රේඩියෝ “හූ FM”

මෙන්න තවත් සුපිරි දඟ වැඩක්. මේක කලේ ගෝල්ඩ් fish, ස්කෝලේ O/L කරන දවස් වල. ඒ දවස් වල ගෝල්ඩ් fish කලේ ටිකක් අමුතු අමුතු වැඩ තමා. ඒ කියන්නේ පිස්සු කේස් එකක් ඒ දවස් වල. ඒ කාලේ මට තිබුන ඔය අනිත් අයටත් වගේ සිරා විනෝදාංශ කිපයක්. ප්‍රධාන එක තමා, ඉලෙක්ට්‍රොනික් පරිපථ සෑදීම. ස්කෝලේ වැඩ පැත්තක දාලා කරපු ඔය වැඩ වලින් ඒ දවස් වල අපේ ස්කෝලේ තිබුන ප්‍රදර්ශනයකින් ගෝල්ඩ් fishට ප්‍රථම ස්ථානයත් ලැබුනනේ. ඒ දවස් වල ගෝල්ඩ් fish බස් එකේ යන්න දෙන සල්ලිවල ඉතුරුවයි, කෑම කන්න දෙන සල්ලිවල ඉතුරුවයි ඔක්කොම වියදම් කරේ ඔය වගේ එක එක ජාතියේ පරිපථ හදන්න තමා. හදනවා හදනවා ඉවරයක් නෑ. කොහොම හරි හරියන කන්ම හදනවා. ඒ දවස් වල අපේ යාළු මාළු සෙට් එකට තිබුනා නයිට් රයිඩර් කාර් එකේ වගේ ලයිට් සෙට් එකක් බයිසිකලේ හයිකරගෙන රෑට රෑට අවලමේ යන බොහොම හොඳ පුරුද්දක්. අවලමේ කිව්වට ඉතිං ඔය අපේ අපේම ගෙවල් වලට තමා යන්නේ, අපේ බයිසිකල් වල හැඩ වැඩ පෙන්නන්න.

හ්ම්… දැන් ඇති ඒවා, මෙන්න කතාව.

ඉස්සෙල්ලා කිව්වා වගේ, ගෝල්ඩ් fish O/L කරන දවස් වල සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම පන්ති වැටිලා තිබුනේ හවස් වරුවේ. ඒවත් වැඩි ඈතක නෙමේ ගෙවල් අහල පහලමයි. ඒත් ඉතින් උදේ වරුව ගත කරේ පාඩම් වැඩ කරන්නම තමා. කොහොම හරි විභාගෙට මාස තුනක් විතර තියෙද්දී, ගෝල්ඩ් fish ගේ ගෙදරට අල්ලපු ගෙදර කොලුවා ගෝල්ඩ් fish පාඩම් කරන්න අවහිර වෙන විදියට වැඩ කරන්න ගත්තා. මම දන්නේ නෑ මේක හිතා මතාම කරපු දෙයක්ද නැද්ද කියලා. මොකද්ද දන්නවද මේකා කරපු අසමජ්ජාති වැඩේ. මූ හෙන හයියෙන් රේඩියෝ එක දානවා. ආයේ ඉතිං අවුරුද්දට ලවුඩ් ස්පීකර් දැම්මා වගේ තමා. ගමටම ඇහෙන්න දානවා. මේක හිසරදයක් වුනාම ගෝල්ඩ් fishගේ අම්මා ගිහින් කතා කලා මේ ළමයාගේ දෙමව්පියන්ට. මොන උන් ඊට එහා. අපේ අම්මට බැන්නේ නෑතෑ උන්ගේ අම්මා.

මේ වැඩේ හරි යන්නේ නැති පාර ගෝල්ඩ් fish කල්පනා කරා සීන් කරන්න දෙයක්. වෙලාව කියන්නේ මූ කවදාවත් කැසට් එකක් play කරන්නේ නෑ. හැමදාම දාන්නේ වෙළඳ දැන්වීම්ම යන රේඩියෝ චැනල් එකක් විතරයි. අඩුගානේ සිංදුවක් දාපිය, අහගෙන ඉන්න. මොන මේකා නිකං වෙළඳ දැන්වීම් අහන්නේ ඌ මහ ලොකු බිස්නස් කාරයා වගේ. අනේ උගේ බිස්නස්. හරි …. කොහොම හරි, දැන් කරන්න දෙයක් නැතිම පාර ගෝල්ඩ් fish තීරණය කලා විනෝදාංශයෙන් වැඩක් ගන්න හොඳම වෙලාව තමා මේ කියලා.

ඊට පස්සේ ඉතිං ගෝල්ඩ් fish හැදුවා හරි අපූරු බඩුවක්. මක්ක කිව්වා? බඩුවක්…. ඔව් ඔව් බඩුවක්. ගෝල්ඩ් fish හැදුවා fm රේඩියෝ තරංග පරාසය තුල වැඩ කරන transmetter එකක්. ඒ කියන්නේ fm mic එකක්. මේක ටිකක් විතර ප්‍රබල භාන්ඩයක්. මීටර් දෙසීයක විතර ප්‍රමාණයක් කරදරයක් නැතුව ආවරණය කරන්න පුළුවන්. වැඩ කරන්න ඕනේ වෝල්ට් 9යේ බැටරියක්. ඒවා ඉතිං ඒ දවස් වල ගෙයි හැම තැනම. පස්සේ මෙන්න මෙහෙමයි අර කොලුවට පාඩමක් ඉගැන්නුවේ.

මුලින්ම ඌ රේඩියෝ එක මහ හයියෙන් දානකන් ඉඳලා, මයික් එකේ මයික් එක අරගෙන ගෝල්ඩ් fish ලාගේ ගෙදර වැහි පීල්ල යටට සෙට් කලා. ඒ කියන්නේ අර ළමයාගේ ගෙට මුහුනලා. එතකොට එන සද්දේ කෙලින්ම වදින්නේ මයික් එකට. ඊට පස්සේ මයික් එකේ සංඛ්‍යාතය එකින් එකට වෙනස් කරන්න පුළුවන් ගැජමැටික් කෑල්ලක් හයි කර ගත්තා. දැන් තමා ගේම. මූ දැම්මා හෙන සද්දෙන් සිංදුවක් නෙමේ වෙළඳ දැන්වීමක්. උගේ රේඩියෝ එකෙන් එන සද්දෙම ආපහු මයික් එකෙන් ග්‍රහනය කරගෙන පරිපථය හරහා උගේ රේඩි‍යෝ එකේ ඌ අල්ලලා තියෙන චැනල් එකටම ටියුන් කලා. මෙන්න බොලේ සීන් එක හරි. රේඩියෝ එකෙන් මහ හයියෙන් හූවක් පිට වෙනවා. පස්සේ ඌ චැනල් එක මාරු කලා. හී…. මමත් අරියි නිකං. මම ඒ චැනල් එකටත් මගේ ට්‍රාන්ස්මීටර් එක ටියුන් කලා. පැය භාගයක් විතර ඌ ට්‍රයි කරලා කරලා වැඩේ අතෑරලා දැම්මා. ඌ වෙළඳ දැන්වීම් ඇහුවට වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරිවුනා. මිනිහා උගේ ගෙයි තරමට විතරක් රේඩියෝ එක දාගත්තානම් කිසි ගින්නක් නැහැනේ. කොහෙද ඉතිං සමාජ සේවයට යනවනේ.

දැන් ඉතිං අපේ කට්ටියත් මඥ්ඥං ඇතිනේද? මොනාද මේ මූ කියන්නේ කියලා. මෙහෙමනේ යාළුවනේ සීන් එක. ඔය අර fm මේ fm කියලා රේඩියෝ ස්ටේෂන් තියෙනවානේ. ඒවායේ රේඩියේ විකාශන කටයුතු කරන්නේ එකම සංඛ්‍යාතයක් ඔස්සේ තමා. ඒ කියන්නේ නිකං හිතන්නකෝ… මල් fm කියලා එකක් තියෙනවා කියලා. ඒක අහන්න අපි ටියුන් කරන්න ඕනේ 88.1 fm කියලා කියනවා. ඒ 88.1 කියන්නේ ඒ රේඩියෝ චැනල් එක විකාශය කරන සංඛ්‍යාතය තමා. ඒත් ඔය සංඛ්‍යාතයටම වැඩ කරන රේඩියෝ තරංගයක් අපිටත් හදන්න පුළුවන් ඔය මං ඉස්සෙල්ලා කිව්ව ට්‍රාන්ස්මීටර් එකෙන්. ඒ වගේම අර තංගයට වඩා ප්‍රබල නම් ඒ සංඛ්‍යාතය cross වෙලා, ඒ කියන්නේ ඒ සංඛ්‍යාතය ඇහෙන් නැතුව ගිහින් අපේ ට්‍රාන්ස්මීටරෙන් නිකුත් කරන මොකක් හරි සංඥාව ඇහෙන්න ගන්නවා.

දැන් මම හදපු ට්‍රාන්ස්මීටරේ ඕන සංඛ්‍යාතකින් තරංග නිකුත් කරන්න පුළුවන් එකක්. කරන්න තියෙන්නේ අදාල ගැජට් එක අපිට ඕනේ තැනට ටියුන් කරන එකයි. පස්සේ මම කරේ, මගේ ට්‍රාන්ස්මීටරේ මයික් එකට දෙන සංඥාව අර ළමයාගේ රේඩියෝ එකෙන් එන සද්දෙම විදියට යොදා ගත්ත එකයි. ඊට පස්සේ ඒක ආපහු එයාගේ රේඩියෝ චැනල් එල ක්‍රොස් වෙන විදියට ට්‍රාන්ස්මීටරය හරහා ඒ සංඛ්‍යාතයටම ටියන් කරන එකයි. එතකොට එතෙන ඇතිවෙනවා හූ හඩක්. කටිටයට අත්දැකීම් ඇති ඕනේ තරම්. මම මේ තරම් කියවන්න ඕනේ නෑ මං හිතන්නේ. අපි ඒ සිද්ධියට කියන්නේ feed back වෙනවා කියලා. English වලින් නම් ප්‍රතිපෝෂනය කියල කියනවා. ඒ ගැන නම් ගෝල්ඩ් fish වැඩිය දන්නේ නෑ. කොහොම හරි මම ඊට පස්සේ පුරුදු වුනා ඒ ළමයා, මහ හයියෙන් රේඩියෝ එක දාන හැම වෙලාවෙම ඔය වැ‍ඩේ කරන්න. පස්සේ මම ඒකට නමකුත් දාගත්තා “හූ FM” කියලා. හැබැයි එයාගේ ගෙයි තරමට සද්දේ අඩුවෙන් දාගෙන හිටියොත් නම් මුකුත් කරන්න ගියේ නෑ. පවුනේ, මට කරදරේකුත් නැහැනේ කියලා. ඊට පස්සේ මේකා කොහොම හරි රේඩියෝ ගොඩක් හිමීට දාගෙන හිටියා. තාමත් එහෙමම තමා. මටත් කරදරයක් නැති නිසා මාස දෙකකින් විතර පස්සේ මමත් වැඩේ අතෑරලා දැම්මා.

හැම ප්‍රශ්නෙටම අපිට පේන විසඳුමට වඩා, අපි නොහිතන විදියේ පිළියමකුත් තියෙනවා කියලා ඒ වෙලාවේ නෙමේ ඊට පස්සේ කාලකදී මට තේරුම් ගියා. ඇත්තටම දැන් නම් අපි යාළුවෝ. එයා කසාද බැඳලා බබෙකුත් ඉන්නවා දැන්. මිනිහා මම ගෙනියන ෆිල්ම් බලන්න එහෙම ආසාවෙන් ඉන්නේ. ගොඩක් ෆිට් මායි මල්ලියි එක්ක. ඒත් මම නෙමේ තාමත් අර සීන් එක කිව්වේ. ඒක මම නොකිය ඉන්නවා කියලා හිතුවා. කමක්නැහැනේ නේද?

%d bloggers like this: