මාළු එක්ක නාන්න ආසා අයට විතරමයි…!!!

මේක මේ මාළු ටැංකියක බැහැලා නානවා වගේ වැඩක් නම් නෙවෙයි.  ඊට වැඩිය සුපිරි නෑමක්. ගිය ඉරිදා මට නිවාඩු…! හ්ම්… මාස තුනකින් විතර. ඉතිං ගෙදර ඉන්න කම්මැලි හිතුන නිසා අම්බලම බ්ලොග් එක ලියන මනූජ එක්ක සෙට් වුනා මූදේ නාන්න. වැඩිය දුර නෙමේ… ගෙදර ඉඳන් කිලෝමීටර් 43ක් විතර දුරින් අම්බලන්ගොඩ. ඇයි ඉතිං අපේ හරියේ තියෙන්නේ අම්බලන්ගොඩ තියෙන මුහුද නෙවෙයිනේ ඒකයි.

ඉතිං ඔන්න උදේ පාන්දරම අටට විතර බස් එකේ නැගලා බෘම් ගාලා 9.30 වෙද්දි අම්බලන්ගොඩ. පස්සේ ඉතිං ඔය යන එන ගමන් තිබ්බ මෙව්වා එකකින් දුඹුරු පාට බෝතල් දෙකක් එපා කියද්දිම මුදලාලි දුන්න නිසා බෑග් එකේ දාගෙන ගියා අම්බලන්ගොඩ බීච් එකට. හ්ම්… එතෙන තමා මෙතෙන.

වැඩිය සෙනග එහෙම හිටියේ නෑ උදේ පාන්දර නිසා. දවල් වෙද්දිනම් අක්කලා, නංගිලා එහෙමත් ආවා. කොල්ලොනම් ඉතිං කොහොමත් නිතර දෙවේලේ ගැවසෙන එකේ උං ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං අපි දෙන්නත් ඇඳුම් මාරු කරගෙන එහෙම බැස්සා මේ පුංචි වතුර වලට. මම ඇත්තටම හිතුවේ මේකේ කොහේ නාන්නද කියලා… හැබැයි ඉතිං ගියාම තමා තේරෙන්නේ නාන්න මේ තරම් හොඳ වෙන තැනක් නෑ කියලා.

අපි ඉතිං එහාට මෙහොට නැලවෙවි ඉද්දි ආවා කෙනෙක් මාස්ක් එකක් එහෙම දාගෙන. පොරගේ වැඩේ වතුර යට ගිහිං ටිකක් වෙලා එහාට මෙහාට කැරකැවිලා ආයේ උඩ එන එක. අපිත් ඉතිං විචක්ෂනශීලි කොල්ලෝ නිසා මාත් ඉල්ල ගත්තා මාස්ක් එක. අරගෙන…. ගැඹූඹූඹූඹූඹූඹූරු හුස්මක් අරගෙන ගියා වතුර යටට. ෆුහ්… වතුර උඩින් පේන්නේ මොන මගුලක්ද…. යටින් එපැයි බලන්න…. එතෙන වෙනම ලෝකයක්. හැමතැනම චූටි චූටි මාළු රංචු. ගල් අයින් වල වැඩියි… ලොකු එවුනුත් ඉඳියා. ඇත්තටම මං නිකමටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. කව්ද දෙයියනේ මාළු එක්ක මූදේ නාන්න හිතුවේ. අපි ලඟට යන කොට කකුල වටේ කැරකිලා උං දුවනවා ගල් අයින් වල හැංගෙන්න. ඇත්තටම හරිම ලස්සනයි. එක එක ජාතියේ එවුන්. මට ඉතිං වතුර යටින් ෆොටෝ ගන්න බැරි නිසා වතුර උඩින් ගත්තා දෙක තුනක්. ඇත්තටම මං ඇස් දෙකින් දැකපුවා මතකයෙන් ඇදලා අරං කන්වර්ට් කරගන්න විදියක් නැහැනේ….

ඊට පස්සේ ඔන්න තව පොඩි කොලු රැලක් ආවා. එයාලා වයසිනුයි, ඇඟෙනුයි පොඩි වුනාට මට වඩා ටැලන්ට් එකෙන් නම් සෑහෙන ලොකුයි. පේනවනේ සෙට් එක වතුරට සම්ප්‍රාප්ත වෙන ලස්සන. මාත් ආසාවට එකෝම එක  පාරක් පැන්නා… ඒ පැනපු පැනිල්ල ගැන කාගෙන් වත් විසිල් එකක් හූවක් එහෙම දීලා ධෛර්‍යමත් කරේ නැති නිසා ආයේ පැන්නේ නෑ.

ඊට පස්සේ මනූජ මාස්ක් එක දාගෙන යට ගිහිං, මං මෙතුවක් කාලෙකට එක එක ආටිකල් වලින් විතරක් දැකලා තිබුන “ඉකිරියා“ කියලා හඳුන්වන ඉත්තෑවෙක් වගේ කටු බෝලයක් පෙන්නුවා වතුර යට ඉන්න. ඇත්තටම ඌව නම් දැක්කමත් ටිකක් විතර බය හිතෙනවා. කකුලේ ඇනුනම එහෙම ගොඩක් විසයිලු. ඌට නෙමේ… අපිට හරිද…

ඒ වගේ කලුපාට කටු බෝල ගොඩක් ඉන්න තැනකුත් ඊට එහායින් තිබුනා. හරියට නිකං රඹුටන් වල කලුපාට ගාලා වගේ. පස්සේ ඉතිං හිමීට ඔය කලු ගල් දෙක උඩට නැග්ගම එතෙනට පෙන්නේ තවත් ලස්සන දර්ශනයක්. වතුර උඩ එකයි, වතුර යට එකයි, ගල් උඩට නැග්ගම තවත් එකක්…! එතෙන අව්වයි තමා, ඒත් ඒ බවක් නම් තේරුනේ නෑ…

පොඩි කට්ටියත් එක්ක නාන්න එන්න කියාපු තැනක් මේක. මොකද අපි ඉද්දිත් පුංචි පැටවු ටිකක් එයාලගේ තාත්තලාගේ සහයෙන් ලස්සනට නෑවා. රැල්ලේ සැරක් නැති නිසා වගේම, මුහුදට ගහගෙන යයි කියලා බයකුත් නැති නිසා ආරක්ෂා සහිතව නාන්න හොඳ තැනක්. හැබැයි ඉතිං ඔයාලත් එහෙම යන්න ආසාවෙන් ඉන්නවනම්, අනිවාර්යෙන් ගොගල් එකක් හරි නහයත් එක්ක වැහෙන්න මාස්ක් එකක් හරි ගෙනියන්න… වතුර උඩින් දකින ලස්සනට වැඩිය වතුර යට මාර ලස්සනයි. මුහුදේ අනිත් තැන් වල රැල්ලත් එක්ක වතුර යට මාළු බලන්න අමාරු වුනත් මෙතෙන රැල්ලක් නැති නිසා කිසිම අමාරුවක් නෑ… හැබැයි එක මාළුවෙක්වෙත් දැලක් නැතුව අල්ලන්නනම් බෑමයි… මොකද ඉතිං මමත් ට්‍රයි නොකලැයි…!!!

හරියටම නාන තැන ගැන දැනගන්න ඕනේ නම් අම්බලන්ගොඩ නගරයේ කොහෙන් හරි  “රෙස්ට් හවුස් එක ගාව පූල්“ එකට යන්නේ කොහෙන්ද කියලා ඇහුවනම් පාර දැනගන්න පුළුවන්. ලොකු වාහන නම් වුනත් මුහුද පේන මානෙටම ගියෑකි. ට්‍රයි ෂෝ, මෝටර් බාසිකල් එහෙමනම් මුහුද ගාවටම ගියෑකි…! ආයෙත් කියන්නේ යන කෙනෙක් ඉන්නවනම් අනිවා මාස්ක් එකක් අරගෙන යන්න. (මට මේක මැජික් වගේ වුනාට අනිත් අයට එහෙම නැතිද දන්නෙත් නෑ)

සෙනසුරාදට නිවාඩුද…? උඳුපියලිය කුමාරි….

ඔය ගෑණු ළමයි ඉන්නවනේ… එයාලා ඉතිං සතියේ දවස් පහේම එක්කෝ ස්කෝලෙ යනවා, එහෙමත් නැත්තං රැකියාවට, එහෙම්මත් නැත්තං ක්ලාස් යනවා… හිටි ගමන් එක් කෙනෙක් දෙන්නෙක් රෝන්දේ යනවා. රෝන්දේ තියෙන්නේ කොහෙද කියලනම් මං දන්නේ නෑ…!

ඉතිං සෙනසුරාදා, ඉරිදා තමා ගෙදර ඉන්නේ. එදාට කරන්නේ පස්ස පැත්තට ඉර වැටෙනකං දොයියනවා. ඒකට අපි… අනිත් දවස් පහටම කලින් අපි සෙනසුරාදට නැගිටිනවා. අපි මෙච්චර කල් දැනන් හිටියේ ගෑණු ළමයි මල් වගේ කියලනේ. ඒක ඇත්ත තමා ඉතිං. සෝස පාට තොල් පෙතියි, කහ පාට කන් පෙතියි… තව තව එව්වා මෙව්වා ගොඩකුයි…! අපි හිතන් හිටියට කෙල්ලෝ හරි ලස්සනයි කියලා, බලාගෙන ගියාම කෙල්ලන්ගේ ඇති ලස්සනක් නෑ… තනිකරම මල් වල කලර් ෆොටෝ කොපියක් ගහලා වගේ… බලන්න ලස්සනයි…!!!

හැබැයි ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව හැසිරෙන විදිය කොපි කරලා, දැන් දැන් ගස් වල හැදෙන මලුත් එහෙම්ම හැසිරෙනවා. අයින්න ඕනෙ ටොක්කක්…! පහුගිය සති කීපයේම මේ චූටි මලක් නිසා මං පට්ට කට්ටක් කෑවා. අම්මපා… අර යෝදි ක්ලාස් ගිහිං අම්මා එක්ක නැලවි නැලවි එනකං වත් මං එච්චර වෙලා කට්ටක් කාලා නැතුව ඇති.

ඔෆිස් එකේ මිදුල පුරාම උඳුපියලිය තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකින උඳුපියලිය මල් දම් පාට වුනාට. මේවා ආනයනය කරපු උඳුපියලිය විශේෂයක්… උදේ පාන්දරට චූටි කහ පාට මල් හැදිලා මාර ලස්සනයි. අපිට ඉතිං ඔය සමහර මැඩම්ලට වගේ රෝස මල් වතු නෑනේ.(මේක පෙන්නේ යාළුවෝ කීප දෙනෙකුට විතරයි. අසරණ මං මොනා කරන්නද ඒ මැඩම් ප්‍රයිවසි හදලා තියෙන හැටිනේ) තියෙන එකම එක තමා මේ උඳුපියලිය මල් වත්ත. ඉතිං හැමදාම, ඒ කියන්නේ සතියේ දවස් පහේම මේ මගුල දැකලා දැකලා, එකෝමත් එක දවසක් දා හිතක් පහල වුනා චූටි පො‍ටෝ කෑල්ලක් ගන්න. ඉතිං පොටෝ ගහන මෙව්වා එක ඔ‍ෆිස් ගෙනියන්නේ සෙනසුරාදා විතරක් නිසා, මං හිතන් හිටියේ ලඟම එන සෙනසුරාදට, කහපාට මල් කුමාරිව මගේ වෝල් පේපර් එකට දාගන්න පුළවන් වෙයි කියලා.

ඉතිං ඊළඟ සෙනසුරාදා වැ‍ඩේට ලෑස්ති වෙලා ගියාට, එකම මලක් වත් නෑ… ‍ඔක්කොමලා නිදි. මං ඉතිං පැයක් බැළුවා… දැන් නැගිටියි… දැන් නැගිටියි කියලා… මොන… කම්මැලි කෙල්ලෝ වගේම තමා. ඉර එලිය වැටිලත් සෙනසුරාදා නිසාද කොහෙද ඇහැක් ඇරලා බලන්නේ නෑ…!

ඔය අස්සේ ඩැඩීලගේ මේ සින්දුවත් මතක් වුනා…



ඊට පස්සේ… හ්ම් කමක් නෑ… උඳුපියලිය කුමාරිල ඊයේ පාටියකට ගිහිං මහන්සි හින්දා නිදිද දන්නෙත් නෑනේ… අනික මේ ලැබුවේ මේ මහා බද්‍ර කල්පයේ අන්තිම සෙනසුරාදාත් නෙවෙයිනේ… තව සෙනසුරාදාවල් එනවනේ කියලා හිතාගෙන ඊළඟ සෙනසුරාදා වෙනකං වැඩේ කල් දැම්මා. පවුනේ…

ඉතිං ඒ සතියෙ දවස් පහත්, මල් දිහා බල බල හූල්ල හූල්ල හිටියා. හ්ම්… ඕං ආවා සෙනසුරාදා… උඳුපියලියගේ *!(^^!<%$ !*^?$(* *&!_*!^* …. එදත් මුං ටික දොයි…! අනේ මන්දා අපේ කවුරු හරි එකෙක් කියලා යනවද මන්දා සිකුරාදා හවසට “හෙට සෙනසුරාදනේ… ඒක නිසා ඇතිවෙන්න නිදා ගන්න” කියලා. අපේ පුතාලව විශ්වාස කරන්න බෑ… උං දෙකක් නවා ගත්තම ගස් වලටත් ලව් ටෝක් දාන පොරවල්නේ… නැත්තං කොහොමද මේ මල් ටික සෙනසුරාදට විතරක් නොපිපෙන්නේ…

ඇත්තටම සෙනසුරාදට නිවාඩුද… උඳුපියලිය කුමාරි..?

පාට පාටින් මූන හැංගිල්ල….

මුන හැංගිල්ල කියන්නේ ඉතිං අපි හැමෝම වගේ සාමාන්‍යයෙන් කරන දෙයක්නේ. අපේ ඇත්ත මූන යට ගහගෙන හොඳ මූනක් පෙන්නන එක කාටවත් අමුත්තක් වෙන්න බෑ. එව්වා ඉතිං කරන්නේ කාවහරි රවට්ටන්න තමා. එහෙමත් නැත්තං කාට හරි ලෙඩක් අදින්න හිතාගෙන. ඒත් මේ කියන මූන හැංගිල්ලනම් කරන්නේ ගොඩක් වෙලාවට අසනීප වෙච්ච කෙනෙක්ව සනීප කරන්න එහෙමත් නැත්තං සිතට යම් සහනයක් අවශ්‍ය වෙච්ච කෙනෙකුට ඒ සහනය ලබාදෙන්න හිතාගෙන.

ඉතිං මේ මුන හැංගිල්ලට මූලිකවම යොදාගන්නේ වෙස් මූන කියලා හඳුන්වන ලී වලින් කැටයම් කරලා නොයෙක් වර්ණ වලින් වර්ණවත් කරපු පළදනාවක්. දන්න විදියටනම් ගොඩක් වෙලාවට වෙස් මූනු හදන්නේ  වෙල් කදුරු ලීයෙන්. වෙල් කදුරුම පාවිච්චි කරන්න හේතුවෙලා තියෙන්නේ ලීයේ ඇති සැහැල්ලු බව වගේම ඕනෑම අතකට හරවා කැටයම් කිරීමේ පහසුව නිසයි. මොකද මේ ලීය කොයි පැත්තෙන් කැපුවත් පතුරු ගැල වෙන්නේ නෑ… ඒ වගේම කල් පවතින ලීයක්.

වෙස් මූනු ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පහත රට හා මුහුදු බඩ කලාප වල කියල තමා දැනගන්න තියෙන්නේ. ඒ වගේම ඒ පැතිවලිනුත් මාතර, අම්බලන්ගොඩ ආදි ප්‍රදේශ විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම වෙස් මූනු වල විවිධත්වය ගොඩක් වැඩියි. අපේ අතීත සාහිත්‍යයේ කියවෙන දෙවිවරු, රජවරු,බිසෝවරු, විවිධ නම් තියෙන හා විවිධ දේ වලට අරක්ගත් අමනුෂ්‍යයින් හා අලි ඇතුන් වැනි සතුන් දක්වාම මේ වෙස්මූනු කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම අපි සමාජයේ නිතර ඇස ගැටෙන චරිත කිහිපයකුත් මේ වෙස්මූනු වලින් හාස්‍යයට ලක් කරලා තියෙනවා.

මේ තියෙන්නේ විවිධ වර්ණ වලින් පැහැ ගන්වපු නැති වෙස් මූනු කිහිපයක්. අපේ රටට පැමිණෙන විදේශිකයින් දැන් දැන් වැඩිපුරම නැඹුරුවක් තියෙන්නේ මේ වගේ කදුරු ලීයෙන් හදලා පාට නොකරපු ලීයේ ස්වභාවික පැහැයෙන්ම තියෙන වෙස් මූනු වලට කියලා තමා ව්‍යාපාරිකයින් කියන්නේ.

මේ එක්තරා විශේෂ වෙස්මූනක්. අපි හැමකෙනෙක්ම කලාත්මකව පැහැ ගන්වන ලද වෙස් මූනු කොයි තරම් දැකලා තිබුනත් මේ වගේ කලු හා සුදු පැහැයෙන් පමණක් අලංකෘත කරන ලද වෙස්මූනු නම් දැකලා නැතුව ඇති වැඩි පිරිසක්…! ඉතිං මේ තියෙන්නේ එහෙම වෙස් මූනක්. වෙළඳ පොලේ ඇති ඉල්ලුම අනුව මේ වගේ නිර්මාණ කෙරෙන බව තමා වෙස් මූනු නිපදවන්නන් කියන්නේ.

මේ වෙස්මූනු අශ්‍රිතවම කෙරෙන තවත් නිර්මාණයක්. කදුරු ලීයෙන්ම කරන ලද කුඩා ඇත් රුවක් සහිත යතුරු රඳවන කීපයක් තමා මේ. මේ සියල්ල දැක බලාගන්නට වගේම මිලදී ගන්නටත් හැකියාව තියෙනවා අම්බලන්ගොඩ පිහිටි වෙස්මූනු කෞතුකාගාරයෙන්. මේ වගේ තවත් බොහෝ දේ නිර්මාණය වෙලා තියෙනවා. ඒවා අතර කුඩා දේව ප්‍රතිමා, ඉතා කුඩා ප්‍රමාණයේ වෙස් මූනු හා විවිධ සත්ව රූපද, අම්බලන්ගොඩ – මාතර ප්‍රදේශ වලට විතරක් ආවේනික රිටක හිඳ මාළු බෑමේ නිරත වෙන මිනිසුන්ගේ නිර්මාණද තියෙනවා.

ඇත්තටම ලංකාවේ අතීතෙයේ ඉඳලම පැවත එන මේ වගේ පාරම්පරික කලාවක් ගැන අහන්න ලැබෙන තොරතුරු බොහොම අපූරුයි. ඉස්සර මිනිසුන්‍ගේ විවිධාකාර ඇදහිලි ක්‍රම හා විශ්වාසයන් මූලික කරගෙන තමා මේ වෙස් මූනු නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අර කලින් කිව්ව වගේ එක චරිත මෙන්ම මිනිසුන්ගේ විවිධ ඉරියව් වලට  පවා ඒ වෙනුවෙන්ම වෙන්වුන වෙස් මූනුත් තියෙනවා. කම්මැලිකම, සතුට, කේන්තිය, වමනය වගේ දේවල් වලට දැන් භාවිතා වුනේ ඉමොටිකන්ස් වුනාට ඉස්සර ඉඳන්ම ඒ ඒ දේවල් වලට අදාල දැනට වඩා පිරිපුන් සංකේතමය මූනු ශ්‍රී ලාංකිකයා පාවිච්චි කරල තියෙනවා.

ඉතිං මේ හැම දෙයක්ම හොයාගෙන ගියේ, ඉරිදට ගෙදර ඉන්න බැරි අමාරුවට පිංසිද්ධ වෙන්න. මේ හැම කරුණක්ම දැන කියාගත්තේ අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකගාරයෙන්. මට මේ කෞතුකාගාරය පෙන්වන්න එක්කං ගිහිං කට්ට කාගෙන සෑහෙන උදවුවක් දුන්නේ මාඩාගේ අම්බලම ලියන මනූජ සහෝ තමා… ඇත්තටම ඒ කෞතුකාගාරයට ගියාම, කාලය හරහා ලංකාවේ අතීතයට ගියා වගේ හැඟීමක් තමා ඇතිවෙන්නේ. බලන බලන හැම පැත්තෙම හිනා වෙලා ඉන්න, විරිත්තගෙන ඉන්න, ඔරෝගෙන ඉන්න…. දිව එලියට දාගෙන හෑ… කියාගෙන ඉන්න එක එක විදියේ වෙස්මූනු වලින් පිරිලා.

නිවාඩු වෙලාවක හරි ගාල්ල පැත්තට යන ගමන් හරි නිකමට හරි ඒ තැනට ගියොත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි… ඒ නැතත් තමන් ඉන්න මූඩ් එකට හරි යන වෙස් මූනක් හරි හොයාගන්න බැරියෑ….

pdf එකක් ඕනේ නම් මෙතනින්…

මෙන්න බඩු ටික…

මෙන්න මම නුවරඑළිය ට්‍රිප් එකේදී ගත්ත ටිකක් විතර හොඳ තත්වයේ තියෙන ෆොටෝ ටිකක්. මේවා 1600px X 1200px ප්‍රමාණයට තියෙනවා. කැමති අයට ඩවුන් කරගන්නත් පුලුවන්.


 

 
මේ ෆොටෝ එක ගත්තේ නුවරඑළිය ට්‍රිප් එකේ පලවෙනි දවසේ නාවතැන් ගත්ත රම්බොඩ හෝටලයේ පහල තියෙන රම්බොඩ ඇල්ල පාමුල තියෙන ගල් තලාව උඩ ඉඳලා. ඇල්ලට විරුද්ධ පැත්තෙන් තමා ඉර බැහැගෙන යන්නේ.

 

 

 

 

මේ ෆොටෝ එකත් රම්බොඩ හෝටලයෙම ගත්ත එකක්. මට මතක විදියට ඒ හෝටලයේ තිබ්බ හැම විදුලි ලාම්පු ආවරණයක්ම මේ වගේ තමා. මේ ආවරණය හදලා තියෙන්නේ පුංචි පුංචි ලී පතුරු වලින්.

 

 

 

 

මේක සූරියකාන්ත මලක්… තිබුනේ කොහෙද කියන්න නම් මතක නෑ… මොකද මේ වගේ සූරිය කාන්ත මල් දහයක් විතර ෆොටෝ ගත්තා.

 

 

 

 
මේ ෆොටෝ එක ගන්න නම් සෑහෙන කට්ටක් කන්න වුනා. මොකද මේ පුංචි කෘමියා ෆොටෝ එක ගන්න කොටම ඉගිලෙනවා. ඉතිං මට මතක හැටියට කෘමියා නැතිව ෆොටෝ දහයක් විතර වදින්න ඇති…මේ මල තිබුනේ නුවරඑළියේ වික්ටොරියා උද්‍යානයේ. මේ සතා මී මැස්සෙක්නම් නෙමේ. ඊට ටිකක් ලොකු එකෙක්. (සමහර විට රට මී මැස්සෙක්ද දන්නේ නෑ… ලොකු එකෙක්නේ)

 

 

 

 

මේ මල් වර්ගෙනම් මොකද්ද කියන්නේ දන්නේ නෑ. කොහොම හරි මේ මල දකින්න තිවුනේ ග්‍රෙගරි වැව අයිනේ තියෙන ගලක් ගාව. ලස්සනට හදන එකක්ද කැලේට හැදෙන එකක්ද කියන්න  දන්නෙත් නෑ… කොහොම හරි නුවරඑළියේ කැලේට හැදෙන මල් වලින් වැඩි හරියක් එහෙ මිනිස්සු, ඉහල මිලකට කොළඹ අවට ප්‍රදේශ වලට අලෙවි කරනවා.

 

 

මේ තමා නුවරඑළියේ ග්‍රෙගරි වැව. මේ ෆොටෝ එක ගත්තේ පාන්දර හයට විතර. ඒ වෙද්දි එහෙටනම් ටිකක් විතර එළිය වැටිලා… ඇතින් පේන්නේ නුවරඑළිය – වැලිමඩ පාර හා ඊට උඩින් තියෙන කඳු ගැටයක තියෙන ගෙවල් වගයක්. ඒ අස්සෙන් උඩට ඉස්සිලා කූරු කූරු වගේ තියෙන්නේ දුරකථන සම්ප්‍රේෂන කුළුණු කීපයක්.

 

 

 

මේ ඩැන්ඩලයන් කියන මල් වර්ගයේ ප්‍රභේදයක්. මේකට ටිකක් හයියෙන් පිම්බොත් හරි හුළං පාරක් වැදුනොත් හරි මේ මලේ පුලුං වගේ රේණු ඒවයේ බීජත් එක්ක පාවෙලා ගිහිං වෙන කොහෙහරි තමන්ගේ ජනාවසයක් බිහිකරනවා. මේ මල තිබුනේ අපි ලැගුම් ගත්ත නවාතැන පොලේ මල් පාත්තියක…

 

 

නුවරඑළිය ට්‍රිප් එක – II

ඔන්න ඉතිං අනිත් දවස් වල වගේම, සුපුරුදු විදියට ඉර පායගෙන අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසටත් එලිවුනා. හැබැයි ඉතිං පාන්දර හරියේ ඉඳන් තිබ්බ හීතල තමා ඉවසගන්න බැරි. මම අරගෙන ගිය සීතලට අඳින දිග කලිසම ඇඳගෙනත් මුළු සරුවාංගෙම ගැහෙනවා.

අපි නිදාගන්න කොට හීතල එච්චර තදේට තිබ්බ නැති නිසා ජර්සිය ඇන්දේ නෑ. අම්මට සිරි ඒකෙ පල විපාක විඳින්න වුනේ අර කිව්වත් වගේ මහ පාන්දර. සීතලේ හැටියට කම්මැලි කම කොච්චරක්ද කියනවා නම් දත් සැට් එක ටක ටක ගාලා එකට වදිද්දිත් නැගිටලා ජර්සිය දාගන්න හිතුනේ නෑ කිව්වම හිතාගන්න පුළුවන්නේ. බෙඩ් ශීට් එක ඔළුවේ ඉඳන් පොරව‍ ගෙනත් මෙච්චර සීතලනම්… අළුත බැඳලා පැනි හඳ බලන්න එන ඈයෝ කොහොම ඉන්නවද මන්දා. සමහර විට එයාලට සීතල දැනෙන්නේ නැතුව ඇති….! අපි දන්නවැයි ඔව්වා තාම…..

ඉතිං දෙවෙනිදා මුලින්ම තිබුනේ තේ පානය. කිසි අවුලක් නැතිව තේ බීලා මොනාදෝ මන්දා ජුංඩි බනිස් දෙකකුත් කාලා, ආයේ පානුයි, ඉඳිආප්පත් කාලා…. බංඩිය පුරෝ ගත්තා. අනික කව්ද මන්දා කියලත් තියෙනවනේ උදේ කෑම රජෙක් වගේ කන්න ඕනෙයි කියලා. ඒක නිසා ඉතිං අපි එහෙමම කලා. හැබැයි ඉතිං රජා කන විදිය දැකලා නැති නිසා අපේ එවුන් කාපු හැටි ගැන මං නොකියා ඉන්නම්. සමහරුන්ගේ කෑම එකට මහවැලි මහසෑයේ කොතත් වැහිලා ගියා.

ඉතිං පිටත් වෙන්න තව ටික වෙලාවක් තියෙනවා කිව්ව නිසා මමයි තව යාළුවෙකුයි රම්බොඩ ඇල්ලේ වතුර පාර ගලාගෙන වතුරපාර දිහාට දල බෑවුමක් දිගේ බහින්න ගත්තා. ඒ ගමන තමා මරු. පස්ස පැත්ත බිම ඇනගෙන දෙතුන් පාරක් විතර ලෙස්සලා ගිහිං එහෙම අතපය කඩ ගන්නේ නැතුව බේරුනේ නූලෙන්. ඒ වුනාට ඒ මීටර් සිය ගනනේ ගමන නම් නියමයි. ඔය ඉන්නේ ඇල්ලට අධිපති දේවතාව වගේ එකෙක්… ඔයාලා දන්නවත් ඇති පොරව. පස්සේ ආයෙමත් කන්ද නැගලා හෝටලයට ඇවිත් අත පය හෝදගෙන නාගෙන එහෙම ලෑස්ති වුනා නුවරඑළිය බලා යෑමට.

ඊට පස්සේ ටික වෙලාවකින් ඔන්න රම්බොඩට ටටා කියලා පිටත් වුනා කොත්මලේ වේල්ල බලන්න යන්න කියලා. අපේ බස් එකේ ඩ්‍රැයිවර් මහත්තැන්ගේ දැනුමට අනුව විනාඩි 10ක් විතර ගිහිං කොහේදෝ මන්දා නැවැත්තුවා. පස්සෙ ගිහිං බලද්දී මූ ගිහිං තියෙන්නේ වේල්ල බලන්න නෙවෙයි පවර් හවුස් කියන එකක් බලන්න. ඕං ඒ පාර අපි හරෝගෙන එද්දි අපේ තව බස් එකක්, හරි පාරේ ගිහිං වේල්ල බලන්න. එතකොට අපි ආයෙම රම්බොඩ පහු කරගෙන නුවරඑළිය පාරේ ලබුකැලේ දිහාටම ඇවිල්ලා. පස්සේ ඉතිං උන්ට එන්න කියලා අපි ගියා.

ලබුකැලේ අවට නම් මාරයි. හතර වටේට තේ වතු. එක පුංචි සෙන්ටිමීටරයක් තිබුනත් එකේත් ලීක්ස් හරි කැරට් හරි වවලා. ගෝවා නම් තිබුනේ අඩුවෙන්. කොහොම හරි හිස් ඉඩක් නැති තරම්. ඇත්තටම ලබුකැලේ හා ඒ අවට මිනිස්සු තමන්ට තියෙන පුංචි ඉඩ ප්‍රමා‍ණයෙන් හරි සෑහෙන ප්‍රයෝජන ගන්න බවක් තමා පේන්න තිබ්බේ.

ඊට පස්සේ ඕං තව ටික වෙලාවකින් නුවරඑළියට ආවා. ඉතිං රම්බොඩදී වගේම අපි නවාතැන් ගත්ත තැනට ගිහිං කාමර වලට බෑග් ටික දාලා එහෙම අපි ගියා ඇවිදින්න. මුලින්ම නුවරඑළිය ටවුන් එකට. නියම ගමන…. තාම කකුල් දෙක රිදෙනවා. ඉතිං ඔය ඇවිදින ගමන් මධුරංග මල්ලි කිව්ව ලොකාට් හොයන්න ගියා. ටික වෙලාවකින් බඩු හම්බුනා. ඒක ඇත්තටම මරු කෑම. ඔයාලා කෝන් කියන පලතුර කාලා තියේනම් අන්න ඒ වගේම පාටකින් යුක්ත, ඒ ප්‍රමානෙම ගෙඩියක් තමා ලොකාට් කියන්නේ. මේවට පීච් කියලත් කියනවා කියලා කව්දෝ එකෙක් කිව්වා.

ඊට පස්සේ ඉතිං ආවා ග්‍රෙගරි වැව ගාවට. එතෙන්ට එද්දී තුනට විතර ඇති, යද්දි හතට විතර ඇති. අපි හතර දෙනෙක් තමා ආවේ. ග්‍රෙගරි වැවේ අපි අර කකුල් දෙකෙන් පදින බෝට්ටුත් පැද්දා. ඒ බෝට්ටු ගමන නම් පට්ට. හැබැයි අර ඇවිදලා ඇවිදලා රිදි රිදි තිබ්බ කකුල් දෙකට හරී සනීපයි.

ඉතිං වැව ගාව ගෑණු ළමයි එහෙම හිටයෙම නෑ. අපි එයාලා එක්ක තර‍ඟෙට බයිසිකල් පැද්දෙත් නෑ. කෙල්ලෙක්ගේ බයිසිකලේට වෙට්ටුවක් දාන්න ගිහිං කොල්ලෙකුයි කෙල්ලෙකුයි බයිසිකලෙන් වැටුනෙත් නෑ. පස්සේ ඒ කෙල්ලෝ සෙට් එකයි කොල්ලෝ සෙට් එකයි ෆිට් වුනෙත් නෑ… අන්තිමේ කෙල්ලෝ ටික කිරිබත්ගොඩ පැත්තේ කියලා අහගත්තෙත් නෑ…. අනේ සංසාරේ ඇයි මෙහෙමත් එව්වා සෙට් වෙන්නෙ කියලා හිතුනෙත් නෑ….

ඔය ඔක්කොම නාඩගම් වලින් පස්සේ අපි ගියා අපේ නවාතැනට. ආහ්… ඊට කලින් වැව උඩින් යන නුවරඑළිය – වැලිමඩ පාරේ තියෙන පොඩි ආප්ප කඩේකින් ආප්ප කෑවා. ඇස් දෙකෙන් කඳුළු ඇවිත් නහයෙන් හොටු බේරෙනකං… ලුනු මිරිස් එක්ක ආප්ප කෑවා. මහ ලොකු සීතලක් නොතිබුනාට තිබිච්ච සීතල නැති වෙන්න කියලා තව ප්ලේන්ටිත් බිව්වා. පස්සේ ඉතිං ආපහු යන්න ලෑස්ති වෙලා පාරට බහිද්දි, මෙච්චර වෙලා හොඳට තිබ්බ වැව තනිකරම වැහිලා ගිහිං සුදු පුළුං වගේ මීදුමෙන්. මාරම ලස්සනයි. ඒත් ටික වෙලාවකින් මීදුම පහවෙලා ගිහිං ආයෙම පැහැදිලා වුනා.

ඊට පස්සේ නම් අපි හෝටලයට ගියා. ගිහිං නාලා කරලා එහෙම (එදා දවසට නෑම් දෙකයි) රෑ අටට විතර කෑම එහෙම කෑවා. ඉතිං කන අය කාලා ඉවර වුනාට කන -  බොන අය කාලා ඉවර වෙලා තිවුනේ නෑ. ඒක නිසා ඒ අයට එයාලගේ වැඩේ කොරගන්න දීලා අපි ගිහිං පොඩි කයියක් දාගෙන ඉඳලා හීතල ඇඳුම් ඇඳගෙන නිදාගත්තා.

පස්සෙන්දා ඇහැරෙද්දි වෙලාව හයට විතර ඇති. දවසෙන් භාගෙකටත් වැඩිය ඇවිද්ද නිසාම කලින්දා රෑ හොඳට නින්ද ගිහිං තිවුනා. වැඩිය සීතලකුත් තිබුනේ නෑ. ඊට පස්සේ ඉතිං ආයෙම ගිහිං බැලූවා හෝටලේ ඉඳන් වැව අයිනට. එතකොට තමා මෙහෙම ලස්සනට වැව පෙනුනේ.

ඊට පස්සේ ඉතිං උදේ කෑම කන්න හද්දිම ෆෝන් එක රිං වෙනවා. අම්මට හුඩු අපේ සුදු හංසිව හම්බුවෙන්න යන්න ඕනේ නිසා රිමයින්ඩර් එකක් දාගත්තනේ. මං කලින්ම එයාට කියලා තිවුනේ මට ස්ට්‍රෝබෙරි ටිකක් ගන්න ඕනේ කියලා. එයා ඉතිං ඒ පැත්ත ගැන දන්න නිසා හොඳ තැනකින් ගන්න පුළුවන්නේ. අනික මට නම්, ඌරන්ට මොන සෞඛ්‍යයද කියලා ඕනේ මගුලක් කන්න ඇහැක් වුනාට ස්ට්‍රෝබෙරි ගේනකම් බලාගෙන ඉන්න අයට කල් තියාගන්න බෙහෙත් ගහපුවා ගිහිං දෙන්න බෑනේ. ඒක නිසා ඉතිං සුදු හංසි එක්ක ගිහිං ස්ට්‍රෝබෙරි ගත්තා. එයා සෙට් කරලා දුන්නා ස්ට්‍රෝබෙරි වගාකරන තැනකින්ම එදා උදේම පැක් කරපු ස්ට්‍රෝබෙරි විකුණන තැනක්.

ඔය ස්ට්‍රෝබෙරි ගන්න යන්න තියන හදිස්සියට මෙදා පාරත් අපි ගියේ ගිය පාර ගිය ෂෝට් කට් එකෙන්මයි. අපේ අයියලා හතර ගාතෙන් ගිය ඒ දන්ඩ තාම එහෙමම තිබුනා. (පේනවනේ ඒකෙ යන්නෙත් කොයි තරම් අමාරුවෙන්ද කියලා)

ඇත්තටම සුදු හංසි නොහිටියානම් එහෙම මං මෙදාපාරත් ස්ට්‍රෝබෙරි ගන්නේ මාකට් එකෙන් තමා. එහෙම වුනානම් ඉතිං අර ඇඹුල්ම ඇඹුල් එව්වා තමා කන්න වෙන්නේ… ඉතිං සුදු හංසි නිසා මෙදා පාර පැණරස ස්ට්‍රෝබෙරි කෑවා. ඔයාට ගොඩක් ස්තූතියි සුදු හංසි අපි වෙනුවෙන් රස්තියාදු වෙලා ඇවිදලා ඇවිදලා නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න තිබුන කාලේ කැප කලාට.

සෙන්ට් ක්ලෙයාර් ඇල්ල

පස්සේ ඉතිං ස්ට්‍රෝබෙරිත් අරගෙන අපි ආයෙත් ටවුන් ගිහිං පොඩි වටයක් දාලා ආයෙම සෙට් වුනා බස් එකට. එතකොට බස් එක වැව ගාවට ඇවිත් තිබුනේ. පස්සේ ඉතිං ටික වෙලාවකින් නුවරඑළියටත් සමුදීලා අපි ආවා ගෙදර එන්න.

ඩෙවෝන් ඇල්ල

එන ගමන් සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල වගේම ඩෙවෝන් ඇල්ලත් බලාගෙන ඇවිත් කිතුල්ගල නවත්තලා කෑම කාලා එහෙම රෑ අට විතර වෙද්දී ගෙදරට ආවා….

ඇවිත් නෑවද, කෑවද මන්දා නිදාගත්තා නම් මතකයි. ඊට පස්සේ ගත්ත ෆොටෝ කෑලි ටිකක් ප්‍රින්ට් එකට දැම්මා ඊයේ උදේ. සමහර එව්වා නම් මාර ගති. මං ඒ හොඳම පහ හයක් කට්ටියට බාගන්න පුළුවන් වෙන්නම ළගදී ෂෙයාර් කරන්නම්…..!