රේඩියෝ “හූ FM”

මෙන්න තවත් සුපිරි දඟ වැඩක්. මේක කලේ ගෝල්ඩ් fish, ස්කෝලේ O/L කරන දවස් වල. ඒ දවස් වල ගෝල්ඩ් fish කලේ ටිකක් අමුතු අමුතු වැඩ තමා. ඒ කියන්නේ පිස්සු කේස් එකක් ඒ දවස් වල. ඒ කාලේ මට තිබුන ඔය අනිත් අයටත් වගේ සිරා විනෝදාංශ කිපයක්. ප්‍රධාන එක තමා, ඉලෙක්ට්‍රොනික් පරිපථ සෑදීම. ස්කෝලේ වැඩ පැත්තක දාලා කරපු ඔය වැඩ වලින් ඒ දවස් වල අපේ ස්කෝලේ තිබුන ප්‍රදර්ශනයකින් ගෝල්ඩ් fishට ප්‍රථම ස්ථානයත් ලැබුනනේ. ඒ දවස් වල ගෝල්ඩ් fish බස් එකේ යන්න දෙන සල්ලිවල ඉතුරුවයි, කෑම කන්න දෙන සල්ලිවල ඉතුරුවයි ඔක්කොම වියදම් කරේ ඔය වගේ එක එක ජාතියේ පරිපථ හදන්න තමා. හදනවා හදනවා ඉවරයක් නෑ. කොහොම හරි හරියන කන්ම හදනවා. ඒ දවස් වල අපේ යාළු මාළු සෙට් එකට තිබුනා නයිට් රයිඩර් කාර් එකේ වගේ ලයිට් සෙට් එකක් බයිසිකලේ හයිකරගෙන රෑට රෑට අවලමේ යන බොහොම හොඳ පුරුද්දක්. අවලමේ කිව්වට ඉතිං ඔය අපේ අපේම ගෙවල් වලට තමා යන්නේ, අපේ බයිසිකල් වල හැඩ වැඩ පෙන්නන්න.

හ්ම්… දැන් ඇති ඒවා, මෙන්න කතාව.

ඉස්සෙල්ලා කිව්වා වගේ, ගෝල්ඩ් fish O/L කරන දවස් වල සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම පන්ති වැටිලා තිබුනේ හවස් වරුවේ. ඒවත් වැඩි ඈතක නෙමේ ගෙවල් අහල පහලමයි. ඒත් ඉතින් උදේ වරුව ගත කරේ පාඩම් වැඩ කරන්නම තමා. කොහොම හරි විභාගෙට මාස තුනක් විතර තියෙද්දී, ගෝල්ඩ් fish ගේ ගෙදරට අල්ලපු ගෙදර කොලුවා ගෝල්ඩ් fish පාඩම් කරන්න අවහිර වෙන විදියට වැඩ කරන්න ගත්තා. මම දන්නේ නෑ මේක හිතා මතාම කරපු දෙයක්ද නැද්ද කියලා. මොකද්ද දන්නවද මේකා කරපු අසමජ්ජාති වැඩේ. මූ හෙන හයියෙන් රේඩියෝ එක දානවා. ආයේ ඉතිං අවුරුද්දට ලවුඩ් ස්පීකර් දැම්මා වගේ තමා. ගමටම ඇහෙන්න දානවා. මේක හිසරදයක් වුනාම ගෝල්ඩ් fishගේ අම්මා ගිහින් කතා කලා මේ ළමයාගේ දෙමව්පියන්ට. මොන උන් ඊට එහා. අපේ අම්මට බැන්නේ නෑතෑ උන්ගේ අම්මා.

මේ වැඩේ හරි යන්නේ නැති පාර ගෝල්ඩ් fish කල්පනා කරා සීන් කරන්න දෙයක්. වෙලාව කියන්නේ මූ කවදාවත් කැසට් එකක් play කරන්නේ නෑ. හැමදාම දාන්නේ වෙළඳ දැන්වීම්ම යන රේඩියෝ චැනල් එකක් විතරයි. අඩුගානේ සිංදුවක් දාපිය, අහගෙන ඉන්න. මොන මේකා නිකං වෙළඳ දැන්වීම් අහන්නේ ඌ මහ ලොකු බිස්නස් කාරයා වගේ. අනේ උගේ බිස්නස්. හරි …. කොහොම හරි, දැන් කරන්න දෙයක් නැතිම පාර ගෝල්ඩ් fish තීරණය කලා විනෝදාංශයෙන් වැඩක් ගන්න හොඳම වෙලාව තමා මේ කියලා.

ඊට පස්සේ ඉතිං ගෝල්ඩ් fish හැදුවා හරි අපූරු බඩුවක්. මක්ක කිව්වා? බඩුවක්…. ඔව් ඔව් බඩුවක්. ගෝල්ඩ් fish හැදුවා fm රේඩියෝ තරංග පරාසය තුල වැඩ කරන transmetter එකක්. ඒ කියන්නේ fm mic එකක්. මේක ටිකක් විතර ප්‍රබල භාන්ඩයක්. මීටර් දෙසීයක විතර ප්‍රමාණයක් කරදරයක් නැතුව ආවරණය කරන්න පුළුවන්. වැඩ කරන්න ඕනේ වෝල්ට් 9යේ බැටරියක්. ඒවා ඉතිං ඒ දවස් වල ගෙයි හැම තැනම. පස්සේ මෙන්න මෙහෙමයි අර කොලුවට පාඩමක් ඉගැන්නුවේ.

මුලින්ම ඌ රේඩියෝ එක මහ හයියෙන් දානකන් ඉඳලා, මයික් එකේ මයික් එක අරගෙන ගෝල්ඩ් fish ලාගේ ගෙදර වැහි පීල්ල යටට සෙට් කලා. ඒ කියන්නේ අර ළමයාගේ ගෙට මුහුනලා. එතකොට එන සද්දේ කෙලින්ම වදින්නේ මයික් එකට. ඊට පස්සේ මයික් එකේ සංඛ්‍යාතය එකින් එකට වෙනස් කරන්න පුළුවන් ගැජමැටික් කෑල්ලක් හයි කර ගත්තා. දැන් තමා ගේම. මූ දැම්මා හෙන සද්දෙන් සිංදුවක් නෙමේ වෙළඳ දැන්වීමක්. උගේ රේඩියෝ එකෙන් එන සද්දෙම ආපහු මයික් එකෙන් ග්‍රහනය කරගෙන පරිපථය හරහා උගේ රේඩි‍යෝ එකේ ඌ අල්ලලා තියෙන චැනල් එකටම ටියුන් කලා. මෙන්න බොලේ සීන් එක හරි. රේඩියෝ එකෙන් මහ හයියෙන් හූවක් පිට වෙනවා. පස්සේ ඌ චැනල් එක මාරු කලා. හී…. මමත් අරියි නිකං. මම ඒ චැනල් එකටත් මගේ ට්‍රාන්ස්මීටර් එක ටියුන් කලා. පැය භාගයක් විතර ඌ ට්‍රයි කරලා කරලා වැඩේ අතෑරලා දැම්මා. ඌ වෙළඳ දැන්වීම් ඇහුවට වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරිවුනා. මිනිහා උගේ ගෙයි තරමට විතරක් රේඩියෝ එක දාගත්තානම් කිසි ගින්නක් නැහැනේ. කොහෙද ඉතිං සමාජ සේවයට යනවනේ.

දැන් ඉතිං අපේ කට්ටියත් මඥ්ඥං ඇතිනේද? මොනාද මේ මූ කියන්නේ කියලා. මෙහෙමනේ යාළුවනේ සීන් එක. ඔය අර fm මේ fm කියලා රේඩියෝ ස්ටේෂන් තියෙනවානේ. ඒවායේ රේඩියේ විකාශන කටයුතු කරන්නේ එකම සංඛ්‍යාතයක් ඔස්සේ තමා. ඒ කියන්නේ නිකං හිතන්නකෝ… මල් fm කියලා එකක් තියෙනවා කියලා. ඒක අහන්න අපි ටියුන් කරන්න ඕනේ 88.1 fm කියලා කියනවා. ඒ 88.1 කියන්නේ ඒ රේඩියෝ චැනල් එක විකාශය කරන සංඛ්‍යාතය තමා. ඒත් ඔය සංඛ්‍යාතයටම වැඩ කරන රේඩියෝ තරංගයක් අපිටත් හදන්න පුළුවන් ඔය මං ඉස්සෙල්ලා කිව්ව ට්‍රාන්ස්මීටර් එකෙන්. ඒ වගේම අර තංගයට වඩා ප්‍රබල නම් ඒ සංඛ්‍යාතය cross වෙලා, ඒ කියන්නේ ඒ සංඛ්‍යාතය ඇහෙන් නැතුව ගිහින් අපේ ට්‍රාන්ස්මීටරෙන් නිකුත් කරන මොකක් හරි සංඥාව ඇහෙන්න ගන්නවා.

දැන් මම හදපු ට්‍රාන්ස්මීටරේ ඕන සංඛ්‍යාතකින් තරංග නිකුත් කරන්න පුළුවන් එකක්. කරන්න තියෙන්නේ අදාල ගැජට් එක අපිට ඕනේ තැනට ටියුන් කරන එකයි. පස්සේ මම කරේ, මගේ ට්‍රාන්ස්මීටරේ මයික් එකට දෙන සංඥාව අර ළමයාගේ රේඩියෝ එකෙන් එන සද්දෙම විදියට යොදා ගත්ත එකයි. ඊට පස්සේ ඒක ආපහු එයාගේ රේඩියෝ චැනල් එල ක්‍රොස් වෙන විදියට ට්‍රාන්ස්මීටරය හරහා ඒ සංඛ්‍යාතයටම ටියන් කරන එකයි. එතකොට එතෙන ඇතිවෙනවා හූ හඩක්. කටිටයට අත්දැකීම් ඇති ඕනේ තරම්. මම මේ තරම් කියවන්න ඕනේ නෑ මං හිතන්නේ. අපි ඒ සිද්ධියට කියන්නේ feed back වෙනවා කියලා. English වලින් නම් ප්‍රතිපෝෂනය කියල කියනවා. ඒ ගැන නම් ගෝල්ඩ් fish වැඩිය දන්නේ නෑ. කොහොම හරි මම ඊට පස්සේ පුරුදු වුනා ඒ ළමයා, මහ හයියෙන් රේඩියෝ එක දාන හැම වෙලාවෙම ඔය වැ‍ඩේ කරන්න. පස්සේ මම ඒකට නමකුත් දාගත්තා “හූ FM” කියලා. හැබැයි එයාගේ ගෙයි තරමට සද්දේ අඩුවෙන් දාගෙන හිටියොත් නම් මුකුත් කරන්න ගියේ නෑ. පවුනේ, මට කරදරේකුත් නැහැනේ කියලා. ඊට පස්සේ මේකා කොහොම හරි රේඩියෝ ගොඩක් හිමීට දාගෙන හිටියා. තාමත් එහෙමම තමා. මටත් කරදරයක් නැති නිසා මාස දෙකකින් විතර පස්සේ මමත් වැඩේ අතෑරලා දැම්මා.

හැම ප්‍රශ්නෙටම අපිට පේන විසඳුමට වඩා, අපි නොහිතන විදියේ පිළියමකුත් තියෙනවා කියලා ඒ වෙලාවේ නෙමේ ඊට පස්සේ කාලකදී මට තේරුම් ගියා. ඇත්තටම දැන් නම් අපි යාළුවෝ. එයා කසාද බැඳලා බබෙකුත් ඉන්නවා දැන්. මිනිහා මම ගෙනියන ෆිල්ම් බලන්න එහෙම ආසාවෙන් ඉන්නේ. ගොඩක් ෆිට් මායි මල්ලියි එක්ක. ඒත් මම නෙමේ තාමත් අර සීන් එක කිව්වේ. ඒක මම නොකිය ඉන්නවා කියලා හිතුවා. කමක්නැහැනේ නේද?

3 in 1 එකක්… මොකක්?


3 in 1  එකක් වුවමනා කර තිබේ.

මේක ජොලියක් ගිය වෙලාවක මමයි, මමයි සාකච්ඡාකරපු දෙයක්. ඈ මොකක්? දැන් ඉතිං මමයි, මමයි  කිව්වම උඩ බිම බලන්න එපා. මගේ උඩු හිතයි, යටි හිතයි කියලා හිතාගන්නකෝ. (ඇත්තට එහෙම උන් දෙන්නත් කතා කරනවද?) 😀 හරි හරි ඒවයින් වැඩක් නෑ. පහල බලන්නකෝ සෙල්ලං ටික දැනගන්න.

 

මෙන්න සාකච්ඡාව…

මට ඕනේ 3 in 1 එකක්
මොකක්? 3 in 1 මොකක්ද?
3 in 1 අරවයින් 1ක්.
ඒ කිව්වේ?
අර අර… අරවයින් 1ක්.
මොන වයින්ද? නයි වයින්ද?
ඔව් ටිකක් ඒ වගේ තමා.
හරි යට කියනවකෝ,.. තේරෙන්න. නිකං බීලා වගේ කියවන්නේ.
හරි මං විතරයි බීලා ඉන්නේ, අනේ යනවා යන්න.
හරි, හරි කියන්නකෝ මොකද්ද ඕනේ කියලා.
ඔයා දන්නවා මොකද්ද කියලා.
හ්ම්… dialog, ඉන්ටර්නෙට්, ලෑන්ඩ් ලයින්, ෆැක්ස් තුනම එකට තියෙන එකද?
පිස්සුද? ඒවා මොකටද?
එහෙනම්……… ආ…. හරි… canon, ෆොටෝ කොපි, ‍ෆැක්ස්, ප්‍රින්ටින් තියෙන එකක්ද?
නෑ… නෑ…
මොකෙද්ද මන්දා මූ, මෙච්චර කල් මාත් ගෝල් ෆිෂ්ගේ ඔළුව අස්සට වෙලා පොල් ගෑවද? කියන දෙයක් තේරෙන්න කියන්න දන්නේ නෑ.
අයියෝ සහෝ… අර අර 3 in 1 එකක් ඕයි.
මම දන්න 3 in 1 එකක් නෑ, ගිහින් වැඩක් බලාගන්නවා.
හරි… හරි… මෙහෙ එනවා කියන්න.
බෑ… බෑ… එන්න බෑ, මේකා ඇහැරෙයි. ඔහොම ඉඳන් කියනවා.
හා… එහෙනම් අහගන්නවා.
හ්ම්… කියනවා බලන්න.
3 in 1 එකක් කිව්වේ බූරු පැටියෝ… වොෂින් මැෂින් එකයි, ගෑස් කුකර් එකයි, වැක්‍යුම් ක්ලීනර් එකයි එකට තියෙන්නේ… අන්න ඒකක්.
ඒ මොකද්ද බං ඒ…
ඔය දන්න තරම තමා, දැන් කව්ද දන්නේ නෑ මෙච්චර කල් ගෝල් ෆිෂ්ගේ ඔළුව අස්සට වෙලා පොල් ගෑවේ?
හරි හරි කියනවකෝ බලන්න, ගනන් උස්සන්නේ නැතුව ගෝල් ෆිෂ් වගේ…
ඒකෙන් ටිකක් කල් යද්දී ඕනෙම වැඩක් කරගන්න පුළුවන්.
ආ… ඒ කියන්නේ ටිකක් පදම් වුනාමද?
අන්න හරි, බුද්ධාගම ටිකක් පුළුවන් වගේ…
හරි ඉතිං කියනවකෝමොකද්ද කියලා.
ගෙදර වැඩ දන්න කෙළි පොඩ්ඩක් නේ බං, ඕක තේරෙන්නේ නැහැනේ.


හප්පේ පෙනේද මුන් දෙන්න මං ජොලියේ නිදයං ඉද්දී කතා කරලා තියෙන ඒවා. මට නැති රුදාවක් මුන් දෙන්නට කොහොන්ද? දවසක් අම්ම බැන්නනම් තමා, දැන් ඉතිං අවුරුදු 24ක්ම කන්න උයලා දීලා, රෙදි හෝදලා, හැඩි කරන කාමරේ අතුගානවා , තවත් මේ අලි බබාගේ වැඩ කරන්න එපැයි කියලා. ඒක ඉතිං සුපුරුදු තැටියනේ. ඒක මට පුරුදු වුනාට, මුන් දෙන්නට ටිකක් රිදිලා වගේ වැඩේට.

ඔන්න මං දන්නේ නෑ, අද හවසට හරි 3 in 1ක් මං ගෙදර අරං ගියොත් එහෙම. මං කියන දේ නෙමේනේ මුං දෙන්නා කරන්නේ. ඊටත් මාර සීන් එක, කොහොමද 3 in 1 එක පදම් වෙද්දී All in 1 වෙන්නේ. මං බබා. මට ඕවා තේරෙන්නේ නැහැනේ ඒකයි මේ කල්පනා කරන්නේ. හරි ඒකත් කොහොම හරි වෙනවා කියමු, එතකොට ඔය 3 in 1 එකේ වගකීමේ කාලසීමාව කොහොමද? නැත්තං part to part වගකීමක් තියෙනවද? නඩත්තු වියදම් කොහොමද? free service ද? self start තියෙනවද? ආරක්ෂාව අතින් කොහොමද? ………. අයියෝ ප්‍රශ්න ගොඩයිනේ. මම කොහොමද දැන් මේවාට උත්තර හොයාගන්නේ.

මේකත් මං අරුං දෙන්නටම බාර දීලා ජොලියේ ඉන්නවා. උන් දෙන්නටමනේ වුවමනාව තියෙන්නේ මට නෙමේනේ. එහෙම හිතලා මම ආයෙ ජොලියේ හිටියා. පස්සේ ආයෙමත් දෙන්නා කතාව.

 

මේ අපේ එකාට මහන්සි පාටයි,  3 in 1 එක ගැන හිතලා හිතලා.
ඔව්, ඔව්… එකනේ දැන් ඔය දොයිය බබා කරන්නේ මහ දවාලේ.
නිකං නං කමක් නෑ, අර අහක තියෙන කොට්ටෙකුත් බදා ගන්නවනේ බං.
ම​ටත් ඒකනේ මීටර් කලා වැඩේ දෙතුන් පාරක්ම. පව් නේද බං?
හ්ම්… අපේ වුවමනාව නිසා අහිංසකයා අමාරුවේ වැටිලා.
මේ ඉතිං අපි මොනාද බං කරන්නේ ඕකට?
මොන කරන්නද? ටිකක් ඉවසලා ඉන්න එකයි තියෙන්නේ…
ඒ මොකෝ?
ඇයි මිනියෝ… අර ඉටි රූපේ වගේ කෙලි පොඩ්ඩක් ඉන්නේ.
කොහෙද?
ඇයි ගොනෝ…
මොකා? තොට මම දෙනවා දැන්…. සොරි කියපිය.
හරි හරි සොරි, මේ අහපංකෝ ඉතිං.
හ්ම්… කියපන්….
උඹට මතක නැද්ද අර පුංචි ඒන්ජල් කෙලී?
අම්මට හුඩු, මට මතක බැරි වෙලා‍නේ තිබ්බේ… ඉන්නවා නේන්නම් සිරා  3 in 1 පැකේජ් එකක්. මේ තාම  3 in 1 ම නෙමේ නේද?
නැහැ… තාම 2 in 1 වගේ.
එ‍තකොට ඉතුරු 1 මොකද්ද?
තාම ගෑස් කුකර් එක වැඩ කරන්නේ නැහැනේ.
ආ…. ඔව්නේ… ඒ වුනාට ඉතිං ඉක්මනටම වැඩ කරයි නේද?
නෑ… නෑ… දැනටත් යන්තං සන්තං වැඩ. හරියමට නෑ.
හ්ම්…. මේ ඒක නෙමේ, කවද වගේද දැන් ඕක ගේන්න පුළුවං?
ම්…..ම්…. තව අවුරුදු හතර  පහකින්….
අහ්… එහෙමද? එතකන් කොහොමද අපේ කොලුවා වැඩ ටික කරගන්නේ?
ඇයි, ගෝල් ෆිෂ්ගේ තාත්තගේ All in 1 ඉන්නවනේ.
ආ…. ඔව්නේ… ඒක ඒ වුනාට දැන් ටිකක් සද්ද දෙනවා නේද?
ම්… ඒ වුනාට ගෝල් ෆිෂ්ට ආදරෙයිනේ….
හ්ම්… මේ ඒක නෙමේ, අපි ඒ අවුරුදු හතර පහට වෙන 3 in 1ක් හොයලා දෙමුද?
අපෝ…. මූ ඒක All in 1 කරගත්තොත්?
ඔව් ඔව්, ඒවා කියන්න බෑ, මූ සතපහකට විශ්වාස නෑ… ක්ෂණික නූඩ්ල්ස් නේ… ආ.. නෑ… වැරදුනා ක්ෂණික තීරණනේ.
ඔන්න ඔන්න නැගිටිනවා…


බුදු හප්පොච්චියෝ දැන් වෙලාව කීයද? අම්ම‍ සිරි, 5.30යි. යකෝ වැඩට යන්න ඕනේ නේද? ඈ… මෙන්න එළිය වැටිලා. හුටා… තාම හවස 5.30යිනේ. මුන් දෙන්නා ඔළුව ඇතුලේ කෙලිය පිස්සුවට, මට උතුර දකුණත් මාරු වෙලා. එතකොට වෙලාවත් වෙනස් වෙනවද? අනේ මන්දා මොනා කරන්නද කියලා. කොහොමද මුන් දෙන්නගේ පිළිසිදර. ගහන්න ඕනේ පොල්ලෙන් නේද? ඒ මදිවට මට තව  කෙල්ලෙක් හොයලා දෙන්න. හ්ම්හ්…. මම අහුවෙයි ඕවට…

හා බලමුකෝ….

හ්ම්… අපිත්  ඉන්නවනේ තව.

ඈ මොකක්?

——————————————————–
 
දැන් ඔය ගෝල්ඩ් fish ගේ blog එක බලන කෙලි පැටික්කියෝ ගෝල්ඩ් fish එක්ක තරහා වෙන්න ඔට්ටු නෑ ඕං, 3 in 1 , All in 1 කිය කිය අපහස කලා කියලා හරිද? අම්මා කෙනෙක්, නංගියෙක්, බිරිඳක්, දුවක් කියන්නේ ගෙදරකට මහා ලොකු වස්තුවක් කියලා ගෝල්ඩ් fish දන්නවා හොඳට. ඒක නිසා මේ අපහස කිරීමක් නෙවේ, නිර්මාණශිලි දෙබසක් විතරයි…

අතීතයට යන්න ඕනේ…


ඔන්න අදනම් ටිකක් වෙනස්. ටිකක් කිව්වට සෑහෙන වෙනස්. අපි හැමෝගෙම තියෙනවනේ ජීවීතේ අපි ආසම කරපු දේවල්, ආසම කරපු කාල එහෙම. ඉතිං මේ මගේ ජීවිතේ ආසම කරපු ආසාම මතක නැවතුම් පොළවල් ටික. මේකේ මුල් අවුරුදු දෙකනම් අම්මාගෙන් අහගෙන තමා දැම්මේ. මට මතක නැහැනේ ඒ දවස් ඒක නිසා. ඊට පස්සේ ඒවා නම් මට මතක ඒවා. ඒත් එන අවුරුද්ද ගැන නම් හිතලා දැම්මේ. පුංචි ප්‍රාර්ථනා කීපයකුත් එක්කම. ඒවා ඉතිං ප්‍රර්ථනා විතරක් නිසා, මේ පෝස්ට් එකට දැම්මේ නෑ. මේක මම හිතන්නේ ගොඩක් අයගේ ජීවිත කතාවලට කිට්ටු ඇති. නැත්තං ඉතිං ඒකත් මට කියන්නකෝ බලන්න.

අනිත් වැදගත්ම දේ, අපි පුංචිම කාලේ හිතන්නේ , පතන්නේ අම්මගේ තාත්තගේ ආදරේ, ඒත් ටික ටික ලොකු වෙද්දී ඒවා නැත්තටම නැතිවෙනවද මන්දා. ඒත් එක්කම අපි කතා කරන විදිය ත් වෙනස් වෙනවා ව‍ගේ. අපි ඊට පස්සේ හිතන්නේ වෙන වෙන ඒවා. අම්මලා තාත්තලා ගැන හිතෙන්න නැතුවම නෙවේ, මං කියන්නේ වැඩි වෙලාවක් ගැන. සමහර විට ගැහැණු ළමයින්ගේ කතාව මීට වැඩිය වෙනස් ඇති මං හිතන්නේ. ඇත්තටම මම තාමත් ආසා මගේ අතීතයට, වර්තමානයත් නරකක් නෑ. ඒත් නොදන්න අනාගතයට වඩා අතීතයට මම ආසයි.

මම ආසයි…..

1986 – අම්මිගේ තුළුලේ උණුතුමට දොයියන්න
1987 – තාත්ති එක්ක තෙල්ලං කලන්න
1988 – තාත්ති එක්ක බයිසිකලේ වාඩිවෙලා එහෙ මෙහෙ යන්න
1989 – අම්මියි තාත්තියි එක්ක ඇවිදින්න
1990 – කහ පාට මල් වවල තියෙන ගමේ ආච්චිලාගේ ගෙදර යන්න
1991 – මොන්ටිසෝරි ගිහින් එද්දී අම්ම අරං දෙන අයිස්ක්‍රීම් කන්න
1992 – ස්කෝලේ ඇරිලා අම්මා අතේ එල්ලිලා යන්න
1993 – ස්කෝලේ යාළුවෝ එක්ක බොරු කියන්න
1994 – අපේ ටීචර් කියන දේ අහගෙන, අහන ඒවට උත්තර දීලා ඔලුව අතගාව ගන්න.
1995 – ගණන් ටීචර් කියන ඒවා, තේරුනේ නෑ කියලා ආයෙ පාරක් මිස්ගේ මේසේ ගාවට ගිහින් ඒවා අහගන්න
1996 – අපෝ මට පේන්න බැරි අවුරුද්ද, මේ අවුරුද්දෙ නම් මට හැම දේම එපාවෙලා හිටියේ. ශිෂ්‍යත්වනේ නිසා.
1997 – මාව චිත්‍ර වලට තේරුන නිසා චිත්‍රම අඳින්න
1998 – සමාජ අධ්‍යනය සර් කියන විහිළු කතා අහන්න
1999 – ලස්සන කෙල්ලන්ව බලන්න ස්කෝලෙයි , දහම් පාසලුයි නොකඩවා යන්න
2000 – මුලින්ම ආසාවෙන් හිටිය ගෑනු ළමයි දෙන්නව හැම වෙලාවෙම බලන්න
2001 – Accounts පීරීයඩ් දෙක වෙලාවට කැලේ පනින්න
2002 – ස්පෝට් මීට් එකේ දුවන්න, මාච් පාස් එක පුහුනු කරවන්න (ආසා කරපු ගැහැනු ළමයෙක් හිටිය නිසා)
2003 – දැන් මම නිදහස් O/L ඉවරනේ. කොල්ලෝ එක්ක පිස්සු නටන්න, හොරෙන් ඇලේ නාන්න
2004 – අළුත් A/L පංතියේ වැඩ ටික සිරාවට කරන්න
2005 – සුරංගනාවී හම්බුවෙන්න
2006 – ග්‍රැෆික් ඩිසයිනින් වලට
2007 – සුරංගනාවී හම්බුවෙන්න, කොම්පියුටර් සීන් වලින් යාළුවන්ට ගේම දෙන්න
2008 – ජීම් එකට ගිහින් කටු බොඩිය ටිකක් පුම්බ ගන්න
2009 – ජොබ් එක සිරාවට කරන්න, සුරංගනාවී තරහා වුන එක ගැන පසුතැවෙන්න
2010 – ජීවීතේ ගැන හිත හිත ඉන්න, බ්ලොග් එක ලියන්න, ඔයාලගේ බ්ලොග් කියවන්න
2011 – හිතේ සැනසීමක් ඇතිවෙලා හැමදේම හොඳට විසඳෙනවට

පේනවා නේද මගේ ජීවිතේ මෙච්චරක් කාලෙකට වෙලා තියෙන දේවල්. මට වැරදුන තැන්, සතුටින් හිටිය තැන් එහෙම හොයාගන්න පුළුවන් වෙයි ඔයාලට. ඒත් දැන් කරන්න දෙයක් නැහැනේ. මේ කව්රු හරි දන්නව නම් අවුරුදු 6,7 ක් විතර ආපස්සට යන්න පුළුවන් ක්‍රමයක්, කරුණාකරලා මාව දැනුවත් කරන්න හොඳේ. මට මගහැරුනු වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරගන්න ඕනේ මට. ඔය අපේ හසියාටවත් බැයිද, ඒ ස්වඃ පුඃ කියලා මාව චුට්ටක් අතීතෙට යවන්න? ලයිට් නම් නිවන්න ඕනේ නෑ, මම කරුවලට ටිකක් බයයි.

ආ… සිංදුවකුත් මතක් වුනා, හැබැයි චුට්ටක් වෙනස් කලා….
මට අතීතයට ගිහින් එන්න කුරුළු පිහාටුවක් එවන්න… එවන්න…
හෝව්… හෝව්… වැරදුනා, කුරුළු පිහාටුවක් නෙවේ, ටයිම් මැෂින් එකක් එවන්න… එවන්න…
දැන් කව්රු හරි රුපියල් 50ක විතර ඔරලෝසු කෑල්ලක් එවයිද දන්නේ නෑ මට. 😀

මගේ යශෝධරා වත…

 


මේක නම් ටිකක් විතර ලවි කතාවක්. කට්ටිය කැමතිම නෑනේ අනුන්ගේ ලවි කතා කියවන්න නේද? 😀 මේක හැබැයි ටිකක් මඤ්ඤං එකක්. මොකද මේකෙත් අර ජාතක කතා වල වගේ, අතීත කතාවකුයි වර්තමාන කතාවකුයි තියෙනවා. ඒත් ජාතක කතාවටත් වැඩිය මේක වෙනස්… ඒ කියන්නේ අතීත ස්ටෝරියයි, ප්‍රසන්ට් කතාවයි දෙකේම මික්ස් එකක්. බලන්නකෝ කට්ටිය කියවලම.

ආත්ම ගණනක ඉඳන් පාතා ගෙන ආ ඒ සෙහෙහස හීනෙකින් වගේ ම​ට ලැබුනේ මං හිතුවේ වත් නැති තරං ලේසියෙන්. ඒ දවස් වල කෙල්ලන්ට විහිළු කර කර, බියර් බිබි ජොලියේ හිටිය මට… එක පාරටම වෙනස් වෙන්න වුනා. තාමත් තේරුමක් නෑ ඇයි ඒ කියලා. ඒත් මගේ යශෝධරාවට ආත්ම ගානක ඉඳන් තිබ්බ බැඳීම නිසා වෙන්න ඇති.

සිද්ධාර්ථ කුමාරයා වගේ මමත් අවුරුදු 16 දීම ශිල්ප දැක්වුවා. දුනු ශිල්ප කඩු ශිල්ප එහෙම නම් නෙවේ. කඩු ශිල්ප දක්වනවා තියා මට ඒ දවස් වල පොරොවකින් දර කෑල්ලක් පලා ගන්න බැහැ. ඒ දවස්වල කිව්වට අදටත් බැහැ. මොකද අපේ ගෙදර උයන්නේ ගෑස් ලිපේ නිසා. 🙂 අහ්… කතාව, මම පෙන්නුවේ ඒ කාලේ හැටියට කාටවත් බැරි කොම්පූතර් ශිල්ප. යශෝධරාත් ඉතිං මට කැමති වුනා. ඔන්න ඉතිං ඒ වුනාට අපි කසාද බැන්දේ නම් නෑ. අපි තවත් ශිල්ප ඉගෙන ගන්න වුනා.

කොහොම හරි දැන් දෙන්න එක්ක ශිල්ප උගෙන උගෙන ඉද්දී (හරිද මන්දා වචන ටික) යශෝධරා ඉල්ලුවේ නැතෑ මං කුමාරයා ගාව තිබ්බ CD රාජයෙක්ව. දීලත් බෑ… නොදිත් බෑ. දීලා බැරි, ඒකේ තිබුනනේ ඔය පිට රටවල actress ලා කියන නළඟනන්ගේ විකාර ටිකක්. නොදී බැරි යශෝධරාවගේ හිත පෑරෙන නිසා. කොරන්නම දෙයක් නැති තැන මං කුමාරයා තීරනය කලා ආත්ම ගානක ඉදන් යශෝධරාව ගැන පුරපු පාරමිතා ඔක්කොම මේ ආත්මෙදී නැති වෙන්න ඉඩ තියෙන නිසා, CD රාජයව නොදී ඉන්න. එහෙම කලා කියමුකෝ අන්තිමේ. ඊට පස්සේ අහිංසක මං කුමාරයාට බඩුම තමයි. යශෝධරා මාව දාලා අභිනිෂ්ක්‍රමනය කරන්න ලෑස්තිය. ඇයි දෙයියනේ මේ CD කෑල්ලක් හින්දා මාව දාල කන්ථක නැතුව තනියම යන්න හදන්නේ. ම්…. යශෝධරාවගේ හිත රිදිලා. ඔන්න ඉතිං මං කුමාරයා ආපහු පෙර ජාති දක්නා නුවණින් මං කුමාරයා පුරපු පාරමිතා සිහිකරලා අධිෂ්ඨාන කරා යාශෝධරා මාත් එක්ක ආපහු යාළු වෙන්න කියලා. ඒකත් හිතන තරම් ලේසි නෑ. ඇයි යශෝධරාත් බොහොම තැන්පත්, අධිෂ්ඨානශිලී කෙනෙක්නේ. ඒක නිසා ඉතිං තරහා වුනොත් ආයේ යාලු කරගන්න පොඩි දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕනේ. වරක් දෙවරක් නම් ඉතිං අධිෂ්ඨාන බලයෙන් සිටිස් ගාලා යාළු වුනා. ඒත් හැමදාම නෑ.

පස්සේ ඉතිං ටික දවසකින් ආපහු හිංදි නළඟනන්ගේ විකාර ටිකක් දීලා, යශෝධරාව මගේ මාලිගාවෙම නතර කරගත්තා. ඒ තමා මගේ පළමු යුද්ධ ප්‍රකාශය. කොහොම හරි කරලා යශෝධරා තොමෝ අන්තිමේ අභිනික්මන නවත්තලා මාත් එක්ක සතුටින් ඉන්නවා. සතුටින් කිව්වට මං කුමාරයා නම් ටිකක් දුකින්. අවුලක් නෑ ටික කාලයයිනේ.

ඇත්තටම යශෝධරා නැතිවෙන්න… (ආයෙමත්) මට බඩුම තමා. තාමත් මට හිතාගන්න බැහැනේ යාශෝධරාව වනන්න වෙන උපමාවක්. මේ වනන්න කිව්වේ රෙදි වනනවා වගේ වැලක වනන්න නෙමේ, වර්ණනා කොරන්න. ඔය බෞද්ධ සාහිත්‍ය දන්න කව්රුත් දන්නවනේ යශෝධරා ගැන. ඒ තරම් ගුණයහපත් කාන්තාවක් මේ තුන්ලෝකෙම නැහැනේ. ඒ වගේ තමා මගේ යශෝධරාවත්. එයාගේ ඇත්ත නම යශෝධරා නම් නෙමේ තමා. ඒත් ඉතිං ගති ගුණ නම් ඔක්කොම නොවුනත් ඒ වගේ තමා. මේ… යශෝධරා ගැන දන්නේ නැති කව්රු හරි ඉන්නවනම් අපි මාර අයියාගෙන් අහගන්න පුළුවන් වෙයි. (අම්මපා මාරයා ඒවත් දන්නවද?) මාර අයියා දන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන යශෝධරා ගැන විතරයි හරිනේ. මගේ යශෝධරා ගැන එයා දන්නේ නෑ හොඳද?

ඔන්න එහෙනම් මගේ යශෝධරාවතේ එක කොටසක් ඉවරයි. තව කොටසක් ආයේ හිතුනම දාන්නම්. මොකද කියන්නේ කට්ටිය, මං කුමාරයාගේ යශෝධරාවත ගැන?

අපි වැනිම මිනිසුන් වෙති.


බලු කපුටු දන් දිදී,
වෙමහා බත් දන්සැල් දිදී,
ගෙදර සුරතල් සතුන් නිති,
වළඳති මස්, මාලු, හැම් පෙති.


වැහි බිඳක් කාලෙකින් දැක නැතී,
සහල් ඇටයක හැඩය දන්නැති,
මේ දිළිඳු මිනිසුන් නිති,
බඩ පොත්ත පිටට ඇලී ඇති.


ජිම් දුවන අප නිති,
බර අඩුකිරීමට සැරසෙති,
වැඩි ලේ දන්දෙති,
ලෙඩට පෙත්තක් ලඟ ඇති.


ග්රෑම් දහයක් බර නැති,
ඇඟේ මස් කළඳක් නැති,
ලෙඩ රෝග අඩු නැති,
උපන් තැන නිරබත් කති.


අව් තැපීමට අප යති,
සාද මැද කැකිරි පලවති,
සැපය හැර අප දන්​නැති,
දුකක් නම් අප විඳ නැති.


අපි තරම් මුන් සුදු නැතී,
සිනහ වෙන්නට දන්නැති,
දුකම සිත තුල රජයති,
අපි වැනිම මිනිසුන් වෙති.

මහා බෝම්බ රාජයා… (දුම්)


ඕං කිව්වා කට්ටියටම, මේක කියවලා එහෙම ගෝල්ඩ් fish ත්‍රස්තවාදියෙක් කිව්වොත් එහෙම……. මොනාකරන්නද ඉතිං, අහං ඉන්න තමා වෙන්නේ. නැත්තං යාළු මාළු කට්ටියම ගෝල්ඩ් fishව බලන්න හතරවෙනි තට්ටුවට එන එකයි තියෙන්නේ, බත් මුලකුත් බැඳගෙන, මාව පොලෝසියන් කුදලගෙන ගියොත් එහෙම.

හරි හරි මෙන්න කතාව.
ඔය හැමෝටම වගේ ගෝල්ඩ් fishටත් O/L වලින් පස්සේ ගන්ධබ්බ යුගයක් ආවනේ. ඒ කාලේ ඉතිං කෙරෙන වැඩයි, නොකෙරෙන වැඩයි ඔක්කොම කරන්න යනවා. ඒ ගැන යාළුවන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. වැඩි හරියක් ඉතිං නොකෙරෙන ඒවා තමා. හික්ස්… 🙂

ඒත් මේක නම් කෙරිච්ච වැඩක්. ඇත්තටම පොඩි අත්හදා බැලීමක්. ගෝල්ඩ් fish O/L කරලා පන්ති හොය හොය ඉද්දී තමා මේ සීන් එක කලේ. අපිත් ගියානේ ඉතිං සාමාන්‍ය පෙළට විජ්ජාව පන්ති. හරි ෂෝක් ඒ කාලේ. අපි පන්ති ගියේ තරමක් වයසක සර් කෙනෙක් ගාවට. සර් මං හිතන්නේ විශ්‍රාම ගිහිල්ලත් අවුරුදු 10කට වැඩි ඇති. ඒත් අළුත් නිර්දේශයට අනුව අපිට ඔක්කොම පාඩම් ටික ලස්සනට කලා. ඊට අමතරව අපිත් ඔය එක එක වැඩකට නැති රෙද්දවල් ගැන අහගත්තා. ඒ කියන්නේ කුණුහරුප නෙවේ. විෂයට අදාල ඒත් ගොඩක් advance දේවල්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ… ගෙන්දගම් තියෙනවනේ, අර සල්ෆර් කියන්නේ. ලා කහපාට කැට තියෙන්නේ ඒවා. දැන් සර් අපිට ගෙන්දගම් ගැන කියාදෙද්දී අපි අහනවා සර් ගෙන් “සර් ගෙන්දගම් වලින් මොනාද කරන්න පුළුවන්” කියලා. පස්සේ ඉතිං සර් කියනවා. වෙඩි බේත් වල ප්‍රධාන සංඝටකයක්. තව කෘමි නාශක වලට ගන්නවා. අරකයි මේකයි ඔක්කොම කියනවා. පස්සේ නිකං ඉන්න බැරි කමට ගෝල්ඩ් fish ත් ඇහුවා, සර් වෙඩි බේත් හදන්නේ කොහොමද කියලා.

ඔන්න ඉතිං සර්ත් කියනවා, ගෙන්දගම්, කාබන්, පොටෑසියම් නයිට්‍රේට් වගේ දේවල් වලින් තමා වෙඩි බේත් හදන්නේ කියලා. අපි ඒ දවස් වල ඕවා ඇහුවට කරන්න නම් හිතං හිටියේ නෑ. ඊටත් ඔය කියන ඒවා කොහෙන් හොයන්නද? අඳුරන ත්‍රස්තවාදියෙක්වත් හිටියනම් ඉතිං හොයාගන්න තිබ්බා. එහෙමත් නැහැනේ. පස්සේ ඉතිං ඔය අහගන්න ඒවා නිකංම මතකෙට විතරක් සීමා වුනා. ඊට පස්සේ සාපෙ ඉවර වුනාම තමා ඒ අහගත්ත ඒවයේ අගේ තේරුනේ.

ඒ කියන්නේ ගෝල්ඩ් fish ඈතුළු පිරිස චීන්නු වගේම වෙඩි බේත් හැදුවනේ. මෙන්න මෙහෙමයි ඒ. ගෝල්ඩ් fish තමා කණ්ඩායම් නායකයා වුනේ. දැන් මුලින්ම අපිට ඕනේ වුනා මේ එක එක ජාතියෙන් වෙන්නේ මොනාද කියලා හොයාගන්න. පස්සේ කොහොම හරි පොත් කියවලා කියවලා, බැරිම තැන අපි ආයෙමත් exam ඉවර වෙලා සර්ව බලන්න යන්න වගේ ගිහින් කයියක් එහෙම දාගෙන ඉඳලා කාබන්, සල්ෆර්, එතකොට පොටෑසියම් නයිට්‍රේට් හෙවත් වෙඩි ලුනු වලින් කෙරෙන් සීන් ටික අහලා දැන ගත්තා. දැන් තියෙන්නේ බෝම්බයක් හදලා, ගේමක් දෙන එක තමා.

මෙන්න මිෂන් එක…..
මුලින්ම ගෙන්දගම් හොයා ගත්තා, ඒවා හාඩ්වෙයාර් වල තියෙනවා. ඒ දවස් වල නම් ග්රෑම් 100ක් වුනේ රුපියල් 20ක් විතර. පස්සේ කාබන්. කාබන් කිව්වේ පෑන් වල තියෙන කාබන් නෙමේ. අඟුරු. පොල්කටු හරි , දෙල්කටු හරි මොනා හරි අඟුරු. ඒකත් ඉතිං අමාරු වුනේ නෑ. පස්සේ වෙඩිලුනු තමා සීන් එක. වෙඩිලුනු වලින් කරන්නේ දහනයට අවශ්‍ය ඔක්සිජන් සපයන එක. ඒ කියන්නේ කාබන් මගින් දහනයට අවශ්‍ය තාපය දෙන අතර, සල්ෆර් මගින් දහනය ඇතිකරනවා, මේවා තවත් බලවත් වෙන්නේ තාපය මගින් ඔක්සිජන් පිටකරන වෙඩිලුනු වලින් තමයි. ඒ අපිට සර් කියල දුන්න විදිය . කොහොම හරි වෙඩි ලුනු අපිට හොයාගන්න බැරිවුනා. ඒත් ඉතිං ගෝල්ඩ් fishගේ චූටි මොලේට මීටර් වුනා, දහනයෙන් ඔක්සිජන් නිකුත් කරන තව දෙයක් තියෙන බව. කව්ද දන්​නේ ඒ මොනාද කියලා…? කට්ටිය අහල තියෙනවද කොන්ඩිස් කියලා දම් පාට තුවාල වුනාම දාන කැට වර්ගයක් ගැන? කොන්ඩිස් වලින් කෙරෙන්නෙත් දහනයෙන් ඔක්සිජන් පිට කරන එක තමා.

පස්සේ කොනිඩිස් පැකට් දෙක තුනක් ලඟ ෆාමසියකින් ගත්තා. ඊට පස්සේ සල්ෆර් මේස හැන්දයි, කාබන් මේස හැන්දයි, කොන්ඩිස් ටිකකුයි දාලා මහානුභාව සම්පන්න වෙඩි බේත් රාජයා හැදුවා කියමුකෝ. හැබැයි අපේ වුන්ගේ නිර්භීත කම කියන්නේ, රතිඤ්ඤා තුන්හුලස් අලිඩොං පත්තු කරන එකෙකුටවත් මේකට ගිනදර තියන්න බයයි. ඇයි දෙයියනේ වෙඩි බේත්නේ. අර අනිත් පුපුරන ඒවායේ තියෙන්නේ එතකොට පනුබේත් වෙන්න ඇති… 😀 කොහොම හරි, අපේ වුන්ගේ නිර්භීත කම නිසාම වෙඩි බේත් පත්තු කොරන්නත් උපායක් යොදන්න වුනා. ඒ කිව්වේ ඇත්තටම දුර ඉඳන් පත්තු කරන්න. ඇයි මේ අපි හැදුවේ c4 නේ, ඒකයි හොදේ. පස්සේ කොහොම හරි කරලා ඒකටත් සැලස්මක් යෙදුවා.

ඒ තමා, පිච්චුන 5W බල්බ් එකක උඩ කෑල්ල ගලෝලා, ඒක ඇතුලට වෙඩි බේත් දාලා, තඹ කම්බියකින් නිකං සූත්‍රිකාව වගේ එකක් හදලා, ඒකට අධිබල විදුලි ධාරාවක් ලබා දීම. අර තඹකම්බි කෑල්ල වැහෙන කන් බල්බ් එකට වෙඩි බේත් රාජයා පුරවලා එහෙම වයර් කෑලි දෙකකුත් ගැට ගහලා, සීන් එක පටන් ගත්තා. හුටා.. දැන් කොහෙන්ද කරන්ට් එක ගන්නේ? ගෙදර ලයින් එකෙන් පිස්සු කෙලින්න ගිහින් කොහෙන් ගිනි ගනීද දන්නේ නැති නිසා. විකල්පයක් හොයන්න වුනා. ඊටත් මේක කලේ ගෝල්ඩ් fishගේ ගෙදර නෙමේ වෙන යාළු මාළුවෙක්ගේ ගෙදරක. පස්සේ එයාලගේ ගෙදර කාර් බැටරියක් තිබුනා, එකෙන් එන කරන්ට් එකෙන් වැඩේ කරන් පුළුවන්ද කියලා මුළින්ම අපි චෙක් කොරලා බැළුවා අර තඹ කම්බි කෑල්ලක්ම තියලා . දැන් වැඩේ හරි. පස්සේ බෝම්බේ රිමෝට් එක, ඒ කියන්නේ ඩෙටනේටරේ අපි ගාව තියාගෙන බෝම්බේ අපිට වඩා අඩි 10 ක් විතර ඈතට ගෙනිහින්, පොළව යටත් අඟල් 6ක් විතර වැලලුවා. ඒ බයට නෙමේ… වැඩි ආරක්ෂාවට. පස්සේ ඔන්න සුභ මොහොත එනවා ටික ටික. මෙන්න බොලේ ගෝල්ඩ් fishව ඉස්සරිහින් තියලා කට්ටිය කෙහෙල් පඳුරු වලට, කොන්ක්‍රීට් කෑලි වලට එහෙම මුවා වෙනවා. මුන් සේරම ඒ දවස් වල, ගෙදරින් යන්න දෙනවා නම් යුද්ධෙට වුනත් යන්න ලෑස්ති පිට හිටිය මිනිස්සු. ඒ වුනාට මේ පුංචි බෝම්බෙට භය වෙලා. මේ කාටවත් කියන්න එපා… මාත් එහෙම තමා. පස්සේ තව වයර් කෑල්ලක් හොයාගෙන තවත් අඩි 10ක් විතර පස්සට ගිහින් ඔන්න බෝම්බෙට කරන්ට් එක දුන්නා.

මොනා වෙන්න ඇත්ද? එක මොහොතක් දෙන්නම් හිතන්න. ……………… …………. හරි හරි මොහොත ඉවරයි. මෙන්න එක පාරටම ඩෝං ගාල සද්දයක් එක්ක ලස්සන කහපාට දුමක් දාන්න ගත්තා. අම්මටසිරි වැඩේ හරි කියලා අපි ​කට්ටියම ලඟට දිව්වා විනාසයේ තරම බලාගන්න. මොන යන්න තියා අඩි 5ක් වත් ලං වෙන්න වුනේ නෑ, මෙන්න හුස්ම හිරවෙලා කැහැ කැහැ කට්ටිය ආපහු එනව. 🙂 මොකද දන්නවද සීන් එක? අපි අපේ මාහාර්ග බේතට දාපු සල්ෆර් වැඩි වෙලා. ඒ ලඟ පාතක වත් ඉන්න බෑ. සල්ෆර් දුම වැදුන ගමන් හුස්ම හිරවෙනවා. දැන් මොන කරන්නද, තව පැය කාලක් විතර කැහැල කැහැල අපි ගියා අපේ බෝම්බ රාජ​යාගේ විස්තර බලන්න. වැඩේ අවුලක් නෑ. හැබැයි පුපුරලා තියෙන්නේ තිරස් අතට. ඒ කියන්නේ උඩ ඉඳන් යටට. වටේට පිපිරිලා නෑ. අපි බෝම්බේ වැලලුවේ අඩි භාගයක් විතර පොලව යටින්නේ. ඒත් අපි ගිහින් බලද්දී තවත් අඩි භාගයක් විතර යටට ගිහින්. හී හී… බල්බ් එකේ වීදුරුවත් උණුවෙලා. අර යකඩ හෝල්ඩර් කෑල්ල විතරක් ඉතුරු වෙලා තිබුනා. පස්සේ අපි ඒ මෙහෙයුම අතෑරලා දැම්මා. මොකද ඒ ​​බෝම්බේ පුපුරන්නේ තිරසට නිසා හා අදික දුම නිසා. ඇත්තටම මැරෙන්න තරමට ඒ දුම සැරයි අප්පා. පස්සේ අපි අපේ ඒ වෙඩි බෙහෙත් formula එක පිට රටකට වික්කා. බෝම්බයක් විදියට යොදාගන්න නෙමේ, දුම් බෝම්බයක් විදියට යොදාගන්න. 😀 අපි කොහොම හරි මෙච්චර කල් චීන්නුන්ටත් හොයා ගන්න බැරි වෙලා තිබුන මාරාන්තික දුම් බෝම්බ හදන විදිය හොයාගත්තා එහෙනම්. අපි හොඳයි නේද?

මුල්ම කඩඉම…

හිතට දැනෙන…

හැම දේම නොවුනත්,

හිතේ හිර කරන් නොඉඳ

පවසන්නට ඇත්නම් කාට හරි…

කොයිතරම් සැනසීමක්ද…?

විහිළු කතා, හිනා කතා, තරහා කතා, විකාර කතා, නිසදැස්

අනං මනං හැම දේම…

කියන්න… මට ලැබුන හොඳම මග,

මගේ මේ බ්ලොග් ටැංකිය.

එක එක විදියට ලියන්න, එක එක විදියට හිතන්න…

එක එක විදියට ලියන, එක එක විදියට හිතන,

අය ගොඩක් හමුවේච්ච මේ සොඳුරු නවාතැනින්

එළි දකින 50 වන පෝස්ට් එකයි මේ.

එනම් ගෝල්ඩ් fish ගේ අර්ධ ශතකයයි….

 

මාත් එක්ක හැම දාමත්, මගේ ලිපි කියවමින්… ලිපි වලට ප්‍රතිචාර දක්වමින්, මාව උනන්දු කල දිරිමත් කල හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි…! ඒ වගේම හද පිරි ප්‍රණාමය…

 

 

%d bloggers like this: