පන්ඩිතකමේ තරම…


මේ කතාව නම් ටිකක් විතර කියන්න ලැජ්ජා හිතෙන කතාවක්. මේ… එහෙම කිව්වට නරක කතාවක් නෙවේ. සිරාම සිරා ජොලි කතාවක්.

යාළු මාළුවන්ට ගෝල්ඩ් fish කලින් post එකකින් කිව්​වේ, අපි නුවරඑළියේ trip එකක් ගිය හැටි. අර බෝතල් 80ක් විතර ඉවර කරලා තිබුනේ, එහෙමත් බීමක් අම්මපා. ​ඒ trip එකේදී සිද්ධවුන අමතක නොවෙන දෙයක් තමා මේ. ගෝල්ඩ් fishලා මුලින්ම ගියේ රම්බොඩ දිය ඇල්ල බලන්න. එදා අපි නැවතුනෙත් රම්බොඩ හෝටලයේ. එදා ඉතිං ෆන් තමා. කනවා කනවා ඉවරයක් නෑ. තව කට්ටියක් බොනවා බොනවා ඉවරයක් නෑ. 🙂 පස්සේ ඊට පහුවෙනිදාට එළිවුනාම අපි අඹේවෙල කිරි ගොවිපොල බලන්න ගියා. ඊට පස්සේ අපි මග සිරා වැවක් ගාව නවත්තලා දවල්ට කෑම කාලා එහෙම හවස 4.00 විතර නුවරඑළියට ගියා. අම්මෝ එහේ ඒ වෙලාවේ තිබුන රස්නේ. අපි හිතං හිටියේ හැම වෙලාවෙම සීතලයි කියලනේ. ඒ වුනාට එහෙම නෑ. ආ… කියන්න අමතක වුනා ගෝල්ඩ් fish පළවෙනි පාරට තමා ඒ නුවරඑළි ගියේ. ඊට පස්සේ අපිට නවාතැන් ලෑස්ති කරලා තිබ්බ තැනට ගිහින් අපේ බෑග් අනං මනං එහෙම තියලා මූන කට පොඩ්ඩක් හෝදගෙන වෙන කිට් එකක් එහෙම දාගෙන ඔන්න එළියට බැස්සා. ඒ කියන්නේ කිලෝ මීටර් 3ක් 4ක් හතරක් ඇවිදින්න. අපි යන්න හිතං හිටියේ නුවරඑළියේ ග්‍රෙගරි වැව ගාවට. මොකද අපි අපේ නවා තැන්පොලට යද්දී අපි දැක්කා ​වැව ගාව චූටි නංගිලා, ඊටත් වැඩිය චූටි අක්කලා ටිකක් වැව ගාව සිරිනරඹනවා. ඉතිං අපිත් යන්න ලෑස්ති වුනේ වැවේ සිරිනරඹන්න. නැතුව ඔය කෙල්ලන්ගේ සිරිනරඹන්න එහෙම නෙවේ.

අපි 3 දෙනෙක් තමා මේ ගමනට පිටත් වුනේ. දැන් කිලෝමීටර් එකාමාරක් විතර යනවා පාර දිගේ. ෂා… කියලා වැඩක් නෑ පාරේ දෙපැත්තේ ලස්සන. එක පැත්තක කැරට් වවලා, අනිත් පැත්තේ ගෝවා වවලා. ඔය වගේ පාර දිගටම එක එක ජාති වවලා. පාර දිගටම කිව්වට, පාර දෙපැත්තේ ඉඩම් වල තමා හොදේ. නැත්තං බලයි පාරේ එළවළු වැව්වම වාහන යන්නේ උඩින්ද කියලා. දැන් ඔය විදියට මග දිගේ ලස්සන බල බල යද්දී, අපිත් එක්ක ගිය, අර 8 feet කතාවේ යාළුවා කිව්වා මේ මෙතනින් short cut එකක් තියෙනවා වගේ මෙතනින් ගිහින් බලමුද කියලා. අපිත් ඉතිං අසායි නොවැ ගවේෂන කරන්න. ආයේ ඉතිං ඒ වගේ අවස්ථාවක් අතහරින්නේම නැහැ. තුන් දෙනාම කැමති නිසා අපි ඒ කැලෑ පාරෙන් වැව ගාවට යන්න ගත්තා. පාර ඉවර වෙන්නේ වැවේ මෙහා පැත්තේ ඉවුරෙන්. ඉතිං දැන් අපි තවත් කිලෝමීටරයක් විතර කෑලෑව අස්සෙන් ඇවිදන් යද්දී, මෙන්න බොලේ හෙන ඇලක්. එතනින් එහාට පාර ඉවරයි. යන්න තැනක් නෑ. දැන් මොනා කරන්නද, ආපහු යන්නත් නිකං මොකද්ද වගේ. ඒක නිසා තව ටිකක් ඇල දිගේ යමු කියලා කතාකරගෙන අපි ඉස්සර හට යනවා. හුරේ…. අපි දිනුවා, මෙන්න තියෙනවා ඇලෙන් එගොඩ වෙන්න ඒ දන්ඩක්. ඒ දන්ඩක් කිව්වට දඩු හතරක්. මොනද මන්දා ලොකු කොට හතරක් ඇල හරහට දාලා. දැන් අපි මේකෙන් යන්න හදද්දී මුලින් යන්නේ කව්ද කියලා හිතා ගන්න බෑ.

කමක් නෑ මම කොහොමත් පන්ඩිතයිනේ වැටුනත් වැටෙන්නේ කුනු වතුර යන ඇලකටනේ කියලා ගෝල්ඩ් fish ඉස්සර වුනා. වැඩි පරිස්සමට කියලා ගෝල්ඩ් fishගේ mobile එකයි, පර්ස් එකයි 8 feet ට දීලා තමා ගියේ. පස්සේ කිසිම අමාරුවක් නැතුව ගෝල්ඩ් fish එගොඩට ගියා. ඊට පස්සේ අපේ අනිත් යාළුවා. ඒයාගේ නම චමී. තව කෑල්ලක් තියෙනවා ඒක ඕනේ නෑ. ඒ සීන එක කියන්න කලින් කියන්න ඕනේ චමී කියන්නේ, අපි වගේ කොළඹ ආශ්‍රිත මාළුවෙක් නෙමේ. මිනිහා මහියංගනේ, මහියංගනේ කිව්වට මහියංගන ටවුන් එකේ ඉඳන් තව කිලෝමීටර් 50ක් විතර යන්න ඕනෙලු. ඒ හරියට තාම සොයා නොගත් ප්‍රදේශයක්ලු. ඒකයි එහෙටත් මහියංගනේ කියනවා ඇත්තේ. 🙂 අපේ චමී අපි office එකේ කෑම කනවෙලාවට හෙන පොර ටෝක් දෙනවා, උඹලා කොළඹ, උඹලා එකෙක්වත් ඇලකින් නාලා තියෙනවද? ගස් නැගලා තියෙනවද, වගේ එක එක ඒවා කිය කිය. ඇත්තටම මූ සෑහෙන අත්දැකීම් සම්භාරයකින් පොහොසත් වෙලා තමා උන්නේ. ඒත් මිනිහා කවමදාකවත් ඒ දන්ඩක ගිහින් නෑ මං හිතන්නේ. දැන් ඉතිං කට්ටියම බලන්නකෝ පහල image එක දිහා.

පේනවානේ මූ ඒ දන්ඩේ යන ලස්සන. එක දන්ඩක් දිගේ නම් කමක් නෑ. ඇයි යකෝ මෙතෙන දඩු 4ක් තියෙනවා. මූ ඒවායේ බඩ ගානවා. දැන් චමී ඒ දන්ඩේ මැද ඉද්දී ගෝල්ඩ් fish අනිත් ඉවුරේ. 8 feet මෙහා ඉවුරේ. ඒ වෙලාවේ හිතුනා ගෝල්ඩ් fish ට අපරාදේ mobile එක 8 feetට දීලා ආවේ කියලා. ඇයි දෙයියනේ මේ වගේ දුර්ලබ අවස්ථාවක් ආයේ එන්නේ නැහැනේ. ඊට පස්සේ ගෝල්ඩ් fish 8 feet ගෙන් mobile එක ඉල්ලන්න හදද්දීම 8 feet වැඩේ කරලා ඉවරයි. ඒ කියන්නේ අති දුර්ලභ දර්ශනයක් කැමරාකර ගෙන ඉවරයි. පස්සේ තුන් දෙනාම ඒ දන්ඩෙන් එගොඩ වුනාට පස්සේ 8 feet චමී ගෙන් ඇහුවා “ඇයි බං ඒ දන්ඩේ දනගෑවේ කියලා” පස්සේ චමී අහනවා “ඇයි බං එහෙම අහන්නේ ” කියලා. පස්සේ විස්තර කියන්න ගියේ නෑ අපි දෙන්නට හිනා නිසා කියන්න විදියකුත් නෑ. චමී හිතං ඉන්නේ ඒ දන්ඩේ යන්නේ ඒ විදියට කියලා වෙන්න ඇති කියලා අපි හිත හදාගත්තා. ඊට පස්සේ 8 feet ග්‍රෙගරි වැව ගාවට ගිහින් ගෝල්ඩ් fish ගේ කනට කරලා කියනවා “මේ… මං හිතං හිටියේ උඹ විතරයි පන්ඩිතයෙකුට ඉන්නේ කියලා. දැන් බලද්දී තව එකෙක් ඉන්නවනේ බං” කියලා.

මේ image අපේ office එකේ බොහොම ජනප්‍රියයි. ඇයි ඉතිං සෑහෙන දුර්ලභ දර්ශනයක්නේ. 😉 සමහරවිට මහියංගනේ පැත්තේ ඒ දඩුවල යන්නේ ඒ විදියටද දන්නේ නෑ. අර භාෂාව පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා වගේ ගමන් කරන විදිත් වෙනස් වෙනවද දන්නේ නෑ. හි හි. 🙂

%d bloggers like this: