, කියන්නේ ගියේ යන්න ඉන්න විනෝද චාරිකාව ගැනනේ. ඉතිං අර අපේ තුන් දින පො‍ළොන්නරු ගමන අස්පට් වෙච්ච හින්දා, අපේ ආයතනයේ පාලනාධිකාරිය තීරණය කරලා තියෙනවා නැවත වරක් අපිට එක් දින විනෝද චාරිකාවක් ලබාදෙන්න කියලා. (මේ වගේ චාන්ස් හැමෝටම වදින්නේ නෑ හරිද…! පිං කරන්න ඕනේ) කට්ටියට මතක ඇතිනේ ගෝල්ඩ් fish ලාගේ ඔෆිස් එකෙන් මීට අවුරුද්දකට කලිං ගියපු ගමන. අර කට්ටිය හරි හරියට බීලා තිබුනේ. ඒ මදිවට ගෝල්ඩ් fishගේ මැංගෝ ස්වීම් පූල් එකට වැරදි පැත්තෙන් බැස්සේ, අන්න ඒ ස්ථානයටම තමා අපි මේ පාරත් යන්නේ. ඒ කියන්නේ කුකුලේ ගඟ රිසෝට් එකට. ඒක පිහිටලා තියෙන්නේ මතුගම පැත්තට වෙන්න මට මතක විදියට. පාලනය කරන්නේ හමුදාවෙන්.
 
කට්ටියට හිතා ගන්න පුළුවන්ද ගිය පාර අපේ කට්ටිය එතෙන හැසිරුන විදිය? සීන් දෙකක් විතර කලිං කිව්වනේ. මෙන්න නොකියූ ටික. මේවා කියන්නේ ඉතිං නොකියම බැරි නිසා ඕං. අපේ කට්ටිය එදා රිසෝට් එකට යද්දීම හොඳටම අනුමත වෙලා හිටියේ. අපේ කට්ටිය කිව්වට ගෝල්ඩ් fish නෑ හරී. ඉතිං එතෙන ගිහිල්ලත් බොනවා බොනවා ඉවරයක් නෑ. පස්සේ ඉතිං කට්ටිය වෙරි හි‍ඳෙන්න කියලා නාන්න තමා කල්පනාව. වෙරි හින්ද ගන්න ඕනෙ නම් මොකටද බිව්වේ කියලා ගෝල්ඩ් fish එක අයියා කෙනෙක්ගෙන් ඇහුවම වර යන්න පෙන්නන්න කියලා ගෝල්ඩ් fishගේ අතින් ඇදන් යද්දී… අනේ අයියා ඩොහ්… කියන්නේ වැටුනා, හරිනේ දැන් දැක්කනේ කියා ගෙනම මෑනුත් නැගිට්ටා. ඒක එච්චරයි.
 
පස්සේ මෙන්න අනිත් සීන් එක. මේක වුනේ මගේ මැංගෝ පූල් එකට පැනලා අනං මනං ඔක්කොම කරගත්තට පස්සේ. අපේ ඉන්නවා ටිකක් වයසක අංකල් කෙනෙක්. නම ධනපාල. මිනිහාට හොඳටම පීනන්න පුළුවන්. ඒ වගේම විනෝදෙට බරයි සෑහෙන්න. ගම රත්නපුරේ. අපි කියන්නේ දනේ කියලා. දැං ඉතිං අපේ කට්ටිය පූල් එකේ එක එක සෙල්ලං කොරද්දී මේ දනේ කොහේ හරි හට් එකක් අස්සේ ඉඳන් මහ හයියෙන් බුදු අම්මෝ ගාගෙන දුවගෙන ඇවිත් පූල් එකේ ගැට්ටට කකුල තියලා පඹයෙක් වතුරට දානවා වගේ අත පය හැම පැත්තටම විහිද ගෙන පතබෑවෙනවා පූල් එකට. අහල පහල ඉන්න එවුන් ඔක්කොම සීන් එක බලනවා මිනිහාගේ කෑගැහිල්ලට. අනේ සුලු නිමේෂයකදී කට්ටියටම හොඳ වතුර පාරක් හම්බුවෙනවා නෑවෙන්නම. ඇයි ඉතිං අර මනුස්සයා පනිද්දී විසික්කා වෙන වතුර. පස්සේ මෙහෙම තුන් හතර පාරක් කරාම අපේ පූල් එකේ ඉන්න අයියලාට පුස්පේ පිපුනා. ඊට පස්සේ පාර දනේ පැන්න විතරයි, කට්ටියම මෑන්ස් ගාවට කිට්ටු කරලා ඇඳගෙන හිටිය ස්වීමිං ෂෝට ගලෝලත් ඉවරයි දනේගේ ඔළුව වතුරෙන් උඩට එන්නත් කලිං. පස්සේ ෂෝට අරගෙන ගොඩට දාලා, දැන් ඉතිං මෙකේම හිටපිය කියකිය හිනාවෙනවා. මිනිහාටත් ගානක් නෑ, මෑනුත් කට්ටිය එක්ක හිනා වෙනවා. ඒත් ඊට පස්සේ කොහොම හරි ආපහු ෂෝට දුන්න. නැත්තං ඉතිං චාටර් වගේනේ නිසා. වෙලාවට අපේ ගැහැනු උදවිය කවුරුත් අපේ විනෝද චාරිකාවට සහභාගි වෙන්නේ නෑ. නැත්තං ඉතිං නූල් බඳින්න තමා වෙන්නේ.
 
මෙන්න අනිත් කතාව. මේක නම් ‍ෆුල් අබ්ලික් කතාවක්. අපේ වුන් ලෝකෙ අන්තිම බීම බොනවා වගේ බීපු නිසා තමා මේක වුනේ. අපේ ඉන්නවා අයියා කෙනෙක් ගුනපාල කියලා. මිනිහා අපේ ඔෆිස් එකේදී නම් හෙනම වැදගත් පොර. හැබැයි බිව්වම බළු වෙනවා. කොහොම හරි එදත් මිනිහා බීලා, දැන් මේකට කබරයා දාන්න ඕනේ කියලා කිව්වම අපේ තව අයියන්ඩියෙක් මිනිහාව ලඟ තිබ්බ විල්බැරෝ එකක දාගෙන අරං ගිහින් ‍පූල් එක ගාවට. වෙලාවට අපේ කට්ටිය වෙරි හින්දගෙන නාලා කෑම කනවා. අර යකා කබරයා පාරක් දැම්මේ නැද්ද පූල් එකට. ෂිට්… ඌ වගේ නරියෙක්. ගම කෑවා. පස්සේ පූල් එක බලාගන්න හමුදාවේ කට්ටිය ඇවිත් ඌට බැනලා බැනලා පැත්තකට ඇදලා දැම්මා. අපි ඔක්කොම චා උනා ඒ මැට්ටා නිසා.
 
පස්සේ ඔය ඔක්කොම නාටක බලල අන්තිමේ ගෝල්ඩ් fish ගියා කෑම කන්න. මෙන්න බොලේ එක අයිය කෙනෙක් බත් කන පිඟානකට අතුරුපස අරගෙන යනවා. වටලප්පන්, රතුයි කොලයි ජෙලි, කැරමල් පුඩිං, පෘට් සැලඩ්… තව තිබුනා එක එක ජාති. මෙන්න ඊට පස්සේ තවත් එකෙක් ඒත් එහෙමයි. පස්සේ ගෝල්ඩ් fishත් බයියං කාලා එහෙම ගියා අතුරුපස චුට්ටක් බෙදා ගන්න කියලා. එතකොට තමා වැඩේ පත්තු වුනේ. අපේ කට්ටිය අතුරුපස බෙදාගන්න තියෙන පිඟන් ටිකයි බත් කන්න තියෙන පිඟන් ටිකයි මාරු කරලා. හී… හී… අපිත් අරියි ඔය වගේ චාන්ස් කියලා ගත්තා බත් කන පිඟානක්, බෙදා ගත්තා හස මාසෙකට ඇති වෙන්න අතුරුපස. එපා කියන්න කව්රුත් නැහැනේ. අනික අනිත් හැමෝමත් කන්නේ ඒ විදියටනේ කියලා. ඇදලා ඇරියා. ආයේ මොනාද ඉතිං බත් කෑවේ අපරාදේ කියලා හිතුනා.
 
මෙන්න අන්තිම ලාස්ට් ෆයිනල් කතා පොඩ්ඩ. හැබැයි කාටවත් කියන්න එපා. දැන් කට්ටිය දන්නවනේ ඔය වගේ විනෝද චාරිකාවකදී අන්තිමේ හෝටලේ බිල ගෙවන්නේ ආයතනයේ මානව සම්පත් අංශයෙන්නේ. ඒත් ඉතිං අපේ ඒක ටිකක් වෙනස් වුනා. අපේ බිල ගෙව්වේ අපේ මෙහෙයුම් කළමනාකරතුමා. මොකද දන්නවද හේතුව. (රහසින්) අපේ H.R Manager මහත්තයා කාමරයක කබරයා දානවලූ. (රහස ඉවරයි) ඒකට හේතුව තමා හොඳ හිත. ඒ කියන්නේ මෙහෙමනේ, දැන් අපේ ලොක්කා බොන කට්ටිය ගාවින් යද්දී, ඒ අය කතා කරනවා එන්න සර් පොඩි ෂොට් එකක් අරගන්න කියලා. ඉතිං අපේ ලොක්කට බැහැයි කියන්න බැහැනේ. ඔන්න ඉතිං ලාවට අනුමත වෙනවා. පස්සේ ආයේ වෙන තැනකින් යද්දී ආයෙත් අර ව‍ගේ කතා කරනවා, හැබැයි එතෙන තියෙන්නේ වෙන ජාතියක්. ඔන්න එතනිනුත් දාගන්නවා. මෙන්න ආයෙමත් තව තැනකින්. ඔය විදියට කිහිප පොලකින් එක එක ජාති දාගත්තම වෙනදේ දන්නවනේ. කලවම් වුනම වෙන්නේ අන්තිමේ අපේ ලොක්කට වුන දේ තමා. කොහොම හරි අපි ඔෆිස් එකට එනකනුත් ලොක්කා දොයි කියලා තමා ආරංචි වුනේ.
 
ඉතිං ඒ ගිය අවුරුද්දේ ට්‍රිපනේ. බලමුකෝ මේ පාර මොනා වෙයිද කියලා. මොනා වුනත් ගෝල්ඩ් fish යහතින් ආවොත් වෙච්ච ලස්සන සිද්ධි ටික ලියනවා, අනිවා ඩෙෆා. ආ… කියන්න අමතක වුනා අපි ට්‍රිප යන්නේ ලබන විසි දෙවෙනිදා තමා. මේ ගමනත් සුරාවෙන් වැලකී සිටින්න තමා ගෝල්ඩ් fish ගේ අධිෂ්ඨානය. එහෙනම් ම‍ට ජයවේවා…!
 
මළ කෙලියයි තව ජුංඩෙන් අමතක වෙනවා, මේ පාර ගෝල්ඩ් fish හිතාගෙන ඉන්නවා කුකුලේ ගඟ ස්වාභාවික ජල තටාකය බලන්න යන්න. සිංහලෙන් කිව්වොත් natural pool එක.

%d bloggers like this: