පාට පාටින් මූන හැංගිල්ල….

මුන හැංගිල්ල කියන්නේ ඉතිං අපි හැමෝම වගේ සාමාන්‍යයෙන් කරන දෙයක්නේ. අපේ ඇත්ත මූන යට ගහගෙන හොඳ මූනක් පෙන්නන එක කාටවත් අමුත්තක් වෙන්න බෑ. එව්වා ඉතිං කරන්නේ කාවහරි රවට්ටන්න තමා. එහෙමත් නැත්තං කාට හරි ලෙඩක් අදින්න හිතාගෙන. ඒත් මේ කියන මූන හැංගිල්ලනම් කරන්නේ ගොඩක් වෙලාවට අසනීප වෙච්ච කෙනෙක්ව සනීප කරන්න එහෙමත් නැත්තං සිතට යම් සහනයක් අවශ්‍ය වෙච්ච කෙනෙකුට ඒ සහනය ලබාදෙන්න හිතාගෙන.

ඉතිං මේ මුන හැංගිල්ලට මූලිකවම යොදාගන්නේ වෙස් මූන කියලා හඳුන්වන ලී වලින් කැටයම් කරලා නොයෙක් වර්ණ වලින් වර්ණවත් කරපු පළදනාවක්. දන්න විදියටනම් ගොඩක් වෙලාවට වෙස් මූනු හදන්නේ  වෙල් කදුරු ලීයෙන්. වෙල් කදුරුම පාවිච්චි කරන්න හේතුවෙලා තියෙන්නේ ලීයේ ඇති සැහැල්ලු බව වගේම ඕනෑම අතකට හරවා කැටයම් කිරීමේ පහසුව නිසයි. මොකද මේ ලීය කොයි පැත්තෙන් කැපුවත් පතුරු ගැල වෙන්නේ නෑ… ඒ වගේම කල් පවතින ලීයක්.

වෙස් මූනු ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පහත රට හා මුහුදු බඩ කලාප වල කියල තමා දැනගන්න තියෙන්නේ. ඒ වගේම ඒ පැතිවලිනුත් මාතර, අම්බලන්ගොඩ ආදි ප්‍රදේශ විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම වෙස් මූනු වල විවිධත්වය ගොඩක් වැඩියි. අපේ අතීත සාහිත්‍යයේ කියවෙන දෙවිවරු, රජවරු,බිසෝවරු, විවිධ නම් තියෙන හා විවිධ දේ වලට අරක්ගත් අමනුෂ්‍යයින් හා අලි ඇතුන් වැනි සතුන් දක්වාම මේ වෙස්මූනු කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම අපි සමාජයේ නිතර ඇස ගැටෙන චරිත කිහිපයකුත් මේ වෙස්මූනු වලින් හාස්‍යයට ලක් කරලා තියෙනවා.

මේ තියෙන්නේ විවිධ වර්ණ වලින් පැහැ ගන්වපු නැති වෙස් මූනු කිහිපයක්. අපේ රටට පැමිණෙන විදේශිකයින් දැන් දැන් වැඩිපුරම නැඹුරුවක් තියෙන්නේ මේ වගේ කදුරු ලීයෙන් හදලා පාට නොකරපු ලීයේ ස්වභාවික පැහැයෙන්ම තියෙන වෙස් මූනු වලට කියලා තමා ව්‍යාපාරිකයින් කියන්නේ.

මේ එක්තරා විශේෂ වෙස්මූනක්. අපි හැමකෙනෙක්ම කලාත්මකව පැහැ ගන්වන ලද වෙස් මූනු කොයි තරම් දැකලා තිබුනත් මේ වගේ කලු හා සුදු පැහැයෙන් පමණක් අලංකෘත කරන ලද වෙස්මූනු නම් දැකලා නැතුව ඇති වැඩි පිරිසක්…! ඉතිං මේ තියෙන්නේ එහෙම වෙස් මූනක්. වෙළඳ පොලේ ඇති ඉල්ලුම අනුව මේ වගේ නිර්මාණ කෙරෙන බව තමා වෙස් මූනු නිපදවන්නන් කියන්නේ.

මේ වෙස්මූනු අශ්‍රිතවම කෙරෙන තවත් නිර්මාණයක්. කදුරු ලීයෙන්ම කරන ලද කුඩා ඇත් රුවක් සහිත යතුරු රඳවන කීපයක් තමා මේ. මේ සියල්ල දැක බලාගන්නට වගේම මිලදී ගන්නටත් හැකියාව තියෙනවා අම්බලන්ගොඩ පිහිටි වෙස්මූනු කෞතුකාගාරයෙන්. මේ වගේ තවත් බොහෝ දේ නිර්මාණය වෙලා තියෙනවා. ඒවා අතර කුඩා දේව ප්‍රතිමා, ඉතා කුඩා ප්‍රමාණයේ වෙස් මූනු හා විවිධ සත්ව රූපද, අම්බලන්ගොඩ – මාතර ප්‍රදේශ වලට විතරක් ආවේනික රිටක හිඳ මාළු බෑමේ නිරත වෙන මිනිසුන්ගේ නිර්මාණද තියෙනවා.

ඇත්තටම ලංකාවේ අතීතෙයේ ඉඳලම පැවත එන මේ වගේ පාරම්පරික කලාවක් ගැන අහන්න ලැබෙන තොරතුරු බොහොම අපූරුයි. ඉස්සර මිනිසුන්‍ගේ විවිධාකාර ඇදහිලි ක්‍රම හා විශ්වාසයන් මූලික කරගෙන තමා මේ වෙස් මූනු නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අර කලින් කිව්ව වගේ එක චරිත මෙන්ම මිනිසුන්ගේ විවිධ ඉරියව් වලට  පවා ඒ වෙනුවෙන්ම වෙන්වුන වෙස් මූනුත් තියෙනවා. කම්මැලිකම, සතුට, කේන්තිය, වමනය වගේ දේවල් වලට දැන් භාවිතා වුනේ ඉමොටිකන්ස් වුනාට ඉස්සර ඉඳන්ම ඒ ඒ දේවල් වලට අදාල දැනට වඩා පිරිපුන් සංකේතමය මූනු ශ්‍රී ලාංකිකයා පාවිච්චි කරල තියෙනවා.

ඉතිං මේ හැම දෙයක්ම හොයාගෙන ගියේ, ඉරිදට ගෙදර ඉන්න බැරි අමාරුවට පිංසිද්ධ වෙන්න. මේ හැම කරුණක්ම දැන කියාගත්තේ අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකගාරයෙන්. මට මේ කෞතුකාගාරය පෙන්වන්න එක්කං ගිහිං කට්ට කාගෙන සෑහෙන උදවුවක් දුන්නේ මාඩාගේ අම්බලම ලියන මනූජ සහෝ තමා… ඇත්තටම ඒ කෞතුකාගාරයට ගියාම, කාලය හරහා ලංකාවේ අතීතයට ගියා වගේ හැඟීමක් තමා ඇතිවෙන්නේ. බලන බලන හැම පැත්තෙම හිනා වෙලා ඉන්න, විරිත්තගෙන ඉන්න, ඔරෝගෙන ඉන්න…. දිව එලියට දාගෙන හෑ… කියාගෙන ඉන්න එක එක විදියේ වෙස්මූනු වලින් පිරිලා.

නිවාඩු වෙලාවක හරි ගාල්ල පැත්තට යන ගමන් හරි නිකමට හරි ඒ තැනට ගියොත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි… ඒ නැතත් තමන් ඉන්න මූඩ් එකට හරි යන වෙස් මූනක් හරි හොයාගන්න බැරියෑ….

pdf එකක් ඕනේ නම් මෙතනින්…

කඩුව පස්ස පැත්තේ ගහං යුද්ධෙට යන උංදැලා…

දැං ටික දවසක ඉඳන් අපේ ගෙවල් පැත්තේ දහම් පාසල් වහලා. ඉතිං මේ වැඩෙන් කොටස් දෙකකට පට්ටම වාසියි. පළවෙනි කොටස තමා දහම් පාසල් යන්න ඕනේ නිසා ඉරිදා නිවාඩු දවසටත් හරියට නිදාගන්නේ නැතුව නැගිටින දහම් පාසල් යන ළමයි. අනිත් කට්ටිය තමා දහම් පාසල් වල උගන්නවන ගුරුවරු.

ඉතිං මේ ටිකේ දහම් පාසල් නැති නිසා අර පොඩි එව්වෝ නම් කරන්නේ සරුංගලයක් හදාගෙන උ‍ෙද් දහය එකොලහේ ඉඳන් බිං කළුවර වැටෙනකම්ම නූල් දීදි ඉන්න එක. කරුමෙට හරි උදේම වැස්සොත් ගෙට වෙලා හොඳට බුදියනවා. ඊට පස්සේ ඕං හවස් වරුවෙ පෑව්වොත්හෙම ආයෙමත් යනවා කොල්ලෝ සෙටාර් එකත් එකක් වටයක්…!

ඒ දහම් පාසල් යන පොඩි ළමයිනේ. මේ දහම් පාසල් වල උගන්වන ලොකු ළමයි… එයාලටනං ඉතිං ගෙවල් දොරවල වැඩ තියෙනවා. ඒක නිසා ඉතිං ඇත්තටම ලොකු නිවාඩුවක් ලැබුනා වගේ ඇති.

සමහරුනම් දන්නවා ඇයි මේ දහම් පාසල් වල නිවාඩු දීලා තියෙන්නේ කියලා. හේතුව මේකයි. පානදුරේ ප්‍රසිද්ධ පන්සලක් කිට්ටුව සුරාසැලක් විවෘත කරන එකලු මහ ලොකු හේතුව. ඇත්තටම මං නම් ඔය සුරා සැල අරින වැඩේට විරුද්ධයි. හැබැයි ඊඨත් වැඩිය විරුද්ධයි දහම් පාසල් වහලා දාලා තියෙන එකට.

මොකද සුරා සැලක් විවෘත කරන එකට විරුද්ධ වෙන්න ඕනේ කියලා දහම් පාසල් වහනවා කියන්නේ, ඉස්සරහින් සතුරු සේනාවක් කඩු අමෝරාගෙන… තෝව කපනවා කියලා කෑගහගෙන එද්දී… තමන් අතේ තියෙන කඩුව පස්ස පැත්තේ ගහගෙන… හා පුළුවන්නම් කපාපියවු… කියන්න වගේ වැඩක්. සතුරන්ට නෙලන්න කඩුව අදිද්දි උගේ පස්ස පැත්ත කීතු වෙනවා කියලා මහ ලොකු රණකාමියටත් තේරෙන්නේ නෑ. මොකද පොර ඉන්නේ කේන්තිය ඉහවහා ගිහිංනේ.

ඇත්තටම මෙතෙන්දි වෙන්නෙත් ඒකමයි. පන්සල් වල හාමුදුරුවරු, ලොකු ලොකු දායක දායිකාවෝ එකතු වෙලා විරෝධය පාන්න දහම් පාසල් වහනවා…. අරහෙ ඉරිදා දහම් පාසල් ගියා පොඩි එවුන් එක එක ම‍ගෝඩි වැඩ කරනවා ඉරිදා නිවාඩු නිසා.  වැඩිය ඕනේ නෑ අපේ පැත්තේ එවුන්නම් වැල බලනවා ගෙවල් වලට සෙට් වෙලා. තව එවුන් ඉරිදා නිවාඩු නිසා තාත්තට සිගරට් ගේන්න කඩේ යනවා.

මගේ මෝඩ මොලේට තේරෙන විදියට කියනවනම්… කරන්න ඕනේ දහම් පාසල් වහලා දාන එක නෙමෙයි.  පුළුවන්නම් සෙනසුරාදත් දහම් පාසලක් දාලා තවත් දහමු දැනුමින් පෝසත් කරන එක. මොකද බොන එකා සුරා සැල ලඟ පාතක තිබුනත් දුරක තිබුනත්  මොන ක්‍රමෙන් හරි බොනවාමයි. හරි විදියට කරන්න ඕන් සුරා සැල් ඇරගත්තදෙන් කියලා පොඩි එවුන්ව බොන්නෙ නැති, යහපත් කල් ක්‍රියාවකට හැඩගස්සන එක. ඒත් මුං කරන්නේ ඒකෙ අනිත් පැත්ත.

අනික මං දන්න තරමින් ඔය ලොකු ලොකු පන්සල් වල ‍හාමුදුරුවරුන්ට,  මැති ඇමති වරු එක්ක තියෙන්නේ අදහන්නවත් බැරි තරම් ස්ට්‍රෝන්ග් කනෙක්ෂන්ස්. එක කෝල් එකෙන් ඇමතිවරු 10ක් පන්සලට ගෙන්න ගන්න පුළුවන් හාමුදුරුවරු ඉද්දී ඇයි මේ විදියට දහම් පාසල් වහන්නේ…? ඒ අයට බැරිද ඔය ලොකු ලොක්කෝ එක්ක පොඩි කතාවක් දාලා ඔය සුරාසැල අරින එක නවත්තන්න….? රන්වැටක හදන්න ලක්ෂ ගනනින් ආධාර දෙනවනම්, තෑගි බෙදාදීමකට තම සල්ලි වියදම් කරලා ඔක්කොම කටයුතු කරනවනම්, ඇයි බැරි මේ ව‍ගේ රටක් වටින වැඩක් නවත්තලා දෙන්න…?

එක පන්සලක් ඉස්සරහා අරින්න යන සුරා සැලක් වෙනුවෙන් අවට ගම් කිහිපයකම දහම් පාසල් වසාදැමීම ගැන මං සෑහෙන්න දුක්වෙනවා. සමහර විට එකමුතුකම පෙන්නන්න වෙන්න ඇති අනිත් දහම් පාසලුත් මේකට සම්බන්ධ කරගන්න ඇත්තේ. ඇත්තටම මේ විරෝධය දක්වන්නේ සුරා සැල නිසා පන්සල අවට පරිසරය හා සාමජය කිලුටු වෙනවා කියලා තමා. ඒ කතාව ඇත්ත වෙන්න ඇති. ඒත් මේ විරෝධතාවයට අත් උස්සලා සහභාගී වෙන අය පොඩ්ඩක්වත් හිතුවද මේ වගේ වැඩක් නිසා පුංචි ළමයින්ගේ හිත් කිලුටු වුනාම ඒක ඒ අයගේ සහ අනාගත පරිසරයට, වගේම සමාජයටත් කොයිතරම් බලපායිද කියලා….  බොන්නේ නැති අමද්‍යප සෙට් එක බාර් එක දාන්න එපා කියලා විරෝධය පෑවට කමක් නෑ… ඒක ඇත්තටම හොඳයි. වෙනව බාර් ඕනේ නෑ තමයි. ඒත් ඒකට මේ පුංචි එවුන්ව අවියක් කරගෙන උංගේ හැදී ගෙන ලෝක වලට හෙනයක් වෙන්න එපා. මහ ලොකු උපාසක මහත්තුරු දන්​නෙ නැතුවද මංදා, බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු වටපිටාවෙත් ඌරෝ මරන තැන්, සුරා හල්, ගණිකා නිවාස එහෙම තිබුනා. ඒත් බුදුරජාණන් වහන්​සේ එවුවා තිබුනයි කියලා තමන්ගේ ධර්මය දේශනා කරන එකවත්, අනිත් අයට යහපතක් සලසන එකවත් නැවැත්තුවේ නෑ….

මං දන්න තරමින් දැන් මාසයකට වැඩි කාලයක ඉඳන් දහම් පාසල් වහල දාලා. දහම් පාසල් යන ළමයි කියන්නේත් කුතුහලයෙන් පිරිච්ච වයසක ඉන්න කාන්ඩයක්. ඉතිං උංට වැරැද්දක් කියන්න බෑ… මොකද මාත් දහම් පාසල් ගියානේ. මාත් ඉස්සර නිවාඩුවක් හම්බෙන කං තමා බලාගෙන ඉන්නේ. ඒක නිසා මාත් දන්නවා නිවාඩුවක් හම්බුනාම කරන වැඩ ගැන. ඒක නිසා මං ආයෙම කියන්නේ සුරා සැලක් නිසා දහම් පාසල් වහලා දාලා මේ කරන්නේ බරපතල වැරැද්දක්. වැරැද්දකටත් වඩා ඒක මහ පවක්….! හරි පා‍ෙර් යන්න ඉන්න පොඩි එවුන්ට හරි දේවල් ඉගෙන ගන්න තියෙන එකම දවසත්  නැති කරලා මේ කරන්නේ ඇත්තටම ලොකු පවක්….!

දැන ඉතිං සමහරු කියයි… අපෝ අපේ ළමයිනම් එහෙම නෑ, දහම් පාසල් නැති වුනා කියලා ඉරිදට ගෙයින් එලියට බහින්නේ නෑ කියලා. හරි කමක් නෑ… ඉරිදට ගෙයින් එලියට නොබැස්සට ගෙටම වෙලා ටීවී එකේ පෙන්නන නාඩගම් ටික බලනව ඇතිනේ… ඒ ඇති  හොඳටම… ගෙට වෙච්චි නැති එවුනුත් ඇඟිල්ලෙන් ඇනගෙන හරි ගෙට වෙන්න…!

ආයෙමත් ට්‍රිප් එකක්….

හැම අතින්ම සීතල හුළං පාර. බස් එකේ එකේ වීදුරු අස්සෙන් ඇදී ගෙන ඇවිත් මූනේ හැපෙද්දී තියෙන සනීපේ. කොළඹ අවට පැතිවල තියෙන රත්වෙච්ච දුම් පිරිච්ච විස වායූන් ගෙන් අපිරිසිදු වෙච්ච වායු‍‍ගෝලයේ පුංචිම පුංචි සලකුණක්වත් මේ ප්‍රදේශයේ හොයාගන්න වත් නෑ‍. වාහන වල සද්ද ඇහුනම හතර වටෙන්ම ඇහෙන්ම එක එක කුරුල්ලන්ගේ සද්දයි ලඟින්ම තියෙන දිය ඇල්ලක් පහලට කඩා වැටෙන සද්දෙයි විතරයි. ඉතිං මං ඒ කිට්ටු වෙලා හිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාවට. මහා සෝෂාවක් වගේ ඇහෙන සද්දේ එන්නේ ගොඩ දෙනෙක් දන්න රම්බොඩ ඇල්ලෙන්.

ඉතිං රම්බොඩ ඇල්ල දැකලා තියෙන්නේ කව්ද….? මං හිතන විදියට ගොඩ දෙනෙක් රම්බොඩ ඇල්ල සජීවීව නොදැක්කත් ෆොටෝ එකකින් හරි දැකලා ඇති. මං නම් රම්බොඩ ඇල්ලට ගියා. ඒ 2008 විතර. අපේ ඔෆිස් එකේ වාර්ෂික විනෝද චාරිකාව යන ගමන් තමා ඒ ගියේ. දැන් බලමු  රම්බොඩ ඇල්ලේ විස්තර ටිකක්. කවදහරි යන්න කලින් මෙව්වා දැන ගෙන ගියාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ….

ඉතිං මේ රම්බොඩ ඇල්ල පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 945ක් උසින්. ඇල්ලේ සම්පූර්ණ උස මීටර් 109ක් විතර වෙනවා. ඒ වගේම ලෝකෙම තියෙන දිය ඇලි වලින් 729 වෙනියට උසම දිය ඇල්ල තමා මේ. ඒ වගේම මේ දිය ඇල්ල කඩා හැලෙන්නේ කොටස් දෙකකට. ඇත්තටම උස වගේම ලස්සනනිත් කිසිම අඩුවක් නෑ. කොළඹ ඉඳන් රම්බොඩට දුර කිලෝමීටර් 162ක් විතර වෙනවා. ඉතිං රම්බොඩට යන පාරේ තියෙන රම්බොඩ ඇල්ල කිට්ටුවම තියෙන උමග ඇතුලෙන් ගිය ගමන්ම පේන්නේ දිය ඇල්ල. ඊට වම් පැත්තෙන් තියෙනවා රම්බොඩ හෝටලය. ඒකත් හරිම ලස්සන තැනක්.

රම්බොඩ හෝටලයේ හැම තැනක්ම හොඳින් නඩත්තු කරන ලස්සන ලස්සන ගස් වර්ග වලින් පිරිලා තියෙන්නේ. හවස් වෙනකොට ඒ හැම තැනක්ම මීදුමින් වැසී ගෙන යනවා. ඒ වගේම අනිත් දියඇලි වල වගේ නෙවෙයි රම්බොඩ දිය ඇල්ලේ පාමුලටම ගිහිං වතුරේ බැහැලා නාගන්න වුනත් පූළුවන්. රම්බොඩ නාවතැනේ ඉඳන් දිය ඇල්ල පාමුලට යන්න තියෙන්නේත් දෙපැත්තෙම මල් ගස් වලින් පිරිච්ච පාරකින්. ඒ එක්කම කියන්න ඕනේ දිය ඇල්ල පාමුලට වැටිලා තියෙන ගල් තලාව දිය සෙවෙල වලින් පිරිලා නිසා ලිස්සන සුළුයි. මාත් ලිස්සලා ගිහිං වැටුනා‍. තුවාලයක් නම් වුනේ නෑ… කෙලින්ම වතුරටම වැටිච්ච නිසා. ඒ වගේම තමා වතුරේ තියෙන සීතල. ඒ වතුරට බැහැලා ආයේ ගොඩ එනවා කියන්නේ… හරියට වතුරෙන් ගොඩ දාපු මාලූවෙක් එහෙට මෙහෙට දඟලනවා වගේ තමා. ඒ තරමටම හැමෝගෙම ඇඟවල් ගැහෙන්න ගන්නවා. මං දන්න තරමින් කොයිතරම් ඇඟ රත්කරගෙන බැස්සත් ඒ සීතලටනම් ඔරොත්තු දෙන එකක් නෑ…

ඒ වගේම තමා හෝටලයේ තියෙන පහසුකම්. කිසිම අඩුපාඩුවක් කියන්න දෙයක් මං නම් දැක්කේ නෑ. මේ වගේ සීතල පැත්තකට ගියාම හැම කෙනෙක්ම තමන්ගේ ඇඟ සෝදා ගැනීම් නෑම් වගේ දේවල් වලට හොයන උණු වතුරේ ඉඳන් අනෙකුත් සියලුම පහසුකම් වලින් පිරපුන් නවාතැනක් තමා රම්බොඩ හෝටලය. දිය ඇල්ලේ විසිතුරු නරඹන්න පුළුවන් වෙන්න හොටලයේ ඉස්සරහින් හදලා තියෙනවා පොඩි ආලින්දයක්. ඊට අමතරව හෝටලයේ කාමර ගොඩකටම, ඒ කාමර වල ජනේල ගාවට ගියාම දිය ඇල්ල පේනවා. ඒ වගේම තමා ආහාර පානත්‍. කිසිම අඩුවක් කියන්න නෑ. ඉතිං ඔය කව්රු හරි කෙනෙකුත් රම්බොඩ ඇල්ල බලන්න ගිහිං හෝටලයේ රැයක් දෙකක් ඉදලා එන්න හිතාගෙන ඉන්නවා නම් රම්බොඩ ඇල්ල  හෝටලයේ වෙබ් අඩවියෙන් කාමර වෙන් කීරීම් වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව විශේෂ අඩු ගාස්තු යටතේ කාමර වෙන්කරගනීම් සහ වෙනත් පහසුකම් සපයා ගැනීමක් කරගන්න අවශ්‍ය නම් අපේ ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීත අයියට කතා කරානම් ඒ වැඩ ටික කරගන්න පුළුවන්. මෙන්න අභීත අයියගේ මොබයිල් එක…071 4449162. (අභීත අයියගෙන් අහලා දැම්මේ)

ඊට පස්සේ දිය ඇල්ලෙන් නාලා කරලා එහෙම රාත්‍රි කෑම සුදානම් වෙන තුරු අපි නම් කලේ වටේ පිටේ ඇවිද්ද එක. උමග ඇතුලෙන් දෙතුන් පාරක්ම එහාට ‍මෙහාට යන එකත් නියම වැඩක්. ඊට පස්සේ ඒ පාර දිගේ අනිත් පැත්තට කෙලින්ම ගියාම හම්බුවෙනවා පොඩි පොඩි කඩ තියෙන පුංචි කඩපිලක්. ඔයාලට අවශ්‍ය කරන ශීත හිස් වැසුම් එහෙමත් එතෙන තියෙනවා. ඊට අමතරව බහුලම දේ තමා විවිධ වර්ගයේ මල් පැල. වැඩියෙන්ම තිබු‍නේ පුංචි පුංචි පාට පා‍ට මල් පිපිච්ච කපුර පැල. එතකොට අලිගැට පේර වගේ පලතුරු වර්ගත් ඒ කඩ පිල්වලින් ලබාගන්න පුළුවන්. ඒ පලතුරු නිකංම ගස් වල හැදෙන ඒවා මිසක් නගරාශ්‍රිත අපිට කන්න හම්බුවෙන ගස් වල හදවලා බලෙන්ම ඉදවපුවා නෙමෙයි. බොරු නම් ඔයාලා කවදහරි ගිය දවසක දැක ගන්න පුළුවන් වෙයි රම්බොඩ හෝටලය හා ඒ අවට ගෙවතු වල අලිගැට පේර ගස්වල කොයි තරම් පලදාවක් හටගෙන තියෙනවද කියලා.

ඉතිං සංචාරය කරන්න, අළුත් අත්දැකීම් ලබාගන්න කැමති අයට දවසක් දෙකක් ගත කරන්න හොඳ තැනක් තමා රම්බොඩ කියන්නේ. ඒ වගේම ඔය ලඟදී බඳින්න ඉන්න ජෝඩු වලටත් මරුම ප්ලේස් එකක් පැනි හඳ බලන්න.

දැන් ඉතිං කට්ටය අහයිනේ ඇයි මේ මට එකපාරටම රම්බොඩ ගැන ලියන්න හිතුනේ, මුගේ මගුලවත් කිට්ටුද දන්නේ නෑ… කියලා… හේතුව තමා මේ පාරත් අපි ඔෆීස් එකෙන් යන විනෝද චාරිකාව යන්නේ රම්බොඩට ගිහිං. ඉතිං ඒක නිසා තමා මේ විස්තර ටික බෙදා ගන්න හිතුවේ.

කොල්ලන්ට පමණයි… කෙල්ලන්ගේ විගඩම්…

හා දැං කොල්ලෝ ටික ඔය ඇරගෙන ඉන්න කටවල් වහගන්න. අද කියන්නේ කුනුහබ්බයක් නෙවේ. මේකත් කොල්ලොන්ට වැදගත් වෙන කතාවක්. හැබැයි ඉතිං මේ කියන්න යන දේ 99%ක් විතරම පාවිච්චිය ගෑණු දරුවො තමා.

ඉතිං අද මේ කියන්න හදන්නේ, තමන්ගේ හිතගත්ත කෙල්ලගේ අත්ල, පාදය, නියපොතු එහෙම සිරාවටම ලස්සන කරගන්න විදියක් ගැන. කව්ද අකැමැති තමන්ගේ කෙලි පොඩ්ඩ ලස්සනට ඉන්නවා බලන්න…. දැන් ඉතිං මට කොහේ හරි හෝටලයකින් කෑමක් සෙට් වෙයිද දන්නේ නෑ, අනුන්ගේ ගෑණු ළමයින්ගේ අත් කකුල් දිහා බලන්න යනවා කියලා…. කොහොම හරි කමක් නෑ ඕනෙ ඔට්ටුවක් දානවා පිරිමි ළමයි ගොඩ දෙනෙක් මේක ගැන දන්නේ නෑ…. පිරිමි ළමයි විතරක් නෙමේ ගෑණු ළමයිනුත් සමහරවිට මෙහෙම දෙයක් ගැන දන්නේ නැතුව ඇති. මං දැන ගත්තෙත් ඒ වගේ ලස්සන අත් දෙකක් තිබ්බ කෙලි පැට්ටක් මට හිටිය නිසා…. එයාගෙන් තමා ගොඩක් දේවල් දැන ගත්තේ මේ කලාව ගැන.

හරි මේකයි කතාව. කට්ටිය හිංදි කතා, චිත්‍රපටි එහෙම බලලා තියෙනවනේ. දෙමළ ඒවායෙත් තියෙනවා. දැං ඉතිං ඔය මොකුත් නොබලපු අය ඉන්නවනම්… ඒ අය අඩුම ගානේ රන් දෙපැයවත් බලලා ඇතිනේ. ඉතිං ඒ බලද්දී ඔයාලා දැකලා ඇතිනේ ඒ කතාවල රඟපාන ගෑණු ළමයින‍්ගේ අත්වල අත්ලේ, එතකොට පාද වල… නියපොතු වල එහෙම දුඹුරු පාටින් වගේ පාටකින් එක එක විදියේ ලස්සන ලස්සන රටා ඇඳලා තියෙනවා. ගොඩක් වෙලාවට ඇඳලා තියෙන්නේ රවුම් හා ඒ ආශ්‍රිත දේවල් තමා. ඉතිං මෙහෙම අඳින රටා වලට කියන්නේ මෙහින්දි රටා කියලා. හෙනා කියලත් කියනවා. හින්දු විවාහයන් වලදී මනමාලිව සරසන්න අනිවාර්යෙන්ම මේ මෙහින්දි කලාව යොදා ගන්නවා.

මෙහින්දි රටා ලංකාවෙනම්‍ ගොඩක්ම භාවිතා වෙන්නේ මුස්ලිම් ගෑණු ළමයි අතර හා දෙමළ ගෑණූ ළමයි අතර. ඉතිං මේ හෙනා කියන්නේ මල් හැදෙන පැලෑටි විශේෂයක්. සාමාන්‍යයෙන් පඳුරු වශයෙන් හැදෙන මෙම ගස් මීටර් 2ක් 3ක් විතර උස යනවා. ඒ වගේම හෙනා පැලෑටිය අප්‍රිකාව, දකුණු ආසියාව වගේ රට වල සාමාන්‍යයෙන් වැවෙනවා. තව ගොඩක් රටවල් වල හෙනා පැලෑටිය වානිජ වශයෙන් වගා කරනවා. ඉතිං හෙනා වලට බෙහෙවින්ම ජනප්‍රිය ඉන්දියාව වගේම තමා… හෙනා නිෂ්පාදයන වැඩිත් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ.

‍ඒ වගේම හෙනා ගහේ කොල වලින් තමා ඉතිං මේ සෙල්ලං ඔක්කොම දාන්නේ. හෙනා ගහේ ‍වියළුන නැති නැවුම් කොල පොඩි කරලා තමා හෙනා පවුඩර් එක සකසා ගන්නේ. ඊට පස්සේ හෙනා කලාවට ආවේනික ගොට්ටක් වගේ හැඩයකින් යුක්ත උපකරණයක් තුලට හෙනා පවුඩර් හා දෙහි මිරිකා ගත් යුෂ මිශ්‍රණය දානවා. ඔය දෙහි මිශ්‍රණය වෙනුවට වෙනත් රටවල නම් අන්නාසි යුෂ, කහට තේ එහෙමත් යොදා ගන්නවාලු. ඒත් ලංකාවේ නම් පාවිච්චි කෙරෙන්නේ දෙහි යුෂ හෝ ඒ හා සමාන ක්‍රියාකාරීත්වයක් ඇති වෙළඳ සැල් වලින් ලබාගන්න පුළුවන් ආම්ලික ද්‍රාවන විතරයි.

ඇත්තටම මේ හෙනා කියන්නේ තාවකාලික පච්ච කෙටීමක් හා සමානයි. මොකද මේ හෙනා වලින් යම් උත්සව අවස්ථා සඳහා පමණක් ශරීරයේ විවිධ අලංකාර පච්ච ඇඳ ගන්න පුළුවන්. එව්වයේ කාල සීමාව තීරණය වෙන්නේ ලබාගන්නා හෙනා පවුඩර් එක අනුව තමා. ගොඩ දවසක් පච්චය තියාගන්න ඕනේ නම්, ඒ සඳහා සකස් කරපු හෙනා වර්ග වගේම පැය කීපයක් සඳහා සකස් කල හෙනා වර්ගත් වෙළඳ පොලේ තියෙනවා.

ආහ්… හෙනා වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ස්වාභාවික හෙනා සහ කළු හෙනා කියලා. ඒ වගේම හෙනා පාව්චිච කරනවා කොන්ඩය පාට කිරීමටත්. ස්වභාවික හෙනා වල නම් ඇත්තෙන්ම අඩංගු වෙන්නේ හැනා පැලෑටියේ කොල වල පවුඩර් එකම නෙමේ. ඒ සඳහා යොදාගන්නේ වෙනත් ශාක පත්‍රය. ඒ වගේම ඒවායෙන් කොන්ඩයේ පාට විකෘති වීමක් සිද්ධ වෙන්නෙත් නෑ. ඊට පස්සේ කලු හෙනා. කළු හෙනාවල හෙනා පත්‍රයේ කුඩු අඩංගු වුනත් සෑහෙන ප්‍රමාණයකින් වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගුයි. ඒ රසායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදකයින් බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් ඉක්මනින් හෙනා රටාව මතු කර දැක්වීමයි. ඒක නිසාම මේ කළු හෙනා වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ සංචාරකයින් බහුලව පැමිණෙන ප්‍රදේශ වල හා රටවල් වල තමයි.

ඉතිං පෙනේද හෙනා වල ර‍ඟේ. කව්ද  ඉතිං අකමැති වෙන්නේ ඔච්චර ලස්සනට දෑත හැඩ කරගන්න පුළුවන් හෙනා පවුඩර් එකක් තමන්ගේ ගෑණු ළමයට ගිහිං දෙන්න. ලංකාවේ ගාන දැන් නම් කීයද දන්නේ නෑ…. දැනට අවුරුදු කීපයකට කලින්, ඒ කියන්නේ අර ළමයාගේ අත්දෙක දිහා බලාගෙන ඉන්න දවස් වල නම් එක හෙනා ගොටුවක් රුපියල් 90ක් විතර වුනා.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මේ හෙනා වලට සාඩම්බර අතීතයක් තියෙනවා. කොටින්ම කියනවා නම් ආදී ලෝකඩ යුගයේ ඉඳන්ම එක එක දේවල් වලට මේ හෙනා භාවිතා කරලා තියෙනවා. ඒත් නිකං මේ අපි වගේ සාමාන්‍ය ජනතාව නෙවේ…. රජ පවුල් වල කාන්තාවෝ. ඒ කියන්නේ රැජිණියෝ, රජ දූවරු වගේ අය. දැන් ඉතිං ඔය කියන දෙයක් අහන්නේ නැතුව මේ පෝස්ට් එක කියවපු ගෑණූ ළමයි, එයාලගේ භාරකාරයන්ගෙන් හෙනා ඉල්ලලා හෙන වෙන්න එපා. ඕනෙම නං තමන්ම එකක් අරගෙන හැඩ වැඩ දාගෙන ගිහිං පෙන්නුවනම් ඊළඟ දවසෙම තව හෙනා පවුඩර් පැක් තුන හතරක් හම්බු වෙනවා ෂුවර්.

මේක සමහරුන්ට ඇත්තටම විගඩමක්. ඒත්…. අනේ මන්දා මට නම් හරි ජොලි වැඩක්. හිතුනොත් එහෙම හෙනා පැක් දෙක තුනක් මමත් ගෙනිහින් දෙනවා, මේං ගාගෙන හැඩ වෙන්න කියලා….

ලෝකේ තුන්වෙනියට ජනප්‍රිය… සුමිහිරි පානේ….

අපි කව්රුත් දන්න ජලය හා (කළු) තේ වලට පස්සේ තමා මේ කියන සුමිහිරි පානේ තියෙන්නේ. කවුරුත් ඉතිං මේක බිව්වට වැඩිය හිතන්නේ නෑ… අපි මේ බොන්නේ ලෝකේ තුන්වෙනියට ජනප්‍රිය ඒ වගේම සෑහෙන ලොකු ඉතිහාසයකට හිමිකම් කියන බීමක් කියලා….

ඉතිං මේ බීම ගැන ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 9500 දක්වා ඈත‍ට දිව යනවා. ඒ වගේම මේ බීම නිපදවීම කාලයත් සමග දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර දාඩිය පෙරාගෙන දඟල දඟල කරපු බීම නිෂ්පාදන කටයුතු හිමින් හිමින් යාන්ත්‍රානුසාරයෙන් කරන්න පටන් අරං තියෙනවා. ඒ වගේම අපි නොදන්නවා වුනාට මේක ශාක සාර ද්‍රව්‍ය වලින් නිපදවන බීමක්. වැඩිපුරම යොදාගන්නේ බාර්ලි කියන ධාන්‍ය වර්ගය. ඔව්වම තමා බෞද්ධ සාහිත්‍යයේ සමහර තැන්වල යව ධාන්‍ය කියල කියවෙන්නේ…. ඊට පස්සේ වතුර, බීර මල් කියන එව්වා එහෙම දාලා  ඊස්ට් මගින් පැසවීමට ලක් කරලා තමා මේ බීම හදන්නේ. ඒ පැසවීමේ සීන් එකත් මරු. මුලින්ම උණු වතුර හා බාර්ලි එකට දාලා බාර්ලි තැම්බෙන්න අරිනවා. ඉතිං ඒ ක්‍රියාවලියට පැයක් දෙකක් විතර කාලයක් ගන්නවා. ඒ අතර කාලෙයෙදී බාර්ලි පැනි රස තත්ත්වයට හැරෙනවා. ඒ කියන්නේ නිකං සීනි වගේ වෙනවා. ඊට පස්සේ අර බාර්ලි පුංචි පහේ ඇඹරුමකට ලක්කරනවා. ඒ කරන්නේ බාර්ලි වල තියෙන පෝෂක කොටස් එතකොට සියළුම සාරය ලබාගැනීමේ අදහසින් තමා. පස්සේ ඒ ද්‍රාවනය පෙරීකමකට ලක්කරනවා. එහෙම කරන්නේ බාර්ලි රොඩු කොටස් ඉවත් කරලා පිරිසිදු දියරයක්ලබාගන්න. ඊටත් පස්සේ ඕං බීර මල් කියන  කොල පාට ගෙඩි විශේෂයක් දාලා ආයෙම අර සීනි රසැති සාරය රත්කරනවා. ඒ කරන්නේ පැනි රස ගතිය අඩුවෙලා තිත්ත රසක් එන්න.  අනේ ඇත්තට පැනි රස තිබ්බනම් මොකද…? ෆැන්ටා වගේ ඇදලා අරින එකනේ තියෙන්නේ….

දැං ඉතිං ඔහොම ගිහිං ගිහිං… අන්තිමේ ඒ තිත්ත රසති බීමට එකතු කරනවා ඊස්ට්… එතනදී තමා නියම පැසවීමක් සිද්ධවෙන්නේ… ඒ ක්‍රියාවලිය මගින් තමා බීමේ තියෙන මධ්‍යසාර ගතිය වැඩි කරගන්නේ….

ඒ වගේම මේ රත්තරං පාට රත්තරං වටින බීමේ පාට තීරණය වෙන්නේ බාර්ලි වලින් තමා. වෙන වෙන දේවල් එකතු කිරීමෙන් රතු පැහැති, තද දුඹුරු පැහැති හා ලා කහ  පැහැති බීම වර්ගත් දැං වෙළඳ පොලේ තියෙනවා. දැං කිව්වට ඉතිං ඉස්සර පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාරය එතකොට මෙසපො‍තේනියානු ශිෂ්ඨාචාර පැවති දවස් වල ඉඳන්ම තමා මේ බීම පැවත ගෙන එන්නේ කලිං කිව්වත් ව‍ගේ. ඒ මදිවට ඒ දවස් වලත් දැන් වගේම මේ බීම හදන්න වෙනම චූටි චූටි කොම්පැනි තිබිලා තියෙන ඒ නගර ආශ්‍රිතව. බොරු නෙමේ… කැණීම් කරපු උන්දලා තමා කියලා තියෙන්නේ, මෙව්වා යොදාගෙන තියෙන්නේ එව්වා හදන්න කියලා.

ඉතිං මේවගේ යම් ප්‍රමාණයකට ඇල්කොහොල් චුට්ටකුත් අඩංගුයි…. ඒ ප්‍රමාණය එකින් එක වර්ග වලට අනුව වෙනස් වෙනවා. අනේ මන්දා ලංකාවේ තියෙන ඔක්කොගෙම 8%යි…. හැබැයි එක වර්ගයක නම් ටිකක් වැඩියි වගේ… මේ බීම එක ටිකක් හෙලෙව්වම ඒකෙන් නාන්න තරමට පෙන එන්නේ මේ බීම ඊස්ට් එක්කරලා ක්ෂුද්‍ර ජීවීන්ගේ පැසවීමේ ක්‍රියාවලියට යොදවලා පස්සේ මේ බීමට කාබන් ඩයොක්සයිඩ් වායුව එකත් කරන නිසයි. ඒකනේ වීදුරුවකට දාද්දි වුනත් වතුර දානවා වගේ නැතිව වීදුරුවේ බිත්තිය දිගේ හිමීට වැක්කෙරෙන විදියට දාගන්නේ…

අනිත් එක තමා මේ බීම වර්ගය කාමර උෂ්නත්වයේ තියන්න පුළුවන්. ඒත් ඉතිං නිෂ්පාදකයා අනුමත කරන විවිධ උෂ්නත්ව පරාස වල බීම වර්ගය රඳවා තියලා පාවිච්චියට ගන්නවනම් පට්ටම ෆන්ලු. ඒ කතාවනම් කොහොමත් ඇත්ත වෙන්න ඕනේ… මොකද කූල් කරපු එකක් බොන කොට තියෙන ගතිය දන්නේ බොන එවුන්ම තමා. එහෙම නැතුව කූල් නොකරපු හරි, කූල් එක අඩු වෙලා ගිය හරි එකක් බොනකොට …. ඊයා … නිකං පනු බේත් බොනවා වගේ. පනු බේත් වලටත් වැඩිය ක්‍රියාකාරීයි සමහර වෙලාවට.

මේ බීම ජාතිය ලංකාවේ කාන්තාවන් අතර අඩුවෙන් ජනප්‍රිය වුනාට, හෙන ඈත අතීතේ ඉඳන්ම කාන්තාවනුත් මේ බීම හදන්න සහයෝගය දීලා තියෙනවා. ඒ වගේම බටහිර රටවල් වල නම් මේක ගැහැණු අයගේ බීමක් කියලලු හඳුන්වන්නේ… ඒකට කමක් නෑ.. අපේ කලිසම ගෑණු අඳිනවනම් අපි බීම බිවුවම මක්ක වෙනවද…? (එහෙමවත් කියමු නැත්තං බේරුමක් වෙන්නේ නෑ… පිරිමි බොන එව්වා බොන්න කියලා) අනිත් එක තමා පිට රට වල මේ බීම වර්ගය බොන තරඟත් තියෙනවා. අපේ රටේත් සමහරවිට ඇති. මං ඒ ගැන නම් දන්නේ නෑ… අපේ රටේ තිබුනොත් තියෙන්නේ ඉතිං පිටි නාගෙන සතේ හොයන තරඟයක් හරි ඇස් දෙක බැඳලා ඉඳා… පොල්ල… ගිහිං ගහපිය…. කියලා කියන තරඟ තමා. ඔය වගේ වැදගත් තරඟ ‍කොහෙන්ද අපේ රටේ…

ඒ වගේම මේ පානයේ ශරීරයට අහිතකර ස්වාභාවක් පෙන්නනවා වගේම මධ්‍යසාර අඩු බීම වලින් පිළිකා නසන සෛල වර්ධනය වෙනවා කියලත් වෛද්‍ය කණ්ඩායම් විසින් පරීක්ෂන කරලා හොයාගෙන තියෙනවා. ඒක නිසා ඉතිං වැඩියම බය වෙන්න දේකුත් නෑ. මමත් දන්න තරමින් බඩේ අමාරුවක් හැදුනම අපේ පැරැන්නෝ මීට වැඩිය සැර දේවල් වලින් චුට්ටක් දා ගත්තට කමක් නෑ කිව්වලු. එහෙව් එකේ බඩගිනි වදින ගතියකුත් අන්තර්ගත වෙලා තියෙන මේ බීම ජාතියෙන් කෑමට කලින් ‍වීදුරුවක් නමා ගත්තම මක් වෙනවද…?

දැං ඉතිං ඔය මස් මාළු නොකන අය…. අඩේ මේක සෝක් බීමක්නේ…. තනිකර ශාකසාර බීමක්නේ කියලා එහෙම බෝතලේ කටේ ගහගන්නවා නෙමෙයි. මොකද මේක මධ්‍යසාර සහිත බීමක්නේ ඒකයි. දැන් ඉතිං කවුරුත් දන්නවා මොකද්ද මේ බීම කියලා… දන්නේ නැතුව වගේ ඉන්න බබාලත් ඉන්නවනේ… ඒක නිසා ඉතිං මංම කියන්නම්…. මේ තමා අපේ දුකට සැපට සුමිතුරු බියර්….. මෙච්චර කල් කටේ ගහන් බිව්වට මේක මේ තරම් වැදගත් බීමක් කියලා දැනන් උන්නේ නෑනේ… දැන් දන්නවනේ ඉතිං මේකට කොච්චර ඉතිහාසයක් තියෙනවද, මේක හදන්නේ මොනවායින්ද කියලත්…. දැන් ඉතිං වෙල් ෆැන්ටා, සඳරුගේ මුල්ල පටස් වගේ හැකරැල්ලෝ, බිලිං පල්ලෝ, කටු කම්බි, මදුරු කොයිල් වගේ ජරාව දාලා හදන බීමක් නෙමේ මේ…. සුපිරිසිදු තත්ව යටතේ නිපදවන පෞරානික වැදගත් කමක් තියෙන බීමක් තමා මේ….

මේක කියවලා මීට කලින් බියර් බීලා නැති එකෙක්වත් බොන්න යන්න එපා. මොකද මේක තිත්තම තිත්තයි. ඒ නැතත් මං ඔයාලව බීමට පෙළඹෙව්වා කියලා පවු පිරෙයි. ඒක නිසා ඉතිං මධ්‍යසාර වලින් ඈත් වෙන එක කෝකටත් හොඳ නිසා බියර් බීමක් ගැන හිතන්න එපා. මේ කරුණු ටික දැම්මේ බියර් බොන හා ‍නොබොන හැමෝගෙම දැනගැනීම සඳහා විතරයි. මොකද ඉතිං අපි අවට සමාජයේ තියෙන දෙයක් ගැන දැනගැනීම වැරැද්දක් නෙමෙයිනේ…..

මේ පෝස්ට් එක් දාන්න මගේ හිතේ අදහසක් ඇති කරපු කෙනාට ගොඩක් ස්තූතියි. ඔයාගේ නමවත් ලින්ක් එකක් වත් මේකට දාන්න බැහැ, මොකද ඒක නිකං හරි නෑ වගේ නිසා.