සීනි කැට හොරකම් කරන කෙලි පොඩ්ඩ…

ඇඟිල්ලක් තරම් උස නෑ… ඒ වුනාට කරන වැඩ…!

තාත්තා එක්ක සීනි කැට හොරකම් කරන්න යන මේ ගෑණු ළමයා ජීවත් වෙන්නේ පුංචි ගේක. කොයිතරම් පුංචියිද කියනවනම්…. හ්ම්… එක්කෝ ඕනේ නෑ…! පුංචියි… ගොඩක්…! තනකොල පෙත්තෝ… මේ ගෑණු ළමයගේ ඉන හරියට. එතකොට කූඹි… කූඹියෙක් , ගෑණු ළමයගේ අල්ල පිරෙන්න. පූසෝ…. අම්මෝ, පූසෝ නම් ගෑණු ළමයට වැඩිය ගොඩක් ලොකුයි…!

දැන් ඉතිං කට්ටිය හිතයි, යෝධ සත්තු ඉන්න ලෝකයක් ගැන තමා මේ කියන්නේ කියලා. නෑ… එහෙම නෙවේ… මේ කියන්නේ අරියටි කියලා පුංචිම පුංචි ගෑණු ළමයෙක් ඉන්න කතාවක් ගැන. කතාව කියන්නේ නෑ… මේං ලින්ක් එක බාගෙන බලන එකයි. (මට කතාව කියන්ටත් ඕනේ… ඒ වුනාට එතකොට වැඩක් නැති නිසා අමාරුවෙන් ඒ ටික නවත්තගෙන ලියනවා)

මුලින්ම නිෂ්පාදනය වෙලා තියෙන්නේ ජපන් භාෂාවෙන් වුනාට. මේ වෙද්දි තවත් භාෂා කීපයකටම පරිවර්තනය වෙලා තියෙනවා. මේරි නෝර්ටන් කියන ලේඛිකාව අතින් ලියවිලා 1952 දී පොතක් විදියට පුංචි අයගේ අතට පත්වුන “ණයට ගන්නෝ“ – “The Borrowers” පොත අනුව ද්විමාන (2D) කාටුන් එකක් විදියට චිත්‍රපටයකට නැගිලා තියෙන්නේ 2010දී ජපානෙදී. මේකේ නම වෙන්නේ  “The Secret World of Arrietty ” – අරියටිගේ රහස් ලෝකය…!

ඇක්ෂන් ෆිල්ම්… ඒ කියන්නේ කඩු පයිට්, ගන් පයිට් තියෙන මූවි බලලා බලලා හෙම්බත් වුනාම ෂේප් එකේ බලන්න පුළුවන් මූවි එකක් මේක.  ඇත්තටම අර වලි ගහගන්න එව්වායෙන් ඉහල නංවන රුධිර පීඩනය හා කේන්තිය මුසු හැඟීම් ගොඩට රන්කිරි බිංදුවක් වට්ටනව වගේ මූවි එකක්. කාටුන් තමා, ඒත් කම්මැලි කමක් නම් දැනෙන්නේ නෑ. වැඩිහිටියන්ට කෙසේ වෙතත් පොඩි හිටියන්ට නම් උපරිමයි. ගෙවල් වල පුංචි අය ඉන්නවනම් හරි තාම නැවේ එනවා නම් හරි මේව එකතු කරලා තියාගත්තම මක්ක වෙනවද…!

ඔන්න මල්ලි යකා…

අපි යකෙක්ව ඇත්තටම දැකලා නැති වුනාට “යකා“ කියන වචනයට චූටි කාලේ කොයිතරම් බයද… අපේ මල්ලි දැන් ඔය පොර වගේ හිටියට ඒ දවස් වල එයා තමා වැඩියෙන් බය. අයියත් ඊට දෙවෙනි නෑ… ඒකනේ තාමත් කළුවරට බය… ඉතිං මමයි මල්ලියි ඉස්සර බත් නොකා මග අරින කොට අම්ම කියනවා…“බයි කන්නේ නැති ළමයින්ව යකා අරං යනවා“ කියලා. ඒ කියලා මේං අනිත් පැත්ත හැරෙද්දි කව්දෝ මන්දා අපේ තාත්තගේ වගේ ඉරි සරමක් ඔළුවේ ඉඳන් පොරෝගෙන අපි දෙන්නගේ ලඟට දනගාගෙන ඇවිත් “බබා බයි කනවද… නැත්තං මං බබාව ගෙනියන්නද“ කියලා අහනවා. කට හඬත් තාත්තාගේ වගේමයි. ඒත් ඉතිං යකානේ… අපි කොහොමද යකාගෙන් අහන්නේ ඔයා කොහොමද තාත්තගේ සරම ගත්තේ කියලා…! ඉතිං බයටම බත් ටික කැවෙනවා… ඊට පස්සේ යකා කාමරේට යනවා… බයි කාලා ඉවරවුන ගමන් තාත්තා ඇවිත් හොඳ පුතා කියලා ඔලුව අතගානවා.

ඒ තමා පළමු යක්ෂ අත්දැකීම. ඊට පස්සේ යකාව දැක්කේ දහම් පාසලේදී. ඉන්ටවල් එකට කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි අත් අල්ලගෙන අපි කට්ටියම යනවා ලයිට් එකක් වත් දාපු නැති කළුවරම කළුවර බුදුගෙට. ඒකේ එක කෙලවරක තියෙන ලෑලි දිරලා පියන් ගැලවිච්ච ජනේලෙන් එන එලිය විතරයි මුළු බුදුගෙටම තියෙන්නේ. එතකොට අපි තුනේ. ඊට පස්සේ ඉතිං කළුවරේම පේනවා, කට ඇරගෙන ඉන්න සිංහයින් දෙන්නෙක්ව, ඊට උඩින් තඩි මකරෙක්. ඊට පස්සේ බුදුපිලිම තියෙන කුටිය. ඒවා බලන්න නම් වහලේ තියෙන වීදුරුවෙන් එලිය වැටෙනවා. ඊට පස්සේ තමා යකා ඉන්නේ. කළු, තඩි බඩක් තියෙන, ඇස් දෙක රතු පාට, දිව එලියට දාගත්තු, සුදු පාට උල් දත් දෙකක් කටෙන් එලියට පැනපු… කොන්ඩේ වැවිලා ක්‍රේල් වෙච්ච, මිටි පොරක්. ඉතිං ඔය වෙලාවට අපි පොරවල් වෙන්න කියලා කෙල්ලන්ගේ අත් අතෑරලා යනවා තරඟෙට යකාගේ කකුලක් අල්ලන්න. පිටිපස්සේ ඉන්න එකා ඉස්සරහ ඉන්න එකාව තල්ලු කරපු ගමන් කෑගහගෙන දුවනවා කට්ටියම එලියට. එතනින් යකාව ඇල්ලීමේ තරඟය ඉවරයි…!

ඊට පස්සේ තමා අපේ මල්ලි යකාට යකා සෙට් වෙන්නේ. ඒ දවස් වල මමයි මල්ලියි ගෙදර එන්නේ ඉක්කෝලේ ගිහිං අම්ම වැඩ කරන තැනට ගිහිං, එතෙන්ට තාත්තත් ආවට පස්සේ. මොකද නැත්තං අපේ අම්මට අපි දෙන්නව බලාගන්න මූනු දෙකකුයි, මිස්ට ෆැන්ටෑස්ටික්ට වගේ ඇදෙන – ඇකිල්ලෙන අත් හතරකුයි ඕනේ… ඒක නිසා තාත්තාත් වැඩ ඉවර වෙලා අම්මා ඉන්න තැනට ගිහිං අපිවත් එක්කගෙන තමා ගෙදර යන්නේ.

ඉතිං ඒ වෙද්දි ටිකක් රෑ වෙනවා. අම්මා ගෙදර ගිය ගමන් කරන්නේ අපි දෙන්නවා ඇඟ හෝදවන එක. ඊට පස්සේ රෑට උයන්න සෙට් වෙනවා. ආං ඒ වෙලාව තමා අපේ මල්ලිගේ සුභම වෙලාව. එයාගේ වැඩේ අම්මගේ ඇඟේ දැවටි දැවටි “අම්මා කෝඩියල් චුට්ටක්… අම්මා කෝඩියල් චුට්ටක්“ කිය කිය සන්ක්වික් හදවගෙන බොන එක. මමත් ඉතිං මල්ලිට කියන්න යන්නේ නෑ “ මොනාද ඕයි අම්මට වද නොදී ඉන්නවකෝ“ කියලා… මොකද ඉතිං මටත් සන්ක්වික් වීදුරුවක් හම්බෙනවනේ…!

කොහොම හරි බුවා චූ බර හැදෙන කම්ම බීම බොනවා. ඊට පස්සේ තාත්තට හරි මට හරි වදේ… මූත් එක්ක ටැප් එක අරින්න යන්න. එ දවස් වල ගෙයි ඉඳන් මීටර් තුන හතරක් ඈතින් තමා ටොයිලට් එක තිබුනේ. ගෙයි කාමරේ ඉඳන් ස්විච් එකක් දාලා එතෙන්ට පවර් ලයින් එකක් ඇදලා බල්බ් එකක් දාලා තමා තිබුනේ. ඉතිං කොච්චර බල්බ් දාලා තිබුනත් අපි කවුරු හරි පොර ටැප් එකේ වැඩේ කරගන්නකම් අපි එලියට වෙලා ඉන්න ඕනේ. අපි කාටවත් යන්න බැරිවුනොත් පොර අහන ලෝකේ නැති ප්‍රශ්න වලට අපිත් මෑන් වගේම සද්දෙන් උත්තර දෙන්න ඕනේ. නැත්තං අර අන්දරේගේ වයිපරේ වගේ තමා… ඊලඟ ප්‍රශ්නේ අහන්නේ කලින් එකට වැඩිය සද්දෙන්… ඒ මොකටද දන්නවද… ඒ එයාගේ හිතට එන යක්කු ගැන සිතුවිලි නවත්ත ගන්න.

ඉතිං මං අයිය හැටියට මං හිතුවා මල්ලිගේ මේ බය නැති කරන්න ඕනේ කියලා. එතකොට තුනේ හින්දා ආපු හොඳම අදහස තමා මූ තනියම ප්‍රශ්න පත්තරෙත් අරං චූ කරන්න ගිය ගමන් ලයිට් එක නිවලා පොඩි සද්දයක් දාන එක. ඉතිං ඕං බලාගෙන හිටිය දවස ආවා. මූත් චන්ඩියා වගේ බීම බීලා බීලා උගේ කිරිබන්ඩිය පුරෝගෙන ගියා ටැප් එක අරින්න. යන්න කලින්ම මට කියලා ගියේ “ඔයාට එන්න බැරිනම් මං අහන ඒවාට උත්තර දෙන්න“ කියලා. එතකොට මේකා මොන්ටිසෝරි මයෙ හිතේ. ඒ වුනාට පන්ඩිතයා. ඉතිං මාත් හුම් කියලා, දෙඤ්ඤං අද උඹට කියලා, ජනේලෙන් බලාගෙන හිටියා දොර වහගෙන ටැප් එක අරිනකං. ටැප් එක වහන්න අඩුම ගානේ තත්පර හතලිහක්… විනාඩියක් විතර යනවා.

ගිය ගමන් ඔන්න පටන් ගන්නවා ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන. පොර ප්‍රශ්නේ අහගෙන එනකොටම ටුක් ගාලා ලයිට් එක නිවලා…“මල්ලි ඔන්න යකා“ කියලා හොඳ හූවකුත් කියලා ජනේලේ ගාවට ගියා විතරයි… මෙන්න බුවා දුව ගෙන එනවා රාං කුරුල්ලවත් එලියේ දාගෙන වටේ පිටේ තියෙන ගස් වලට වතුර පාරකුත් දාගෙන “අම්මේ… අම්මේ…“ කියලා අඬාගෙන චූ නාගෙන. මෑන්ට ටැප් එක වහගන්න බැරි වෙලා හදිස්සියට. දුවලා දුවලා ගියේ කුස්සියේ කෑම හද හද හිටිය අම්මා ගාවට. ගිහිං අම්මගේ ඇඟේ එල්ලිලා අඬනවා හෝ ගාලා. කොහොම හරි ඒ අස්සේ අපේ අම්මටත් පිනා චාන්ස් එකක් සෙට් වෙලා වතුර මලකින් නාන්න. මල්ලි බීපු සන්ක්වික් ටික ඉවර වෙන්ට සෑහෙන වෙලාවක් යනවනේ ඉතිං…!

ඊට පස්සේ අපේ තාත්තගේ වාරේ. “ඇයි මල්ලිව බය කලේ…. ඇයි මල්ලිව බය  කලේ“ කිය කිය තාත්තා මගේ පස්සෙන් හොට්ම හොට් ප’සූට් එකක් මට හොඳ මසාජින් පාරක් දෙන්න… කොහොම හරි ඇඳන් උඩින් පැනලා, මේසේ යටිනුත් රිංගලා ගේ ඇතුලේ එහේ මෙහේ දුවලා කැමැත්තෙන්ම අන්තිමට තාත්තාට බාරවුනා… ඇයි ඉතිං එළියේ කළුවරයිනේ….!

පින් කුසුම් පිපේවා…!

මීයගේ තුන හා කරන්න පුළුවන් “අමතර” වැඩ…

මේ ගැන නම් ඉතිං පිරිමි ළමයි හොඳටම දන්නවානේ.  ගැහැණු ළමයිනුත් දන්නේ නෑ වගේ හිටියට, අපි දන්නවා එයාල දන්න බව. ඒ විතරක් නෙවෙයි එයලාත් මීයාගේ තුන මරාගෙන කන බව. ඉතිං ඔය මීයා ඉන්නවනේ. ඌ හෙන හුරතලා. අපේ සමහරු ඔෆිස් වල ඇතිවෙන ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න වගේ දේවල් කල්පනා කරන්නෙත් මීයාව අතගගා. දෙක මාරුවෙන් මාරුවට අතගානවා, අනිත් එක හිමීට එහාට මෙහොට කරනවා. ගෑණු ළමයින්ට නම් මියාගේ පාටේ විශේෂයක් නැති වුනාට, සමීක්ෂකයෝ කියන්නේ සුදු පාට ,රෝස පාට හා ලා කොල පාට මීයන්ට තමාලු වැඩියෙන් ගෑණු ළමයි ආසා. කරන්නම දෙයක් නැත්තං කළු මීයත් අවුලක් නැතිලු. හැබැයි රතු පාටට නම් ටිකක් විතර අකමැතිලු. කොල්ලෝ වෙච්චි අපිට ඉතිං කොහොමත් එකයිනේ.

ඉතිං දැන් ඔය සද්ගුණවත් හිත් වලින් වල් දේවල් හිතලා හිත් කිලිටි කරගෙන ඉන්නේ බබාලට කියන්නේ, මේක ‍වැල මෙව්වා එකක් නෙවෙයි කියලා මං කිව්ව ගමන් මට බැනගෙන බැනගෙන යනවා එහෙම නෙවයි… “අපේ බලාපොරොත්තු සුනුවිසුනු කලා” කලා කියලා… මං මේ කියන්න ගියේ ඇත්තටම මීයා ගැනම තමා. මීයා කිව්වට වයර් එකෙන් හරි වයර් නැතුව රේඩි‍යෝ සිග්නල් වලින් කොම්පූටරේ එල්ලිලා ඉන්න එකා ගැන. ඉතිං මූට මුලින්ම තිබිලා තියෙන්නේ එකයි. ඊට පස්සේ තමා බට්න් දෙකක් වෙලා, දැන් වෙනකොට ස්ටෑන්ඩර්ඩ් මවුස් එකක් නම් ලෙෆ්ට්, රයිට් හා මිඩ්ල් කියන බට්න් තුනයි ස්ක්‍රොල් එකයි තියෙන්න ඕනේ වෙලා තියෙන්නේ.

ඉතිං මවුස් එකේ ලෙෆ්ට් එකෙන් සාමාන‍්‍යයෙන් කරන්නේ යම් විධානයක් හෝ අයිකන් එකක් හෝ තේරීම. එතකොට රයිට් බට්න් එකෙන් කරන්නේ මෙනු එකක් මතු කරගැනීම තමා හැමතැනකදීම වගේ. මිඩ්ල් බට්න් එක නම් ක්‍රියාත්මක වෙන්නේ විශේෂිත මෘදුකාංග වල තමා. ‍ගොඩක් වෙලාවට ස්ක්‍රොල් ලොක් එකක් විදියට තමා පාවිච්චි කරන්නේ. මිඩ්ල් බට්න් එක තියෙන්නෙත් ස්ක්‍රොලර් එකටම සම්බන්ධවමයි. ස්ක්‍රොල් එක කියන්නේ පිටුවක් ඉහල පහල ගෙනියන්න තියෙන තවත් ලේසි උපක්‍රමයක්. මෙව්වා ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ කොහොමත්.

එතකොට මොනාද මීයගේ තුනෙන් කරන්න පුළුවන් අමතර වැඩ…?

හිතන්න ගෙදරදී ඔයාලා මොකක් හරි ලස්සන ඉමේජ් හරි වීඩියෝ එකක් බල බල ඉන්නවා. එත‍කොටම මල්ලි, නංගි, අයිය, අක්කා, අම්මා, තාත්තා වගේ, වගේ කෙනෙක් එනවා. ඉතිං අර ඉමේජ් එක හරි වීඩියෝ එක හරි පවුලේ සැමට එකට සිට නරඹන්න බැරිනම් මොකද වෙන්නේ..? වහාම ක්‍රියාත්මත වෙන පරිදි ස්ථාන මාරුවක් ‍හෝ කනේ පාරක් ෂුවර්නේ. ඉතිං ඒ වගේ වෙලාවට කව්ද අකමැති එක මවුස් ක්ලික් එකකින් තමන් කොර කොර හිටිය වැඩේ ගැන චූටි හෝඩුවාවක්වත් නැති වෙන්න අපරාධය යට ගහන්න. එහෙමත් නැත්තං තමන්ගේ හරි අනුන්ගේ හරි කොලුවෙක් එවපු ඊමේල් බල බල ඉන්න ගෑණු ළමයෙක්ගේ කාමරේට අම්ම එනවා… එතකොට පුංචි කාලේ වගේම “අම්මගේ හොඳ දුව” වෙන්න මේකෙන් පුළුවන්…

වැඩිය ඕනේ නෑ, බ්ලොග් එකක් බලනවා කියමුකෝ. ඔයාලා අකමැතියි ඒක වෙන කෙනෙක් දකිනවට. ඉතිං එහෙම වෙලාවට මිඩිල් බට්න් එක ක්ලික් කරලා බ්ලොග් එකේ අන්තර්ගතය ට්‍රාන්ස්පේරන්ට් කරලා ඊට යටින් තියෙන වැදගත් ඩොකියුමන්ට් එකක් ඉස්සරට දාලා පෙන්වන්න තියේනම් කොයිතරම් දෙයක්ද. ඒත් මදිනම් බ්‍රවුසර් එක ටාස්ක් බාර් එකෙනුත් අයින් කරලා සිස්ටම් ට්‍රේ එකේ හංගන්න පුළුවන්නම්… !

හ්ම්… එහෙම කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. “වින් රෝල්” කියන මේ පුංචි සොෆ්ට් වෙයාඑක ක්ෂණිකව වෙන්න පුළුවන් මාරන්තික ඒ වගේ අතුරු ආන්තරා වලින් අපිව ආරක්ෂා කරනවා. මට මේක හම්බුනේ අවුරුදු කීපයකට කලින් ඇක්ස්.පී තියෙද්දී දාපු ඇපල් ට්‍රාන්ස්ෆෝමේෂන් පැක් එකක තිබිලා. එදා ඉඳන් මොනා නැතත් මේක නම් මගේ ලැපීගේ වගේම ඔ‍ෆිස් පී.සී එකෙත් ලැගගෙන ඉන්නවා. ඇපල් වල නම් ඩිෆෝල්ට් එනවා. අර කව්ද කියනවා වගේ… වින්රෝල් තමා මාව රජෙක් කලේ. නැත්තං කොහොමද ඔ‍ෆිස් එකේ ඉඳන් බ්ලොග් ලියන්නේ, කියවන්නේ, ඩවුන් ලෝඩින් දාන්නේ.

බලන්න, ඔයාලත් මේක ඩවුන් කරගනෙ පාවිච්චි කරලා. ෆයිල් සයිස් එක කිලෝබයිට් බරගානක් ඇති නේද කියල හිතෙනවා ඇති නේද…. මුළු සොෆ්ට් වෙයා එකම කිලෝබයිට් 89 යි. ඒ වගේම මේක රන් වුනා කියලා රැම් එකට දැනෙන්නෙවත් නෑ….! ඔයාලට හොඳ හොරෙක් වෙන්න තියෙන හොඳම සොෆ්ට් වෙයා එකක් තමා මේ. මෘදුකාංග සීමිත ප්‍රමාණයකට විතරක් සහයෝගය නොදක්වන බවත් කරුණාවෙන් සලකන්න. ඒ වගේම මේක විවෘත හා නිදහස් මෘදුකාංගයක්. ඒක නිසා ක්‍රැක්, පැච් ගැන වදවෙන්න ඕනේ නෑ…

ඇත්තටම හොරෙක් වෙන්නම නෙමේ තමන්ගේ පෞද්ගලිත්වය ආරක්ෂා කරගන්න හොඳ උපක්‍රමයක්…! කොහොමද මීයගේ අමතර වැඩ…!

මග පෙන්වන්නා… | The Guide…

“රේල්වේ රාජු” කියන්නේ… සල්ලි තියෙන, රට රට වල ඇවිදලා විවිධ දේ ගැන අධ්‍යනය කරන්න කැමති, එහෙමත් නැත්තං නිවාඩුවක් ගත කරන්න කැමති සංචාරකයින්ට මග පෙන්වන්නෙක්. ඒ වගේම “ස්වාමි” කියන්නේ පාළුවට ගිහිං තිබුන කෝවිලකට පන දීලා, අහිංසක මිනිස්සු කට්ටියකට පොර ටෝක් දෙන හොර ගුරෙක්. ඒත් මේ දෙන්නම එකම ජීවිතයේ කාලයන් දෙකකදී ජීවත් වෙන එකම එක්කෙනෙක්…!

ඉන්දියාවේ ගැමි පරිසරය එක්ක හැදෙන වැඩෙන රාජු, තමන්ගේ ගමටත් කෝච්චි පාරක් ඇවිදින් ගම දියුණු වෙන හැටි ගැන තාත්තගේ සිල්ලර කඩේ ඉඳන් සිහින මවන්නේ පුංචි කාලෙමයි. ටිකෙන් ටික රේල් පාර හැදිලා, තමන්ගේ ගමටත් කෝච්චි ස්ටේෂන් එකක් ලැබුනම රාජු සන්තෝෂ වෙනවා. අන්තිමේ ස්ටේෂන් එකේ කුලියට දෙන කඩ කෑල්ලක, තාත්තා දාලා දෙන කඩේත් කරගෙන ඉද්දි තමා… අහම්බෙන් වගේ සංචාරකයින්ට මග පෙන්වන්න යොමු වෙන්නේ. ටික කාලෙකින් “රේල්වේ රාජු” කියන ඇමතුමත් එක්ක ඔහු බොහෝම කලබලකාරී, කාර්යයබහුල පුද්ගලයෙක් වෙන්නේ තමන්ගේ ආර්ථික තත්වයත් ටිකෙන් ටික උඩට දාගන්න ගමන්මයි.

ඒත්… නොහිතන දවසක, නොහිතන වෙලාවක… හම්බුවෙන නැටුමට හපන් වෙනත් අයෙකුගේ බිරිඳක් වෙන, කෙල්ලෙක් නිසා රාජුගේ ජීවන රටාව වගේම, හදවතේ රිද්මයත් වෙනස් වෙනවා. ඊට පස්සේ විටෙක සිනහවෙන් වගේම, දරාගන්න බැරි දුක් කම්කටොලු, ඇනුම්-බැනුම් මැද්දේ ගෙවෙන රාජුගේ ජිවිතය අවසන් වෙන්නේ කෝවිලක පූජකයෙක් විදියට. ඒ කෝවිලේ පිහිට බලාපොරොත්තු වෙන මිනිසුන් වෙනුවෙන් ජීවිතය කැප කරන්නෙක් විදියට වගේම දවස් දොලහකින් ආහාර නොලබපු බඩගිනිකාරයෙක් වගේ වුනත් සෑහෙන පිරිසකගේ වැසිදිය ගැන බලාපොරොත්තු මැද හා සෑහෙන පිරිසකගේ උත්තමයෙක් විදියට.

ජීවිතය වෙනස් වෙන තැන අපිවත් නොදන්නා ලෝකයක, එක් අයෙකුගේ හැරවුම් ලක්ෂයක් ගැන කියවෙන මේ කතාව ආදර කතාවක් නොවුනත්, සාමාන්‍ය ආදර කතාවකට වැඩියෙන් බොහෝ වෙනස්. කතාව කියවද්දි ආදරය, හම්බුවෙන්නේ බොහෝ ඈතින් සුළු මොහොතකට පමණක් වුනත් ඒක කොයිතරම් බලපෑමක් ඇතිකරනවද කියන එක තේරුම් ගන්න අමාරු නෑ.

නැට්ටුක්කාරියකට මේ තරම් දේවල් කල හැකි වුන අපූරුව…!

ආර්.කේ නාරයන් ලේඛකයා, “The Guide”කියලා ඉංග්‍රිසියෙන් ලියපු පොත “මග පෙන්වන්නා”  කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ නිහාල් රාජකරුණානායක කියලා පරිවර්තකයෙක්. ඒ වගේම 1906-2001 දක්වා ජීවත් වුන කේ.ආර් නාරායනයන්ගේ විශිෂ්ඨතම කෘතිය කියලා හැඳින්වෙන්නෙත් මේ කෘතිය තමා. මේ පොත ලියලා තියෙන්නේ 1958දී වගේම,  ඉන්දියාවේ පොතක් වෙනුවෙන් ලබන්න පුළුවන් වෙන ඉහලම සම්මානය වෙන “ජාතික සාහිත්‍ය සම්මානය“ත් හිමිකරගෙන තියෙන අපූරු පොතක්. මේ කතාව පාදක කරගෙන 1968 දී සිනමා පටයකුත් නිර්මාණය වෙලා තියෙනවා.

ලංකාවේ ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ සරසවි ප්‍රකාශන ආයතනය. ගොඩක් දෙනා කියවලා ඇති…. ඒත් කියවලා නැති අය හොයාගෙන කියෙව්වයි කියලා කිසිම පාඩුවක් වෙන්නෙ නැති හොඳ පොතක්…