කකුල වැදුනේ නෑ බං… හෙවත් 8 feet

යාළු මාළුවන්ට මතකද කලින් පෝස්ට් එකේදී කිව්වා ගෝල්ඩ් fish ලා ගිය විනෝද චාරිකාවක් ගැන.  පළවෙනි එක නෙවේ දෙවැනි එක. අර එක දවසේ බෝතල් 75 ක් ඉවර කලේ. ආන්න ඒ චාරිකාව තමා. ඔය බෝතල් 75ක් ඉවර කරන එක මහ ලොකු දෙයක් නෙමේනේ ඉතිං ඒක සාමාන්‍ය දෙයක්. ගෝල්ඩ් fishට නෙමේ කන බොන කට්ටියට.

හරි මෙන්න අද කතාව…

මුලින්ම මේකේ කතා නායක මාළුවට variable එකක් call කරලා නමක් assign කර ගන්න ඕනේ. මොකද තව ඉස්සරහට කතා වලදිත් මෙයා ඉන්න නිසා. ඇත්තටම මේ කරන්න යන මඩ වැඩේ ඊයේ මේ මාළුවට කිව්වා. නිකං නෙමේ කිව්වේ බැදපු මඥ්ඥොක්කා මුලකුත් අරන් දීලා තමා කිව්වේ. නැතුව බැහැනේ ඉතිං. වෙලාවට එක පයින් කැමති වුනේ. නැත්තං ඔය සෝයා අයිස් ක්‍රීම් අරවා මේවාත් අරන් දෙන්න වෙනවා. මෙයා තමයි ගෝල්ඩ් fish ගේ mango fish. මොනා වුනත් එල මාළුවා. මු ගැන මෙච්චර කියෙව්වේ පොඩි හැඳින්වීමක් අත්‍යවශ්‍ය නිසයි. හරි හරි මෙන්න කරගෙන ආපු වැඩේ… අර නමක් දාගන්න එක. අපි මෙහෙම දාගමු…

ගෝල්ඩ් fish ගේ mango friend = “රතු (මාළුවා)”

මින් ඉදිරියට භාවිතා වෙන්නේ රතු කියලා හරිනේ. මේ නම දාන්න කිව්වෙත් රතුම තමා. මූට රතු කිව්වට ගෝල්ඩ් fishට වැඩිය චුට්ටයි සුදු. හරි මෙන්න සීන් එක. අර කුකුලේඟග trip එකේදී වැඩිම බෝතල් ගානක් බීපු එක ටිකක් මතක හිටින කේස් එකක් වුනාට, ඊට වැඩිය ලස්සනම මතක හිටිනම සීන් එක තමා මේ රතුගේ සීන් එක.

මේ කුකුලේඟග නිවාඩු නිකේතනයේ තියෙන වනේ swimming pool කියලා එකක්. ස්වාභාවික එකකුත් තියෙනවා. ඒක නෙමේ මේ අනිත් එක. ඒ කියන්නේ කෘතිම එක. මේකට ඉතිං ඔය නිකං කලිසං කෑලි ගහගෙන බහින්න තියා මූනවත් හෝදන්න දෙන්නේ නෑ. ඔක්කොම කරන්නේ ප්‍රමිතියකටනේ. ඒකයි. මේකට කකුලක්වත් දානව නම් ඉතිං swimming short එකක් හරි silk ඈඳුමක් හරි වෙන්න ඕනේ. ඔය ඔක්කොම දන්නේ ඉතිං එතෙන්ට ගියාට පස්සේ. ඇත්තටම ගෝල්ඩ් fish වත් වෙනින් එකෙක්වත් මේ ඉලවි මුකුත් අරං ගියේ නෑ. ඒත් සමහරු ගෙනැත් තිබුනා. හි හි. දැන් ඉතිං කට්ටිය බීලා කරලා සනීපෙට pool එකේ බැහැලා ඉද්දී ගෝල්ඩ් fishටයි රතුටයි වුනේ ගොඩට වෙලා බලාගෙන ඉන්න. ඇයි ඉතිං බහින්න තරං සුදුසු ඇඳුමක් නැහැනේ. දැන් ඉතිං දෙන්න එක්ක pool එක වටේ කැරකි කැරකි ඉද්දි එක පාරටම pool එකේ හිටිය ගෝල්ඩ් fishලාගේ office ලොක්කෙක් ගෝල්ඩ් fishට කතාකරලා, ගෝල්ඩ් fish අර coke එක ගේන්න කිව්වා. ගෝල්ඩ් fishත් ඉතිං අරන් ගියා. ඇයි ඉතිං ලොක්කෙක්නේ. ගෙනිහිල්ලා ආ… සර් කියලා දෙන්න හම්බුනේ නෑ… ගෝල්ඩ් fishගේ ඇස් දෙක ඉස්සරහා නිකං අර උත්තර ධ්‍රවයේ වගේ උතුරු එලි  වගේ ඒවා පේන්නයි, බ්ලුග්… බ්ලුග් … බ්ලුග් ….ගගා නිකං අමුතු විකාර සද්දෙකුයි… සිරා සීතලකුයි දැනෙන්න ගත්තා. මෙන්න බොලේ coke එක අරන් ආපු ගෝල්ඩ් fish pool එකේ. අපේ ලොක්කා ගෝල්ඩ් fishව pool එකට ඇදලා අරගෙන අර එලියට වෙලා හෙම්බත් වෙවී ඉන්නව දැකලා. ගෝල්ඩ් fishගේ ඇඳුම් ඔක්කොම ටික තෙතයි. ඒ අස්සේ අර ලොක්කා අහනවා පුතා phone එක එහෙම සාක්කුවෙද කියලා? අනේ අම්මපා ඒ වෙලාවේ අර galle face අයිනේ තියෙනවා වගේ මලකඩ කාපු කාල තුවක්ක්වක් තිබ්බනම් ගෝල්ඩ් fish දනී කොරන දේ. මොනවා වුනත් වෙලාවට ගෝල්ඩ් fish සියළු දේ උගේ බෑග් එකට දාලා ගියේ. සන්තකේට තිබ්බේ ඇඳන් හිටිය ඇඳුම් ටික විතරයි. ඒක නිසා ගානක් නෑ. පස්සේ අර pool එක බලාගන්න අයියකෙනෙක් ඇව්ල්ලා ගෝල්ඩ් fishට කියනවා ගොඩ වෙන්න … ගොඩ වෙන්න… කියලා. ඇයි ඕයි ගොඩ වෙන්න මේක ප්‍රයිවෙට් බස් එකද්ද කියලා අහන්න හිතුනත් ඉතිං ඇහුවේ නෑ. හොඳ නෑනේ අනුන්ගේ තැනක්නේ කියලා. දැන් මේ ඔක්කොම සීන් වෙනකම් ගෝල්ඩ් fishගේ mango බලාගෙන ඉන්නවා. අනේ අම්මපා ඕකව…

ඊට පස්සේ ගෝල්ඩ් fish ගොඩ වුනාම, බස් එකට නෙමේ හලෝ…. pool එකෙන් ගොඩට, රතු ඇවිල්ලා අහනවා මොකෝ බං කියලා. මු මුකුත් දන්නේ නෑ. තොත්ත බබා. පස්සේ අපි දෙන්න කතා කර කර ඉන්න අස්සේ අර බෝතල් 75ට සම්මමාදන් ​වුන තවත් ලොක්කෙක් ඇවිල්ලා ගෝල්ඩ් fishට දෙනවා කලිසමක්… ආ පුතා මේක ඇඳගෙන දැන් නාගන්න කියලා. බොහෝම ස්තූතියි සර් උදව්වට. ඒත් කොහොමද සෑර් මේක් මම තනියම අඳින්නේ. ඇයි හත් දෙයියනේ ඒ ලොක්කගේ ඉන ගෝල්ඩ් fishගේ ඉන වගේ 6ක් විතර ඇති. ඒ පාර නං ගෝල්ඩ් fishගේ කටට බ්රේක් නැති වුනා. ගෝල්ඩ් fish කියපි අප්පට සිට සර් මේක මට තනියම අඳින්න බැහැ, මටයි රතුටයි දෙන්නටම තමා අඳින්න වෙන්නේ කියලා. ඊට පස්සේ අර ලොක්කා කරේ ආ… ඔව්නේ කෝ දෙන්න එහෙනම් කියලා කයියම අරගෙන ගියා. ආපහු පානයට සෙට් වෙන්න.

දෑන් ඉතිං ගෝල්ඩ් fish ගොඩට වෙලා ඉන්නත් බැහැ. නාලානේ ඉන්නේ. ඊටත් වැඩිය අමාරු mangoට ඇයි ඉතිං ගෝල්ඩ් fish නම් කොහොම හරි කරලා වතුරේ රහ බැළුවනේ. මූට එහෙමවත් බැරිවුනානේ. පස්සේ දෙන්නා එක්ක ගිහින් ඒ නිකේතනය ඇතුලෙම තියෙන කඩේකින් පුංචිම පුංචි අඟල් 5ක විතර සුට්ටං short කෑලි දෙකක් අරගෙන ඇඳගත්තා. ඇඳගත්තා නෙමේ ඇඳගැනුනා ඒවායේ ගාන අහපුවම. අර චුට්ටි කලිසං කෑල්ල රුපියල් 400ක්. මොනා කරන්නද ගත්තා. ඇඳගත්තා. දැන් ඉතිං හරි. දෙන්නම රෙඩි පිට ඉන්නේ ඕනෑම ජල ප්‍රහාරයකට. ඔන්න දැන් තමා සිරා කතාව. ගෝල්ඩ් fishගේ mango, රතු ඉන්නවානේ… මූ ටිකක් පීනන්න දන්නවා. ඒකත් මේ චුට්ටයි. ඌ හිතං ඉඳලා තියෙන්නේ පීනනවා කියන්නේ දනහිස හරියට වතුරේ බැහැලා ලඟ ඉන්න එවුන්ට වතුර ගගහා සෙල්ලං කරන එකට කියලා. ඔහොම දැන් දෙන්න එක්ක ලෑස්ති වෙලා ඇවිල්ලා pool එකට බහින්න තැනක් හොයනවා. වතුර ටිකත් ලස්සනේ බෑ. නිල්ම නිල් පාටයි. මේ වතුර කිව්වට වතුරම නෙමේ හො​දේ. ඊට පහලින් පතුලේ තියෙන ටයිල් ටික. එක පැත්තක සෙනග ටිකක් වැඩි, 12ක් විතර හිටියා. ඒ පැත්ත මේ පැත්ත බලා බලා දෙන්න එක්ක ඉඳලා mango ඇහුවා මෙතනින් බහිමුද කියලා. අනේ ඌ ඇහුවා විතරයි ගෝල්ඩ් fish උත්තරේ දෙන්න බලද්දී මිනිහා නෑ… එක පාරට ජබොස් ගාලා සද්දයක් ඇහුනා. එච්චරයි. ඒ කියන්නේ mango ගෝල්ඩ් fishට හොරෙන් pool එකට පැනලා. පේනවනේ එකට හිටියට අර මොකද්ද එකක් වෙනස් කියනවනේ. අවුලක් නෑ mangoනේ. පස්සේ වෙලාවක අල්ල ගන්න බැරියෑ කියලා ගෝල්ඩ් fish  මුගේ දිය කෙලි බලන්න  ආසවෙන් ඉන්නවා. මහ ලොකුවට පීනන්න දන්න මිනිහනේ. බලමුකො වැඩ කියලා ඇහිපිය ගහන්නේ නැතුව ඒ පැත්ත බලාගෙන හිටිය ගෝල්ඩ් fishට  බලන්න වෙන්නේ තව පොඩ්ඩෙන් මල කෙලි. මෙන්න තත්ත්පර 10කින් විතර මූ උඩ එනවා … අත් දෙක උස්සනවා.. ආයෙත් යට යනවා… ගෝල්ඩ් fish ඇත්තටම හිතුවේ ගෝල්ඩ් fishටත් මෙහෙවර යකෝ කියලා කතා කරනවා කියලයි. තව පාරක් බැලුවා ඒකම වුනා. මෙන්න පස්සේ ලඟ හිටපු life guard අයියා කෙනෙක් බුක් ගාලා වතුරට පැනලා mango ව වත්තං කරගෙන ගොඩට පීනනවා. අම්මට සිරි මූ ගෝල්ඩ් fishට එන්න කියල නෙමේ කතා කරලා තියෙන්නේ ඌව ගිලෙන්න යනවා කියලා කියලා තියෙන්නේ. මාර සීන් එක. මේක විශ්වාස කරන්න බෑ. මේකා මට කිවිවනේ ඌට හොඳට පීනන්න පුළුවන් කියලා. ඉතිං එහෙනම් මේ මොකෝ? කොහොම හරි mango ගොඩට ආවම ගෝල්ඩ් fish ගිහින් ඇහුවා මොකද බං වුනේ කියලා. මූ දුන්න මරු උත්තරයක්… කකුල වැදුනේ නෑ බං පතුලේ… කිව්වා. mango ට පීනන්න පුළුවන් උගේ කකුල බිම වැදෙනවානම් විතරයි. හි හී. ඕක ඉතිං ඕන අතදරුවෙකුට බැරියෑ. ඔය පොඩිවුන් ෂෝයි එකට වතුර බේසම් වල බැහැලා පීනන්නේ. හී හී.මං කලිංම කිව්වේ මූ පීනනවා කියලා හිතං ඉඳලා තියෙන්නේ පොඩි වතුර වලකට බැහැලා වතුර ගහගන්නවට කියලා. පේනවනේ දැන්. හැබැයි ගෝල්ඩ් fishට වැඩිය නම් මූට ටිකක් පීනන්න පුළුවන්. දැන් ඉතිං ගෝල්ඩ් fishගේ පීනුම් හැකියාවත් හිතාගන්න පුළුවන්නේ. හි හී…

ආයෙත් තව ටිකකින් තමා ගෝල්ඩ් fishගේ දෙලොව රත්වුනේ. ඇයි ඉතිං වරෙන් කියන්න වගේ අත්දෙක උස්සාගෙන දඟලද්දී ගෝල්ඩ් fishත් පැන්නනම්…. ආයෙ පාරක් බ්ලුග්…. බුලුග්… තමා.අනිත් එක මුලින් ගෝල්ඩ් fishව pool එකට ඈදලා අරන් තිබුනේ pool එකේ ගැඹුරු නැති හරියෙන්. ඒ කියන්නේ අඩි 4 හරියෙන්. කට්ටිය දන්නවනේ pool එකක් අඩි 4 කෑල්ලයි, ඒක ටිකක් ගැඹූරු වේගෙන ගිහින් අඩි 8 කෑල්ලකුයි තියෙනවනේ. ගෝල්ඩ් fish ගේ mango සෙනග අඩු නිසා pool එකට පැනලා තිබ්බේ අර අඩි 8 හරියෙන්. කට්ටියට කියන්න දෙන්නගෙන් එකෙක්වත් දැක්කේ නැති වුනාට රතු පැනපු තැන බිම ටයිල් එකක ගහලා තිබුනා 8 Ft කියලා. ඉතිං ඔය සීන් එක මතක් වෙන්න ගෝල්ඩ් fish උගේ mangoට register කලා eight feet කියලා card එකක්. Mango මෙච්චර කල් හිතන් හිටියේ ඒ card එක දැම්මේ වෙන කෙනෙක් කියලා. නෑ බොල නෑ මේ ගෝල්ඩ් fishම තමා ඒ card එක දැම්මේ. හි හි. හොඳ වැඩේ වුනේ mangoට. මේකා, ගෝල්ඩ් fishව  pool එකට ඇදලා අරන් නාවපු වෙලා පැත්තකට වෙලා හිනා වුනා … ඒකටත් එක්ක දැන් ඉතිං හරිනේ උඹටත් කියලා එවේලේ ගෝල්ඩ් fishට හිතුනා.

අද ඉඳන් මඤ්ඤොක්කා කන්නයි, රටකජු කන්නයි, සෝයි අයිස් ක්‍රීම් කන්නයි වෙන එකෙක් හොයා ගන්න වෙයිද මන්දා? කමක් නෑ සහෝ උඹ මාත් එක්ක තරහ වුනාට කෑම එක්ක තරහ නෑනේ.

%d bloggers like this: