පීප්… පීප්… නැගිටපන් යකෝ….

අපි උදේට නැගිටින්න එලාම් තියෙන එලාම් එක වදින්නේ ට්‍රීං… ට්‍රීං… කියලානේ. නැත්තං ඉතිං කුක්කු කූක් කූ…. ගානවා. ඒ ගැන දන්නේ කසාද බැන්ද මාමලා තමා. අපි මේ තාම චූටි එවුන් ඒ ගැන දන්නේ නෑ…! මේ කියන්නේ ඊට වැඩිය මරු එලාම් එකක් ගැන.

මේ ලඟදී දවසක මට යන්න වුනා මගේ කලින් ඔෆිස් එකට. එකෙක්ට පොඩි ට්‍රේනින් එකක් දෙන්න. ඉතිං ඔන්න බස් එකේ නැගලා විනාඩි හතලිහක අවෑමෙන් බැස්සා රත්මලානෙන්. සාමාන්‍යයෙන් උදේ හයාමාරේ ඉඳන් හතහ මාර වෙනකං රත්මලානේ ඇතිවන තදබදය අඩු කරන්න හිතාගෙන පොලිස් මාමලාව අයින් කරලා දැම්මා කලර් ලයිට් සිස්ටම් එකක්. අම්මපා ඒක දැම්මත් හරි වෙනදට ඇතිවෙන තදබදය ඩබල් වුනා. ඇයි ඉතිං කලර් ලයිට් වැඩ කරන්නේ ඌට දීලා තියෙන ටයිමින් අනුවනේ. පොලිස් මාමලා එහෙම නෙවෙයිනේ. එයාලා දන්නවා වාහන අඩු වෙලාවට හා වැඩි වෙලාවට මොලේ කම්පනා කරලා වාහන ටික හසුරුවා ගන්න. ඒත් ඉතිං කලර් ලයිට් සිස්ටම් වලට තාම කෘතිම බුද්ධිය නැහැනේ. අනික ඒක ප්‍රෝග්‍රෑම් කරපු එකා හරියට “if  – else“  යූස් කරලාත් නැද්ද කොහෙද. වාහන නැති වෙලාවටත් පාරෙ අනිත් පැත්තට යන වාහන හරියටම… තත්පරේටම… තත්පර 90ක් නිකං බලං ඉන්න ඕනේ.

ඉතිං කොහොම හරි මම බස් එකෙන් බැහැලා අර ඉස්සෙල්ලා කිව්වත් වගේ පාරේ එක පැත්තක විතරක් වාහන අනිත් පැති වලට යන්න බලාගෙන ඉන්න තත්පර අනූවෙදී පාර පැනලා යද්දී, තත්පර අනූවේ අන්තිම කට්ටේ හිටියේ. ඊට පස්සේ ඉතිං තත්පර අනූව ගිහිං වාහන වලට පාරේ අනිත් පැත්තට යන්න තියෙන තත්පර විස්ස කියන්නේ, ඉස්සර ස්කෝලේ අරින වෙලාව වගේ තමා. හූ කියාගෙන, ඇඟේ ගෑවී නොගෑවි ගෙන කන ගාවින් සං සං ගාලා ඉගිලෙන්න බලන් ඉන්න කට්ටියට හොඳම තරඟකාරීම අවස්ථාව, අනෙකා පරද්දමින් ඉස්සරහට ඇදෙන්න. මොන මගුල කලත් හැමදාමත් දිනන්නේ මෝටර් බයික්ම තමා. ඊට පස්සේ ට්‍රයිෂෝ… ඊටත් පස්සේ තමා පෝලිමේ මුලින්ම තිබුන කාර්, වෑන් එන්නේ…!

ඒත් එදා පොඩි අවුලක්. තත්පර විස්සෙන් තත්පර දෙක තුනක් ගත වෙද්දී එක දිගට හෝන් වදිනවා විතරයි වාහන වල, එක වාහනයක්වත් හෙල්ලෙන්නේ නෑ. මුලින්ම කාර් එකක්. ඊට පස්සේ තඩි ටිපර් එකක්. ඒක පාරෙ පලලෙන් තුන් කාලක් විතර. පිටිපස්සේ තියෙන වාහන යන්නත් බෑ ඒ නිසා. ඉතිං කොහොම හරි මටත් නිකමට වගේ බැලුනා ඒ පැත්ත. මොකද වෙනදට කවුන්ට් එක පටන් ගත්ත ගමන් රූං ගාලා පාගන්න ගන්න වාහන වල ඇහෙන්නේ හෝන් එක විතරයි.

ටිකක් හොඳට බලද්දී කේස් එක තියෙන්නේ පෝලිමේ මුලින්ම තියෙන කාර් එකේ. ඒක හෙල්ලෙන්නෙවත් නෑ. පාරේ ඇවිදන් යන කට්ටියත් කතා වෙන්නේ “සමහර විට කාර් එක කැඩල වෙන්න ඇති“ කියලා. ඒත් එකෙක්වත් නිකමටවත් නොහිතුන දෙයක් තමා වෙලා තිබුනේ.

කාර් එකේ ඩ්‍රයිවර්ට අර තත්පර අනූව ඇතුලත චූටි නින්දක් ගිහිං….!

පස්සේ ඔන්න ටිපර් එකේ කොන්දා බැහැලා ගිහින්… කාර් එකේ වීදුරුවට තට්ටු කරලා, “නැගිටපන් යකෝ“ කියලා ඩ්‍රයිවර්ව ඇහැරවන්න එලාම් එක ගැහුවා. ඊට පස්සේ කාර් එකේ ඩ්‍රයිවර් දඩ බඩ ගාලා ගියර් ටික එහාට මෙහාට මාරු කරලා යන්න ගියා.

හ්ම්… මට දැන් නම් හිතෙනවා, ඒ මනුස්සයට ආයෙමත් නින්ද යන්න ඇතිද කියලා. රත්මලානේ වගේ නෙමේනේ දෙහිවල ගල්කිස්ස හරියට යද්දී ට්‍රැෆික් එක. ඒ හරියෙදි නින්ද ගියොත් නම් ඉතිං කෑගහන්නේ නෑ, කනට එකක් ගහලා තමා ඇහැරවන්නේ….! මොනා වුනත් අනතුරක් නැතුව බුවා ගියාද කියන එක තාමත් සැකයි.

ටී.වී එකෙයි පත්තර වලයි එක දවසක් නෑර තියෙනවනේ ඩ්‍රයිවර්ලට නින්ද ගිහිං වෙන වාහන වලයි, ලයිට් කනු වලයි, ගෙවල් වලයි වාහන හප්පගෙන මරන දෙක තුනකුත් එක්ක ඉවර වෙච්ච නිදිමතවල් ගැන. ඒ නිසා මං නම් හිතන්නේ තමන්ට වාහනයක් එලවන්න තරම් සුදුසු තත්වයක් නැතිනම් හෝ අධික ලෙස නිදිමතනම් හෝ කාටවත් අවහිර නොවෙන්න පොඩ්ඩක් පැත්තකට නින්දක් දාලා යන එක තමා සුභ. එතකොට හැමෝගෙම ශරීර සෞඛ්‍යයට හිතකරයි ඒක…!

ලොකු ලොකු රටවල එක දිගට, දවස් ගනන් යන්න වෙන මාර්ග වල නම්, ප්‍රධාන පාරෙන් වාහනය ඉවත් කරගෙන වාහනේ ඇතුලෙම නිදාගන්න පුළුවන් වෙන්න පොඩි තාවකාලික නැවතුම් තියෙනවා. ලංකාවේ ඉතිං එහෙම එක දිගට යන පාරවල් නැති නිසා වගේම, පාරේ අයිනේ තැන් තැන් වල පොඩි පොඩි ඉඩ තාමත් ඉතුරු වෙලා තියෙන නිසා එහෙම අවශ්‍යතාවක් නම් නෑ.

 

 

කොටහලුව…

‘කොටහලු වීම’ කියන්නේ ගෑණු ළම‍යෙක්ගේ ජීවිතේ මුල් කාලේ ඇතිවෙන සොඳුරු සිදුවීමක්. පුංචි කාලේදි අම්මගේ තුරුලට වෙලා කිරි බිබී ඉන්න පුංචි කෙල්ලෙකුට, මුල්ම වතාවට වතාවට බත් කැව්වට පස්සේ, අකුරු කියෙව්වට පස්සේ… සමහර විට ස්කෝලේ යන්න ගත්තට පස්සේ හෝ ඊට කලින්, ගෑණු ළමයෙක්ගේ ජීවිතේ තියෙන වැදගත්ම සිදුවීම තමා මේ.

අපිට ස්කෝලෙදි නම් කියල දුන්නේ හෝමෝන ක්‍රියාත්මක වෙලා ද්විතික ලිංගික ලක්ෂන පහල වීම  වෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ කියලා. හ්ම්… ඒක ඇත්ත තමා. ඒකනේ කෙල්ලෙක් ලොකු උනාම නෑදෑයෝ හැමෝටම කියලා, යාළුවෝ ඔක්කොමලත් එක්කහු කරගෙන ලොකු මගුල් ගෙයක් ගන්නේ…!!!

පුංචි කාලෙදි ගෑණු ළමයාව අම්මලා තාත්තලා පරිස්සම් කරන්නේ, තියෙන දාංගලේට එහෙ මෙහෙ දුවලා පැනලා වැටිලා මල් පෙති වගේ අතපය තුවාල කරගනිවි කියලා. ඒත් ගෑණු ළමයා වැඩිවියට පත්වුනාට පස්සේත් ඒ ළමයව පරිස්සම් කරනවා. මං මේ මහ ලොකු පන්ඩිතයා වගේ කියවන්න ගියාට, මං ලොකු ලොකු එව්වා දන්නේ නෑ… ඒත් දැනට අවුරුදු කීපයකට කලින් වෙච්ච එක සිදුවීමක් නිසා ‘කොටහලුව’ ගැන මං හිතාගෙන හිටිය හැටි වගේම, කොටහලු මගුල් ගැනත් තිබුන චිත්ත ප්‍රීතිය නැතුව ගියා.ඒ දවස් වල ඉතිං ස්කෝලේ පාඩම් වල තිබුන මොන දේ අමතක වුනත්,  ඔය වගේ විද්‍යාත්මක කරුණු හොඳින්ම මතක හිටින වයසනේ… ඒ දවස්වල සමහර ඒවා අමුතු දේවල් වුනාට ටික ටික මෝරද්දි තමා තේරෙන්නේ සමහර වෙනස් චාරිත්‍ර වල තියෙන වටිනාකම. මේකත් එහෙම එකක්.

මං හොඳින්ම දන්න කියන පුංචි නංගි කෙනෙක් නියමිත වයසෙදි ලොකු ළමයෙක් වුනා. නියමිත වයසෙදි කියන්නේ දැන් වගේ මොන්ටිසෝරි යද්දි එහෙම නෙවෙයි… එයාට අවුරුදු 12ක් විතර වෙද්දි… ඉතිං ඒකෙ එච්චර මැජික් එකක් නෑනේ. ඒත් ඒ පුංචි කෙල්ල ලොකු වුනා කියලා මගුලක් නම් ගත්තේ නෑ… ඒ දෙමව්පියෝ කලේ හාමුදුරුවරු කීප නමක් වඩම්මවලා දානයක් දීපු එක විතරයි. සල්ලි නැතුව නෙවෙයි, තේරුමක් ඇතුව. දානෙට සහභාගි වෙන්න කියලා නෑදෑයින්ටත් ආරාධනා කරා. මාත් ගියා…

ඉතිං මං හිතන්න ගත්තා ඇයි හැමෝම මගුල් ගෙයක් ගනිද්දි මෙයාලා විතරක් දානයක් දීලා ශේප් වුනේ  කියලා… ඒ දවස් වල වයසේ වැරැද්ද තමා. ඕනේ එකයි එපා එකයි හැම මගුලම හොයනවා. දැන් වයසේ වැරැද්ද තමා ඕනේ එකයි එපා එකයි හැම මගුලම ලියනවා. ඉතිං කොහොම හරි මං මේ ගැන හිතලා හිතලා, අන්තිමේ මට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා. මොකද මං ඒ දවස් වල කලේ මගුලයි දානෙයි සංසන්දය කරපු එක විතරයි…! විශේෂ වෙනස් කමක් හෙව්වේ නෑ…!

ඔය වගේ දේවල් වලට ගෙවල් වලින් උත්තර අහන්නත් බැරි නිසා කාලයත් එක්ක ඒ ප්‍රශ්න එහෙම්ම යට ගියා. ආයම මේ ලඟදී තමා, ඔය ප්‍රශ්නේ එක පාරට මතක් වුනේ. ඉතිං දැන් ඉස්සරට වැඩිය ටිකක් තේරෙනවා කියලා හිතිච්ච නිසා ආයෙම හිතුවා. මෙන්න මට හිතිච්චා…

පුංචි කාලේ කෙල්ලව ආරක්ෂා කරන්නේ දුවලා පැනලා වැටෙයි කියලා… ඒත් ගෑණූ ළමයි ලොකු වුනාම ආරක්ෂා කරන්නේ, ඒ කෙල්ල ලොකු වෙනවත් එක්කම එයාගේ අනාගතේටත් බලපාන විදියට පුංචි සිදුවීමකින් හරි ලොකු හානියක් වෙන්න පුළුවන් නිසා. මං මේ කියන්නේ වෙන්න තියෙන ලොකුම දේ වුනොත් කියන එක නෙමෙයි… ඊට වැඩිය ‍ඒ ළමයාගේ චරිතය,  වටිනවා. මට හැමදේම ලියන්න බෑ… හිතන්න එහෙම වෙන්න පුළුවන් අවස්ථා ගැන… ඕනෙ තරම් හම්බුවෙයි…

ඉතිං ගෑණු ළමයෙක් ලොකු වුනාම මං නම් හිතන්නේ ඒ අම්මලා තාත්තලට අසීමිත වගකීමක් පැවරෙනවා කෙල්ල කසාද බඳිනකං  ආදරෙන් බලා ගන්න එක ගැන වගේම… ආරක්ෂා කරගන්න එක ගැන. ඉතිං ඒ ළමයා ලොකු වුනා කියලා, ගමටම කියලා… “හරි අපේ කෙල්ල දැන් ලොකුයි…. තව අවුරුදු කීපයකින් කසාද බඳින්න පුළුවන්… දැන්ම ඉඳන් කැමති එකෙක් ට්‍රයි කරපල්ලා…” කියන්න වගේ මහ සද්දෙන් සිංදු දාගෙන, අරක්කු බීගෙන නටන තාත්තලා ගැන මට ඇතිවුනේ ටිකක් විතර මහ අමුතු හැඟිමක්, අර සිද්ධියෙන් පස්සේ. ඇත්තටම තමන්ගේ දුවගේ ජීවිතේ ලස්සනම දවසකදී බීගෙන නටන තාත්තලාගෙන් වැඩක් තියෙයිද…??? හරිනම් තාත්තලා එදා ඉඳන් බීම නවත්තලා දූව තව ටිකක් හොඳට ආරක්ෂා කරන්නයි ඕනේ…! අවාසනාවට වැඩිහරියක් වෙන්නේ ඕකෙ අනිත් පැත්ත.

ඉතිං ඒ අතින් බලන කොට අර දෙමවුපියෝ කරපු දේ කාට නැතත් මටනම් ආදර්ශයක් වුනා… මොකද මාත් හිතා ගත්තා කවදා හරි… මටත් දුවෙක් ලැබිලා, ඒකි ලොකු ළමයෙක් වෙච්චි දාට දන්න කියන එවුන් ටික එකතු කරගෙන, ඒ අම්මලා තාත්තලා කලා වගේ පිං අ‍තේ වැඩක් කරනවා කියලා…!!!

මේ තනිකරම මට හිතෙන හැටි විතරයි… වෙන කෙනෙකුට මේක පිස්සුවක් වගේ තේරෙන්නත් පුළුවන්.

 

අපේ (අවලං) රජවරුන්ගේ වැඩ…!!!

ඉස්සර, ඒ කියන්නේ ඔය පෘතුගීසී, ලංදේසි ලංකාවට ගොඩබැහැපු කාලේ එහෙම ලංකාව පාලනය කලේ රජ වරු කියන කට්ටියනේ. ඉතිං මේ රජ ගොල්ල තමා දවසකටවත් පොරවල්. රජෙක් කියන්නේ එසේ මෙසේ පොරක් නෙමේනේ… සෑහෙන සැප සම්පත් විඳගෙන දැහැමෙන් සෙමෙන් රට කරපු උදවියනේ ඉතිං. අනිත් සැප සම්පත් අතෑරලා දාමුකෝ… නිකමට හිතන්න බලන්න අන්තඃපුරය ගැන. කොහොමට තියෙන්න ඇත්ද නේද…??? එච්චර ගෑණු රොත්තකුත් තියාගෙන අවලමේ ගිය රජවරු ගැන දන්න අය ඉන්නවද…?

දන්නේ නැත්තං,ඔන්න පළවෙනි එක.

රාජාධිරාජසිංහ කියන්නේ අපේ රටේ රජ කරපු රජ කෙනෙක්. ඉතිං රජුගේ අන්තඃපුරේ ඉඳලා තියෙන්නෙත් සෙල්ලං ගෑල්ලමයි නෙමේ… නායක්කාර් වංශික ගෑල්ලමයි…! කොහොමද වැඩේ. ඉතිං ඒ බිසෝවරුන්ගෙන් දෙවෙනි ප්‍රධාන බිසවට ඉඳලා තියෙනවා සහෝදරියක්. ලස්සන රං කඳක්ලු. ඉතිං රජතුමාත් කිසිම අපහසුතාවයකින් තොරව පොඩි චේන්ජ් එකකටත් එක්ක දවස ගානේ යනවලු නෑනා සමග සෙල්ලං බත් උයන්න. නෑනා වුනත් ඒ ළමයා ඉඳලා තියෙන්නේ අනියම් භාර්යාවක් විදියට.

අනියම් කියන්නේ, ඉතිං තව තව ලින්ක්ස් තියෙනවා කියන එකනේ. ගෑණිගේ නංගි කොහොමත් ගෑණිට වඩා බාල නිසා මේ නාකි රජාට වඩා හොඳ තරුණ හාදයෙක් වෙච්චි පිළිමතලව්වේ මහ අධිකාරම් එක්කත් නෑනා පොඩ්ඩගේ සෙල්ලං බත් ඉවිල්ලක් තිබුනලු. පස්සේ කොහොම කොහොම හරි සෙල්ලං බත් ඉවිල්ල නිසාම නෑනාට බබෙක් හම්බුවෙන්න සෙට් වුනාලු. ආහ්…. රජ දන්නේ නෑලු, අධිකාරම් නෑනා එක්ක සෙල්ලං කරන බව… ඒ වුනාට අධිකාරම් දන්නවලු රජාගේ හැටි. ඒත් අධිකාරම් රජතුමාගේ මාලිගයේ සේවකයෙක් නිසා කටපියං උන්නලු. මොකටද නිකං අනියම් එව්වට මරාගන්නේ කියලා.

පස්සේ ඉතිං රජ කියනවලු, බබා රජතුමාගේ කියලා. අධිකාරම් කියනවලු… පොරගේ කියලා. නෑනාත් කියන්නේ අධිකාරම්ගේ කියලමලු. පස්සේ ඔන්න කොහොමහරි කොල්ලෙක් හම්බුවෙලා ටික ටික ලොකුවෙද්දීත්, අර තුන්දෙනාගේ සෙල්ලං කිරිල්ල නැවතුනේම නෑලු. පස්සෙ දවසක් දා අධිකාරම් සෙල්ලං කර කර ඉද්දි රජතුමා අස්සයා පිටින් එනවා ඇහිලා, අධිකාරම් ගේ පිටිපස්සෙන් මාරු වෙලා. පොඩි එකා දැන් ලොකු නිසා ඌත් අධිකාරම්ට කියන්නේ තාත්ත කියලලු. ඔන්න ඉතිං රජතුමා දැක්කලු මොකෙක් හරි එකෙක් ගේ පිටිපස්සෙන් දුවනවා. ඒ පාර ගෑණුන්ගේ හැටි දන්න නිසාමද කොහෙද ගෑණිගෙන් විස්තර අහන්නේ නැතුව පොඩි එකාගෙන් ඇහුවලු පැනලා දුවපු එකා ගැන. (හැබැයි පොතේ නම් තියෙන්නේ ගෑණිට තියෙන ආදරේට ගෑණිගෙන් ඇහුවේ නෑ කියාල) පොඩි එකාත් අම්මගෙම පුතා නිසා, ඌත් කිව්වලු, කව්දෝ මන්දා ආවා… ඒත් මං දන්නේ නෑ එයාව කියලා.

පස්සේ ඉතිං රජා පොඩි එකාට කිව්වලු, මගුල් කඩුවත් දීලා… ආයේ මෑන් ආවොත් එහෙම මේ කඩුවෙන් ඇනලා මරලා දාන්න කියලා. පොඩි එකත්, හ්ම්… කියලා භාරගත්තට ඌ කොටයිද උගේ තාත්තට. පස්සේ ඉතිං මේ සීන් එක නෑනා දන්නේ නෑලු. අධිකාරම් ආවම කඩුවත් පෙන්නලා පොඩි එකා කිව්වලු සීන් එක. ඊට පස්සේ පොඩි එකා කොහොමත් උගේ ඩැඩා එක්ක ෆිට් නිසා, දෙන්න එකතු වෙලා ප්ලෑනක් ගහලා රජාව මරලා, පොඩි පොඩි උපක්‍රම දෙකතුනකින් පොඩි එකාව රජ කරවලා, අධිකාරම්ට ඕනේ විදියට රාජ්‍යය ගෙනිච්චලු…!

පේනවා නේද, රජා වුනත් අවලමේ ගියාම වෙනදේ…!!!

මේං දෙවෙනි එක…

මේ කතාවේ කතා නායකයා වෙන්නේ නරේන්ද්‍රසිංහ රජතුමා. රජතුමා හරි ආසයිලු දිය කෙලියට. ඒ දවස් වල ඉතිං ස්වීමිං පූල් නෑනේ… තිබුන ඔක්කොම නැචුරල් පූල්ලු. ඉතිං රජතුමා බල්ටි ගගහා නනා ඉන්න දවසක් දා ගඟ දිගේ ගහගෙන ආපු කළු, සිනිඳු, දිග කෙස්ගහක් රජතුමාගේ බෙල්ලේ එතුනලු. පස්සේ රජතුමා නාන එක පැත්තක තියලා මොකද්ද බෙල්ලේ එතුනේ කියලා බලද්දී… ගෑණු ළමයෙක්ගේ කෙස් ගහක්ලු. ඒ පාර රජා වුනත් වලා නිසා, මේ කෙස් ගහ ගැන හිත හිත ඉද්දී, රජාට හිතෙනවලු, කෙස් ගහෙන් පහල බෙල්ල ගැන… ඊට පස්සේ මුහුණ ගැන… ඊටත් පස්සේ ගෑණුළමයගේ පපුව ගැන එහෙම. (පොතේ තියෙන්නේ එච්චරයි එතනින් පහල එව්වා නෑ)

අන්තිමේ රජ්ජුරුවෝ කණ්ඩායම් දෙකක් යැවුවලු ගඟේ ඉවුරු දෙකෙන්… මේ ගෑණු ළමයා ඉන්න තැනක් හොයාගෙන එන්න කියලා. පස්සේ ඉතිං දකුණු ඉවුරෙන් ගිය අයට කිසි දෙයක් ලැබුනේ නෑලු. ඊට පස්සේ වම් පැත්තෙන් ගිය අය මුස්ලිම් අය ඉන්න හරියකට ආවම, අර වගේ දිග කොන්ඩයක් තියෙන බොහොම ලස්සන ගෑණු ළමයෙක් එයාගේ අම්මත් එක්ක ගඟේ නානවලු. ඉතිං අර රාජපුරුෂයෝ ටිකත් ගහකට මුවා වෙලා ඒක බලාගෙන ඉඳලා පොඩි ෆන් එකක් අරගෙන එහෙම අම්මලා දූලා නාලා ඉවරවුන ගමන් එලෝගෙන ගියාලු ඒ දෙන්නගේ පිටිපස්සෙන්.

මල මගුලයිලු… ඒ දෙන්න මුස්ලිම් දෙන්නෙක්ලු. ඊට පස්සේ මුස්ලිම් ගමේ අය සද්දයක් දාගෙන එද්දී, අර එක්ස් ෆයිල්ස් එකේ ෆක්ස් මූල්ඩර් පෙන්නනවා වගේ රජ තුමාගේ මෙව්වා එකක් පෙන්නලා තමාලු වැඩේ ෂේප් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ළමයාගේ තාත්තට කියලා, මේ ළමයාව ගෙනියන්න කාන්තාවන් රැසක් එක්ක දූත පිරිසක් එවනවා කියලා ගිහිං. රාජපුරුෂයෝ ගියා විතරලු, මුස්ලිම් කෙල්ලවයි තවත්  නෑදෑ පවුල් කීපයකුයි අර කාන්ඩේ එන්න කලින් ගමෙන් පිටත් කරලා… පස්සේ රරතුමාගේ දූත පිරිස ඇවිල්ල කෙලීව හොයලා හොයලා බැරිම තැන යන්න ගිහිං. රජතුමා මැරෙනකං කෙල්ලව හොයාගන්න බැරිවුනාලු. (හැබැයි පොතේ නම් තියෙනවා කෙල්ල ගියා පාරවල් හිටිං)

ඉතිං ඔන්න ඔහොමයි අපේ ඉස්සර රජවරු සෙල්ලං බත් උයන්න ට්‍රයි කරලා තියෙන්නේ. මෙව්වා මේ මං ඉතිහාසය විකෘති කරලා කියන එව්වා නෙවෙයි… ඩී.පී වික්‍රමසිංහ ලියපු මග දිගට ජනකතා කියන පොතේ තියෙන කතා. තව පට්ට කතා ටිකක් තියෙනවා, ඔක්කොම කියන්න බෑ අප්පා. ඒක නිසා පුළුවන් කෙනෙක් පොත හොයාගෙන කියෝලා අපේ රජ ගොල්ල ගැන තව ටිකක් දැන ගන්න….

දැන් ඉතිං මට තියෙන පස්නේ…. රජවරු හිටියේ මීට අවුරුදු දෙසීයකට විතර කලින් කියමුකෝ ආසන්න වශයෙන්. ඔන්න දැනට අවුරුදු හතලිහකට පනහකට කලින් එයාලාගේ සෙල්ලං කට කතා වලින් ඇවිත් කොහොම හරි පොත් වලත් ලියවුනා. දැන් එව්වා කියෝලා අපි හොඳට හැදෙනවා.  ඉතිං දැං මේ කාලේ රජ කරන රජ ගොල්ල ගැන මේ වගේ පොත් ලියවෙන්න තව කොච්චර කාලයක් යයිද…??? එතකොට අපි ඉඳීද…? තව අවුරුදු සීයක් ගියොත් එහෙම ඔක්කොම සෙල්ලං බත් උයන සීන් පොත් වල ලියවෙන්න…. එතකොට අපි මොකද කරන්නේ….? අනික ඒ දවස් වෙද්දී කඩදාසි පොත් තියෙයිද… නැත්තං පී.ඩීඑෆ් තියෙයිද… එහෙමත් නැත්තං ඕඩියෝ බුක් තියෙයිද… ඒත් නැත්තං හොලෝ ග්‍රෑම් කරපු වීඩයෝම තියෙයිද…???

අනිත් එක… දැන් ඉතිං අන්තඃපුර කියලා එකක් නැති නිසා ඒකට කියන වෙනත් වචනයක් තියේද… මං අහන්නේ නිකං අළුත් වර්ශන් එකක් වගේ එකක්….!!!

බීරන් සමග වාසේ …

ඉස්සර ගම් වල චන්ඩි අතේ ගහගෙන ඉන්නවා මරුවා සමග වාසේ කියාල… ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ බීරන් සමග වාසේ කියලා ගහගන්න. හේතුව තමා බීරන්ට ඇහෙන ගානට වොලියුම් වැඩි කරගෙන සිංදු ඇසීම. මං ඉන්නේ හරියට තෝන්තු වෙලා වගේ… දැන් කියයි “තෝ කොහොමත් එහෙමනේ” කියලා. ඒක ඇත්ත ඉතිං ඔෆිස් ගිහිං ෆිල්ම් එකක් බලන්න ගත්තත්, බ්ලොග් එකක් කියවන්න ගත්තත් ඒ හැම එකකටම පසුබිම් සංගීතය ඇහෙන්නේ කිට්ටුව පාත තියෙන ගෙදරකින්.

හප්පා එහෙමත් වදයක්…!!! සිංදුව කියන්නේ හිත සනසන්න, අවුල් කරන්න වගේම නිවී හැනහිල්ලේ ඉන්න වෙලාවට ඒ සුවය විඳින්න වගේම කලබලකාරී වෙලාවට ආවේගශීලි වෙලා හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරගෙන අවශ්‍ය ශක්තිය උපදවා ගන්නත් කියාපු ඔසුවක්.

මේ ලඟදී ගෙවල් කිට්ටුව එකෙක් තඩි බෆල් දෙකක් එක්ක වොට් දෙදාහක ඈම්ප් එකක් ගෙනත්. මං දැන ගත්ත විදියට පොර, ගෑණිගේ රත්තරං බඩුයි, තවත් මොනාදෝයි උගස් තියලා තමා සවුන්ඩ් සෙට් එක ගෙනත් තියෙන්නේ. ඒ ගෙනාවත් හරි හැමදාම හවසට මූ අපිට බලෙන්ම කසිප්පු පොවනවා වගේ වැඩක් කරනවා. සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ශ්‍රේෂ්ඨ ගීත මූ දාන්නේ කන පැලෙන්න. ඒ අස්සේ හිටි ගමන් ශකිරා, අරාෂ්, ජෝ-ජෝ එහෙමත් වඩිනවා.

ගේ ඒතරම් ලොකු නොවුනත්, පොඩි එකාට අවුරුදු එකාමාරක් වුනත් ඌට ගානක් නෑ. මං මුලින්ම හිතන් හිටියේ ගෙනාපු අළුත සද්දෙට ඇරලා, ටික දවසකින් අඩුවෙයි කියලා… ම්හු… දැන් මාසයක් විතර වුනා, තාමත් අඩුවක් නෑ. ඇත්තටම මං දන්න කාලෙකනම් පොරට ශ්‍රවන ආබාධයක් තිබුනේ නෑ… පොඩි එකාටත්, චූටි බබෝ කියන කොට හැරිලා බලනවා, ගෑණිටත් අක්කේ කියද්දී නිකංම ඔලුව හැරවෙනවා… ඒ කියන්නේ පවුලේ කාටවත් ශ්‍රවන ආබාධයක් නෑ කියන එකනේ. ඒත් මේ යස්සයා ඇයි අප්පා මෙහෙම කරන්නේ. මට ඇත්තටම මේක ප්‍රශ්නයක්. ඒ ගෙදරට විතරක් නම් කමක් නෑ, අහල පහල මීටර් පනහක විතර වටේට ඇහෙන්න සිංදු දැම්මම…

කොච්චර වුනත්, කොයි තරම් ජරා සිංදුවක් වුනත් හෙමින් අහද්දි දැනෙන ගතිය මහා හයියෙන් දාගෙන අහද්දී නැහැ. මෙට්ල් රොක්, ජෑස් වගේ කෑගහලා කියන ස්ටයිල් වල සිදුවක් වුනත් තමන්ගේ කන් දෙකට විතරක් එහෙම ප්‍රමානෙට දාගෙන අහද්දී ඇත්තටම ඒකත් එක වෙලාවටක හරිම සනීපයක්. ඒත් අපි ආසා කරන හොඳට තේරෙන සිංහල, කොටින්ම කියනවනම් පට්ට සිංදුවක් වුනත් මහ හයියෙන් දැම්මම ඒ සද්දේටම මට නම් සිංදුත් එක්කම එපා වෙනවා. එහෙම ඕනේ නම් අඩියක් ගහලා ලඟම තියෙන මියුසිකල් එකකට සෙට් වෙන එක තමා හොඳම දේ.

ගොඩක් වෙලාවට මිනිස්සු මහා හයියෙන් සිංදු අහන්නේ තමන්ගේ හිතේ තියෙන ආවේගශීලි බව පහ කරගන්න. ඒත් එහෙමයි කියලා අනිත් මිනිස්සුන්ගේ ආවේගය අවුස්සන එක හරිද…???

ඇත්තටම මේක මං දැන් ඉන්න හරියට විතරක් සිමාවුන දෙයක් නෙවෙයි. අපේ ගමෙත්, රට ගිහිං ආපු අයගේ ගෙවල් වල තඩි සෙටප් එකක් වරදින්නේම නෑ. එයාල රට ගිහිං එද්දි සල්ලි කෙසේ වෙතත් ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් නම් අරගෙන එනවා. ඉතිං තේරුනා හෝ නොතේරුනා, තියෙන මියුසික් ඩීවීඩී ඉවර වෙනකම්ම දානවා. සමහර වෙලාවට ලග පාත ඉන්න බල්ලෝත් උඩු බුරනවා. ඊට පස්සේ ඒ ටික ඉවර වුනාම ඔන්න ගේනවා අඬන පාලලගේ කැසට් හරි සීඩීස් ටිකක් හරි… ඉතිං ඒ ටික අහගෙන වටා පිටාවට පට්ට ඇනයක් වේගෙන දෙයියනේ කියලා ඉන්න කොට ඔන්න පන්සලේ හාමුදුරුවෝ හරි, ග්‍රාමසේවක හරි ඇවිත් කියනවා “අයියෝ ළමයෝ, ඔයාලා උගත් ළමයි නේද මොනාද ඔය අහන්නේ… පොඩ්ඩක් අහලා බලන්නකෝ හොඳ ගායකයන්ගේ සිංදු” කියාල… ඉතිං ඒගෝල්ලෝ ඊට පස්සේ ගේනවා, අර කලින් කිව්ව වගේම සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ඇත්තටම හොඳ සිංදු… අනේ… ඒත් එයාලා ඒවත් අහන්නේ මහ හයියෙන්. ටෙම්පෝ අඩු වෙනකොට ඒ සවුන්ඩ් සිස්ටම් වල වොලියුම් අප් වෙනවා. ඇත්තමයි මට දැන් ගමත් එපා වෙලා තියෙන්නේ මේ මල කරච්චලේ නිසා. සිංදු අහන්න තියෙන අකමැත්තට නෙවෙයි… මේ ඝෝෂාව ඉවසා වදාරන්න බැරුව.

අපිට කොයි තරම් වදයක් වුනත් මට පුළුවන් කමක් නෑ, ගිහිං ඒ මිනිස්සුන්ට කියන්න ඔය වොලියුම් ටිකක් අඩු කරන්න කියලා… මොකද අනිත් පැත්තට මං ලෑස්ති වෙන්න ඕනේ…. උඹලගේ ඉරිසියාව, මිනිහෙක් හැදෙනවට ඉරිසියා කරන හැත්ත…. කියල අහගන්න. ඒක නිසා තමා අපේ ගමේ සද්ද බද්ද වලට අකමැති කට්ටිය පන්සලේ හාමුදුරුවන්ට හරි, ග්‍රාමසේවකට හරි ඔය වගේ දේවල් පැමිණිලි කරන්නේ. ඒ මං දැන් ඉන්න දිහාව බලාකියාගන්න ග්‍රාමසේවක ඉන්නේ තවත් කිලෝමීටර් විස්සක් විතර ඈත තියෙන වෙන ගමක. උන්දා අපේ ග්‍රාමසේවක කාර්යාලෙට එන්නේ බදදා විතරයි. එදාට ඉතිං ඔව්ව කියන්න යන්න බැහැ… මොකට ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියෙන මිනිස්සු පාන්දර හතරේ ඉඳන් පෝලිම් ගැහිලා ඉන්නේ ග්‍රාමසේවක නෝනව හම්බුවෙන්න.

පන්සලේ හාමුදුරුවොත් වඩින එකක් නෑ… ඔය වගේ සුළු ප්‍රශ්න වලට ගම් වල හාමුදුරුවරු අත දැම්මට, මේ හරිය ටිකක් නාගරිකයිනේ… ඉතිං ඒක නිසා හාමුදුරුවෝ වඩින්නෙත් නෑ. දැන් මං කාටද මේක කියන්නේ කියලා මං මේ හිත හිත ඉන්නේ…!

ගෙදර ගිහිං ඉස්සර වගේ දෙයියනේ කියලා ඇඳට වැටිලා සැපට නිදාගන්න තියෙන වෙලාවෙන් භාගයක් වත් යනවා ගෙවල් වලට එහා පැත්තේ එවුන්ට, ආපු වෙලාවේ ඉඳන් මෛත්‍රී කරන්න. ඇත්තමයි ගෙදර එවුන්ට කිසි හානියක් නොවී ඔය සෙට් එකේ වොලියුම් කන්ට්‍රෝලර් සර්කිට් එකට හෙනයක් වත් වදිනවනම් සද්දේ ටිකක් අඩුවෙන්න…!!! ඉරිසියාවට නෙමේ අපි හැමෝගෙම හොඳට….!!!

පුංචි කාලෙදී වැඩි ශබ්ද වලට හුරුවෙන  කන් ලොකු වෙද්දි පුංචි ශබ්ද ග්‍රහණය කරගන්නේ අඩුවෙන් කියලා මං අහලා තියෙනවා. ඒත් ඔය සීන් එක සවුන්ඩ් සෙටප් එකේ අයිතිකාරයට කියන්න ගියොත්…. “මංනේ උගේ තාත්තා… තෝ නෙමේනේ… ඒක නිසා මං ඒක බලාගන්නම්…” කියලා අහගන්නවට වැඩිය සැපයි පොළොව යටින් චූටි ගුලක් හාරගෙන ඒක අස්සට වෙලා ජීවත් වෙන එක….!!!

සුද්දන්ට කියලා කප්පන්න තවත් ගලක්….!!!

කතාව පටන් ගන්න තැනක් හිතා ගන්න අමාරුයි. ඉස්සර අපේ රට විවිධ ජාතින් තුන් ගොල්ලකට යටත් වෙලා හිටියනේ. ඊට ඉස්සර, ඒ කියන්නේ ඔය පිටරැටියෝ ලංකාවට එන්න කලින් ලංකාවෙ ගැන කියවෙන පොත් පත් වල තියෙන්නේ ලංකාව කියන්නේ සරල ස්වයංපෝෂිත ජාතියක් කියලා. ස්වයංපෝෂිත කියන්නේ, මං දන්න විදියට හැම දෙයක්ම රට ඇතුලේ තියෙනවා කියනවා වගේ අදහසක්.

දැන් කාලේ පිටරට වලින් සහල් ලංකාවට ගෙන්නුවට ඉස්සර රජතුමන්ලා හිටිය කාලේ ලංකාවෙන් අනිත් රටවල් වලට සහල් යැව්වේ නැවු පිටින්ලු. වගකියන්න ඕනේ කවුද කියලනම් මං දන්නේ නෑ… ඒත් මොකෙක් හරි වගකියන්න ඕනේ ඒකට.

එහෙම සමෘද්ධිමත්ව හිටිය අපේ රටට හෙනහුරා ලැබුවේ ඔය පරදේසක්කාරයෝ එන්න ගත්තට පස්සේ තමා. මොකද උං රට රට වල් ගානේ ඇවිදලා ඒ රටවල් වල තිබුන දේවල් බලහත්කාරයෙන් හරි එහෙමත් නැත්තං අඩු තක්සේරුවක් කරලා මිනිස්සුන්ව රවට්ටලා හරි උන්ගේ රටවල් වලට ගෙනිච්චා. ඊට පස්සේ ඒ රටවල් වලදී නොයෙකුත් දේවල් අඩු ගානට තනලා ලෝකේ තියෙන අනිත් රටවල් වලට ලොකු ගානට වික්කා. එහෙම තමා ඔය මුහුදු දඩයමේ ගිය, දැන් මහා ලොකු, පළවෙනි පංතියේ රටවල් කියන බොහොමයක් නැගීසිටියේ. එහෙම නැතුව උංගේ රටවල් වල තිබුන ලබ්බක් නෑ. හොරෙන් අනුන්ගේ දේ කඩා වඩාගෙන ගිහිල්ලා හරි උං කිසිම හෙනයක් නැතුව ඉන්නේ අපේ වගේ රටවල් වලත් උංගේ පස්ස පැත්ත ලෙවපු හිවල්ලු අද වගේම ඒ කාලෙත් උන්න නිසා. උංට ඉතිං මුහන්දිරම් පට්ටමක් දෙනවා කිව්වම… වෙන මොනාද ඉතිං. අපේ රටේ තියෙන වස්තු සම්භාරය නෙවේ රටම උස්සං ගියත් උන්ට මොකෑ….

ඉතිං ඔය පිට රට අය ඇවිත් මුතු මැණික් වගේ වටිනා දේවල් වල ඉදන් දුරුලභ කෑලෑ කොල ගස් මල් දක්වාමත් පිට රටට අරගෙන ගියා. නිකං නෙවේනේ… කැලෑ අස්සේ බඩගාලා කටු ඇනගෙන තුවාල කරගෙන මහන්සි වුන වුන්ට පිච්චියක් දීලා. සුද්දෝ ඒවායෙන් බෙහෙත් හැදුවා. ලොකු ලොකු ලෙඩ රෝග වලට දෙන පුංචි පෙති, කරල් එහෙම. ඒවා ආයෙම ටික කාලෙකින් අපේ රටට ආවා රුපියල් සිය ගනන් වලින්. අපේ එවුන්ට ආයුර්වේදේ එපාවුනා, උංට ඕනේ වුනේ පේන් කිලර් එක *කේ ගහගෙන ඉක්මන් සුවේ විඳින්න. අපේම ඒවා අපේම එවුන්ට කියලා හොයව ගෙන ආයෙම අපේ රටටම එවලා ආයෙමත් අපේ රටෙන්ම හම්බු කොරගෙන ධනවතුන් වෙනවා. ඒවාට උදවු දෙන ලංකාව් ඉන්න සහ හිටිය හැතිකරේ නිස තමා අපිට අද ඉන්න තත්වෙට පත්වෙන්න වුනේ. දැන් අපිටත් ඒ දේවල් නිකංම හුරුවෙලා.

ඉස්සර විතරක් නෙමේ අදටත් ලංකාවේ තියෙන බොහොමයක් ඛනිජ වැලි, වටිනා පාෂාන ආදිය කෙලින්ම යන්නේ පිට රටවල තියෙන ෆැක්ටරි වලට. මතකද දන්නේ නෑ… නාමල් උයන ආශ්‍රිත රෝස තිරුවාන නිධියට ජපානෙන් කෙලින්න ගිය විත්තිය. උන් හැදුනේ රෝස තිරුවාන වලින් මයික්‍රො චිප් හදන්න. හදලා ඒවායෙන් රොබෝලා හදන්න. ඊට පස්සේ ආයෙම අනිත් රටවලට විකුණන්න. ඒ වැඩේටත් ලංකාවෙන් *ක දීගෙන උදවු කරපු අය හිටියා. උංට කොමිස් එක ලොකු වුනා ලංකාවේ තියෙන අලංකාරයට, වටිනාකමට වඩා.

කවදාවත් තාක්ෂණයට බෑ සොබා දහමේ තියෙන දේවල් වලට සමාන වෙන්න හරි ඊට වැඩිය උසස් වෙන්න හරි. පුළුවන් එකම දෙය විකෘති කරන එක හරි නැති නාස්ති කරන එක හරි විතරයි.

මේ ලිපිය ලියන්න මූලික හේතුව වුනේ මේකයි. ගිය දෙසැම්බර් 29 වෙනි බ්‍රහස්පතින්දා ලංකාදීපේ තියෙනවා පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය කියලා ලිපියක්. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ. ලිපිය ලියලා තියෙන්නේ ලංකාදීපේ කතෘ මන්ඩලේ.

එයාලා කියන විදියට මේ මනරම් ගල ගැන තාම හරියට කව්රුවත් කතා කරල නෑලු. වෙන්න ඇති ඒකනේ මෙච්චර කල් කිසි පලුද්දක් නැතුව, ඒ අයම අගේ කොර කොර කියවන විදියට ඉතුරු වෙලා තිවුනේ. දැන් කට්ටිය ට්‍රයි එක දෙන්නේ මේක සංචාරකයින් ලංකාවට ඇදගන්න දෙයක් බවට පත් කරන්න. ඒක ඇත්තටම හොඳයි. එතකොට ලංකාවට සල්ලි එනවා. අඩුම ගානේ මේ පලාතේ මිනිස්සුන්ගේ ජීවන තත්වය ටිකකින් හරි උසස් වෙයි. ඒත් ඊට පස්සේ මේකත් මොකක් හරි ආයතනයකට කියලා පරීක්ෂන පවත්තලා සුද්දන්ගේ අරකට හොදයි මේකට හොඳයි කියලා ගල කපලා ගෙනි යන්න හැදුවොත් අපේ රටේ එකෙක් ඉන්නවද අඩෝ අත තියන්න එපා… කියන්න. ඒ ගමේ ගම්මු ටික කෑගහයි… අවට පන්සල් වල හාමුදුරුවරු කෑගහයි…. පස්සේ ඕනෙ නම් උපවාසත් කරයි. ඒ ඔක්කොම අස්සේ ලංකාවේ තාක්ෂණයට කරන්න බැරි මැජික් කරන්න සුද්දෝ එක්ක එකතු වෙච්චි ලංකාවේ හැත්ත ගලේ අනිත් පැත්තෙන් ගල කපාගෙන යයි. ඇයි ඉතිං පොඩි පහේ කොමිස් එකක්ද…

මෙච්චර කල් ඒ ගමේ හැංගිලා තිබුන ඔය වටිනා වස්තුව ගැන එලිකරාට දැම්ම ඇල්ම බැල්ම වැටෙන එකක් නෑ. ඒත් කවද හරි ඔය ගලටත් වෙන්නේ ලංකාවේ අනිත් එව්වට වෙච්චි දේම තමා. ලංකාවේ තාක්ෂනේ නැති බව ඇත්ත. එහෙමයි කියලා කරන්න ඕනේ තාක්ෂණය තියෙන රටකට යනලා ඒ රට වල හදන දේවල් අපි වැඩි මිලකට ගන්න එක නෙමේ, ඒ රටවල තාක්ෂණය ලංකාවට ගෙනැල්ලා ලංකාවෙදි නිෂ්පාදන කරලා වැඩි මිලට අනිත් රට වලට විකුණන එකයි.

කොහොම හරි ගං වල හැංගිලා තියෙන මේ වගේ දේවල් නම් ලෝකයට එලි කරන්න තරම් සුදුසු වාතාවරණයක් තාමත් ලංකාවේ නැති බව තමා මගේ හැඟීම. පිටරටින් ඇවිල්ලා කුට්ටි පිටින් උස්සං නොගියත් ලංකාවේ අය හරි දැනටම ගිහිං කෑල්ලක් දෙකක් කඩාගෙන ඇවිත් ඇති. කොහොමටත් ලංකාවේ ඇත්තන්ටනම් දැනටම ඉව වැටිලා තියෙන්නේ… මෙතනින් ගිහිං පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය ලිපිය කියවලා බලන්න….

මේ… මේ අවුරුද්දේ අවසන් ලිපිය. ලබන අවුරුද්දෙවත් මේ වගේ දේවල් ගැන කතා නොකර ඉන්න තිබුනොත්..!!! කියලා තමා ප්‍රාර්ථනා කොරගන්න වෙන්නේ….