සෙනසුරාදට නිවාඩුද…? උඳුපියලිය කුමාරි….

ඔය ගෑණු ළමයි ඉන්නවනේ… එයාලා ඉතිං සතියේ දවස් පහේම එක්කෝ ස්කෝලෙ යනවා, එහෙමත් නැත්තං රැකියාවට, එහෙම්මත් නැත්තං ක්ලාස් යනවා… හිටි ගමන් එක් කෙනෙක් දෙන්නෙක් රෝන්දේ යනවා. රෝන්දේ තියෙන්නේ කොහෙද කියලනම් මං දන්නේ නෑ…!

ඉතිං සෙනසුරාදා, ඉරිදා තමා ගෙදර ඉන්නේ. එදාට කරන්නේ පස්ස පැත්තට ඉර වැටෙනකං දොයියනවා. ඒකට අපි… අනිත් දවස් පහටම කලින් අපි සෙනසුරාදට නැගිටිනවා. අපි මෙච්චර කල් දැනන් හිටියේ ගෑණු ළමයි මල් වගේ කියලනේ. ඒක ඇත්ත තමා ඉතිං. සෝස පාට තොල් පෙතියි, කහ පාට කන් පෙතියි… තව තව එව්වා මෙව්වා ගොඩකුයි…! අපි හිතන් හිටියට කෙල්ලෝ හරි ලස්සනයි කියලා, බලාගෙන ගියාම කෙල්ලන්ගේ ඇති ලස්සනක් නෑ… තනිකරම මල් වල කලර් ෆොටෝ කොපියක් ගහලා වගේ… බලන්න ලස්සනයි…!!!

හැබැයි ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව හැසිරෙන විදිය කොපි කරලා, දැන් දැන් ගස් වල හැදෙන මලුත් එහෙම්ම හැසිරෙනවා. අයින්න ඕනෙ ටොක්කක්…! පහුගිය සති කීපයේම මේ චූටි මලක් නිසා මං පට්ට කට්ටක් කෑවා. අම්මපා… අර යෝදි ක්ලාස් ගිහිං අම්මා එක්ක නැලවි නැලවි එනකං වත් මං එච්චර වෙලා කට්ටක් කාලා නැතුව ඇති.

ඔෆිස් එකේ මිදුල පුරාම උඳුපියලිය තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකින උඳුපියලිය මල් දම් පාට වුනාට. මේවා ආනයනය කරපු උඳුපියලිය විශේෂයක්… උදේ පාන්දරට චූටි කහ පාට මල් හැදිලා මාර ලස්සනයි. අපිට ඉතිං ඔය සමහර මැඩම්ලට වගේ රෝස මල් වතු නෑනේ.(මේක පෙන්නේ යාළුවෝ කීප දෙනෙකුට විතරයි. අසරණ මං මොනා කරන්නද ඒ මැඩම් ප්‍රයිවසි හදලා තියෙන හැටිනේ) තියෙන එකම එක තමා මේ උඳුපියලිය මල් වත්ත. ඉතිං හැමදාම, ඒ කියන්නේ සතියේ දවස් පහේම මේ මගුල දැකලා දැකලා, එකෝමත් එක දවසක් දා හිතක් පහල වුනා චූටි පො‍ටෝ කෑල්ලක් ගන්න. ඉතිං පොටෝ ගහන මෙව්වා එක ඔ‍ෆිස් ගෙනියන්නේ සෙනසුරාදා විතරක් නිසා, මං හිතන් හිටියේ ලඟම එන සෙනසුරාදට, කහපාට මල් කුමාරිව මගේ වෝල් පේපර් එකට දාගන්න පුළවන් වෙයි කියලා.

ඉතිං ඊළඟ සෙනසුරාදා වැ‍ඩේට ලෑස්ති වෙලා ගියාට, එකම මලක් වත් නෑ… ‍ඔක්කොමලා නිදි. මං ඉතිං පැයක් බැළුවා… දැන් නැගිටියි… දැන් නැගිටියි කියලා… මොන… කම්මැලි කෙල්ලෝ වගේම තමා. ඉර එලිය වැටිලත් සෙනසුරාදා නිසාද කොහෙද ඇහැක් ඇරලා බලන්නේ නෑ…!

ඔය අස්සේ ඩැඩීලගේ මේ සින්දුවත් මතක් වුනා…



ඊට පස්සේ… හ්ම් කමක් නෑ… උඳුපියලිය කුමාරිල ඊයේ පාටියකට ගිහිං මහන්සි හින්දා නිදිද දන්නෙත් නෑනේ… අනික මේ ලැබුවේ මේ මහා බද්‍ර කල්පයේ අන්තිම සෙනසුරාදාත් නෙවෙයිනේ… තව සෙනසුරාදාවල් එනවනේ කියලා හිතාගෙන ඊළඟ සෙනසුරාදා වෙනකං වැඩේ කල් දැම්මා. පවුනේ…

ඉතිං ඒ සතියෙ දවස් පහත්, මල් දිහා බල බල හූල්ල හූල්ල හිටියා. හ්ම්… ඕං ආවා සෙනසුරාදා… උඳුපියලියගේ *!(^^!<%$ !*^?$(* *&!_*!^* …. එදත් මුං ටික දොයි…! අනේ මන්දා අපේ කවුරු හරි එකෙක් කියලා යනවද මන්දා සිකුරාදා හවසට “හෙට සෙනසුරාදනේ… ඒක නිසා ඇතිවෙන්න නිදා ගන්න” කියලා. අපේ පුතාලව විශ්වාස කරන්න බෑ… උං දෙකක් නවා ගත්තම ගස් වලටත් ලව් ටෝක් දාන පොරවල්නේ… නැත්තං කොහොමද මේ මල් ටික සෙනසුරාදට විතරක් නොපිපෙන්නේ…

ඇත්තටම සෙනසුරාදට නිවාඩුද… උඳුපියලිය කුමාරි..?

කරපිංචා කොලයක් මතක කර දුන් කතාවක්…

මේ කතාව මතක් වුනේ ඊයේ දවාලේ ඔෆිස් එකේ කැන්ටිමෙන් ගත්ත කෑම එකේ තිබ්බ කරපිංච කොලේ දැක්කම. මුළු බත් එකටම තිබුනේ එකම එක කරපිංචා කොලයයි…! අජිනොමොටෝ සහ නොයෙකුත් විදියේ රස කාරක දාලා සුවඳ විහිදෙන්න කෑම හැදුවට කරංපිචා කොල එක්ක රම්පේ කෑල්ලක් හොද්දේ ඉදිලා එන සුවඳ නම් කවදාවත් දැනෙන්නේ නෑ.

ඉතිං අර මට හම්බුවෙච්ච එකම එක කරපිංචා කොලේ ති‍යෙනවනේ… ඒකත් හරි ලස්සන එකක්. කොලේ මැද තද කොල පාටයි… වටේටම දුඹුරු පාටයි. හරියට නිකං ක්ෂුද්‍ර බතික් කලාවෙන් හැඩ කරලා වගේ. දැන් අහන්න එපා ක්ෂුද්‍ර බතික් කලාව කරන්නේ කොහෙද කියලා…. දැන ගන්න ඕනේම නම් ලඟම තියෙන ගහක කොලේක හැඩ වැඩ දාන පනුවෙක්ගෙන් අහන්න…! ඌට කතාකරගන්න ඇහැක් වුනොත් කියලා දෙයි නියමෙටම.

දැන් ඉතිං කතාව මෙහෙමයි. දැනට අවුරුදු කීපයකට කලින්… අපේ අම්මගේ යාලුවෝ කට්ටියක් එක්ක එයාලගේ පවුලේ සාමාජිකයොයි අපේ පවුලේ හතර දෙනයි ගියා ට්‍රිප් එකක්. ඔක්කොමලා ඉන්න ඇති පහලොවක් දාසයක් විතර. ගියේ හරියටම කොහෙද කියන්නනම් මතකයක් නෑ… ඒත් කරපිංචා සීන් එකට අදාල ගමන ගැන නම් මතකයි. අපි ඔය කොහෙන් හරි දවල්ට කාලා, වයඹ  පලාතේ (මට ෂුවර් නෑ උතුරු මැදද කියලත්) තියෙන හස්ති කුච්චි විහාරය බලන්න යමින් ගමන් තමා හිටියේ.

ඉතිං ඔය අපේ වෑන් එලෝගෙන ගිය ඩ්‍රයිවර් මහතා ටිකක් විතර බේබද්දා. මූ දවල්ට කාලා පොඩි ෂොට් එකක් දාගෙන හිටියේ. මගක් දුරට ගිහින් ඉස්සරහ සීට් එකේ හිටිය අංකල් කෙනෙකුට පොර කියනවා,

මහත්තයා… හස්ති කු…කු….කු….කුච්චි යන්න ෂෝ… ෂෝ….ට් කට් එකක්..ක්…ක් මං දන්නවා….. කියලා. ආයේ ඉතිං අපේ අයත් ෂෝට් කට් , නොමිලේ කියන වචන දේවත්වයෙන්නේ සලකන්නේ. ඉතිං කට්ටියම හා හා… එහෙනම් ෂෝට් කට් එකෙන් යමුයි කිව්වා. පස්සේ ඉතිං අපි කවුරුවත් නොදන්න බොරළු පාරකට, අපේ ඩ්‍රැයිවර් මහත්තයා වෑන් එක හැරෙව්වා. අප්පේ ඒ පාර මතක් වෙද්දී නම් වෙලාවකට බයත් හිතෙනවා. තනිකරම දුඹුරු පාටයි. පාර විතරක් නෙමේ දෙපැත්තේ තියෙන ගස් වැල් හිටන්ම. ඈත්තටම ඒක පටු පාරකුත් නෙමේ, දැන් තියෙන සමහර මහා මාර්ග වගේ වාහන දෙකක් යාන්තමින් මාරුවෙන්න පුළුවන් තරමේ පාරක්. අපිට කලින් ආපු ගියපු වාහන වල ටයර් කට්ට රටා ටිකත් අර දූඹුරුම දුඹුරු පාට පාරේ දූවිලි වල සටහන් වෙලා තිවුනා. ඔහොම යනවා යනවා ඉවරයක් නෑ. ඊටත් පාර දෙපැත්තම තනිකර කැලයක්. මුළු පාරම මහ දාවලේ උනත් තරමක් අඳුරු ගතියක් තමා තිබුනේ.

මතක විදියට අපි විනාඩි දහයක් විතර තනි කෙලින් පාර දිගේ දූවිලි කාගෙන යන්න ඇති. පස්සේ ටිකකින් ඩෝප් ඩ්‍රයිවර් නැවැත්තුවා වාහනේ. ආයෙ ඉතිං අයිනකට කරන්න කියලා දේකුත් නෑ. ඒ පාර මෑන්ස් පිටි පස්ස හැරිලා කියනවා….

මහත්තයා පාර වැරදිලා වගේ…. අපි තව ටිකක් ඉස්සරහට ගිහිං බලමුද, නැත්තං හරෝගෙන පුරුදු පාරෙන්ම යමුද…? කියලා….

වෙලාවට පොර ඇරෙන්න අපේ වෙන කිසිම කෙනෙක් බීලා හිටියේ නෑ. නැත්තං ඩ්‍රයිවර්ට තාම ගහනවා අර මහ කැලේ මැද්දේ පෙරලගෙන. පස්සේ ඉතිං අපේ ලොකු කට්ටිය කිව්ව තව ටිකක් දුර ගිහිං බලමු කියලා. ඊට පස්සේ ඔන්න ආයෙම යනවා. ටික දුරක් යද්දී… ආයෙම ඩ්‍රයිවර් කියනවා…,

ආ… පාර හරි වගේ මහත්තයා අර වාහන වගයක් තියෙන්නේ නවත්තලා… කියලා.

ඊට පස්සේ ඉතිං ඒ හරියට කිට්ටු කරලා බලද්දී තිවුනේ හෙන තඩි කැන්ටර් පහ හයක්. පස්සේ අපේ තාත්තලා ගිහිං එකේ අයගෙන විස්තර ඇහුවා පාර ගැන. ඒ ටික වෙලාවෙදී තමා මම හොඳම සීන් එක දැක්කේ….!

අර විසාල කැලෑ මැද්දේ ඉඳන් ගෑණුයි පිරිමියි කට්ටියක් එනවා මොනාදෝ මන්දා ගස් වගයක් රෝල් වෙන්න ඔතලා ඔලුව උඩ තියාගෙන. ඒවා සෑහෙන බර පාටයි. මං මුලින්ම හිතුවේ හොරෙන් රොකට් අදිනවා වෙන්න ඇති කියලා. පස්සේ බැලින්නම් ඒ කරපිංචා. මිනිහෙක් තියා කපුටෙක්වත් නැහැයි කියලා හිතන්න පුළුවන් කැලෑවේ ඉඳගෙන මිනිස්සු හත් අට දෙනෙක් කරපිංචා මිටි ගෙනාවා හිටිය මිනිස්සු ගානටම. ගෙනාපු ගමන් සස්….. ගාලා වාහන යන පාරේ තියෙන දූවිලි ගොඩට අතෑරියා. හරියට ලොකු ගලක් වතුරට වැටුනම වතුර දෙපැත්තට විසි වෙනවා වගේ, ඊටත් වඩා නියමෙට කරපිංචා මිටි වටේට ටිකක් ඝනට මීටර් තුන හතරක් විතර ලොකු දූවිලි වලාවකින් වැහැලා ගියා. ඊට පස්සේ ආයෙම අර සෙට් එක කැලෑට රිංගුවා.

පස්සේ ඉතිං ඔය ටික වෙද්දී අපේ තාත්තලා පාර ගැන දැන කියාගෙන ඉවරයි… කොහොමහරි ඩෝප් ඩ්‍රැයිවර්ට පින් සිද්ධ වෙන්න අපිට ආයෙ හ‍රෝගෙන යන්න වුනා උගේ පුරුදු පාර හොයාගෙන…

ඒ යන ගමන් අපේ අම්මගේ යාළුවෙක් කියනවා මට ඇහුනා…,

අපි කනවා ඇත්තෙත් ඔය ජරාවනේ… නේද රේණු…? කියලා.

පස්සේ අපේ තාත්තා තමා කිව්වේ ඒ ඔරිමජිනල්, ව්‍යාංජන වලට දාන කරපිංචා නෙවෙයි වල් කරපිංචා කියලා. එව්වා පොඩියට මිටි බැඳලා අහල පහල හො දුර බැහැර හෝ පොලවල් වලට යවනවා ඇති කිව්වා. මට ඉතිං ඒක එච්චර ගානක් වුනේ නෑ… අපේ ගෙදර ඒ වෙනකොට කොහොමත් කරපිංචා ගහක් තිබ්බ නිසා ඒකෙන් තමා අම්ම කරපිංචා ඕනේ උනාම කඩා ගත්තේ…

ඊට පස්සේ එදාට පස්සේ ඊයේ තමා කරපිංචා ගැන මට මතක් වුනේ. ඇත්තටම අපි නොදන්නව වුනාට කරපිංචා විතරක් නෙමේ අනිත් එලෝලුත් මෙහෙම වෙන්න බැරිද කියලා මට හිතෙනවා. ඒත් ඉතිං එහෙමයි කියලා නොකා ඉන්නත් බැහැ, අපේ වතු වල එලෝලු වගා කරන්න ඉඩත් නෑ. ඒක නිසා ඉතිං වෙන විකල්පෙකුත් නෑ වගේ… ඌරන්ට මොන සෞඛ්‍යයද කියලා අහුවෙන දෙයක් පුළුවන් තරමින් පිරිසිදු කරලා කන එක තමා කරන්න වෙන්නේ. ඇයි දෙයියනේ කංකුං…. කංකුං හැදෙන්නම කුණු කාණු වලනේ… තෙලෙන් බැදලා ගත්තම ඔය තියෙන්නේ යසට….

තවත් දෙයක්… නුවර එළිය පැත්තේ ජීවත් වෙන අය නම් මට හිතෙන්නේ ඒ අතින් වාසනාවන්තයි. මොකද තමන්ගෙම වත්තේ නැතත් අහල පහල වත්තකින් හරි පිරිසිදු එලෝලු ටිකක් ගන්න හැකියාව ඒ අයට තියෙනවා…!

දැන් ඉතිං කරපිංචා කතාව ඉවරයි…. මේ වෙනින් එකක්…

ඉතිං අන්තිමටම නුවර එළියකුත් මේකට එල්ලුවේ, මං හෙට ඉඳන් දවස් දෙකක් විතර ඉන්නේ නුවර එළිය ආශ්‍රිතව. ඒ අපේ ඔෆිස් එකේ වාර්ෂික විනෝද චාරිකාවට පිං සිද්ධ වෙන්න. ඉතිං ඒ යන පාරෙදි පේන එලෝලු ගොවිපලවල් දැක්කම ගිය පාර වගේ මේ පාරත් කටට කෙල ටිකක් උනන එක නම් නවත්තගන්න බැරිවෙයි. ඇත්තමයි වටේට වැටවල් නැත්තං කැරට් පාත්තියකට බැහැලා කැරට් අලයක් කන එක කනවා මේ පාරනම්….! හොරෙන්, අමුවෙන්, නැවුම්ව කන දේ කොහොමත් රසයිනේ….(අත්දැකීම් ඇත්තෝ දන්නවා ඒ බව…)

කෙලී දැන් ටිකක් ලොකුයිනේ…. අපේ අම්මලාත් කැමති වෙයි….!

නිවාඩු දවසට මට තියෙන එකම රාජකාරිය තමයි මගේ බයිසිකලේ කරගෙන ගම වටේ ඇවිදින එක. ගම වටේ කිව්වට ඉතිං ගම මැද්දෙන් පාරවල් දෙක තුනකින් දාගෙන යන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදරකට. එහෙ ගිහිං ඌත් එක්ක කයියක් දාගෙන ඉන්න ගමන් තමා මට මේ කෙල්ලව බලන්න යන්න හිතුනේ…. මං මුලින්ම යද්දී නම් කෙල්ල හෙන පුංචියි. ඒ දවස් වල ලඟට ගිහිං ෆොටෝ එකක් එහෙම ගහගෙන ආවට, එතනින් එහාට දෙයක් කරන්න ගියේ නෑ… අඩුම ගානේ කොන්ඩෙන් අදින්නවත් ගියේ නෑ… කියන්න බැහැනේ කවුරු හරි බලං ඉඳලා බාල අපචාරයක් කරයි කිව්වොත් එහෙම කෙලීගේ දෙමව්පියෝ එයි මාව කන්න… කෙල්ලෙකුට ටිකක් ලොකු වෙලා පාට වැටිලා හැඩවෙන කං ඉන්නේ නෑ… එනව මෙතෙන මගුල් නටන්න කියලා….ඒක නිසා ඉතිං එදා මං ඉවසලා හිටියා.

ඒත් ඒ කාලෙදීම ඒකිගේ අනාගතේ ගැන දැනගත්ත දෙමව්පියෝ කෙල්ලට ආරක්ෂකයෙක් දීලා තිබුනේ. මොකද අම්මලා තාත්තලාට තේරුනා කෙල්ල ලස්සනට රත්තරං පාටට පාට වැටිලා, කොන්ඩෙත් දිගට වැවිලා ලස්සන වෙලා… දෙමාපියන්ගේ මුළු අනාගතේම සාරවත් කරනවා කියලා. ඒ වගේම ඉතිං අනිත් අම්මලා තාත්තලාගේ වගේම ඒ දෙමහල්ලන්ගෙත් බලාපොරොත්තුව වුනේ කෙල්ලව හොඳට ආරක්ෂා කරාගන හොඳට කන්න බොන්න දීලා ආදරෙන් බලාගන්න එක තමා. ඒ නිසාම තමා ඔය නහර කාර එක එක අවිච්චියෝ , පොල්කිච්චෝ වගේ කුරුල්ලන්ගෙන් කෙල්ලව බේරගන්න කියලා ආරක්ෂකයෙක්ව දැම්මේ. උගේ වැඩේ කෙල්ල දිහා බලන් එකමයි. ආසාවට එක ඇහිපිල්ලමක් ගහන්නේ නෑ… වැස්සට තෙමුනත් අව්වට වේලුනත් ඒ ගොන් අලියා ඔහේ හිටගෙන කෙලීව මුරු කරනවා. කෙල්ල පුංචි කාලේත් මේ ආරක්ෂකයා කෙල්ල ගාවම හිටියට ඌටත් මොකද්දෝ අමුතු ලස්සනක් එකතු වෙලා මේ කෙලී දැන් ලොකු වෙලා පාට වැටිලා නිසා.

ඔය කොච්චර මුර කාවල් තිවුනත් ඉතිං කෙල්ලව බලන්න නං කාටවත් තහනමක් නෑ…

ඒත් ඉතිං ඔය එක එක නාටක රූකඩ බලන අපේ කොල්ලෝ මේ වගේ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ… ඒ වුනාට ඉතිං මං නම් එක හිතින් කැමතියි මේ කෙල්ලට. ලස්සන රත්තරං පාටට දිලිසෙන අපූරු කෙලි පොඩ්ඩ. බොරු කියන්නේ මොකටද කෙල්ලගේ ලඟින් යද්දී දැනෙන සුවඳට මාව මත්වෙලා වගේ යනවා. මේ ඊයේ පෙරේදා තිවුන ඉරිදා නිවාඩුවටත් ගිහිං මං කෙල්ලව බැළුවා. අම්මෝ… සතියෙන් සතිය පාට වැටෙනවා… ආසාවේ ‍බෑ… ඒකි ගාවට ගිහිං ඉන්න කොට දැනන සුවඳ නහය කඩාගෙන යද්දී මටම හිතෙනවා මං මේ ස්වයං වින්දනයක් ලබනවා නේද දෙයියනේ කියලා මේ කෙලී දිහා බලාගෙන කියලා.

ඔහොම ටික වෙලාවක් ඉද්දී හිත කියන්නෙම.. යන්න ගිහිං කෙලිගේ කොන්ඩෙන් පොඩ්ඩක් ඇදලා බලන්න කියලා. රත්තරං පාටට බිමට නෙමිලා තියෙන ලස්සන දැක්කම මගේ විතරක් නෙමේ, මේ ‍කෙල්ලගේ දෙමව්පියන්ගේ උනත් හිත ටිකක් ගැස්සලා නොගියනං තමා පුදුම.

මං කොන්ඩෙත් අතගාලා එහෙම යන්න ලෑස්ති වෙද්දිම, හිත කියනව ආයෙමත් හැරිලා ගිහිං කෙල්ලගේ සලකුනක් අරගෙන ගිහිං අම්මට පෙන්නන්න කියලා. අපේ අම්මනම් මේකිට අකමැති වෙන්නේ නෑ කියලා මං කොහොමත් දන්නවා…. මෙච්චර ලස්සන කෙල්ලෙකු‍ට අකමැති වෙන්නෙ මොකටද… ඒ පාර ඉතිං ඔක්කොම වැඩ පැත්තක තියලා ආයෙම ගියා කෙලී ගාවට. යද්දීම එනව පුංචි සුළං රැල්ලක්…ආව්…. පැද්දෙන ලස්සන. මේකි මට ගෙදර යන්න නොදී මාව වශී කරලා තියාගන්න හදනවද කොහෙද… එක එක නැටුම් පෙන්නලා…

එක පාරකට එක පැත්තකට යනවා, ඊළඟ සුළං රැල්ලට ආයෙමත් අනිත් පැත්තට යනවා. අනේ මන්දා මට නං දුකත් එකක් කොන්ඩ කෑල්ලක් කඩාගෙන ගෙනියන්න. ඒත් ඉතිං කෙල්ලව අම්මට පෙන්නනත් ඕනේ නිසා පුංචි කොන්ඩ කරලක් කඩා ගත්තා. අර අරක්ෂකයත් දන්නවා වගේ මං ‍මේකිට ආදරේ බව… ඒක නිසාම ඉතිං හිටිය තැනටම වෙලා බලාගෙන හිටියා. අනිත් එක ඔය ආරක්ෂකයට ඔතනින් හෙල්ලන්න බැහැනේ…

පස්සේ ඉතිං කඩා ගත්ත කොන්ඩ කෑල්ල පරිස්සමට උඩ සාක්කුවේ දාගෙන ගිහිං අම්මට පෙන්නුවම මේං තාත්තත් එනවා කෙලීව බලන්න. මං හිතන් හිටියේ තාත්තට පස්සේ කියනවා කියලා… ඒත් ඉතිං කොහෙද… තාත්ත ඉස්සර වුනානේ… කොන්ඩ කෑල්ල ගත්ත ගමන් ඇහුවේ… ඒ ළමයාගේ අම්මලා දන්නවද මේ කොන්ඩ කෑල්ලක් ගෙනපු එක කියලා. මාත් ඉති ගත් කටටම… නෑ… එයාලා පේන්න හිටියෙ නෑ… අර මහ ලොකු පඹයා විතරයි හිටියේ කිව්වා… පස්සේ ඉතිං කොහොම හරි දෙන්නම කෙල්ලට එක පයින් කැමතයි.

ඔක්කොමත් හරි අපේ අම්ම අන්තිමේ ගම කෑවා. මාව දාලා පිච්චිලා යන කතාවක් කිව්වා කෙල්ලගේ පින්තූර බල බල ඉඳලා…

බලන මාසේ දිහාවේ ගොයම් කපයි… දැං ඉතිං හොඳට පැහිලනේ…

ඒ කියන්නේ කෙල්ල තව සති දෙක තුනකින් ලොකු ළමයෙක් වෙලා, ඊට පස්සේ කවුරු හරි නගරේ ඉන්න මනමාලයෙක් ඇවිත් කැනදන් යනවයි කියලනේ. :( එවෙලේ ඉඳන් හිත නිකං කුනාටුවකට අහුවෙලා වගේ. අපේ ගමේදී නම් අපේ ගෙදර අයටත් ආරාධනා හම්බවෙනවා කෙල්ලව නාවලා ගෙට ගන්න දාට. එදාට නම් ඉතිං මල් හතයි.

රෑ වෙනකම්ම කමතට වෙලා ඉඳලා පහුවදා එලිවෙන්න කිට්ටුව තමා අපේ ගෙදර යන්නේ… ඒත් ඉතිං මේ කෙල්ලගේ මගුලට අපිට යන්න වෙන්නේ නෑ. අනික මේකි පිටගං යනකං අපි දන්නෙත් නෑ…. කමක් නෑ…. ඊට පස්සේ මාස දෙක තුනකින් තව කෙලි පැටික්කියක් එයිනේ…. එතකොටත් අර පඹ ආරක්ෂකයම ඉඳියි මයේ හිතේ ඒ කෙලීගේ ආරක්ෂාවට…!

කොල්ලන්ට පමණයි… කෙල්ලන්ගේ විගඩම්…

හා දැං කොල්ලෝ ටික ඔය ඇරගෙන ඉන්න කටවල් වහගන්න. අද කියන්නේ කුනුහබ්බයක් නෙවේ. මේකත් කොල්ලොන්ට වැදගත් වෙන කතාවක්. හැබැයි ඉතිං මේ කියන්න යන දේ 99%ක් විතරම පාවිච්චිය ගෑණු දරුවො තමා.

ඉතිං අද මේ කියන්න හදන්නේ, තමන්ගේ හිතගත්ත කෙල්ලගේ අත්ල, පාදය, නියපොතු එහෙම සිරාවටම ලස්සන කරගන්න විදියක් ගැන. කව්ද අකැමැති තමන්ගේ කෙලි පොඩ්ඩ ලස්සනට ඉන්නවා බලන්න…. දැන් ඉතිං මට කොහේ හරි හෝටලයකින් කෑමක් සෙට් වෙයිද දන්නේ නෑ, අනුන්ගේ ගෑණු ළමයින්ගේ අත් කකුල් දිහා බලන්න යනවා කියලා…. කොහොම හරි කමක් නෑ ඕනෙ ඔට්ටුවක් දානවා පිරිමි ළමයි ගොඩ දෙනෙක් මේක ගැන දන්නේ නෑ…. පිරිමි ළමයි විතරක් නෙමේ ගෑණු ළමයිනුත් සමහරවිට මෙහෙම දෙයක් ගැන දන්නේ නැතුව ඇති. මං දැන ගත්තෙත් ඒ වගේ ලස්සන අත් දෙකක් තිබ්බ කෙලි පැට්ටක් මට හිටිය නිසා…. එයාගෙන් තමා ගොඩක් දේවල් දැන ගත්තේ මේ කලාව ගැන.

හරි මේකයි කතාව. කට්ටිය හිංදි කතා, චිත්‍රපටි එහෙම බලලා තියෙනවනේ. දෙමළ ඒවායෙත් තියෙනවා. දැං ඉතිං ඔය මොකුත් නොබලපු අය ඉන්නවනම්… ඒ අය අඩුම ගානේ රන් දෙපැයවත් බලලා ඇතිනේ. ඉතිං ඒ බලද්දී ඔයාලා දැකලා ඇතිනේ ඒ කතාවල රඟපාන ගෑණු ළමයින‍්ගේ අත්වල අත්ලේ, එතකොට පාද වල… නියපොතු වල එහෙම දුඹුරු පාටින් වගේ පාටකින් එක එක විදියේ ලස්සන ලස්සන රටා ඇඳලා තියෙනවා. ගොඩක් වෙලාවට ඇඳලා තියෙන්නේ රවුම් හා ඒ ආශ්‍රිත දේවල් තමා. ඉතිං මෙහෙම අඳින රටා වලට කියන්නේ මෙහින්දි රටා කියලා. හෙනා කියලත් කියනවා. හින්දු විවාහයන් වලදී මනමාලිව සරසන්න අනිවාර්යෙන්ම මේ මෙහින්දි කලාව යොදා ගන්නවා.

මෙහින්දි රටා ලංකාවෙනම්‍ ගොඩක්ම භාවිතා වෙන්නේ මුස්ලිම් ගෑණු ළමයි අතර හා දෙමළ ගෑණූ ළමයි අතර. ඉතිං මේ හෙනා කියන්නේ මල් හැදෙන පැලෑටි විශේෂයක්. සාමාන්‍යයෙන් පඳුරු වශයෙන් හැදෙන මෙම ගස් මීටර් 2ක් 3ක් විතර උස යනවා. ඒ වගේම හෙනා පැලෑටිය අප්‍රිකාව, දකුණු ආසියාව වගේ රට වල සාමාන්‍යයෙන් වැවෙනවා. තව ගොඩක් රටවල් වල හෙනා පැලෑටිය වානිජ වශයෙන් වගා කරනවා. ඉතිං හෙනා වලට බෙහෙවින්ම ජනප්‍රිය ඉන්දියාව වගේම තමා… හෙනා නිෂ්පාදයන වැඩිත් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ.

‍ඒ වගේම හෙනා ගහේ කොල වලින් තමා ඉතිං මේ සෙල්ලං ඔක්කොම දාන්නේ. හෙනා ගහේ ‍වියළුන නැති නැවුම් කොල පොඩි කරලා තමා හෙනා පවුඩර් එක සකසා ගන්නේ. ඊට පස්සේ හෙනා කලාවට ආවේනික ගොට්ටක් වගේ හැඩයකින් යුක්ත උපකරණයක් තුලට හෙනා පවුඩර් හා දෙහි මිරිකා ගත් යුෂ මිශ්‍රණය දානවා. ඔය දෙහි මිශ්‍රණය වෙනුවට වෙනත් රටවල නම් අන්නාසි යුෂ, කහට තේ එහෙමත් යොදා ගන්නවාලු. ඒත් ලංකාවේ නම් පාවිච්චි කෙරෙන්නේ දෙහි යුෂ හෝ ඒ හා සමාන ක්‍රියාකාරීත්වයක් ඇති වෙළඳ සැල් වලින් ලබාගන්න පුළුවන් ආම්ලික ද්‍රාවන විතරයි.

ඇත්තටම මේ හෙනා කියන්නේ තාවකාලික පච්ච කෙටීමක් හා සමානයි. මොකද මේ හෙනා වලින් යම් උත්සව අවස්ථා සඳහා පමණක් ශරීරයේ විවිධ අලංකාර පච්ච ඇඳ ගන්න පුළුවන්. එව්වයේ කාල සීමාව තීරණය වෙන්නේ ලබාගන්නා හෙනා පවුඩර් එක අනුව තමා. ගොඩ දවසක් පච්චය තියාගන්න ඕනේ නම්, ඒ සඳහා සකස් කරපු හෙනා වර්ග වගේම පැය කීපයක් සඳහා සකස් කල හෙනා වර්ගත් වෙළඳ පොලේ තියෙනවා.

ආහ්… හෙනා වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ස්වාභාවික හෙනා සහ කළු හෙනා කියලා. ඒ වගේම හෙනා පාව්චිච කරනවා කොන්ඩය පාට කිරීමටත්. ස්වභාවික හෙනා වල නම් ඇත්තෙන්ම අඩංගු වෙන්නේ හැනා පැලෑටියේ කොල වල පවුඩර් එකම නෙමේ. ඒ සඳහා යොදාගන්නේ වෙනත් ශාක පත්‍රය. ඒ වගේම ඒවායෙන් කොන්ඩයේ පාට විකෘති වීමක් සිද්ධ වෙන්නෙත් නෑ. ඊට පස්සේ කලු හෙනා. කළු හෙනාවල හෙනා පත්‍රයේ කුඩු අඩංගු වුනත් සෑහෙන ප්‍රමාණයකින් වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගුයි. ඒ රසායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදකයින් බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් ඉක්මනින් හෙනා රටාව මතු කර දැක්වීමයි. ඒක නිසාම මේ කළු හෙනා වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ සංචාරකයින් බහුලව පැමිණෙන ප්‍රදේශ වල හා රටවල් වල තමයි.

ඉතිං පෙනේද හෙනා වල ර‍ඟේ. කව්ද  ඉතිං අකමැති වෙන්නේ ඔච්චර ලස්සනට දෑත හැඩ කරගන්න පුළුවන් හෙනා පවුඩර් එකක් තමන්ගේ ගෑණු ළමයට ගිහිං දෙන්න. ලංකාවේ ගාන දැන් නම් කීයද දන්නේ නෑ…. දැනට අවුරුදු කීපයකට කලින්, ඒ කියන්නේ අර ළමයාගේ අත්දෙක දිහා බලාගෙන ඉන්න දවස් වල නම් එක හෙනා ගොටුවක් රුපියල් 90ක් විතර වුනා.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මේ හෙනා වලට සාඩම්බර අතීතයක් තියෙනවා. කොටින්ම කියනවා නම් ආදී ලෝකඩ යුගයේ ඉඳන්ම එක එක දේවල් වලට මේ හෙනා භාවිතා කරලා තියෙනවා. ඒත් නිකං මේ අපි වගේ සාමාන්‍ය ජනතාව නෙවේ…. රජ පවුල් වල කාන්තාවෝ. ඒ කියන්නේ රැජිණියෝ, රජ දූවරු වගේ අය. දැන් ඉතිං ඔය කියන දෙයක් අහන්නේ නැතුව මේ පෝස්ට් එක කියවපු ගෑණූ ළමයි, එයාලගේ භාරකාරයන්ගෙන් හෙනා ඉල්ලලා හෙන වෙන්න එපා. ඕනෙම නං තමන්ම එකක් අරගෙන හැඩ වැඩ දාගෙන ගිහිං පෙන්නුවනම් ඊළඟ දවසෙම තව හෙනා පවුඩර් පැක් තුන හතරක් හම්බු වෙනවා ෂුවර්.

මේක සමහරුන්ට ඇත්තටම විගඩමක්. ඒත්…. අනේ මන්දා මට නම් හරි ජොලි වැඩක්. හිතුනොත් එහෙම හෙනා පැක් දෙක තුනක් මමත් ගෙනිහින් දෙනවා, මේං ගාගෙන හැඩ වෙන්න කියලා….

පඹයෙක් නිසා වෙච්චි දෙයක්…

ම්……… නහය කඩාගෙන මොලය වෙනකම්ම දුවන කැලෑ ගස් ගඳ. මම නැගිට්ටේ දැන් වුනාට මට කලින් තව කීදෙනෙක් නම් නැගිටලද…? පාන්දර තුනේ විතර ඉඳන් එක එක කුරුල්ලෝ සැරින් සැරේට ඇහැරෙනවා… කොහොම හරි පහ පහමාර විතර වෙද්දී හැමදාමත් වගේ ළඟපාත තියෙන ඒත් ඈත…. ගහක ඉඳන් කොහෙක් කෑගහනවා. ඒ එලාම් එක තමා මගේ නැගිටීමේ එලාම් එක. අනේ මන්දා ඌත් එලාම් වදින ඔරලෝසුවක්වත් උස්සං ගිහින්ද කියලා… මොනා වුනත් ඉතිං මහ ‍ලොකු වීරයා  ඔය කොහා කෑමොර දෙන්නේ අනුන්ගේ කූඩුවක ඉඳගෙනනේ….

ඊට පස්සේ ඉතිං ඇඳන් පැනලා දුවන්නේ කුස්සියට. අම්ම හදල දෙන කිරි එක බොන්න. ඔන්න ඊට පස්සේ වෙනදා වගේ ඔෆිස් නොයා ඊයේ ගියා කලින් දා හවස දැක්ක පඹයා බලන්න. සත්තයි… මං පඹයෙක් දැක්කේ අවුරුදු ගානකින්. මං කිව්වේ කුඹුරක ආරක්ෂාවට හිටවලා ඉන්න පඹයෙක්ව. එහෙම නැතුව හුස්ම ගන්න පඹයෙක්ව නෙවෙයි. එවුන් නං ඉතිං ඕනේ තරං ඉන්නවනේ. (මේ ඉන්නේ මං දැක්ක පඹ ආරක්ෂකයා ….)

ඉතිං ඔය කුඹුරක පඹයෙක් හිටවන්නේ ඒ කුඹුරේ වී වපුරලා‍‍‍… සාර්ථක වැස්සක් හෙම ලැබිලා ගොයම් ගස් පීදිගෙන එන දවස් වලට. ඒ කියන්නේ පුංචි පුංචි ලා කොල පාට ගොයම් ගස් හිමීට ලොකු වෙලා…. හුරතලේට එහෙට මෙහෙට වැනෙන හුලඟත් එක්ක හරි හරි යට හැප්පිලා, ගොයම් ගස් වල පලදාව නැත්තං ගොයම් කරල් මතුවී ගෙන කාලෙට. ඇත්තටම බිත්තර වී වපුරලා ගොයම් පැල වලින් ගොයම් කරල් පීදෙනවා කියන්නේ හරියට පුංචි ගෑණු ළමයෙක් මල්වර වෙනවා වගේම දෙයක්. ඒ දවස් වලට ඉතිං ගොවියෝ ගෙවිලියෝ මුළු කාලෙම යොදවන්නේ තමන්ගේ වටිනා කියන වස්තුව රැක බලාගන්න. හරියටම අර පුංචි දැරිවිගේ අම්මලා තාත්තලා පුංචි කෙල්ලව ආදරෙන් ගෙට කරලා බලාගන්නවා වගේ.

ඊට පස්සේ ඔන්න ගොයම් පැල ටික ටිකෙන් ටිකෙන් ටික ලොකුවී ගෙන එනවා. ගොයම් කරල් ලස්සනට පිරිලා… වී කරල් බිමට බරවෙන්නේ, අර කෙලි පොඩිත්තගේ රෑප සොබාව මතුකරගෙන කොන්ඩ කරල් තුනටිය හරියට දික් වෙලා එහෙට මෙහෙට පැද්දෙනවා වගේමයි… ඔය දවස් වලට පුංචි කෙලීගේ ආරස්සාවට ගෙදර කවුරුහරි හැම තිස්සෙම පස්සෙන් යනවා එනවා වගේම තමා  එහෙ මෙහෙ යන කුරුල්ලන්ගෙන් කුඹුර ආරක්ෂා කරගන්න පඹයෙක් ඉන්දන්නේ…

ඉතිං සමහර වෙලාවට කෙලි පොඩ්ඩ ටික ටික ලොකු වේගෙන එද්දී අම්මයි තාත්තයි දෙන්නම එයත් එක්ක ඉන්නවා වගේ තමා, කුඹුරේ ඉන්දපු පඹයට අමතරව තව ලණු ඇදලා ගොක් අතු, රෙදි පටි එහෙම කුඹුර වටේට එල්ලන්නේ. ඒ හැමදෙයක්ම කරන්නේ ගොවියන්ට ගෙවිලියන්ට තියෙන එකම වස්තුව කුඹුර නිසා.

ඊට පස්සේ ඉතිං ගොයම් ටික සරුවට හැදිලා රත්තරං පාට වෙනකම්ම ඒ කුඹුර ගොවි දෙමහල්ලෝ රැක ගන්නේ අර පුංචි කුමාරි ටික ටික ලොකු වෙලා ගුණධර්ම වලින් පිරිපුන් වෙලා, අධ්‍යාපනයෙන් පෝසත් වෙනකං රැක ගන්නවා වගේ තමා. ඒ අතරෙදි කුඹුර ගැන හැම තිස්සෙම හොයලා බලලා නියමිත වෙලාවට වතුර ටික කුඹුරට ලබාදීලා… කෘමිනාෂක ඉහලා පොහොර දාලා කුඹුර වෙනුවෙන් කරන්න ඕනේ හැම දෙයක්ම කරන්නේ ඒ කුඹුරෙන් ලැබෙන සාර්ථක අස්වන්න ගොවියන්ගේ එකම බලාපොරොත්තුව නිසයි. හරියට අර පුංචි කෙල්ල ‍ස්කෝලේ යද්දී පොත්, පෑන්, පැන්සල් අරං දීලා බඩගිනි වෙලාවට ආහාර සපයල කිසිම දුකක් නොදී රැක ගන්නෙත් එහෙම්මයි. එතනින් එහාට ඉතිං නැකැත් එහෙම බලලා අවට ගොවියෝ එක්කත් කතා කරලා අස්වනු නෙලන්න දිනයක් යොදාගන්නේ… අර කෙලීව දීග දෙන්න හොඳ තැනකින් කටයුත්තක් කතා කරනවා වගේම තමා‍. ඊට පස්සේ ඉතිං කරන්න කොයිතරම් වැඩ තියෙනවද…? ගෝනි එකතු කරන්න ඕනේ… දෑකැති මුවහත් කරන්න ඕනේ, කට්ටිය සුදානම් කරගන්න ඕනේ, එදා නැකතට උයන්න කට්ටිය හොයා ගන්න ඕනේ…. දෙයියනේ කීයක් කියලා වැඩද…? අර කෙලීගේ දෙමව්පියෝ ඒකිව දීගදෙන මගුලට ලක ලෑස්ති වෙනවා ඇත්තෙත් මෙහෙම්ම තමා.

ඊට පස්සේ ඉතිං අර යොදාගත්ත දිනේට කැවුම් කිරිබත් උයලා කට්ටියම එකතු වෙලා දෑකැති අරගෙන කුඹුරට බැහැලා ගොයම් නෙලනවා. ඊට පස්සේ ඉතිං වී ගොඩ එක තැනකට එකතු කරගෙන රෑ වෙනකං සාජ්ජ දාන්නේ අර දැරිවි ලොකු ළමයෙක් උනදා ඉඳන් ආදරෙන් පරිස්සම් කරලා කලවයස ආවම සුදුසු, ගැලපෙන පිරිමියෙක්ට භාරදෙන සතුට බෙදාගන්න වගේම නේද…?

ඊට පස්සේ ඉතිං වී හුලං කරලා, බැත ඉවත් කරලා එහෙම වී ටික ගෝනි වලට අහුරලා සතුට බෙදාගන්න ගමන්ම ඊළඟ දවසේ මුදලාලි එනකං පැත්තකට කරලා තියන්නේ… අළුත් මනමාලයා… මනමාලිව, එයාගේ ගෙදරට කැන්දන් යන්න හදනවා වගේ කියලයි මටනම් හිතෙන්නේ…