මගේ රත්තරං අම්මා…

දැන් නම් මට අවුරුදු 24ක් වෙනවා. මේ තරම් කාලයක් මට කවමදාකවත් එක දවසක්වත් බඩගින්නේ ඉන්න වුනේ නෑ. ඒ කියන්නේ මම ඉපදිලා දවස් 8760ක් වෙනවා, ඒ දවස් ඔක්කොම බැලුවොත් මගේ මුල් අවුරුද්ද හැර මුළු කෑම වේල් ගනන 25185 විතර වෙනවා. ඒ කිසිම වේලක් මම බඩ ගින්නේ ඉඳලා නෑ, ඉඳලා නෑ නෙවේ මාව බඩගින්නේ තියලා නෑ. කන්න බෑ කියලා නිදාගද්දී, මට බඩගිනි නෑ කියලා ඉද්දී… එක වේලක් වත් මට කිරි වීදුරුවක්වත් නොදී මයෙ අම්මා ඒවායේ රහ බැළුවේ නෑ. මගේ මේ ටැංකියේ යාළුවන්ට කියන්න බැරි තරම් දුකක් අම්මා වින්දා, මේ දඩබ්බර කොල්ලව හදාගන්න. ලොකු මහත් කරන්න. තාත්තා, අම්මත් එක්ක ළගින්ම හිටියා… තාමත් ඉන්නවා, ඒත් තාත්තා රාජකාරි වැඩ වලට දවස් දෙක තුන දුර ගියාම අම්ම නේද මාව ආදරෙන් බලාගත්තේ. මම තාත්තගේ පපුව උඩ නිදාගත්තට, අම්ම නේද මාව තාත්ත නැති වෙලාවට ළඟට අරගෙන හුරතල් කර කර ආදරෙන් බලාගත්තේ. ඒවා කිසි දෙයක් මට අමතක නෑ. ඒත් ඉතිං මේ වයසේ හැටි වෙන්න ඇති, මට අම්ම කියන සමහර ඒවාට කේන්ති එනවා. ඉතිං මම කුණුහරුප නොකිව්වත් අම්මට ටිකක් සැරෙන් කතා කරනවා. ඒ මට මගේ කන් දෙකට පාඩුවේ ඉන්න ඕනේ නිසා. ඒත් පස්සේ මම කොට්ටෙ බදාගෙන කොට්ටෙ තෙත් වෙනකම් කොයි තරමි අඩනවද? අම්ම ඒවා කවදාවත් දැන ගන්නේ නෑ. ඒ ඔක්කොම කඳුළු උදේ වෙද්දී මගේ මූනේ රස්නෙටම වාෂ්ප වෙලා ගිහිල්ලා.

ඒ වගේම මේ තරං කාලෙකට මම කිසිම දවසක් රෝහලක එක පැයක්වත් ඉඳලා නැහැ. ඒ මගේ අම්මා මාව ආදරෙන් පරිස්සම් කරපු නිසා. පුංචි පුංචි තුවාල වුනා තමා. ඒ ඉතින් මගේ තියෙන දාංගලේටනේ. ඒ හැම වෙලාවකදීමත් අම්මා මගේ ලඟින් හිටියා. ඒ මොනා වුනත් ඉතිං අම්මට කිසිදෙයක් කියන්න බැහැනේ. තියෙන ආදරේට මටම බනිනවනේ. ඒක නිසයි මම අම්මට කිසි දෙයක් කියන්නේ නැත්තේ. මම ආසා නැහැ බැනුම් අහන්න. ඒකයි. මට හිතෙන හිතෙන දේ කියන්න කව්රුත් නෑහැ. ඒවා මගේ ඔළුවේ හිර කරන් ඉද්දී මට ඒවායේ බර වැඩියෙන් දැනෙනවා. ඒත් ඉතිං කරන්න දෙයක් නැහැ, මට ඒක දරාගන්න වෙනවා. මම ආසා නැහැ අම්මගෙන් බැනුම් අහන්න. මට හැමදාමත් මේ ඔක්කොම දරා ගන්න බැහැනේ… පිස්සු හැදෙයි. ඒක නිසා ඒ බර ටිකක් නිදහස් කර ගන්න මම හිටපු ගමන් beer එකක් විතරක් බොනවා. ඒතක් මාසෙකට සැරයක් එහෙමත් නැත්තතං සති පහ, හයකට සැරයක්. ඒත් අම්මට කවදාවත් මාව අහුවෙලා නැහැනේ. අම්මගේ මෝඩ පුතා ටිකක් දක්ෂයි. ටිකක් නෙවේ සමහර වෙලාවටනම් ඉතිං ගොඩක්. අම්ම දැනුත් හිතං ඉන්නේ angel මගේ හිතේ නැතුව ඇති කියලනේ… ඒත් එහෙම නෑ අම්මට පස්සේ මගේ හිතේ ඉන්න එකම ගැහැනු රූපේ තමා ඒ. ඒත් කවදාවත් මම ඒක අම්මට දැනෙන්න දෙන්නේ නෑ. මොකද ඒකටත් මටම බැනුම් ෂුවර් නිසා. ඒ වගේ තව දේවල් මහා ගොඩක් තියෙනවා අම්මට කියන්න ඕනේ කියලා හිතෙන ඒත් ඉතිං කොහෙද, කියපු ගමන් අපි මෙච්චර දුක් මහන්සි වෙලා උඹව උස් මහත් කලේ ඕවා කරන්නද අහද්දී ඉතිං මට කටඋත්තර නැහැනේ.

හැමෝම කියන්නේ මම අම්මා වගෙයි, පාට තාත්තා වගෙයි කියලා. එකම එක දවසක් මම කණ්නඩියෙන් දැක්ක තාත්තගේ මූන වගේ, මගේ මූනත්. හි හි මට පිස්සුනේ. දැන් ඉතිං තාත්තා ගැනත් මොනා හරි ලියන්න එපැයි. මොනා ලියන්නද එයා මගේම ආදරනීය තාත්තා. මගේ තාත්තව වර්ණනා කරන වෙන වචන නෑ මට. කිසිම දවසක කිසිම රහ මෙරක් කටේ තියන් නැති, අම්ම මට තරහ ගිහින් බනින කොට මාව ඒ හැම එකෙන්ම බේර ගන්න රත්තරං තාත්තට මට කියන්න දෙයක් නැහැ. ඔයා තමයි මගේ මේ සංසාරෙම තාත්තා. ඒක නිසානේ මට පුංචි කාලෙදී කොට්ටෙ උඩ නින්ද නොගිහින් තාත්තිගේ පපුව උඩ විතරක් නින්ද ගියේ. අදටත් අම්ම වගේම මම කන්න බැහැ කියද්දී “එහෙනං මෙහෙන් වාඩි වෙන්න, බත් කවන්න” කියලා බත් කවන හැටි. මමත් තාම පුංචි එකෙක් වගේ තාත්තා කවන බත් කනවනේ. ඇත්තටම ඒ බත් කටවල් මගේ අතිං අනා ගෙන කනවට වැඩිය ගොඩක් රසයි. ඒ මගේ තාත්තගේ මං ගැන හිතේ තියෙන ආදරෙත් මුසු කරල කවන නිසා වෙන්න ඇති. අදත් කොහොම හරි බොරුවට බඩගිනි නෑ කියලා බත් කටක් කවාගන්න ඕනේ. එතකොට තමයි උපන් දිනේ අර්ථවත් වෙන්නේ. අපිට කේක් එකක් කපන්න වෙලාවක් නැ​හැනේ. මම උදෙන්ම වැඩට එන්න පිටත් වෙනවනේ. ආයෙ ඉතිං ටිකක් රෑ වෙනවානේ ගෙදර එද්දී. එතකොට මොන කේක්ද? ම්… ඉතිං මම මේක මගේ අම්මටවත් තාත්තටවත් පෙන්නන්නේ නෑ. මම ආසා නෑ ඒ ඇස්වල කඳුළු බලන්න. ඒකනිසා තමා මේ නොපෙන්නා ඉන්නේ. අනිවාර්යෙන් මේක කියවපු ගමන් අම්ම නම් මාව බදාගෙන අඩයි. අම්මා තාම දන්නේ නෑනේ මේ ගල් හිත අම්මටයි තාත්තටයි මොන තරම් ආදරේද කියලා. කමක් නෑ ඒක තේරුම් කරන්න යන්නේ නෑ මම. තාත්තා මේක කියවලා මගේ මුළු ශරීරෙම හිරිවැටිලා යන්න ආදරෙන් තුරුළු කරං මගේ ඔලුව ඉඹියි. හයියෙන් ඈඩුවේ නැතත් ඇස් වලට කඳුළු පිරෙයි. මේ දඩබ්බරයා ආස නෑ ඒ කඳුළු දකින්න. ඒක නිසා මේ post එක පෙන්නන්නේ නෑ. තරහා ගන්න එපා ඒකට.

හ්ම්… තව එකෙක් ඉන්න​වනේ මතක් කරන්න. මූ තමා මගේ ෆිට් එක. මගේ angel ගේ සීන් ටිකක් විතර දන්න, හවසට මට පයින් යන්න කම්මැලි වුනාම මාව ගෙදර එක්කං යන්න බයිසිකලේ එන්නේ මූ තමා. මූ ආවට පස්සේ නම් අපේ අම්ම මට ආදරේ ටිකක් අඩු වුනාද මන්දා? දැන් මූට තමා ඔක්කොම සැලකිලි. කමක් නෑ උඹේ ඈ​ගෙත් දුවන්නේ මගේ වගේම ලේනේ. ඒකනේ delta force , multilayer දාලා සෙල්ලං කරද්දී එහෙම මට කලිං පණ්ඩිතයා වගේ ගිහින් වෙඩි කන්නේ. අදත් mission එකක් ඉවර කරමු බං. ගෙදර එවිත් මාත් කම්මැලි කමේනේ ඉන්නේ. මගේ ගොඩක් වැඩ වලට උදව්වෙන මූ තමා මගේම මල්ලී. හැබැයි එක නරකක් තියෙනවා. මූ ආසා නැහැනේ බ්ලොග් ලියන්න. හැබැයි සමහරවිට ඌත් ලියන්න ගනියි ප්‍රශ්න එක දෙක වැඩි වෙද්දී. හී හී…

ඉතිං අද මගේ උපන් දිනේ… රත්තරං අම්ම කියලා පටන් ගත්තට, අම්මා ගැන විතරක් ලියලා බැහැනේ. අම්මට හයියක් වුන තාත්තා ගැන ලියන්නේ කව්ද? අනික මගේ ෆිට් එක ගැන ලියන්නේ කව්ද? ඒක නිසා post ටිකක් දිග වැඩි වුනා. අවුලක් නෑ යුතුකමක්නේ ඉෂ්ට කලේ. හ්ම් එහෙනං ඉතිං මම එතකොට තව අවුරුද්දක් වයසට ගියා. ම් ම්… කමක් නෑ…

අන්තිමේත් මතක් කරන්නේ… මගේ අම්මයි තාත්තයි තමා මේ ​ලෝකේ නෙමේ මගේ ලෝකේ හොඳම අම්මයි තාත්තයි. මට වැදගත් මගේ ලෝකේ ගැන ඒකයි එහෙම කිව්වේ. ඒ තරං ආදරයක් කවදාවත් මට ලැබිලත් නැහැ, ලැබෙන්නෙත් නැහැ. ඒක නිසා මගේ උපන් දිනේ දවසේ මම මගේ අම්මටයි තාත්තටයි ප්‍රාර්ථනා කරන්නේ තව දීර්ඝ කාලයක් මායි මල්ලයි එක්කම , මේ ජීවිතයේ අපිට ශක්තියක් වෙලා රැඳිලා ඉන්න කියලයි. ඒක තමා මගේ උපන්දින ප්‍රාර්ථනාව.

තරගයෙන් දිනපු අයට තෑගි ටික හවස් වෙද්දී ලැබෙයි. ඇතෙක් බරට කිව්වට ඇතාට වැඩිය බර වැඩි වුනා. ටිකක් නෙවේ ගොඩක්. ඇතා ගැන හෙට කියනවා ජයාග්‍රාහකයොත් එක්කම.

%d bloggers like this: