අද එක්කෙනෙක්ගේ උපන් දිනේ…

අද තමා මට වැඩියෙන්ම වටින දවස. මගෙ උපන් දිනේටත් වඩා වැඩියෙන් මට අද දවස නම් සෑහෙන්න වටිනවා. හේතු නම් ගොඩයි. ලොකුම එක තමා, අනිත් අයට ජනවාරි පළවෙනිදට අවුරුද්දක් ලැබුවට… මට වසරක් ගෙවිලා වසරක් ලබන්නේ ජනවාරි හය වෙනිදට වීම… ඉතිං වෙනදා වගේම මෙදා පාරත් හැමෝගෙන්ම තෑගි ලැබෙන්න කලින් මගේ උපන් දින තෑග්ග ලැබෙන්න ඇති කියලා හිතනවා. නොලැබී යන්න විදියක් නැහැනේ ඉතිං, නඩුකාරීට යශෝධරාවගේ උපන් දින තෑග්ග භාර දුන්නේ සති දෙකකට විතර කලින්නේ. ඉතිං දෝනියන්දට නොපෙනෙන්න හංගලා තිවුන තැන මතක තිබුනනම් ලස්සන කාඩ් එකයි අනිත් තෑග්ගයි අනිවා හම්බුවෙන්න ඇති.

අද  වැඩිය ලියන්න බෑ අප්පා… මේං මේ විදියට බර්ත් ඩේ කාඩ් එකේ තිබ්බ සුභ පැතුම විතරක් මං බ්ලොග් එකේ ඉතුරු කරන්නම්… අඩුම ගානේ ඒ ලස්සන කාඩ් එකේ පින්තූරයක්වත් මට කස්ටිය එක්ක බෙදා ගන්න ලෝබයි… මොකද මං ඒකි වෙනුවෙන් වෙන් කරන හැමදේම එයාට විතරක්ම වෙන්න ඕනේ කියලා මගේ හිතේ තියෙන නපුරු කුහක සිතුවිල්ල නිසයි ඒ. අනිත් එවුන් වගේම මාත් ආදරයෙදී මාරම ආත්මාර්ථකාමීයි….!!!

මගේ ගැණි වෙච්චි දාට… රත්තරං අම්මි වුනාට, එතකං තමුසේ මට නංගියෙක් හරිද….!!! මං ජීවත් වෙනවා කියලා මට දැනෙන්න සැලස්සුව ඔය පුංචි ඇස් දෙකට… ඇත්තටම මං හැමදේකටම වැඩියෙන්, ආදරය කරනවා අදටත්…!!! හැමදාටමත්…!!!

 

I love you for

so many things, I don’t know

where to start,

but most of all I love you

for your understanding heart.

A heart that makes you thoughtful,

considerate and kind,

a heavenly combination that

is difficult to find.

It would be a pleasure

just to know you, for you’re

kind and considerate, too…

… But I’m double lucky

to have not just a friend,

but also a Sister as sweet as you.

LOVE YOU, SISTER !

රිලා පැටියා කාලේ, මතක…!

ඊයේ බස් එකේ යද්දී මගක් හරියෙන් බස් එකට නැග්ගා චූටි කොලු පැටියෙක්ව වඩාගත්තා අම්මා කෙනෙක්. පවු ඒ අම්මා කොහේ හරි ඔෆිස් එකක වැඩ කරලා ගෙදර යන ගමන් වෙන්න ඕනෙ. පුංචි එකා, දකුණු අත අම්මගේ බෙල්ල පිටිපස්සෙන් දාලා… වම් අත මූන පැත්තෙන් දාලා අම්මගේ බෙල්ල බදාගෙන…. පොඩි එකා හරිම සන්තෝසෙන්. අම්මටත් ඒ පුංචි එකාගේ හිනාව නිතරම පේන නිසාද කොහෙද පොඩ්ඩක්වත් මහන්සි පාටක් නෑ. ඒ ආදරණිය නිමේෂය දැකපු මටත් මගේ පුංචි කාලේ මතක් වුනා…!

ඉස්සර මට අවුරුදු තුනක් විතර කාලයේදී අම්මා යන යන තැන මාව වඩාගෙන යන්න ඕනේ. නැත්තං කොල්ලා යුද්ධ ප්‍රකාශ කරනවලු. ඒ අම්මගේ උණුසුමට අසීමිතව ආදරේ කරපු නිසා වෙන්න ඇති…! කොහොම හරි මටත් මතකයි මං අම්මගේ කොන්ඩ කරලයි බෙල්ලයි අතරින් අතදාලා දකුණු අත අම්මගේ වම් උරේ තියාගෙන වම් අතේ අම්මා අරං දෙන මොනා හරි කෑමක් තියාගෙන පෙරේත කමට ටික ටික කකා යන හැටි.

ඒ දවස් කොයි තරම් ලස්සනද. අම්මගේ ආදරේ මැද්දේ හිත ‍රිදෙන්න කිසිම දෙයක් නෑ. හරියට හැම වේදනාවකටම වේදනා නාශකයක් තියාගෙන ඉන්න දෙවි කුමාරියක්වගේ… දැන් වුනත් හිත රිදෙන හැම වෙලාවකම මතක් වෙන්නේ අම්මා ගාවට වෙලා ඉන්න තියේනම් කියලා. හැම තිස්සෙම ඔලුව අතගගා, හැම තත්පරේකම කොල්ලා කරන දඟවැඩ ගැන ඇහැගහගෙන උන්නට, ඒවට කලගුණ සලකන්න තරම් ගුණ දහම් අතින් තාමත් පෝසත් නැහැ මම. කොයිතරම් හොඳ වුනත් ඒ තරම් සෙනෙහසකට සමාන කරලා හිලව් කරන්න කිසිම දෙයක්, කිසිම වත්කමක් මයෙ ගාව නෑ. මං කොයිතරම් දුප්පත්ද ඒ අතින්..! කොයි තරම් සල්ලි තිබුනත්, තව මොනා මොනා තිබුනත් ඒ කිසි දේකට මවු සෙනෙහසට ලං වෙන්න බැරි බව තේරෙන්නේ අපි ලොකු මහත් වෙලා සමාජයත් එක්ක හැප්පිලා, අත්දැකීම් වලින් ජීවිතය පුරෝගෙන ඉස්සරහට යද්දී.

කවදාවත් මාව අතින් බිමට වැටෙන්න නොදී, කොයිතරම් අත් දෙක රිදුනත්, දැන් බිමට බහින්න පුතේ කියලා කිසි දවසක අම්මගේ කටින් කියලා නැති බව මට හොඳට මතකයි. සමහර දාට තාත්ත ඇවිත් දැන් අම්මට මහන්සියිනේ ඔයාව වඩාගෙන ඉඳලා කියලා මාව තාත්තගේ අතට අරගත්ත බවත් මතකයි. කවදාවත් කිසිම වෙලාවක ඔයාව වඩාගෙන ඉඳලා මහන්සියි නොකියන්න තරම් ඒ හිතේ කොයිතරම් ආදරයක් පිරිලා තියෙන්න ඇත්ද… කොයි තරම් ඒ අත් දෙක රිදෙන්න ඇතිද…!!!

දවසක් දා හවස් වරුවක… මං අම්මා එක්ක එයාගේ වැඩ කරපු තැනට ගිහිං ගෙදර යද්දී හොඳටම හවස් වෙලා. පස්සේ අම්මා මාව වඩාගෙන බස් එකට නගින්න හදද්දී බස් එකෙත් හොඳටම සෙනගලු. එදා අම්මා මාව අයිනේ සීට් එකක වාඩි වෙලා අම්මගේ යාලුවෙක්ගේ අතට දුන්නලු ජනේලෙන්. පස්සේ අම්මා අමාරුවෙන් ෆුඩ් බෝඩ් එකේ හිටගෙන ඇවිත් තියෙන්නේ. එදා මං අම්මා අල්ලගෙන හිටිය ෆුඩ් බෝඩ් එකේ බාර් එක අතකින් අල්ලගෙන අනිත් අතින් අම්මගේ අත තදින් අල්ලගෙන අම්මගේ අත උඩින් මූන තියාගෙන ඇඬුවලු හොඳටම. හේතුවක් මතක නෑ, සමහර විට අම්මා එක දශමයක් හරි දුරින් හිටිය නිසා වෙන්න ඇති.

ඊට පස්සෙ ඉතිං මොන්ටිසෝරි යන්න ගත්තට පස්සෙ නම් මාව වඩාගන්න එක අඩුවුනා. එතකොට ඉතිං මං ලොකුයිනේ. ඒක නිසා වෙන්න ඇති. නැත්තං සමහර අම්මගේ යාළුවෝ විහිලු කලානේ  අම්මට දැන් කකුල් දෙක බිම ගෑවෙනවා ඇයි මේ කොල්ලව වඩා ගෙන ඉන්නේ කියලා… ඒක නිසාද දන්නෙත් නෑ….

පස්සේ ඉතිං කාලයත් එක්ක ඒ උණුසුම මග ඇරිලා ගිහිල්ලා. දැන් නම් මොකද්දෝ හේතුවක් නිසා ආයෙමත් අම්මගේ අතට පැනලා හුරතල් වෙන්න හිතෙනවා. ඉස්සර නම් ඉතිං මූන රතු වෙනකං ඉඹියි, දැන් නම් දූපිය පැත්තකට එනවා මෙතෙන හුරතල් වෙන්න කියලා එලෝලා දායි. ඒත් ඉතිං එහෙම කරන්නෙත් ආදරෙන් වුනාට, අම්මට දැනෙන්නේ නැහැනේ එහෙම කලාම කොල්ලගේ හිතට දැනෙන වේදනාව…! ඒ වුනාට ඉතිං අදටත් හෙවනැල්ල වගේ ඉන්නේ අම්මම තමා…! මාව බිමින් නොතියා වඩාගෙන හිටිය පිනම ඇතිනේ තව කාලයක් ශක්තිමත්ව නිරෝගීව ජීවත් වෙන්න…!

මයෙ ගාව නැහැනේ ඒ දවස් වල රිලා පැටියා වගේ අම්මාගේ අත්දෙකට  වෙලා හිටිය ෆොටෝ එකක්වත් ආසාවට බලන්න.  ඒ නැතත් අයෙමත් එක පාරකට හරි චූටි කාලෙට ගිහිං එන්න තියෙනවනම්…!

කියවලා ඉවර කරන්න හිතෙන්නේ නැති, පොත් කියවිල්ල…!

අපි හැමෝම පොත් කියවනවනේ… අර කව්දෝ මන්දා කියලත් තියෙනවනේ පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ… කියලා. මටත් ඒ වැකිය ස්කෝලේ යන කාලෙ ඉඳලම අහලා අහලා ඇති වෙලා තිබුනේ. ඒ මදිවට අපේ පුස්තකාලෙත් තඩි අකුරින් බ්‍රිසිල් බෝල් හතරක් පහක් සෙට් ‍කරලා ලොකුවට ඇඳලා තිබුනා. ඒ දවස් වල ඉතිං ‍මගේ පොත් කියවීම ගැන කියනවනම්, මං අර පුස්තකාලේ තිබුන වැකිය දකින්නේ අවුරුද්දටම වැඩිම වුනොත් පස් පාරයි. එක පාරක් යනකොට දූවිලි පිහිදලා ලස්සනට බැබලෙන්න තියෙනවා. ආයෙ යන දාට මකුළු දැල් බැඳිලා දූවිලි පිරිලා…

කොහොම කොහොම හරි මං ටිකක් වැඩියෙන් පොත් කියවන්න ගත්තේ කුමාරිකාව එක්ක නඩු දාගන්න ගත්තට පස්සේ. ඒ දවස් වල ඉතිං එයා කියවන පොත් ප්‍රමාණේ එක්ක බැළුවම මාව අහලකින් වත් තියන්න බෑ. පියතුමා එයාලගේ පුස්තකාලෙන් පොත් ගේනවා නඩු කාරිත් එයාලගේ පුස්තකාලෙන් පොත් ගේනවා. ඉතිං එයා ඔක්කොම වැඩ පැත්තක තියලා පොත් ටික කියවනවා. ඒ දවස් වල මාත් බලනවා මොනාද මෙයා මේ කියවන්නේ කියලා. පස්සේ ඔහොම බලන්න ගිහිං තමා පොත් වල රහ මටත් දැනුනේ. එව්වා මැක්සා පොත් ටිකක්, ඔක්කොම පරිවර්තනය කරපු ළමා කතා. ආයෙ මොනාද පොත කියවද්දී අපිත් නිකං බෝට්ටු ගෙදර පොඩි ළමයි වගේ කියලා හිතෙන තරමටම සංවේදීව ලියලා තියෙනවා. ඊට පස්සේ නම් ඉතිං සතියකට එක පොතක් එයා කියවනවා, අනික මං කියවනවා…. ඒ ඉතිං හොරන්. මොකද කුමාරිකාවගෙන් ලස්සන කතා පොතක් ඉල්ලගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවාට වැඩිය හපන්….!

ඉබ්බනම්… අනේ මයේ ගාව නෑ ඕයි පිහාටු … බලනවකෝ කට්ටක් විතරයි තියෙන්නේ… තමුසෙට ඕනෙමනම් කුරුල්ලෙක් ගෙන් ඉල්ලලා දෙන්නං… කියලා හරි කියයි… ඒත් ඉතිං හපෝව්… මතක් කරන්න එපා… ඒකට අර ගල් ඉබ්බි….

නෑ…. නෑ… නෑ….කියවල මිසක් දෙන්නේ නෑ….!  ඉතිං එයා කි‍යෝලා ඉවරවෙන කොට පොත ආපහු බාර දෙන්න ඕනේ කාල සීමාවත් පැනලා.  ඒක නිසා මං පුරුදු වුනා පොත් හොරකම් කරගෙන ගිහිං එක හුස්මට කියෝලා ආයෙම ගෙනත් දෙන්න. පවුනේ ඉතිං අනිත් අයත් කියවන්න ඕනෙනේ…!

මේ තියෙන්නේ හොරකම මාට්ටු වෙලා අහගත්ත ටික…!

ඊට පස්සේ ඔහොම එක එක පැත්තට හැරී හැරී මගේ පොත් කියවිල්ල ටික ටික වැඩි වුනා. වැඩි හරියක්ම පරිවර්තන… ඊට පස්සේ විද්‍යාත්මක එව්වා, එතනින් පස්සේ ලංකාවේ අතීතය වගේ දේවල්. හිතට අල්ලපු නවකතා, යාළුවෝ හොඳයි කියපු නවකතා එහෙමත් හොයාගෙන හරි සල්ලි දීලා අරගෙන කියවන්නත් පුරුදු වුනා.

ඔහොම ගිහිං ගිහිං එක එක ඒවා කියෝ කියෝ හිටි මට ආයෙමත් ඉස්සර වගේ ළමා කතා කියවන්න හිතුනනේ…! ඒ දවස් වලට වැඩිය දැන් තමා ඒවා රස. කොටින්ම කියන්න කතා පොත කියවලා ඉවර කරන්න ලෝබයි. කතාව ඇතුලේ ජීවත් වෙමින් පොත කියවද්දී, චුරු චුරු ගගා වැස්සකුත් තිබ්බ නිසා ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද පරිවර්තනය කරපු‍ ලෝරා ඉන්ගල්ස් ගේ වන අරණක කුඩා නිවස පොත කියවලා ඉවර කරන්න මට දවස් හයක් ගියා කිව්වොත් මොකද හිතන්නේ…?

ඒ තරමටම අපේ හිත් තාමත් පුංචි කාලෙට ආස කරන හැටි. කතාවේ කියවෙන ලෝරායි මේරියි දිහා බලාගෙන, අපි එයාලගේ පුංචි ගේ ඇත්ලේ එහෙ මෙහෙ යන අදෘශ්‍යමාන චරිතයක් වෙන්නේ අපි හිතන්නත් කලිං.

දැන් ඉතිං ලැපිත් නැති එකේ පුංචි කාලේ කියෝපු පොත් සේරොම හොයාගෙන කියවන්න ගන්න ඕනේ…! මොකද සමහර පොත් තියෙනවා එක පාරක් කියෙවුවම තව තව කියවන්න ආසා හිතෙන එව්වා… ඒ අතරින් ඔය ගංගා නිරෝෂනී පරිවර්තිකාව පරිවර්තනය කරපු පොත් සීරීස් එකම නියමයි. ටිකක් තේරුම් ඇති වයසක පොඩි එහෙකුට තෑගි දෙන්නත් ගැලපෙනවා…

අම්මේ අයියා මාව………. මගේ යශෝධරා වත 16

මෙන්න මං කුමාරයට මුහුන දෙන්න වුන තවත් නඩුවක්…. අනිත් ගොඩක් නඩු වලදී වගේම මේ නඩුවෙනුත් මම පැරදි. කට්ටිය දන්නවනේ මං කුමාරයට විතරක් ආවේනික එකම එක කතාව, මගේ යශෝධරාවත කියලා. ලඟදී මං කුමාරයාගේ අමාත්‍ය මණ්ඩලයට එකතු වුන ඇමැති වරුන්ට හා වරියන්ට මෙතෙන්ට ගිහිං ඒ කතා ටික කියවන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මේ තමා මං කුමාරයාගේ ලොස්ට් ලව් එක.

ඒ දවස් වල යශෝධරාව වැඩ වාසය කලේ රම්‍ය මාලිගයේ. මං කුමාරයා ඉතිං කෝමත් සතියකට දෙසැරයක් විතර කුමාරිකාව බැහැදකින්න යන කාලේ තමා ඒ. ගොඩක් දවස් වලට ඉරිදට තමා යශෝධරාවගේ මාලිගයට යන්න මට පර්මිෂන් ලැබිලා තිබුනේ. ඊට පස්සේ බ්‍රහස්පතින්දට. මොකද ඔය දවස් දෙකට විතරයි යශෝධරාවගේ මවුතුමියටයි යශෝධරාවටයි දෙන්නටම පන්ති නැත්තේ.

මේ කියන දවස බ්‍රහස්පතින්දා දවසක්. ඉතිං ඔන්න මාත් මගේ අධ්‍යාපන වැඩ කටයුතු සඳහා ඉක්කෝලේ ගිහිං ගෙදර ආවා. ඇවිල්ලා නාලා කරලා, බොඩි ස්ප්‍රේද, හෙයා ජෙල්ද අරවද මෙව්වද තියෙන ඔක්කොම සමයන් ටික උලාගෙන යශෝධරාවගේ මාලිගයට ගියා‍. මං කුමාරයා ගිහිං කන්ථකව පැත්තකින් හේත්තු කරලා එහෙම ගෙට ගොඩ වෙද්දී වෙනදට නම් හිනා කටක් පුරෝගෙන එන කෙල්ල අද නෑ… ඔයිට කලිනුත් ඔහොම වෙලා තියෙන නිසා මං කුමාරයා ඒක එච්චර ගනන් ගත්‍තේ නෑ…

කොහොමත් යශෝධරාවට මං එයාගේ මාලිගයට ගිහිං මගේ කටහඬ ඇහෙද්දී දුව ගෙන මහා නැහැදිච්ච ගතියක් තියෙන නිසා ටිකක් ඉවසා වදාර ගෙන ඉඳියා…. ම්හු… ඒත් නෑ… පස්සේ බැරිම තැන…

නංගී…..

කියලා පොඩි සද්දයක් දැම්ම, එයාගේ සිරියහන් ගබඩවෙන් ඇහෙනවා රිප්ලයි එක… පොඩ්ඩක් ඉන්න මං ‍පොඩි වැඩක්….. කියලා. යකෝ මේක හරි මගුලක්නේ… වෙනදට මං ආවම තියෙන වැඩ ඔක්කොම දාලා දුවගෙන එකීට අද මක්ක වෙලාද කියලා මගේ හිතත් ගැහෙනවා. පස්සේ ඉතිං නඩුකාරි ඇවිත් කියනවා…. කෑ ගහන්නේ නැතුව ඉන්න ළමයෝ… නංගි ඒවි… කියලා.

ඒත් ඉතිං මං කුමාරයට ඉවසුම් නෑ සුදු මූන දකින කං. පස්සේ මෙන්න ඇහෙනවා හිමීට කෙඳිරිල්ලක්…. මේකි සිරියහන් ගැබට වෙලා අඩනවා වත්ද කියලා මගේ හිත ආයෙම අප්සට්. පස්සේ ඕනෙ මගුලක් කියලා වාඩිවෙලා ඉඳිය පුටුවෙන් නැගිටලා ගිහිං, සිරිහයන් ගැබට ඔලුව දැම්මා. කෙල්ලන්ගේ කාමර වලට එබෙන එක වැරදි වැඩක් තමා… ඒත් ඉතිං මං මොනා කරන්නද….? මං කුමාරයටත් තියෙන්නේ මහ නොසංඩාල හිතක්නේ… ඒක නිසා ඉතිං කරන්න දෙයක් නෑ,..

පස්සේ මං බලනකොට කුමාරිකාව ඇඳ උඩට වෙලා සිංදු කියනවා. කෙල්ලට සිංදු පොතක් හම්බුවෙලා. පස්සේ ඔන්න මං සිරියහන් ගැබට ඇතුල් වෙලා අර මොකෙද්ද එකෙක් වගේ ඔලුව දාගෙන ඉන්නවා දැක්කම සිංදු පොතත් අරං එනවා ඉස්සරහට… හරියට නිකං පුංචි සුනාමියක් එනවා වගේ… ඇ‍ඳේ රෙදි, කොට්ට එහෙම උඩ විසික් කරගෙන… පැයට හැතැප්ම එකසිය ගානකින් මගේ වම් අතේත් හැප්පි ගෙන මාව පහුකරගෙන ගියා සාලෙට. දැං ඉතිං ඉන්නවා සැටියට වෙලා කර බාගෙන සිංදු පොතේ අකුරු ගැන ගැන… මූනත් රතු කරගෙන… ඒ මදිවට මටත් ඔරෝගෙන….

ඒ තමා ඉතිං හැමදාම මට නඩුවක් ෆයිල් වෙන රෑටින් එක. පස්සේ ඔන්න නඩුකාරිත් එනවා කර කර හිටිය මගුල දාලා කෙල්ලව නලවන්න. ඇවිල්ලා ඉතිං ඔලුව අතගාලා කන අස්සේ ගිය කොන්ඩ කෑල්ල කන පිටිපස්සට කරලා එහෙම නලවලා යනවා. ඒ ඔක්කොම කෝලම් ටික පිටිපස්සේ පුටුවේ ඉඳන් මං කුමාරයා බලාගෙන ඉන්න ඕනේ. මට පේන්නම බැරිදේ තමා ඔය.

ඊට පස්සේ නම් කුමාරිකාව යන්තං ෂේප්. පස්සේ ඔන්නේ සැටියේ අනිත් පැත්තට යනවා මගේ මූන පේන විදියට. එතකොට තමා මගේ වාරේ. හොදට ගනන් උස්සලා මාත් ගන්නවා පත්තරයක් අතට. ආයේ යශෝධරාව මට කතාකරනකං මං නෙමේ කතා කරන්නේ… ඊට පස්සේ ඉතිං මං හොරෙන් බලද්දී අර පුංචි ඇස් දෙක මගේ දිහා බලාගෙන ඉන්නවා. මං ආයෙම ටක් ගාලා පත්තරේ දිහා බලාගන්නවා. වෙලාවකට නම් හිනාත් යනවා. ඒත් කොහොම හරි හිනාව තද කරගෙන ඉන්නවා. ඊට පස්සේ තමා යශෝධරාවට සත්තු වත්ත මතක් වෙන්නේ… ඔන්න කියනවා එක එක නම්… අර කලිං පෝස්ට් එකක දැම්මේ…. අන්න ඒ වගේ….

ගොඩක් වෙලාවට….. මේ මෝඩයෝ…… කියපු ගමන් ඉතිං මං ඔලුව උස්සනවා… මොකද ඉතිං මං කුමාරයට ගැලපෙනම නම ඒකනේ.

එදත්…

අයියා මෝඩයෝ……

ටිකක් මොඩිෆයි කරලා නික් නේම් එක වෙනස් කරලා. මාත් ඉතිං නින්දෙන් ඇහුරුනා වගේ දඩස් ගාලා ඔලුව ඉස්සුවා. අර පුංචි බෝල ඇස් දෙක මගේ දිහා බලාගෙන ඉන්නවා අහිංසක විදියට හිනාවේගෙන. එතකොට ඉතිං හිතේ තියෙන ඔක්කොම තරහා මරහා, දුක සෝකය, කාන්සිය මාන්සිය ඔක්කොම ඉවරයි. පස්සේ ඉතිං මාත් …. ටිකක් තරහින් වගේ… මොකද මෝඩි… කියලා ඇහුවම….

මේ…. කියලා සිංදු පොත උඩට උස්සලා මට පෙන්නලා නැලවෙනවා‍. ඔය වගේ වෙලාවකට කාටද ඉතිං ඉවසුම් තියෙන්නේ. මාත් පත්තරේ පැත්තකට දාලා නැගිට්ටා…. කෝ දෙන්න මටත් බලන්න… කියලා. යශෝධරාවත් නැගිටලා සැටිය පිටිපස්සට පැන්නා. ඒකි දන්නවා මං මොකාටද එන්නේ කියලා…

පස්සේ ඔන්න, ආ…. කියලා සිංදු පොත මගේ කිට්ටුවටම දික් කරලා ආයේ අරගෙන දුවනවා. මාත් අරියි ඔය වගේ වෙලාවට…. මාත් එලෝනවා පස්සෙන්… වෙනදටනම් එලෝගෙන ගිහිං ඔලුවට ටොක්කක් අයිනවා නැත්තං පිට මැද්දට ලාවට තට්ටුවක් දානවා. ඒත් අද ඉතිං අතේ සිංදු පොතකුත් තියෙන එකේ එව්වා කරන්න ඕනේ නැහැනේ. අද තියෙන්නේ සිංදු පොත උදුර ගන්න එකතමා. පස්සේ ටික දුරක් ගේ ඇතුලෙම එයාට මෙහාට දුවද්දී මං ටිකක් ස්පීඩ් කරලා ගිහිං යශෝධරාවගේ පිටිපස්සෙන් අත්දෙක දාලා ඉස්සරහින් ආයෙම එයාගේ අත්දෙක අල්ලගෙන සිංදු පොත ගන්න ට්‍රයි එක්ක දෙනවා. මේකි පොත් අතාරින්නෙම නෑ,… පස්සේ තත්පර දෙක තුනකින් තමා දෙන්නටම ක්ලික් වුනේ මං මේකිව බදාගෙන නේද දෙයියනේ මේ ඉන්නේ කියලා.

පස්සේ ඔන්න යශෝධරාව සිංදු පොත අතෑරලා ලැජ්ජාවෙන් ආයෙම යනවා සැටියට. ගිහිං …. අම්මේ….. කිව්ව ගමන් නඩුකාරි එනවා නඩු පොතත් උස්සගෙන. ඒකෙ තියෙන තරමක් තියෙන්නේ මං කුමාර‍යාගේ පෙර වැරදි. එව්ව වැරදි උනාට ඔක්කොම රොමැන්ටික් වැරදි නිසා වැඩිය ‍ලොකු දඬුවම් නෑ… පුංචි කනේ පාරක්, පිටට පහරක් වගේ තමා දඩුවම. හැබැයි දෙයියෝ මේ පාරනම් වැඩේ භයානකයි. මේ පාර ඕනෙ නම් මං කුමාරයව මාලිගෙන් නෙරපන්න උනත් පුළුවන් තරමේ ලොකු වැරැද්දක් තමා වුනේ…

පස්සේ…. ඇයි දූ… කියාගෙන මව්තුමී ආපු ගමන්…. යශෝධරාව මව්තුමියගේ කනට ලංකරලා …  මගේ සිංදු පොත ගන්න ඇවිත් අයියා මාව…… කියලා ඉතුරු වචනේ මට ඇහෙන්නේ නැතිවෙන්න නඩුකාරීට කිව්වා. මං කුමාරයා අදටත් දන්නෙ නෑ මොනාද කිව්වේ කියලා. පස්සේ ඔන්න එනවා නඩුකාරි.. හරියට නිකං ආලවකයා වගේ… ඇස් දෙකත් රතු කරගෙන. ඒ මදිවට යශෝධරාව එනවා අතේ එල්ලිගෙන හිනා වෙවී… දැන් ඉතිං මං කුමාරයට හරි පස්නේ…මොකද මං අත්දැකීමෙන් දන්න විදියට කෙල්ල හිනාවෙවී අම්මා ඔරෝගෙන එන්නේ මං කුමාරයට නඩුවක් දාලා නිදහසට කරුනු විමසන්න තමා…

දෙන්න ආපු ගමන්… මං බිම බලාගත්තා. මං නිකං මොකටද එක එක්ගෙනාගේ රැවුම් ගෙරවුම් බලන්නේ. මං වැරැද්දක් කලේ නැහැනේ…. ඔහොම හිත හිත ඉද්දී….

මෙහෙ බලනවා…. කියලා හෙන සැරෙන් කේන්තියෙන් මව්තුමී කියනවා. මාත් ඉතිං බොහොම දුක් බර මූනක් දාගෙන බැලුවා. මොකද්ද නංගිට කලේ…..

හත්වලාමේ…. මේකි මොකක් හරි ලොකු පචයක් ඇරලා වගේ මව්තුමිට. නැත්තං ඒ පොඩි වෙලාවට මං මොනා කරන්නද…?

ඊට පස්සේ ආයෙමත් මව්තුමී…. කියනවා නංගිට මොනාද කලේ….?

දැන් ඉතිං මට කට උත්තර නෑ… ඒ පාර මං කුමාරයා ආයෙම බිම බලාගෙන… මුකුත් කලේ නෑ… සිංදු පොත ගත්ත විතරයි.. කිව්වා….

හූ… හූ… බය වුනා… බය වුනා…. කියලා මෙන්න කුමාරිකාව හිනා වෙවී කෑගහනවා. මව්තුමිත් දෙන්නගෙම ඔලුව අතගාලා මට තේ එකක් හදන්න ගියා. පස්සේ බැලින්නං යශෝධරාව මවුතුමීට සීන් එක කියලා, මාව බයකරන්න කියලා….

අනේ ඉතිං මං කුමාරයා මොනා කරන්නද… මට කරගන්න දෙයක් හිතා ගන්න බැරුව කට තද කරගෙන හෙන දුකින් හිටියා. පස්සේ ඉතිං ආයෙම නැලවී නැලවී ඇවිත්… සොරි……. දැන් ඉතිං හිනා වෙනවකෝ… ඔයා නෙමේනේ තරහා වෙන්න ඕනේ හරිනං මමනේ තරහා වෙන්න ඕනේ…. කියලා යශෝධරාව මගේ ගාව තො‍ඳොල් වෙනවා. පස්සේ ඉතිං මාත් හිනා වෙලා යශෝධරාවටම කියලා සිංදුවකුත් කියෝගත්තා. ඇයි ඉතිං සිංදු කියන්න බැරිනම් සිංදු පොත් වැඩක් නෑනේ…. කියපු සිංදුව නම් මතක නෑ මට. ඒත් කටහඬ නම් මතකයි…

ඒ තමා මං මෙච්චර කාලෙකට අහපු ලස්සනම කටහඩ….

ඒත් එව්වා ඔක්කොම දැනට කාලෙකට කලිං අතීතෙට එකතු වෙලා ඉවරයි. ඒත් හැමදාටම මං කුමාරයාගේ හිත ඇතුලේ සැරින් සැරේට මතුවෙවී උඩ ඇවිත් ආයෙම යට යනවා, අද වුනා වගේ. මේ සිංදුවෙන් කියවෙන්නෙත් ඒ වගේ දෙයක්ද කොහෙද….!


හොඳට හිටි එකාට… වෙච්චි දෙයක්….

අනේ ඇත්තට කොහොමට හිටිය එකෙක්ද මූ…? ඉස්සර හරි අහිංසකයි. කිසිදවසක ස්කෝලෙදීවත් වැරැද්දක් කරලා අම්මව එක්කන් එන්න කියලා තියෙනවද,…? නැහැනේ… ඒත් දවස් දෙක තුනක් නම් සිංහල මිස් කතා කරලා කිව්වා,

ඔයාගේ පුතාගේ සිංහල හැකියාව නම් දුරුවලයි කියලා.

ඔව් ඉතිං ඒ සිංහල මිස් දන්න තරම තමා. මිස් හොරෙන් ඉන්ටවල් එකට ඇවිත් අහගෙන හිටියනම් එහෙම අපි කතාවෙන එව්වා… හිහ්… මිස්‍ට අදහගන්න බැරිවෙනවා… මොකද ඉතිං ඒ දවස් වල සිංහල වචන දෙකක් ඇර සුද්ද සිංහල වචනයක් සුවර්නේ. සමහර එව්වයේ තේරුම් මෙලෝ පොතක නෑ. එව්වා අපිම හදාගත්ත සුපිරිසිදු අදහස් ප්‍රකාශ වෙන වචන. සිංහල මිස්ලා දන්නේ සාම්ප්‍රදායික සිංහල පොත් වල තියෙන වචන විතරනේ. අපි වගේ අළුත් නිර්මානය කරන්න යන එකක්යැ. ඊටත් එයාලට ඔව්වට වෙලාවත් නැහැනේ.

ඒත් ඉතිං අර දුරුවලයි කිව්වේ… මගේ සිංහල ලිවීමේ හා කියවීමේ හැකියාව නම් නෙමේ. මොකද ඒ දවස් වල ඉඳන්ම අර එක්කෙනෙක්ගේ ආච්චි අම්මා කිව්ව විදියට මං හෙන චැටර් බොක්ස් එකක්ලු. මං දුරුවලයි කිව්වේ… රචනා ලියන්න, කවි පාඩම් කරන්න වගේ එව්වට තමා. කාටද අප්පා පුළුවන් කවි 10ක් විතර එක පාඩම් කරගන්න. ඒ මදිවට එව්වයේ තේරුමත් මතක තියාගන්න ඕනේ.

වැරදිලා හරි කවිය මතක හිටියොත්, ඊට වැඩිය අමාරුයි තේරුම මතක තියාගන්න. ඇයි ඉතිං කවිය ග්‍රීක් වගේ… තේරුම සංස්කෘත වගේ. ඒක නිසා කවි පාඩම් කිරිල්ල මට තිත්තයි. දැන් ඉතිං කියන්න දෙයක් නැහැනේ කවි ලිවීම ගැන. කවියක් පාඩම් කරගන්න බැරි එකෙක්ට කවියක් ලියන්න පූළුවන්ද…?

දවසක් ඔන්න මං පහ වසරෙදි අපේ මල්ලි දෙක වසරේ. මට ස්කෝලේ ඇරෙනකං මල්ලිත් ඉන්නේ මගේ පන්තිය වටේ කැර කැවී කැවී තමා. ඔය පුරුද්දම තමා පස්සේ කාලෙක මල්ලිගේ පන්තියේ හිටිය ලස්සන බෝල ඇස් තියෙන කෙල්ලටත් ආවේ…  ඉතිං ඔන්න මට විභාගේ දවසක මල්ලී ඇවිත් ඉන්නවා පංතියේ දැලේ එල්ලි‍ලා. අපේ මිසුත් මල්ලිව දන්න නිසා ඌට යන්න කියන්නේ නෑ. පොරත් ඉතිං අපේ ජෝක් බල බල ඉන්නවා.

එදා අපිට තිබුනේ සිංහල. මල මගුලයි…. ඊළඟට පන්තිය ඉස්සරහට ගිහිං කවියක් කියන්න තියෙන්නේ මට. දැන් ඉතිං මං දහඅතේ කල්පනා කරනවා කියන කවිය ගැන.

ආහ්… මං කියනවා ඔන්න මලේ ඔය නාමල කවිය… කියලා හිතාගෙන මනසින් පොඩි ටෙස්ටින් පාරක් දාද්දා ඒක ටිකක් අවුල් වගේ. තුන්වෙනි පදේ මතක නෑ… දැන් ඉතිං මොකෝ කරන්නේ…

ඊට පස්සේ තව කවියක් මතක් වුනා. තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා… ඒකෙත් මතක මුල් පදය විතරයි. කොටින්ම ඒ දවස් වල සිංහල‍ පොතේ තිබිච්චි එක කවියක් වත් මට මතක නෑ. අර දෙරියන් සහ හතර රියන් කවිටික වත්, කළුවා ද මොකද්ද කියලා තිබ්බ හරකෙක් ගැන කවිපන්තියවත්… චිරි චිරි චිරි… චිචිරි චිචිරි කියන වැස්ස ගැන කවි පන්තියෙන් කවියක්වත් මතක නෑ කියමුකෝ. දැන් ඉතිං මං මක්කෙයි පන්තිය ඉස්සරහට ගිහිං කියන්නේ…?

ඔහොම හිත හිත ඉද්දී එක පාරට මතක් වුනා මොන්ටිසෝරි කාලේ කිව්ව කවියක්. ඒක නම් මට යන්තං පාඩම්. අර අම්බලමේ පිනා වලං කදක් ගෙනා කවිය. මාත් ඉතිං ඊට පස්සේ ආපු මගේ වා‍රයේදී ඉස්සරහට ගිහිං ගට අරගෙන දුන්නා සවන් පත් ඉරාගෙන යන්න. දැං ඉතිං මට හරි හැපී. මෙච්චර කාලෙකට කවියක් කියාගන්න බැරි මං කවියක් කිව්වානේ. ඒත් ඉතිං කවිය කියලා ඉවරවුනා විතරයි මගේ පශ්චත් බාගය ඉරාගෙන යන්න වැදුන්නැතැ වේවැල් පාරක්. අම්මේ සනීපේ.

දනගහනව ඔහොම… පොඩි එකා වෙන්න එනව මෙතෙන.

ඇයි මී……ස්….? (කොල්ලගේ මූන රතු වෙලා ඇස්යට ඉදිමිලා ආවම මිස්ටත් දුකයි)

ඇයි මිස් කියන්නේ දරුවෝ, බලන්න ඔයා එක කවියක් වත් පාඩම් කරගෙන නැහැනේ…

ඒ අස්සේ අපේ මල්ලිටත් මං ගැන දුක හිතිලා. ඌත් දැලේ එල්ලිලා වව්ලා වගේ ඉන්නවා. අඩුගානේ ඌට තිබුනා මට කවියක් මතක් කරන්න. දුෂ්ටයා… මටත් ඉතිං තිබුනා උගෙන් අහන්න. කොහෙද ඉතිං ඔව්ව කම්පනා වෙනවැයි. ඒ අස්සේ අපේ මිස් මල්ලිට කියනවා…

පුතේ, අද ගෙදර ගිහිං කියන්න අම්මට අයියව මං දනගැස්සුවා කියලා…. කියලා. ඈ… මිස් හදන්නේ මට මෙහෙත් පනිෂ් කරලා ගෙදරිනුත් ඉල්ලලා දෙන්න. මල්ලිත් ඉතිං ඔලුවා වනලා හාං කියනවා. සහෝදර කැක්කුමක් කියලා නැති හැටි මූට. මූව මේ ලෝකෙට ගෙනවෛත් මං නිසා. මට සෙල්ලං කරන්න මල්ලියෙක් ඕනේද කියලා තාත්තා අහපු වෙලේ මං එපා කිව්වනං එහෙම මූ නෑනේ . දැන් එනව මෙතෙන මටම ෂොට් එක දෙන්න. එව්වා කොහෙද මාත් එක්ක. අහුවෙයන්කෝ හවසට ස්කූල් වෑන් එකේදී.

ඔන්න ඉතිං ගෙදර යන ගමන් මල්ලිගේ ඔලුව අතගගා… හොඳ පැට්ටනේ ඔයා අම්මට කියන්න එපා හොඳද… කියලා මාත් කියද්දී මූ ඒකටත් හා ලු. පස්සේ ඉතිං ගෙදර ගිහිං බත් කන කොට මූ කතාව අම්මට කියලා. අම්මා ඇවිත් මගෙන් සීන් එක ඇහුවම ඉතිං මටත් අඬන ගමන් කියන්න වුනා. එදා ඉඳන් ඉතිං මං කවි පාඩම් කිරිල්ල අනිවාර්යයි. ඒත් එහෙම කරලත් විභාගෙට කවි ඇරෙන්න අනිත් ඔක්කොම පස්න වලට උත්තර ලියලා තමා ලකුණු 70ක් 80ක් සේප් කරගන්නේ.

ඔහොම යද්දී ඔන්න අපිට සිංහල සාහිත්‍ය කරන්න වුනා. ඉතිං අම්මගේ යාළුවෙක් ගාවට පන්ති ගියා. සැළලිහිණි සංදේශය එහෙම කියවන්න වුනේ ඔය තැන් වලදී. ඒක නම් ටිකක් අමුතුයි වගේ. මං අර ආසම සබ්ජෙක්ට් එකක් තියෙනවනේ නැචුරල් බියුටි ස්ටඩින්ග් කියලා. ඒක උප‍රිමේටම තියෙනව සිංහල සාහිත්‍යයෙදී. ඉතිං කොහොම හරි ඔය හර බර වචන දාලා ලියලි තියෙන කවි වල තේරුම් ටික අර තියෙන ආසාම නිසාම මට යාන්තං වගේ මතක හිටියා. පස්සෙ ඉතිං ඔන්න කවි ලියන්නත් හිතුනා. ඒ පාර ලිව්වා…

ඒ අස්සේනේ අර පිළිකාවක් හැදුනේ. ඉතිං අර නැචුරල් බියුටි ගැන ලිව්ව කවි වල සවරූපය වෙනස් වෙලා එව්වා ඔක්කොම හාට් ‍ෆ්‍රීසින් බියුටි වුනා. හදවත කූල් වෙන කූල් වෙලා ගල් වෙලා මිදිලා, කුට්ටි වෙන හැඟීම් ගැන ලියන්න ගත්තා. එව්වටත් ඉතිං හොඳ හොඳ ප්‍රතිචාර හම්බුනා.

ඔහොම යද්දී යද්දී මේං කවි නැතුව අමුතුම මෙව්වා වගයක් ලියවුනා. එව්වාට කියන නම දැනගත්තේ පස්සේ කාලෙක. අර නිසදැස් කියන්නේ… අන්න එව්වා. ඊට පස්සේ ඕං බුකියේ ග්රූප් එකක් එහෙම පටන් අරං ලොමු දැහැ ගැන්වෙන නිසදැස් කවි ලිය ඉද්දී ටැංකියක් හදාගෙන කතා ලියන්න ගත්ත‍ා. ඊට පස්සේ එක එක වර්ගේ කතා ලිව්ව‍ා. ඒ අස්සේ සමාජ පස්න, එතකොට ඩබල් මීනින්… පොඩි කාලේ කොරපු වැඩ, කෙල්ලෝ ගැන…. එහෙමත් ලියාගෙන යනවා. දැන් ඉතිං ඔන් ලයින් ටියුටෝරියල් සෙට් එකකුත් යනවනේ.

ඉතිං බලන්න ඉස්සර කවියක් මතකේ තියාගන්න බැරුව හිටිමට වෙච්ච වින්නැහිය. ලියනවා ලියනවා ඉවරයක් නෑ. ඒ අස්සේ ලියන්න එව්වා නැතුව ර‍ට වටේ ඇවිදලත් ලියන්න එව්වා හොයනවා. ඒ යන ගමන් වලදී වෙන අතුරු කතා තමා ඔක්‍කොටම වැඩිය සෝයි. ඉතිං එව්වත් ලියනවා. අනේ මන්දා මං කොහෙන් නවතියිද කියලා…. ඕනේ තැනක නැවතුනාවේ ඔන්න ඔහේ ලියනවා.