මාළු එක්ක නාන්න ආසා අයට විතරමයි…!!!

මේක මේ මාළු ටැංකියක බැහැලා නානවා වගේ වැඩක් නම් නෙවෙයි.  ඊට වැඩිය සුපිරි නෑමක්. ගිය ඉරිදා මට නිවාඩු…! හ්ම්… මාස තුනකින් විතර. ඉතිං ගෙදර ඉන්න කම්මැලි හිතුන නිසා අම්බලම බ්ලොග් එක ලියන මනූජ එක්ක සෙට් වුනා මූදේ නාන්න. වැඩිය දුර නෙමේ… ගෙදර ඉඳන් කිලෝමීටර් 43ක් විතර දුරින් අම්බලන්ගොඩ. ඇයි ඉතිං අපේ හරියේ තියෙන්නේ අම්බලන්ගොඩ තියෙන මුහුද නෙවෙයිනේ ඒකයි.

ඉතිං ඔන්න උදේ පාන්දරම අටට විතර බස් එකේ නැගලා බෘම් ගාලා 9.30 වෙද්දි අම්බලන්ගොඩ. පස්සේ ඉතිං ඔය යන එන ගමන් තිබ්බ මෙව්වා එකකින් දුඹුරු පාට බෝතල් දෙකක් එපා කියද්දිම මුදලාලි දුන්න නිසා බෑග් එකේ දාගෙන ගියා අම්බලන්ගොඩ බීච් එකට. හ්ම්… එතෙන තමා මෙතෙන.

වැඩිය සෙනග එහෙම හිටියේ නෑ උදේ පාන්දර නිසා. දවල් වෙද්දිනම් අක්කලා, නංගිලා එහෙමත් ආවා. කොල්ලොනම් ඉතිං කොහොමත් නිතර දෙවේලේ ගැවසෙන එකේ උං ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං අපි දෙන්නත් ඇඳුම් මාරු කරගෙන එහෙම බැස්සා මේ පුංචි වතුර වලට. මම ඇත්තටම හිතුවේ මේකේ කොහේ නාන්නද කියලා… හැබැයි ඉතිං ගියාම තමා තේරෙන්නේ නාන්න මේ තරම් හොඳ වෙන තැනක් නෑ කියලා.

අපි ඉතිං එහාට මෙහොට නැලවෙවි ඉද්දි ආවා කෙනෙක් මාස්ක් එකක් එහෙම දාගෙන. පොරගේ වැඩේ වතුර යට ගිහිං ටිකක් වෙලා එහාට මෙහාට කැරකැවිලා ආයේ උඩ එන එක. අපිත් ඉතිං විචක්ෂනශීලි කොල්ලෝ නිසා මාත් ඉල්ල ගත්තා මාස්ක් එක. අරගෙන…. ගැඹූඹූඹූඹූඹූඹූරු හුස්මක් අරගෙන ගියා වතුර යටට. ෆුහ්… වතුර උඩින් පේන්නේ මොන මගුලක්ද…. යටින් එපැයි බලන්න…. එතෙන වෙනම ලෝකයක්. හැමතැනම චූටි චූටි මාළු රංචු. ගල් අයින් වල වැඩියි… ලොකු එවුනුත් ඉඳියා. ඇත්තටම මං නිකමටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. කව්ද දෙයියනේ මාළු එක්ක මූදේ නාන්න හිතුවේ. අපි ලඟට යන කොට කකුල වටේ කැරකිලා උං දුවනවා ගල් අයින් වල හැංගෙන්න. ඇත්තටම හරිම ලස්සනයි. එක එක ජාතියේ එවුන්. මට ඉතිං වතුර යටින් ෆොටෝ ගන්න බැරි නිසා වතුර උඩින් ගත්තා දෙක තුනක්. ඇත්තටම මං ඇස් දෙකින් දැකපුවා මතකයෙන් ඇදලා අරං කන්වර්ට් කරගන්න විදියක් නැහැනේ….

ඊට පස්සේ ඔන්න තව පොඩි කොලු රැලක් ආවා. එයාලා වයසිනුයි, ඇඟෙනුයි පොඩි වුනාට මට වඩා ටැලන්ට් එකෙන් නම් සෑහෙන ලොකුයි. පේනවනේ සෙට් එක වතුරට සම්ප්‍රාප්ත වෙන ලස්සන. මාත් ආසාවට එකෝම එක  පාරක් පැන්නා… ඒ පැනපු පැනිල්ල ගැන කාගෙන් වත් විසිල් එකක් හූවක් එහෙම දීලා ධෛර්‍යමත් කරේ නැති නිසා ආයේ පැන්නේ නෑ.

ඊට පස්සේ මනූජ මාස්ක් එක දාගෙන යට ගිහිං, මං මෙතුවක් කාලෙකට එක එක ආටිකල් වලින් විතරක් දැකලා තිබුන “ඉකිරියා“ කියලා හඳුන්වන ඉත්තෑවෙක් වගේ කටු බෝලයක් පෙන්නුවා වතුර යට ඉන්න. ඇත්තටම ඌව නම් දැක්කමත් ටිකක් විතර බය හිතෙනවා. කකුලේ ඇනුනම එහෙම ගොඩක් විසයිලු. ඌට නෙමේ… අපිට හරිද…

ඒ වගේ කලුපාට කටු බෝල ගොඩක් ඉන්න තැනකුත් ඊට එහායින් තිබුනා. හරියට නිකං රඹුටන් වල කලුපාට ගාලා වගේ. පස්සේ ඉතිං හිමීට ඔය කලු ගල් දෙක උඩට නැග්ගම එතෙනට පෙන්නේ තවත් ලස්සන දර්ශනයක්. වතුර උඩ එකයි, වතුර යට එකයි, ගල් උඩට නැග්ගම තවත් එකක්…! එතෙන අව්වයි තමා, ඒත් ඒ බවක් නම් තේරුනේ නෑ…

පොඩි කට්ටියත් එක්ක නාන්න එන්න කියාපු තැනක් මේක. මොකද අපි ඉද්දිත් පුංචි පැටවු ටිකක් එයාලගේ තාත්තලාගේ සහයෙන් ලස්සනට නෑවා. රැල්ලේ සැරක් නැති නිසා වගේම, මුහුදට ගහගෙන යයි කියලා බයකුත් නැති නිසා ආරක්ෂා සහිතව නාන්න හොඳ තැනක්. හැබැයි ඉතිං ඔයාලත් එහෙම යන්න ආසාවෙන් ඉන්නවනම්, අනිවාර්යෙන් ගොගල් එකක් හරි නහයත් එක්ක වැහෙන්න මාස්ක් එකක් හරි ගෙනියන්න… වතුර උඩින් දකින ලස්සනට වැඩිය වතුර යට මාර ලස්සනයි. මුහුදේ අනිත් තැන් වල රැල්ලත් එක්ක වතුර යට මාළු බලන්න අමාරු වුනත් මෙතෙන රැල්ලක් නැති නිසා කිසිම අමාරුවක් නෑ… හැබැයි එක මාළුවෙක්වෙත් දැලක් නැතුව අල්ලන්නනම් බෑමයි… මොකද ඉතිං මමත් ට්‍රයි නොකලැයි…!!!

හරියටම නාන තැන ගැන දැනගන්න ඕනේ නම් අම්බලන්ගොඩ නගරයේ කොහෙන් හරි  “රෙස්ට් හවුස් එක ගාව පූල්“ එකට යන්නේ කොහෙන්ද කියලා ඇහුවනම් පාර දැනගන්න පුළුවන්. ලොකු වාහන නම් වුනත් මුහුද පේන මානෙටම ගියෑකි. ට්‍රයි ෂෝ, මෝටර් බාසිකල් එහෙමනම් මුහුද ගාවටම ගියෑකි…! ආයෙත් කියන්නේ යන කෙනෙක් ඉන්නවනම් අනිවා මාස්ක් එකක් අරගෙන යන්න. (මට මේක මැජික් වගේ වුනාට අනිත් අයට එහෙම නැතිද දන්නෙත් නෑ)

නෙළුම් මල දෙනවද….. නැත්තං….

She is still bud…

හ්ම්… හ්ම්… මං දන්නවා… ඒ ඉතිං ඉස්සරනේ….

දැන්… She is flower… නේ,

මොකද කියන්නේ….නෙළුම්  මල  මට දෙනවද..? නැත්තං පොකුණ පිටින්ම උස්සං ගිහිං අපේ වත්තෙන් තියාගන්නද…???

නැත්තං හිටියා වගේ තව සුට්ටක් ඉවසලා ඉන්නද….??? (නඩුකාරි දැක්කොත් හෙම මේක…. හ්ම්… නෑ එක්කෝ මුකුත් කියන එකක් නෑ…)

මචං මුහුද…..

මං පුංචි කාලේ ඉඳන් මුහුදට හෙන ආසයි. අපේ ගෙවල් වල ඉඳන් කිලෝ මීටර් තුනක් විතර තමා මුහුදට තියෙන්නේ. ඒ දුර අර මොබයිල් ටවර් වැඩ කරන ක්‍රමයට බැළුවොත් නම් හූ දෙකයි… පිනුමයි. ඒත් ඉතිං අපිට කෙලින් යන්න ඩිරෙක්ට් පාරවල් නැති නිසා ගමන යන්නේ වටෙන්.

ඉතුර ටික කියවන්න කලින් මේක ප්ලේ වෙන්න දාන්න….


ඉස්සර තාත්ත මාව නිදි කරවන්නේ “ඔය ඇහෙන්නේ පුතේ මුහුදේ සද්දේ” කියලා ඔලුව අතගාලා. කොච්චර විසේ කර කර උන්නත් මං මුහුදේ සද්දේ අහන්න ඕනේ නිසා තාත්ත ගාව ගුලි වුනාම තාත්තා හිමීට ඔළුව අතගාන කොට මං දන්නෙත් නෑ පස්සෙන්දට එලිවෙන හැටි. ඊට පස්සේ ටික ටික ලොකු වෙද්දීත් ඔය සද්දෙට වැඩියෙන් කන් දෙන්න මං පුරුදු වුනා. හැම තිස්සෙම පවතින හෝ… හෝ… සද්දෙට අමතරව හිටපු ගමන් බෝස්… ගාලා ලොකු රළගෙඩි පෙරළෙන හැටි කිලෝමීටර් තුනක් ඈතින් ඉඳලා හිතෙන් චිත්‍රනය කරනවා කියෙන්නේ මාරම අත්දැකීමක්. ඉස්සරනම් තාත්තගේ උණුසුමේ හොඳට නින්ද ගියාට දැන් ඉතිං මං තනියම නිදියන නිසා හිටි ගමන් මහ පාන්දරට ඇහැරෙනවා වතුර තිබහා හැදිලා එහෙම. එතකොට ඉතිං ආයෙ නින්ද යනවා බොරු. ඒ වෙලාවට තමා වැඩියෙන්ම මුහුදේ සද්දෙට කන් දෙන්නේ. රෑට ඇහෙන රැ‍හැයි නාදය ඇරෙන්න මට නම් ඇහෙන්නේ මුහුදේ හඬ විතරයි. එහෙම වෙලාවට මට හිතෙනවා, රැහෙයියෝ ඔක්කොම අල්ලලා කටේ ප්ලාස්ටර් ගහන්න… නැත්තං චූටි ස්ලීපින් ගෑස් පාරක් දෙන්න.

ඒ ඔක්කොම ඔය මහ ලොකු මුහුදේ සද්දේ අහන්න ඕනේ නිසා. ඔය කොයිතරම් මං මුහුදට ආසා වුනත් එකපාරක් දෙපාරක් ඇරෙන්න මං මහ රෑට මුහුදු වෙරලට ගිහිං නෑ. ඒත් ගියේ අත්‍යවශ්‍යම හේතු කීපයකට. එකක් තමා යාළුවෙක්ගේ වෙන්වීමේ පාටියක්… අනික තව යාළුවෙක්ගේ ආච්චි කෙනෙක්ගේ මිනී වලක් කපන්න. එහෙම නොයන්න හේතුව තමා අර මෝහීනි කියන හොල්මන් ගෑණීට මං පට්ට බයයි. දැකලා නැති වුනාට දකින්නත් බයයි. හැබැයි ඉතිං අර පාටිය දවසෙනම් බය ටිකක් මග ඇරුනා… එදා මෝහිනි ආවනම් එහෙම රෙද්ද අන්දනවා නෙමෙයි ගලෝනවා…

ඉතිං දැන් මේ මෙච්චර විස්තර කිව්වේ පොඩි සීන් එකක් නිසා මං ‍දැන් අවුරුදු කීපයක ඉඳන් මුහුද එක්ක පට්ට කේන්තියෙන් ඉන්න බව කියන්න. ඔය මුහුද ඉන්නව නේද… හිටි ගමන් මූ මහ ජරාවැඩ කරනවා. 2004 මතකනේ… එදා මාත් සුනාමි බලන්න ගිහිං වැටකෙයියා පඳුරක් උඩ ඉද්දී පෙරිය සයිය් කකුලුවක් ගෙනත් දැම්මේ නැතෑ මගේ කලිසම උඩට. වෙලාවට වැටකෙයියා ගහේම ඉඳන් එහාට මෙහාට දඟලලා තමා යන්තං අනාගතේ බේරගත්තේ. ඒක තමා මං බය වෙච්ච හොඳම අවස්ථාව. හම්මේ… මතක් වෙද්දිත් දාඩිය දානවා.

ඊළඟ කැත වැඩේ තමා සුනාමිය. මං යාන්තං අඬලා දොඩලා, තකහනියක් කිලෝමීටර් හයක් විතර බයිසිකලෙන් ගිහිං ට්‍රයිටෙල් බොක්ස් එකකින් නඩුකාරිට කෝල් කරලා…. කෝල් කරලා…. විසිපස් වෙනිදාම දෙන්නව ගෙදර ගෙන්න ගත්තේ නැත්තං මට වෙන්නෙත් විසි හත් වෙනිදට මුහුදේ පනින්න. ඒ දෙන්නත් ගාල්ලේ ගිහිං හිටියේ. හම්මෝ එතෙනිනුත් යන්තං බේරුනා.

ඊට පස්සේ ඔය 2005 විතර ඉඳන් තමා මූ කැතම වැඩේ කරන්න ගත්තේ. මමයි මගේ යාළුවෙකුයි හැම ඉරිදම වගේ හවසට යනවා රැල්ල පොඩ්ඩක් පාගලා, සෙරප්පු දෙකත් හෝදගෙන එන්න කියලා මුහුදට. අපි යනකම්ම මූ ලස්සනට රැල්ල ගහනවා වෙරලේ වැවිලා තියෙන අර සමනල්ලු වගේ කොල තියෙන පඳුරු හරියටම… හැබැයි අපි ගියත් හරි මූ රැල්ල ගහන එක අඩු කරනවා. ඊට පස්සේ ඉතිං කොටයක් උඩින් වාඩිවෙලා කකුල් දෙකට වතුර පාරක් වදිනකම් අපි අව්වේ වේලෙනවා. තාමත් රැල්ල පාගන්න හිතාගෙන ගියොත් ඒක එහෙම්මයි…

තවත් වැඩක් තියෙනවා. අපි යාලුවෝ සෙට් වෙලා මුහුදේ නාන්න යද්දී රැල්ල හොඳ ගානට තැන්පත්ව තියෙනවා. අපි කලිසං ටික ගලෝලා යටට ඇඳන් ආපු අනිත් ෂෝට පිටිං මුහුදට බැස්සත් හරි මූ රැල්ල ගහන්නේ අපිව වෙරලට විසික් වෙන්න. වල් මුහුද… ඉතිං නාන එක පැත්තක තියලා ඇතුලට ගිය වැලි පිහිදාන්න ඕනේ.

ඔන්න ඊට පස්සේ ඊයේ මූ තව අවලං වැඩක් කරා. ඊයේ මමයි තව යාළුවෙකුයි ගියා නිකමට රැල්ල පාගන්න කියලා. මොකද සෑහෙන කාලෙකින් මුහුද පැත්තේ ගිය නැති නිසා. නිකං ආසාවට වගේ කැමරාවත් අරගෙන ගියෙ. කියන්න බැහැනේ අර එකපාරක් වගේ මැරිච්චි කැස්බෑවෙක් හෙම ගොඩ ගහලා හිටියොත්…. ඉතිං මං ඔරුවක් උඩට වෙලා පොඩි ඇලට් එකක් දාගෙන ඉද්දී යාළුවා කැමරාව ඉල්ල ගත්තා. පස්සේ ඉතිං මාත් ඒ වැඩේට සෙට් වුනා. දැං මගෙ යාළුවට ඕනේ රැල්ල එද්දී පෙන නගිනවනේ… අන්න ඒ කිරි සුදු පාට පෙන වෙරලේ වැදෙද්දිම පෙනෙන ලා හෙවනැල්ල වැටෙන්න පෙන වල ෆොටෝ එකක් ගන්න. එතනින් පස්සේ… කතාකරලා වැඩක් නෑ…

මෙච්චර වෙලා කකුල් තෙමෙන්න ලඟටම ආපු රැල්ල දැන් නෑ…. දැන් රැල්ල කැඩෙන්නේ මුහුදේ ටිකක් දුරින්. රැල්ලක් එන්න ඕනේ නිසා වගේ ලාවට එකක් ඇවිත් ශේප් වෙලා යනවා. පස්සේ ඉතිං ටිකක් ඉවසගෙන ඉන්න කොට මෙන්න එනවා එකක්. ඒකේ ෆොටෝ ගන්න ගියානම් එහෙම කැමරාව හොයන්න වෙනවා…  ඒ පාර ඔරුවට නැගලා යාන්තං අමාරුවෙන් එකක් ගත්තා. ඊට පස්සේ මට ඕනේ වුනා පැත්තක තියෙන සිප්පි කටු වල පොඩි පින්තූරයක් ගන්න. ඒ පාර මම සිප්පි කටු තිබුන තැනට යද්දී එතනට ගොඩ වෙලාවකින් රැල්ලක් ඇවිත් නෑ… ඉර  අවුවට වැලි වේලිලා ගිහිං. ඊට පස්සේ ඉතිං ආයෙ රැල්ලක් එන එකක් නැහැනේ කියලා හිතලා මාත් ලාවට බිමින් ඉඳගෙන සිප්පි කටු තේරුවා. යාළුවත් ලඟ. මෙන්න බොල පිටිපස්සෙන් සාස් ගාලා රැල්ලක් බිඳුනා. හරි සනීපයි. පිට දිගේ වතුර බේරෙනවා.  ඊට පස්සේ සිප්පි කටු ටික හේදිලා ටිකක් උඩහට ගිහිං කුනු ගොඩක් ගාව නැවතිලා.

හිතාගන්න පුළුවන්නේ හිතට හිතෙන එව්වා. සා ප්‍රසංගයේ අනිත් වර්ෂන් එකේ වචන ටික නහර දිගේ ගලාගෙන යනවා ඒ වෙලාවට. මචං මුහුද… අර ඈත දවසක ලේන අම්මට බැරි වුනාට උඹව හින්දන්න මට බැරි කමක් නෑ. හැබැයි මං එහෙම කරන්නේ නෑ උඹට… මොකද අද රෑටත් මාව නලවලා නිදිකරන්නේ උඹ නිසා. මහ පාන්දරට ඇහැරුනත් ටික වෙලාවකින් ආයෙම නිදිකරවන්නේ උඹ නිසා…

මේ ලෝකේ තේරුම් ගන්න බැරි ලොකුම දේ කෙල්ලෝ කියලා හිතාගෙන ඉන්නවනම් කවුරු හරි ඒක වැරදියි. තේරුම් ගන්න බැරිම දේ මුහුද… මුහුද චුට්ටක් තේරුම් ගත්තනම් ගෑණු ළමයි නතිං. ඒකනේ මං අපේ මල්ලිට කිව්වේ ගිය රැල්ල ගියාදෙන් වෙන රැල්ලක් පාගපං කියලා….!!!

ළමයි මේක විහිළුවට ගන්න එපා. මට දන්න කෙනෙක් කියන්න ඔරුවල වේගය මනින මිම්ම මොකද්ද කියලා. මේ ඔරුවේනම් තියෙන්නේ මං හිතන්නේ  කිලෝමීටර් විසි පහයි කියලා….

කොච්චර වුනත් මුහුද කියන්නේ හොඳ බෙහෙතක්…!!! හැමදේටම….!!!
 

කාලයට වෙනස් වුන වෙලාව…!!!

හතර වටේ කැරකිලා කැරකිලා…. හෙම්බත් වෙලා, මං කළු නිසා මට සිල්වර් පාට, ගෝල්ඩ් පාට ඔරලෝසු හරියන්නේ නෑ කියල කෙනෙක් කිව්ව නිසා හොයලා හොයලා අන්තිමේ පිටකොටුවෙන් ගත්තා ඔරලෝසුවක්… හරියටම මීට අවුරුදු දෙකහ මාරකට ඉස්සර.

ආහ්… මල්ලි එන්න එන්න…. මොනාද ඔරලෝසුද බැළුවේ….

නෑ අපි මේ වොෂින් මැෂින් එකක් බැළුවේ කියලා කට කැඩිච්චි කතාවක් කියන්නත් හදලා ආයෙම කට පියාගෙන ඉවසගෙන හිටියේ, මෙතෙනින්වත් හොඳ ඔරලෝසුවක් වගකීමක් එක්ක අඩු ගානට ගන්න ඕනේ නිසා. එක එක ජාතියේ එක එක පාට ඔරලෝසු අස්සෙන් යාන්තං මටම හරියන විදියේ, ඒ කියන්නේ මං කලු නිසා මට වැඩිය කලු වට පෙනෙන ඔරලෝසුවක් යාන්තං සිලෙක්ට් කරගත්තා.

අයියේ මේක ගමුද බලන්න….

ආහ් මල්ලි… මේක සුපිරි භාන්ඩයක්. මේකෙන් තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. වතුර යන්නේත් නෑ… වීදුරුව හීරෙන්නෙත් නෑ…

ඔච්චර දේවල් ගොඩක් තියෙන එකේ බැටරිත් බහින්නේ නැතුව ඇති නේද කියලා හිතලා ඒකත් වචන වලට පෙරලන්නේ නැතුව නිකං හිටියේ. කොහොම හරි ගාන බස්සලා මේකම ගන්නව කියලා හිතාගෙනම තමා. අන්තිමේ ඉතිං රුපියල් 2500යි කියපු ඔරලෝසුව යාන්තං රුපියල් 1800කට අඩු කරගත්තා.

ඉතිං ඔය ඔරලෝසුවට ඔෆිස් එකේ අයගෙනුත් කතා ගොඩයි.

ආහ්… පුතා… අළුත් වොච් එකක් අරං වගේ… ඒ කමර්ෂල් මැනේජර්

ආ… දැන් කළු පාටින්ම වගේ වැඩ…. ඒ මැටිරියල්ස් මැනේජර්

අනේ ෂෝක්…. ඔයාට ඔය පාට තමා ලස්සනම… ඒ රිසිප්ෂන් අක්කි…

හ්ම්… ඔය අරගෙන තියෙන්නේ ලස්සන ඔරලෝසුවක්… නඩුකාරි සහ පුංචි කුමාරි.

ඔය ඔක්කොම කතා මැද්දේ, අවුරුදු දෙකාමාරක් මේක අතේ බැන්දම, දැන් තියෙන තත්වේ තමා ඔය උඩ තියෙන්නේ.

ඕක ගද්දී ඔරලෝසු කඩේ අයියා කිව්වේ වීදුරුව හීරෙන්නේ නෑ , වතුර යන්නේ කියලා. දැන්නම් වීදුරුව බිඳිලා. බෙල්ට් එකෙත් කෝටඩ් එක පතුරු ගැලවිලා. ඒ මදිවට මේ ලඟකදී ඉඳන් අළුත් ඔප්ෂන් එකකුත් තියෙනවා. ඒ තමා සීතල දාට වීදුරුව ඇතුලේ වතුර බැඳිලා අද සීතල දවසක් කියලා පෙන්නනවා. ආයෙම තවත් සීතල වුනොත් ඒ වතුර ටික මීදුම වගේ තදට බැඳිලා… අද අධික සීතල දවසක් කියනවා… තරමක් උණුසුම් දාට වතුර ටික බිංදු විදියට වීදුරුවේ රැඳිලා අද තරමක් රස්නෙයි කියනවා… අම්බානෙට පිච්චෙන දාට, වතුර ටික වාෂ්ප වෙලා ගිහිං, ෂා… අද හොඳ පැහැදිලි අහසක් තියෙන්නේ කියනවා…

කොහොම හරි කාලයත් එකක් වෙලාව පෙන්නන එකත් වෙනස් වෙලා. ඒත් මගේ වෙලාවනම් තාමත් එහෙම්මයි….!!! ආයෙමත් වෙලාව වෙනස් කරගන්න කාලෙ හරි වගේ….

සජීවී ගිනි පෑගීමක අසිරිය වින්දෙමි….!

අපේ පන්සලේ ගිනී පෑගීමේ ශාන්තිකර්මයක් ලඟඳීම තියෙන බව කියන්න, මීට සති දෙක තුනකට කලින්ම ලවුඩ් ස්පීකර් බැඳ ගත්ත වාහන කෑ ගහද්දී මාත් හිතා ගත්තා මේක නම් කොහොම හරි බලන්න ඕනේ කියලා. පස්සේ ඉතිං ලංකාවේ අනිත් වුන්ට වගේ මටත් ඔය සීන් එක සති දෙකෙන් අමතක වුනා. පූර්ව දැනුම් දීම කලේ එක දවසක් නිසා වගේම එකදු දැනුවීම් පත්‍රිකාවක් වත් ඇස නොගැටුනනිසා වෙන්න ඕනේ එහෙම වුනේ.

පස්සේ ඉතිං ඊයේ… ටිකක් හැන්දෑවෙලා ගෙදර ගියා කාලා, බීලා ටිකක් කලින් නිදාගන්න හිතාගෙන. කන ‍බොනන එක නම් කොහොම හරි කරගත්තට නිදාගන්න විදියක් නම් තිබුනේ නෑ. මොකද ගෙවල් වලට කිට්ටුව තියෙන පන්සලෙන් ඇහෙනවා කාවඩි නටද්දී ඇහෙන සද්දේ. කොටින්ම කතරගම ගියා වගේ. එහෙමත් නැත්තං මැච් එකක් බලන්න ගියා වගේ…. පපරේ පුපුරනවා කන් දෙක පතුරු යන්න. පස්සේ ඉතිං කෝම හරි අද නේද ගිනි පෑගීම කියලා හිතුනට, යන්න ආසාවෙන් හිටියට කම්මැලි කම සහ නිදිමත නිසාම මං නොයා ඉන්න තීරණය කරලා රෙද්දත් ඔලුවේ ඉදන්ම පෙරෝගෙන පැන්න ඇඳට. ඒ වෙනකොටත් පන්සලට කට්ටිය යනවා.

නින්ද ගිහින් පැය එකාමාරක් විතර ඇති….

ලොකූ…. ලොකූ…. යමු පුතේ පන්සලට ගිහිං එන්න.

ඒ අපේ අම්මා. අම්මටත් පන්සලට යන්න ඕනේ වෙලා. මගේ වෙලාවටද කොහෙද අම්මත් එක්ක යන්න හිටිය නැන්දලා ටික අම්මව තියලා ගිහිං. දැන් ඉතිං ඒ කුන අදින්න වෙන්නේ මටනේ කියලා සුදු ටී-ෂර්ට් එකක් දාගෙන කැමරා පොජ්ජත් කසල මේස පොජ්ජෙන් හොයාගෙන ගෑටුවා පන්සලට.

අම්මෝ…. සෙනග…. සූ…. සූ… හඬවල් හැමතැනම. අපේ අම්මා මාව මේ එක්කන් ඇවිත් තියෙන්නේ දිව්‍ය ලෝකයටදෝ කියලත් හිතුනා. මාත් ඉතිං අපේ අම්මට එයාගේ යාළුවෝ කට්ටියට සෙට් වෙන්න දීලා පැත්තකට වුනා. ඔක්කොමත් හරි අපේ මමීගේ යාළුවන්ගේ දුවලගෙන් තමා බේරෙන්න බැරි. එව්වා ඕනේ නෑ….

ඉතිං ඔන්න අපි යද්දී දහය මාරට විතර ඇති. මං හිතුවේ දැන් ගින්දර පාගනවා ඇති කියලා. ඒත් මොන පෑගිල්ලක්ද… තාම දර කොට ටික පත්තු වෙනවා. ඒ දර ටික පත්තු වෙනකං පොඩි පොඩි කෙල්ලෝ ටිකක් කාවඩි නටනවා. ඒ පද්දන පැද්දිල්ලට නිදි මත කොහේ ගියාද මන්දා. මං බලාගෙන අපේ මවුතුමී මයේ දිහා ඇත කෙලවරකට වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා, මගේ ඇහේ බබා නටන හැටි. මං මොනා කරන්නද අම්මනේ එක්කං ගියේ.

ඉතිං කොහොම හරි හෙන ඉවසීමකින් ඉන්න වුනා එතෙන. මං අස්සෙන් රිංගගෙන ඉස්සරට ගියාට දර ගොඩ ගාව ඉන්න හිටින්න බෑ රස්නෙයි. ඒ මදිවට පිටිපස්සේ ඉන්න එවුන් ටික ටික ඉස්සරහට තල්ලු කරනවා. ඔය ඔක්කොම කටු කාගෙන මගේ ජීවිතයේ පළවෙනි ගිනී පෑගීම බලාගන්න කියලා මං අමාරුවෙන් ඉවසගෙන හිටියා. ටික වෙලාවකින් පුංචි විවේකයක් ගත්තා කාවඩි නටන අය.

මේන්න ඊට පස්සේ එයාලා එනවා කටේ කටු ගහගෙන. සමහරු පිට විදලා උල් කූරු යවලා ඒවයේ අගට නයිලෝන් නූල් බැඳලා තව කෙනෙක් ඊට පිටිපස්සෙන් එව්වා ඇදිනවා… ඉස්සරහා කෙනා නටනවා. ඒ වගේ දෙයක් මං දැකලා තිබුනට ඇස් දෙක ඉස්සරහ ඇත්තටම වෙනවා දැක්කේ පළවෙනි පාරට.

ඊට පස්සේ මට වචනයෙන් කියලා ඉවර කරන්න බැරි තරම් හරි අපූරු දේවල් ගොඩක් අංග එතෙන තිබුනා. කාවඩි දැකලා තියෙන අයට නම් ඉතිං අමුතු දේවල් නෙවෙයි ඒවා.

ඉතිං කොහොම කොහොම හරි නිදි ගැට කඩ කඩ පන්සල් ආපු මට ඒ ආපු ගමන පාඩු නැහැයි කියලා හිතෙන තැනටම වැඩේ සෙට්වුනා. දහයා මාරට විතර ගිහිං එකොලහට විතර එන්න පුලුවන් වෙයි කියලා හිතුවට ගිනි පෑගිල්ල පටන් ගන්න කොට වෙලාව පාන්දර තුනා මාරයි. ඒ වෙනකම්ම එක කට්ටියක් කාවඩි නටන අතරේ තව කීප දෙනෙක් විටින් විට ඇවිලෙන දර ගොඩ අවුස්ස අවුස්ස දර දැවෙන එක ඉක්මන් කලා. අන්තිමටම පිච්චිලා ඉවර වෙච්ච දර ගොඩේ තිවුන නොදැවී ඉතිරි වුන ලොකු කොට කෑලි එහෙම ඉවත් කරලා රතු වෙලා දිලිසෙන අඟුරු කැට විතරක් ඉතුරු අඩි හයක් විතර දිගට අඟුරු ලේයර් එකක් හැදුවා. හරියට නිකං ගිනි ගහන රතු පලසක් වගෙයි.

ඊට පස්සේ පන්සලේ දේවලය ගාවට ගිහිං එතෙනත් කාවඩි නටලා, කපු මහත්තයා එක්ක ආයෙම ගිනි අඟුරු ගොඩ ගාවට ඇවිත් එතෙනදිත් කිසියම් පූජාවක් තියලා එහෙම වැඩේ පටන් ගත්තා. පැය ගානක් තිස්සේ ගිනි රස්නේ වැදී ගෙන උඩින් වැටෙන හීතල පින්නට ඔලුව තෙත කරගෙන හිටිය හැමෝටම හිතට සැනසුමක් දැනෙන්න වුනේ මේ වෙලාවෙදී තමා. සමහර යාළුවෝ නම් හයියෙන් ඇහුවත් එක්ක ගිනි අඟුරු පාගන්නේ හෙට හවසටද කියලා… මොකද ඒ තරමට ඉවසීම හීන වේගෙන ගිහිං තිබුනේ. පස්සේ ඉතිං ප්‍රධාන කපු මහත්තයා මුලින්ම සාමාන්‍ය ගමනින් අර අඩි හයක් විතර දිග අඟුරු ගොඩ උඩින් ඇවිදගෙන ගියා. පස්සේ ඉතිං එයාව අනුගමනය කරලා වටේ හිටිය අයත් එක එක වේග වලින් එක එක රටාවලින් ගිනි අඟුරු අවුස්සගෙන ඇවිද්දා.

ඇත්තටම ඒක හරිම අපූරු සංස්කෘතික අංගයක්. මේ ගිනි පෑගීම ගැන මං ඇස් දෙකින් දැක්කට ලොකු විස්තර ගොඩක් දන්නේ නෑ… මේ තියෙන්නේ ඒ සම්බන්ධ තොරතුරු ටිකක්, දැන්ටමත් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් වුන….!

කොහොම හරි අම්මගේ කටේ බලේට හරි පන්සල් ගිහිං, මේ වගේ දෙයක් දැක බලා ගත්ත එක ගැන නම් අප්‍රමාණ සන්තෝසයි.